HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods Sumerians Called Anunnaki Actually Aliens?
![]() |
| Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500 years old ) : Berlin Museum |
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙවිවරුන් පිරිසකි. ඔවුන් මූලික වශයෙන් දිව්‍යමය විනිශ්චය, ඉරණම් නියම කිරීම සහ පාතාල ලෝකය පාලනය කිරීම හා සම්බන්ධ වේ. සුමේරියානු සාහිත්‍ය සම්ප්‍රදායට අනුව, මෙම සත්වයන් තුළ අතිමහත් බලයක් පැවතුනි.
ඔවුන් නූතන ජනප්‍රිය සංස්කෘතියේ එන පිටසක්වල ජීවීන් ලෙස නොව, විශ්වයේ පිළිවෙල, මරණය සහ දිව්‍යමය කැමැත්ත හමුවේ මිනිසාගේ දුර්වල බව පැහැදිලි කළ බහුදේවවාදී දෙවි පරපුරේ කේන්ද්‍රීය චරිත ලෙස පැරණි සුමේරියන්වරු විශ්වාසකලා.
ඉනානාගේ පාතාල ලෝකයට බැසයාම (Inanna’s Descent to the Underworld) නම් වූ ප්‍රසිද්ධ සුමේරියානු පුරාවෘත්තයේ, අනුනාකි ජීවීන්ගේ දිව්‍යමය බැල්මේ මාරාන්තික විභවය සෘජුවම විස්තර කර තිබෙනවා.
අනුනාකිවරුන් පුරාණ පිටසක්වල අමුත්තන් බවට වන විශ්වාසය ආරම්භ වන්නේ ශාස්ත්‍රීය ඇසිරියාවිද්‍යාවෙන් නොව, 20 වන සියවසේ මැද භාගයේ සිට අග භාගය දක්වා වූ ව්‍යාජ-පුරාවිද්‍යාව (pseudoarchaeology) සහ විකල්ප ඉතිහාසයෙන් (alternative history) බවයි.
එරික් වොන් ඩැනිකන් (Chariots of Gods,1968) සහ සෙකරියා සිට්චින් (12th Planet, 1976) වැනි කතුවරුන් විසින් පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන් විද්‍යා ප්‍රබන්ධ කාචයක් හරහා නැවත අර්ථකථනය කරමින් "පුරාණ ගගනගාමී" කල්පිතය ජනප්‍රිය කර තිබෙන අතර පසුකාලීනව "Ancient Aliens" වැනි රූපවාහිණී වාර්තා වැඩසටහන් මාලා (documentary TV series) නිසා ප්‍රධාන ධාරාවට එක්ව අතිශයින්ම ජනප්‍රිය වුනා.
සිට්චින් තර්ක කළේ අනුනාකිවරුන් යනු වසර 450,000 කට පෙර රන් කැණීම සඳහා පෘථිවියට පැමිණි නිබිරු නම් වූ අයාලේ යන ග්‍රහලෝකයකින් පැමිණි ජීවීන් බවත්, අවසානයේදී මුල් මානවයන්ගේ DNA සමඟ ඔවුන්ගේ DNA බද්ධ කරමින් හෝමෝ සේපියන්ස්ව සේවක විශේෂයක් ලෙස ජානමය වශයෙන් නිර්මාණය කළ බවත්ය.
අහසින් බැස එන දෙවිවරුන් හෝ දීප්තිමත් බලයන් විහිදුවීම වැනි කාව්‍යමය ආගමික රූපක - දියුණු තාක්‍ෂණය, අභ්‍යවකාශ ගමන් සහ ජාන වෙනස් කිරීම පිළිබඳ සාහිත්‍යමය විස්තර බවට පරිවර්තනය කිරීමෙන් මෙම ancient alien න්‍යාය පුළුල් ජනප්‍රියත්වයක් ලබා ගත්තා.
ප්‍රධාන ධාරාවේ ඉතිහාසඥයින්, භාෂා විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයින් ඒකමතිකව පිටසක්වල කථාව ප්‍රතික්ෂේප කරන අතර, අනුනාකිවරුන් අධ්‍යාත්මික දේවතාවුන්ගෙන් සමන්විත සාම්ප්‍රදායික බහුදේවවාදී දෙවි පරපුරක් ලෙස වර්ගීකරණය කරති. ආචාර්ය මයිකල් එස්. හයිසර් ඇතුළු භාෂා විශාරදයින් පෙන්වා දී ඇත්තේ සිට්චින් විසින් තම කථාව ගොඩනැගීම සඳහා කියුනිෆෝම් ව්‍යාකරණ වැරදි ලෙස යොදා ගනිමින්, නිර්වචන නිර්මාණය කරමින් සහ මූලික සුමේරියානු සහ ඇකේඩියානු වචන මාලාව වැරදි ලෙස පරිවර්තනය කළ බවයි.
තවද, තාරකා විද්‍යාඥයින් තහවුරු කරන්නේ නිබිරු සඳහා හෝ සිට්චින් විසින් යෝජනා කරන ලද වසර 3,600 ක ඉලිප්සාකාර කක්ෂයට ගැලපෙන කිසිදු ග්‍රහලෝකයක් සඳහා කිසිදු අත්දැකීම් මත පදනම් වූ සාක්ෂියක් නොමැති බවයි. ඔවුන්ගේ මුල් සාහිත්‍යමය සහ සංස්කෘතික සන්දර්භය තුළ, පුරාණ ග්‍රන්ථවල අනුනාකිවරුන් අභ්‍යවකාශයේ සැරිසරන ජාන ඉංජිනේරුවන් ලෙස නොව, පැරැණි සුමේරියානු දේව විශ්වාස පමණක් බවයි.
Sumerian Seal Va 243 : The Sun and 12 planets
ඉහලින් ඇති ඡායාරූපයේ පෙන්වන්නේ දැනට බර්ලින් කෞතුකාගාරයේ තැම්පත් කර ඇති සුමේරියානු මුද්‍රාවක දැක්වෙන අනුනාකිවරුන් දෙදෙනෙකුගේ හා ග්‍රහලෝක 12ක් පෙන්වන සෞරග්‍රහ මණ්ඩළයක්.
ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයින් පවසන අන්දමට සුමේරියානුවන් දැන සිටියේ Mercury, Venus, Mars, Jupiter, Saturn ඇසට පෙනෙන ග්‍රහලෝක පමණයි. යුරේනස් නෙප්චූන් ප්ලූටෝ වැනි ග්‍රහලෝක හෝ අවශේෂ කුඩා ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට තාක්ෂණයක් ඔවුන් සතුව තිබුණේ නෑ.
එසේනම් ග්‍රහලෝක 12ක සෞරග්‍රහමණ්ඩළයක් මුද්‍රාවක සළකුණු කලේ ඇයිදැයි අසන පැනයට ප්‍රධාන ධාරාව පිලිතුරු දෙන්නේ ඒ ග්‍රහමණ්ඩළයක සටහනක් නොව දෙවිවරුන් පිලිබඳව සංඛේතාත්මක සටහනක් බවයි.
මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් විකල්ප-ධාරාවේ පර්යේෂකයින් නගන සාධාරණ ප්‍රශ්ණවලට කෙලින් පිලිතුරු දෙනවා වෙනුවට ඒවා මුළුමනින්ම මනස්ගාත ලෙස බැහැර කිරීමයි.
රූපය දෙස බැලීමේදී පැහැදිලිවම එය හිරු හෝ වෙනත් දීප්තිමත් තාරකාවක් (රැස්වළල්ලෙන් පෙන්වන ආකාරයට) හා එය වටා විවිධ දුරවල්වලින්, විවිධ විශාලත්වයන් ගෙන් යුතු ග්‍රහලෝක පෙන්වන බවක් වැටහෙනවා.
නූතනයේ සෞග්‍රහමණ්ඩළය විද්‍යාඥයින් සටහන් කරන්නේත් මේ අන්දමට විශාල ග්‍රහයන් විශාලවත්, කුඩා ග්‍රහයන් කුඩාවටත්, හිරුට ඈතින් ඇති ග්‍රහයන් දුරිනුත්, ලං ඇති ග්‍රහයන් ලඟිනුත් නොවේද? එනම් මේ ආකාරයටම නොවේද?
සුමේරියානුවන් මේ සටහනෙන් ඔවුන් අපට සිතගත නොහැකි ආකාරයට නොදැන දෑ දැන සිටි බව පෙන්වනවාද?


Comments
Post a Comment