තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000ක් සිදුකල හැකි TITAN සුපිරි පරිගණකය


උපරිම වේගය - පෙටෆ්ලොප් 20කි (තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000)
නිශ්පාදකයා - ක්‍රේ සුපිරි පරිගණක සමාගම
සේවාදායකයා - ඕක් රිජ් ජාතික පර්යේශණායතනය, අමෙරිකා එක්සත් ජනපදය
ප්‍රොසෙසර් වර්ග හා ගණන - AMD Opteron 6274 ප්‍රොසෙසර් 299,008ක් හා nVidia Tesla K20 ප්‍රොසෙසර් 18,688ක්
ක්‍රියාත්මක වූ දිනය - ඔක්තෝම්බර් 2012
මතක ධාරිතාව - ටෙරාබයිට් 710කි

ටයිටන් සුපිරි පරිගණකය බලගන්වන ඒ.එම්.ඩී ඔප්ටෙරෝන් හා එන්විඩියා ටෙස්ලා ප්‍රොසෙසර්





4 comments:

මුහුණු පරීක්ශාකොට හඳුනාගත හැකි නවතම අව්කණ්නාඩි! [Spot Bad Guys a Mile Away With Face Recognition Sunglasses!]

ත්‍රස්තවාදී කණ්ඩායම්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා වෙනත් සංවිධානාත්මක අපරාධකල්ලි සමග නිරන්තර සෙවනැලි යුද්ධයක (covert war) නිරතවන ආරක්ශක හා බුද්ධි අංශවලට සිය බිහිසුනු රාජකාරිය මදක් පහසුකරවන ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් නිපදවා තිබෙනවා. සාමාන්‍ය අව්කණ්නාඩියක් මෙන් දිස්වන මෙයට HD වර්ගයේ ඩිජිටල් කැමරාවක් හා අධිවේගී දත්ත සම්ප්‍රේශණ උපකරණයක් අඩංගුකොට තිබෙනවා. ඒ අනුව අව්කණ්නාඩිය පැළඳගෙන පුද්ගලයින් නිරීක්ශණය කරන ආරක්ශක අංශ නිළධාරියෙකුට ඒ සෑම මුහුණක්ම කැමරාව ආධාරයෙන් අධිවේගීව ස්කෑන් කොට ආරක්ශක අංශවලට අවශ්‍යව සිටිනා පුද්ගලයෙකුදැයි සොයාගත හැකිවනවා.

දත්ත සම්ප්‍රේශකය හරහා ප්‍රධාන දත්තගබඩාවට සම්බන්ධකොට ඇති මෙම අවුකණ්නාඩියට තත්පරයකට මුහුණු 400ක් ස්කෑන් කොට එම මුහුණු ප්‍රධාන දත්ත ගබඩාවක ඇති මිලියන ගණනක් ඡායාරූප හා සසඳා වරෙත්තුකරුවන් හා කලින් අපරාධ වාර්තා ඇති පුද්ගලයින් ක්ශණයෙන් හඳුනාගත හැකි වනවා.


මෙවැනි අව්කණ්නාඩි දැන් වසර කිහිපයක් මුලුල්ලේ අමෙරිකානු FBI, CIA හා වෙනත් ආරක්ශක අංශත්, බ්‍රිතාන්‍යයේ MI6 වැනි ඔත්තුසේවා ඒජන්තයනුත් භාවිතාකොට ඇති අතර මුල්වරට සිවිල් ආරක්ශක අංශයක් මෙම අව්කණ්නාඩි භාවිතාකරනු ඇත්තේ 2014 බ්‍රසිලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී බව පැවසෙනවා. බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරය සංවිධානාත්මක අපරාධ කල්ලිවල තෝතැන්නක් බැවින් ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ශාව තහවුරු කිරීමට අධිතාක්ශණික උපකරණ වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බ්‍රසීල රජය සූදානම් වනවා. 2014 ලෝක කුසලාන පාපන්දු තර්ඟාවලිය පමණක් නොව 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වාසනවාව උදාකරගෙන තිබෙන්නේ බ්‍රසීලයයි.

3 comments:

"කපුස්ටින් යාර්"...සෝවියට් රුසියාවේ Area 51

Kapustin Yar Missile Test Complex

අමෙරිකාවේ ඒරියා 51 නම් ප්‍රදේශය පිලිබඳවත්, එහි සිදුවෙනවා යයි පැවසෙන රහසිගත ගගනවිද්‍යා හා පිටසක්වලයින් පිලිබඳව කෙරෙන පර්යේෂණ පිලිබඳවත් ඒ ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා දන්නවා. එහෙත් දැනටත් බොහෝ දෙන නොදන්නා කරුණක් නම් සෝවියට් රුසියාවේද, අමෙරිකාවේ ඒරියා 51 වැනිම රහසිගත ගගනවිද්‍යා පර්යේශණ කටයුතු මෙන්ම පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳව පර්යේශණ සිදුකෙරුණා/සිදුකෙරෙමින් පවතිනවා යයි පැවසෙන කපුස්ටින් යාර් (Kapustin Yar) නමින් හඳුන්වන අතිශයින්ම රහසිගත පර්යේශණ මධ්‍යස්ථානයක් පවතින බවයි.

Add caption
රුසියාවේ සුප්‍රකට වොල්ගා නදිය අසබඩ, වොල්ගොග්‍රැඩ් නගරය (කලින් ස්ටැලින්ග්‍රැඩ්) නගරයට සැතපුම් 75ක් නැගෙනහිරින්, කසකස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කපුස්ටින් යාර් පර්යේශණ පෙදෙස සෝවියට් රජය විසින් නිළවශයෙන් හඳුන්වනු ලැබූයේ 4වැනි රාජ්‍ය පර්යේශණ පෙදෙස (4th State Central Test Range) වශෙයෙනි. එහෙත් විදෙස් මාධ්‍ය මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ කපුස්ටින් යාර් මිසයිල අත්හදා බැලීමේ මධ්‍යස්ථානය ලෙසයි (Kapustin Yar Missile Test Complex).

කපුස්ටින් යාර් පර්යේශණ මධ්‍යස්ථානයේ ආරම්භය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමගම, එනම් 1946 වසරේ සිදුවනවා. ඒ එවක රුසියානු නායක ජෝසෆ් ස්ටැලින්ගේ නියෝගයකට අනුවයි. මෙහි අත්හදා බැලුනු මුල්ම රොකට්ටුව නට්සි ජර්මානුවන්ගෙන් අල්ලාගත් V2 රොකට්ටුවක් වුනු අතර එය සිදුවුනේ සෝවියට් රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ පුරෝගාමියා හා සෝවියට් දේශය බිහිකල විශිෂ්ඨතම රොකට් ඉන්ජිනේරුවා වන සර්ගෙයි කොරොලෙෆ් (Sergei Korolev) ගේ මූලිකත්වයෙන්. කපුස්ටින් යාර් මධ්‍යස්ථානය බිහිකිරීමේ ප්‍රධාන අරමුණ වූයේ සෝවියට් දේශයට බැලිස්ටික් මිසයිල තාක්ශණය බිහිකිරීමත්, ඉන් අනතුරුව අභ්‍යවකාශ තරඟය ආරම්භවූවුට අමරිකානුවන්ට පෙර රුසියානුවෙකු අභ්‍යවකාශයට යැවීම සඳහායි.

1966වසරේදී තවත් වැඩිදියුණුවට බඳුන්කරන ලද කපුස්ටින් යාර් මිසයිල අත්හදාබැලීමේ මධ්‍යස්ථානය කපුස්ටින් යාර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kapustin Yar Cosmodrome) ලෙස හඳුන්වන්නට පටන්ගත් අතර සෝවියට අභ්‍යවකාශ වැඩසටහනේ වැදගත් අභ්‍යවකාශගතකිරීම් රාශියක් සිදුකරනු ලැබුවා. එපමනක් නොව, සෝවියට් රුසියාව විසින් අමෙරිකානු අභ්‍යවකාශ ශටල් වැඩසටහනට පිලිතුරක් ලෙස නිර්මාණය කල බූරාන් ශටල් යානය ගුවන්ගතකිරීමේ මධ්‍යස්ථානය ලෙස තෝරාගැනුනේත් කපුස්ටින් යාර් මධ්‍යස්ථානයයි. පලමු අභ්‍යවකාශ ගමනින් පසු බූරාන් වැඩසටහන අතරමග නතරවූ නිසා මෙම මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූයේ පලමුවැනි බූරාන් ශටලය පමණයි. එය නියමුවන් රහිත පර්යේශණ යානයක් වූවා.

Kapustin Yar UFO crash

1948වසරේදී කපුස්ටින් යාර් මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වුනු මිග් ජෙට් නියමුවෙකු, තමන්ට රිදී පැහැති සුරුට්ටුවක හැඩයක් ගත් හඳුනාගත නොහැකි පියාසර වස්තුවක් දර්ශණය වන බව කපුස්ටින් යාර් ගුවන් මධ්‍යස්ථානයට වාර්තාකලා. ඒ වනවිටත් කපුස්ටින් යාර් ගුවන් ආරක්ශක රේඩාර්වලටද මෙම අත්භූත යානය හසුවී තිබුණු අතර, මොහොතකට පසු එම අත්භූත යානාවෙන් එල්ල කරන යම් කිරණයක් තම යානයට එල්ලවී ඇති බවත් යානයේ ඉලෙක්ට්‍රොනික හා රේඩාර් උපකරණ ක්‍රියා විරහිත වෙමින් ඇති බවත් නියමුවා දැනුම් දුන්නා. එම අත්භූත යානයට පහරදෙන ලෙස රුසියානු නියමුවාට අණ ලැබුණු අතර විනාඩි තුනක ගුවන් සටනකින් පසු යානයෙන් එල්ලවුනු මිසයිලයක් වැදීමෙන් අත්භූත යානය කඩාවැටුනු බව පැවසෙනවා. ඒ වන විට කිරණ ප්‍රහාරයෙන් අබලන් ව තිබූ මිග් යානයද කඩා වැටී තිබෙනවා.

කඩාවැටුනු අත්භූත යානය පරීක්ශාවට සෝවියට් දේශයේ ප්‍රමුඛතම විද්‍යාඥයින්, තාක්ශණවේදීන් හා හමුදා නිළධාරීන් කැඳවුනු බව පැවසෙනවා. දිගින් අඩි 20කුත්, උසින් අඩි 10ක් පමණවූත් යානය කඩා වැටීමේදී මුලුමනින්ම විනාශවී ගොස් නොතිබුණු අතර පොලොව සමග ඝට්ටනය වුනු ස්ථානය සිදුරුවී ගොස් තිබුණු බව පැවසෙනවා. ආරක්ශක ඇඳුම් ඇඟලා ගත් පර්යේශකයින් කණ්ඩායමක් මෙම සිදුර තුලින් යානය ඇතුලු වූ බව පැවසෙන අතර යානය තුල පිටසක්වල ජීවීන් තිදෙනෙකු හමුවී ඇති අතර ඉන් දෙදෙනෙකු ඒවන විටත් මියගොස් තිබුණු අතර අනෙක් පිටසක්වලයා බලපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ජීවතුන් අතර සිටි පිටසක්වලයා ගේ දිවි බේරාගැනීමට වෛද්‍යවරු කණ්ඩායමක් විශාල උත්සාහයක් ලබා ඇතත් ඔහුද මියගොස් තිබෙනවා. මෙම පිටසක්වලයින් අඩි 3.5 පමණ උස් වූ බව පැවසෙන අතර ඔවුන් අලු පැහැති පියාසර ඇඟලුමක් (flight suit) හැඳතිබෙනවා. එම ඇඟලුමට යටින් වූ ඔවුන්ගේ සම නිල්/කොල පැහැවූ උරග සමකට සමාන වූ බව පැවසෙන අතර විශාල ඇස් තිබී ඇති අතර සිහින් අත් කෙලවර ගෙම්බෙකුගේ මෙන් සමින් හා වුනු (webbed) දිගු ඇඟිලි තිබුණු බව පැවසෙනවා. කඩා වැටුනු යානය හා මියගිය පිටසක්වලයින් නිරීක්ශණය කල සෝවියට් නායක ස්ටැලින් පවා කම්පණයට පත්වුනු බව පැවසෙනවා.

Zhitkur underground research facility

පිටසක්වලයින් දැකීමෙන් හා ඔවුන්ගේ තාක්ශණය පිලිබඳව තොරතුරු දැනගැනීමේන් පසු පිටසක්වලයින්ගෙන් එල්ලවිය හැකි තර්ජනය මෙන්ම ඔවුන්ගේ තාක්ශණය සෝවියට් දේශයට ලබාදිය හැකි ජයග්‍රහණ පිලිබඳව අවධානය යොමුකල ස්ටැලින් පිටසක්වල තාක්ශණය පිලිබඳව පර්යේශණ කල හැකි විශාල භූගත පර්යේශණ මධ්‍යස්ථානයක් කපුස්ටින් යාර් සංකීර්ණය තුල බිහිකල බව පැවසෙනවා. කඩාවැටුනු පිටසක්වල යානයේ සුන්බුන් එහි තැන්පත්කොට පර්යේශණ ආරම්භ කල බව පැවසෙනවා. මීට අමතරව 1968/1969දී කඩාවැටුනු වෘත්තාකාර පියාඹන පීරිසියක කොටස්ද සිට්කර් පර්යේශණ මධ්‍යස්ථානයට ගෙන ආ බව පැවසෙනවා.

අති විශාල භූමිභාගයක් වසා පවතින කපුස්ටින් යාර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුමන ස්ථානයක සිට්කර් භූගත පර්යේශණ මධ්‍යස්ථානය පිහිටා ඇතිදැයි පැහැදිලි නැතත් එය ව්ලැඩ්මිරොෆ්කා ගුවන් පථය (සිතියම බලන්න) ආසන්නයේ ඇති බවට අනුමාන කරනවා.

රුසියානු කේ.ජී.බී ආරංචිමාර්ග පවසන ආකාරයට සිට්කර් භූගත මධ්‍යස්ථානය තුල පිටසක්වල යානාවල තාක්ශනය පර්යේශණයට බඳුන්කොට ප්‍රති-ඉන්ජිනේරුකරණය සඳහා සියලු පහසුකම් තිබෙනවා. මෙම මධ්‍යස්ථානය වෙත, එවක ලොව භූමි ප්‍රමාණයෙන් විශාලම රාජ්‍යය වුනු සෝවියට් දේශය හා ඔවුන්ගේ අනුගාමික නැගෙනහිර යුරෝපීය රටවලට කඩාවැටුනු සියලුම හඳුනා නොගත් පියාසර වස්තූන්ගේ සුන්බුන් පර්යේශණ සඳහා ගෙනවිත් තිබෙනවා.




1 comments:

ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශකරන මයික්‍රෝවේව් මිසයිලයක් බෝයිං සමාගම සාර්ථකව අත්හදා බලයි!



Counter-electronics High-powered Advanced Missile Project හෙවත් CHAMP ලෙස හඳුන්වා ඇති මෙම මිසයිලයේ ක්‍රියාකාරිත්වය සරලය. සාම්ප්‍රදායික මිසයිල මෙන් ඉලක්කය මත ගැටී පුපුරා යනු වෙනුවට මෙය සිදුකරන්නේ ඉලක්කය ඉහලින් පියාසර කරමින් ඉලක්කය වෙත ප්‍රභල මයික්‍රෝවේව් තරංග ස්පන්ධ මුදාහැරීමයි.

EMP හෙවත් Electro-Magnetic Pulse තාක්ශණයෙන් නිමවා ඇති මෙම මිසයිලය මගින්, අමෙරිකානු හමුදාවන් හට මිනිස් ඝාතනවලින් තොරව සිය සතුරන් මෙල්ලකොට ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි පැවසෙනවා මෙම මයික්‍රෝවේව් EMP තරංග ගොඩනැගිල්ල විනිවිදගොස් එහි සිටින මිනිසුන් හට හානියක් නොකොට එය තුල ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකොට දමයි. උදාහරණයක් ලෙස එම ගොඩනැගිල්ල සතුරු රටක ගුවන්හමුදා කඳවුරක පාලන මධ්‍යස්ථානයක් නම්, එහි ඇති රේඩියෝ යන්ත්‍රයේ සිට පරිගණක, රේඩාර් උපකරණ ඇතුලු සියල්ලම සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කරදමයි. එවිට මිනිසුන් හට හානියක් සිදුනොවූවත් එම පාලන මධ්‍යස්ථානයෙන් කිසිදු අන්දමක යුධමෙහෙයුම් කටයුත්තක් සිදුකල නොහැකි පරිද්දෙන් අඩපණවී යනු ඇත.


පසුගිය ඔක්තෝම්බර් 16වැනිදා බෝයිං සමාගම, මෙම මිසයිලය ඇමරිකාවේ යූටා කාන්තාරයේ පිහිටි ගුවන් කඳවුරකදී සාර්ථකව අත්හදා බලන ලදී. එම කඳවුරේ පිහිටි තට්ටු දෙකක ගොඩනැගිල්ල පරිගණක ජාල හා විවිධාකාර ඉලෙක්ට්‍රොනික උපකරණවලින් පුරවන ලද අතර ඒ සියල්ල ක්‍රියාත්මක කොට ගොඩනැගිල්ල තුල සිදුවනදේ පර්යේශකයින්ට දැකබලාගත හැකිවන පරිද්දෙන් සෑම කාමරයකම කැමරා සවිකරන ලදී. පලමු පරීක්ශණයේදී මිසයිලය ගොඩනැගිල්ල උඩින් පියාසර කරත්ම එහි පරිගණක තිර නිවීයන ආකාරය කැමරාවලින් පෙන්වන්නට විය. දෙවන වටයේදී මිසයිලයේ මයික්‍රෝවේව් තරංගය කැමරා පවා විනාශකොට දැමීම නිසා පරීක්ශණ ප්‍රථිපල සජීවීව දැකබලාගැනීමේ අවස්ථාව පර්යේශකයින්හට අහිමි විය.

2 comments:

ඇමරිකානු ස්ටෙල්ත් ගුවන්යානා පරදවන්නට එන රුසියානු ස්ටෙල්ත් නාශක (Anti- Stealth) මිසයිල තාක්ෂණය.


ස්ථානය : ශුකෝෆ්ස්කී ජාත්‍යන්තර යුධ-අවි ප්‍රදර්ශණය, මොස්කව්, රුසියාව

ගුවන්යානා නවතා තැබීමට ඉදිකරන ලද දැවැන්ත හැඟර් ගොඩනැගිල්ල (aircraft hanger) නවීනතම යුධ අවි පිලිබඳ තොරතුරු ලබාදෙන කුටිවලින් පිරී ඇත. නවීනතම සන්නද්ධ රථවල කුඩා පරිමාණයේ ආකෘති, නවතම වෙඩි නොවදින සන්නාහ ඇඳුම් (bullet-proof body armour) , ඉතා නිවැරදිව ඈත එල්ලයන් හට වෙඩි තැබිය හැකි ලේසර් මගින් ඉලක්ක ගන්වන නවතම ස්නයිපර් තුවක්කු, රුසියානු ගගනවිද්‍යා තාක්ශණයේ නවතම නිර්මාණ වන අවරපෙති දෙකේ (co-axial twin rotor) ප්‍රහාරක හෙලිකොප්ටර්, රොකට් පද්ධති, මිසයිල පද්ධති නිපදවන සමාගම් වෙළඳකුටි ඉදිරිපත් කොට ඇති අතර, ජාත්‍යන්තර අවි ගැනුම්කරුවන්  සිය ප්‍රදර්ශණ කුටිවලට ආකර්ශණය කරගැනීමට සිය ආයුධවල ක්‍රියාකාරිත්වය පෙන්වාදෙන සජීවීකරණ ප්‍රචාරණ චිත්‍රපට හා එම ආයුධ යොදාගෙන සිදුකරණලද ක්ශේස්ත්‍ර පරීක්ශණ (field test)වල වීඩියෝ පට ප්‍රදර්ශණය කරති.

ප්‍රදර්ශණ කුටි තුල ආසියා, අප්‍රිකා හා මැදපෙරදිග රටවල අවි ගැනුම්කරුවන් හා නැගෙනහිර යුරෝපීය ගැනුම් කරුවන් නවීනතම රුසියානු යුධතාක්ශණය පිලිබඳ තොරතුරු එක් රැස් කරමින් සිටිති. මෙම වෙළඳ කුටි අතුරින් ඉරාණයෙන් පැමිණි ගැනුම්කරුවන් වැඩිමවේලාවක් ගතකල එක් වෙළඳ කුටියක් වන්නේ ගුවන්කළාප ආරක්ශණ පද්ධති (air-defense systems) නිර්මාණයේ දැවැන්ත රුසියානු සමාගමක් වන "ඇල්මාz-ඇන්ටේයි (Almaz-Antey)" සමාගමේ වෙළඳ කුටියයි.

ඩොලර් බිලියන 4කට වැඩි වාර්ෂික ආදායමක් ඇති මෙම සමාගමේ වෙළඳකුටියේ විශාල LED තිරයක දිවෙන පරිගණක සජීවීකරණයක් දෙස ඉරාණ ගැනුම්කරුවන් පිරිස නෙත් අයාගෙන බලාසිටී. එහි දිස්වෙන්නේ තවමත් සක්‍රිය සේවයට පවා එක් නොවුනු නවතම අමෙරිකානු ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන F-35 Lightening II යානයක් වෙත එල්ලවන මිසයිල ප්‍රහාරයකි. F-35, දැනට සක්‍රිය සේවයේ යොදවා ඇති F-22 ස්ටෙල්ත් යානයටත් වඩා නවතම නිර්මාණයකි. මක් 6ක්, එනම් ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයෙන් ඇදීයන මිසයිලය F-35 යානයේ වැදී එය ගිණිබෝලයක් වීමෙන් වීඩියෝව නිමාවෙයි. වීඩියෝව අවසානයේ ඉරාණ ගැනුම්කරුවන් වෙත සිනාමුසු මුහුණින් පැමිණෙන තරුණ රුසියානු අලෙවි නිළධාරියා වෙත ඉරාණ ගැනුම්කරුවන්ගෙන් ප්‍රශ්ණ වැළකි. ගගන විද්‍යා ඉංජිනේරුවෙකුද වන ඇල්මාz නියෝජිතයා ඉරාණ ගැනුම්කරුවන්ගේ ප්‍රශ්ණවලට ඉතා පැහැදිලි පිළිතුරු ලබාදෙයි. 

F-35 Lightening II

අමෙරිකානු ලොක්හීඩ් මාටින් සමාගමේ නිපදවන F 35, වසර 16ක් පුරාවට ඩොලර් බිලියන 396 ආයෝජනය කොට නිපදවන ලද අතිශය සංකීර්ණ, ස්ටෙල්ත් ප්‍රහාරක යානයකි. 

*** ශ්‍රී ලංකාවේ 2012 වසර සඳහා ඇස්තමේන්තු කරන ලද දළ ජාතික නිශ්පාදිතය ඩොලර් බිලියන 64ක් පමණකි - එනම් අමෙරිකාව F-35 යානය නිපදවීමට ලංකාවේ මුලු දළ ජාතික නිශ්පාදිතය මෙන් 6ගුණයක මුදලක් ආයෝජනය කොට ඇත.


රේඩාර් ජාළවලින් හොඳින් ආවරණය කරණලද සතුරු ඉලක්ක වෙත, එම රේඩාර් ජාළවලට හසුනොවී පියාසරකොට ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව ඇතුව නිර්මාණය කරන ලද F-35 යානය 2016ට පෙර සක්‍රිය සේවයට ඇතුලත්කරගැනීමට අමෙරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වෙයි.

Almaz-Antey S-300PMU Anti-Aircraft Missile System

S-300PMU ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය (නේටෝ සංවිධානය ලබාදී ඇති කේතය SA-21 Growler) ඇල්මාz සමාගමේ නවතම නිර්මාණයයි. ඉතාමත් වැඩි දියුණු කරන ලද මෙම පද්ධතියට විවිධ තරංග ආයාම වලින් සතුරුයානා සොයන රේඩාර් ඒකක 4ක් ඇති අතර මිසයිල විදින 4කින්ද (missile launchers) සමන්විතය. රේඩාර් පද්ධතියට එක්වර ඉලක්ක 100ක් පිලිබඳ අවධානයෙන් සිටිය හැකි අතර මිසයිල විදිනයට වෙනස් ඉලක්ක 4කට එකවර මිසයිල 4ක් මුදාහැරිය හැකිය.

S300 ගුවන්යානා නාශක මිසයිල පද්ධතියේ පූර්ණ ස්ථානගත කිරීමක් (A fully deployed S300 system)
නව රේඩාර් යන්ත්‍රවලට අමතරව S300 පද්ධතියේ මිසයිලවලට වැඩිදියුණු කරනලද ඉලක්ක සෙවුම් උපකරණ (target seeker) යොදා ඇත. මෙම seeker ඉතා සංවේදීවන අතර ස්ටෙල්ත් ගුවන්යානයකින් පරාවර්තනය වන ඉතා දුබළ රේඩාර් ඡායාවක් වුවද හඳුනාගත හැකි තරමට මේවා සංවේදී වේ. උදාහරණයක් ලෙස F-22 යානයේ ස්ටෙල්ත් තාක්ශණය නිසා එය මගින් ලබාදෙන රේඩාර් ඡායාව කුඩා ගොල්ෆ් බෝලයක් අහසේ ගමන් කරනවිට ලැබෙන රේඩාර් ඡායාවට සමාන බව පැවසේ. S300 පද්ධතියේ target seeker නිර්මාණයක් කොට ඇත්තේ මෙවැනි ඉතා දුබල රේඩාර් ඡායාවක් වුවද හඳුනාගෙන එයට ඉලක්ක කරගැනීමට හැකිවන ආකාරයටය.

Russian Anti-Stealth Technology

රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණය කොටස් දෙකකින් සමන්විතය. එකක් අධි-සංවේදී බහු-තරංග රේඩාර් (Super-sensitive, multi-band radar) පද්ධතියකින් සමන්විත වන අතර අනෙක් කොටස මිසයිල වලට ලබාදී ඇති අධි-සංවේදී ඉලක්ක සෙවුම් උපකරණයි (Super-sensitive X band seeker).

Super-sensitive, multi-band radar

රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණයේ වැදගත්ම කොටස වන්නේ අධිසංවේදී, බහු තරංග රේඩාර් පද්ධතියයි. මෙම පද්ධතිය, VHF, X band, S band හා L band තරංග පරාසවලින් සතුරු යානා සෙවීමට සමත්ය.

VHF තරංග මගින් ඉදිරියට එන සතුරු යානා හඳුනාගත හැකි අතර, S හා L තරංග නිකුත්කරන රේඩාර් මගින් යානාවල පැතිමගින් (sides) රේඩාර් තරංග පරාවර්තනය කොට ඡායාවක් ලබාදීමට හැකිය.මෙම බහු තරංග මගින් ලබාදෙන රේඩාර් පරාවර්තන ඩිජිටල් පරිවර්තක මගින් ඩිජිටල් සංඥා බවට හරවන අතර එම ඩිජිටල් සංඥා අතරින් ස්ටෙල්ත් යානාවලින් නිකුත්වන කුඩා රේඩාර් ඡායා හඳුනා ගැනීමට මෙම රේඩාර් පද්ධතියේ පරිගණක වැඩසටහන් වලට පුළුවන. ස්ටෙල්ත් යානයක රේඩාර් ඡායාවක් හඳුනාගත් වහාම එම තොරතුරු මිසයිල විදිනය වෙත යවන අතර විදිනය මගින් මිසයිලය ඉලක්කය වෙත එල්ල කොට දියත්කරයි.


Super-sensitive X band seeker + Mach 6 missile

මිසයිලය දියත්වුනු පසු, ඉලක්කය හඹායාමේ කාර්යය මිසයිලයේ ඇති ඉලක්ක සෙවුම් උපකරණයට (target seeker) භාරවෙන අතර මෙය X රේඩාර් සංඥාවලට සුපිරි සංවේදීත්වයක් දක්වයි. රේඩාර් පද්ධතියේ ඇති X කාණ්ඩයේ රේඩාර් තරංග, හඳුනාගත් යානය වෙත එල්ල කරන අතර එයින් පරාවර්තනය වන X කාණ්ඩයේ රේඩාර් තරංග ඡායා මිසයිලයේ target seeker මගින් හඳුනාගෙන මිසයිලයේ එල්ලය තබාගනී.

මෙම පද්ධතියේ අවසාන තාක්ශණික ජයග්‍රහණය වන්නේ මිසයිලයට ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයෙන් ඉලක්කය හඹායාමේ හැකියාවයි. මිසයිලයේ ඇති target seeker මගින් නිරන්තරවම මිසයිලය යානයවෙත ඉලක්ක කොට තබාගන්නා අතර අධික වේගය නිසා මිනිත්තු දෙක තුනකදී සතුරු යානය වෙත ලඟා වීමට මිසයිලයට හැකියාව තිබේ.

3 comments:

නට්සීන් තිබ්බතයෙන් කොල්ලකන ලද, උල්කාපාතයකින් නිර්මිත පිලිරුව බුදුන්වහන්සේගේ නොවේ?


1937වසරේදී හිට්ලර්ගේ නට්සි SS බළකාය විසින් ටිබෙට්දේශයෙන් කොළ්ලකා ජර්මනිය වෙත රැගෙන ගිය ප්‍රතිමාව බුදුන්වහන්සේගේ ප්‍රතිමාවක් නොවන බව බටහිර පුරාවිද්‍යාඥයින් ප්‍රකාශකරයි.

වසර 1000ක් පමණ පැරණි යයි සැලකෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ මීට වසර 15,000කට පමණ පෙර, දැන් නැගෙනහිර සයිබීරියාව හා මොන්ගෝලියාව අතර දේශසීමා ප්‍රදේශයට කඩාවැටුනු දැවැන්ත උල්කාපාතකින් ලබාගත් කොටසකිනි. මෙම උල්කාපාතයේ ශේෂවුනු කොටස්, 1913දී රන් ඉල්ලම් සොයමින් නැගෙනහිර සයිබීරියාවේ ගවේශණයක යෙදුනු කණ්ඩායමකට හමුවී ඇති අතර, ඔවුන් එම උල්කාපාතයේ කොටස් බටහිර පර්යේශණාගාරවලට යවා ඇත. එම පර්යේශණාගාරවල සිදුකරන ලද විශ්ලේෂණවලදී මෙම උල්කාපාතය අධික නිකල් හා යකඩ සංයුතියකින් යුතු ඉතා දුර්ලභ මිශ්‍රලෝහ වර්ගයකින් සෑදී ඇති බව සොයාගෙන ඇත.

1937 වසරේදී නට්සි ජර්මනියට ගෙනා මෙම පිලිරුව පිලිබඳ තොරතුරු අනාවරණය වූයේ එහි අයිතිකරු මියයාමෙන් පසුව එය උරුමවුනු ජර්මන් ජාතිකයා එම පිලිමය පිලිබඳව වැඩිදුර තොරතුරු සොයාගැනීම සඳහා ස්ටුට්ගාර්ට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එල්මාර් බුශ්නර් මහතාට ලබාදුන් පසුවයි. මෙම පිලිරුව නිර්මාණය කොට ඇති ද්‍රව්‍යයේ සංයුතිය මීට වසර 15,000පෙර කඩාවැටී, 1913වසරේ සොයාගත් උල්කාපාතයේ රසායනික සංයුතියට හැම අතින්ම සමානබව හෙලිවුනු විට ආචාර්ය බුශ්නර් හා ඔහුගේ පර්යේශණ කණ්ඩායම විමතියට පත්වුනා.

ඔවුන්ගේ මතයට අනුව, මෙම පිලිරුවේ නිර්මාපකයින් කඩාවැටුනු උල්කාපාතයෙන් ලබාගත් කොටසකින් මීට වසර 1000කට පමණ පෙර මෙම පිලිරුව නෙළා තිබෙනවා.

පිලිරුව බුදුන්වහන්සේගේ නොව උතුරු දෙසට අධිපති වෛශ්‍රවණ නම් බෞද්ධ රජුගේ?

පිලිරුව පිලිබඳව පර්යේශණ කරන විද්‍යාඥයින්ට අනුව මෙය බුදුන්වහන්සේගේ පිලිරුවක් විය නොහැක්කේ එම පිලිරුවෙන් බුදුවරයෙකුගේ රුවකින් විහිදුවන ශාන්තිය විහිදුවන ශාන්තිය වෙනුවට යම් ආකාරයක රාජාසනයක් අරා සිටින ප්‍රෞඩ පුද්ගලයෙකුගේ පෙනුමක් තිබෙන බැවිනි. එමෙන්ම ඔහු පාවහන් පැළඳගෙන සිටින ආකාරයක් පෙනෙන අතර බුදුන්වහන්සේ හෝ සංඝයාවහන්සේ පාවහන් පැලඳගෙන සිටින ආකාරය නිරූපනය වන පිලිම හෝ සිතුවම් ඇත්තේම නැති තරම්ය.

බෞද්ධ හා හින්දු ජනප්‍රවාද වලට අනුව වෛශ්‍රවණ බෞද්ධ හා හින්දු ජනප්‍රවාද වලට අනුව වෛශ්‍රවණ යනු චතුර්මහාරජවරුන්(සිංහල යෙදුමට අනුව සතරවරම් දෙවිවරු) ගෙන් එක් අයෙකි. ආළකමන්දා නම් නගරයක ජීවත්වන ඔහු යක්ශයින්ගේ අධිපතිවේ. බුදුන් සරණ ගිය උපාසකයෙකු ලෙස ථේරවාද බෞද්ධ දර්ශණයේ පිලිගැනෙන වෛශ්‍රවණ ඉතා ත්‍යාගශීලී වන අතර නපුරට එදිරිව සටන්වදින්නෙකු ලෙස ප්‍රකටය. වෛශ්‍රවණගේ ත්‍යාගශීලිත්වය නිරූපණය කිරීමට සමහර වෛශ්‍රවණ පිලිරූවල මුඛයෙන් රන්-රිදී ආභරණ විසිවෙන ආකාරයකින් නෙලා ඇති අතර ඔහ්ගේ සමහර පිලිරූවල මුගටියෙකු නෙලා ඇත. තන්හාව හා ක්‍රෝධය නිරූපනය කෙරෙන නාගයාගේ සතුරාවන මුගටියා වෛශ්‍රවන සමග නිරූපණයකොට ඇත්තේ ඔහු නපුරට එදිරිව සටන්වදින්නෙකු යන්න පිලිබිඹු කිරීමටය.

නට්සීන් තිබ්බතයේ ගවේශණවල යෙදුනේ ඇයි?

නට්සීන් විසින් ටිබෙට් දේශයේ සිදුකල ප්‍රධාන ගවේෂණ චාරිකාව 1938-1939 වසරවලදී සිදුකරන ලදී. අර්නස්ට් ශාෆර් නම් නට්සි සත්වවිද්‍යාඥයාගේ මූලිකත්වයෙන් සිදුකෙරුනු මෙම ගවේෂණ චාරිකාව නට්සීන්ගේ ප්‍රධානතම ආරක්ශක බලකායක් වූ SS බලකායේ ප්‍රධානී හෙන් රික් හිම්ලර්ගේ පෞද්ගලික අනුග්‍රහයෙන් සිදුවිය.

ගවේෂණය සඳහා මූල්‍යදායකත්වය ලබාදුන්නවුන් හට විවිධ විද්‍යාත්මක අරමුණු දක්වා සිටියත්, මෙම ගවේශණයේ සැඟවුනු අරමුණ වූයේ නස්ට්සීන් විශ්වාසකල පෞරාණික ආර්ය-ජර්මන් ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය ටිබෙට් සානුව බවට සමහර නට්සි විද්වතුන් තුල වුනු මතය සත්‍යය දැයි සොයාබැලීම බව පැවසෙනවා.









3 comments:

"LOOPER" කාළතරණය වටා ගෙතුනු ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය


වසර 2044 වන විට ලොව සුපිරිබලවතා වුනු අමෙරිකා එක්සත් ජනපදය පරිපූර්ණ ලෙසම ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් ගරාවැටීමක ආරම්භයට මුළපුරා ඇත. තවත් වසර 30ක ඇවෑමෙන් කාළතරණ තාක්ශණයක් නිර්මාණය කෙරෙන අතර දේශපාළන අධිකාරිය විසින් එය තහනම් කරයි. එහෙත් ආර්ථිකයමය හා දේශපාලනමය වශයෙන් ගරාවැටී ඇති ඇමරිකානු රජයට  මෙම තාක්ශණය වලළා දැමීමට නොහැකිවන අතර එය එරට පාතාලයේ ධනකුවේරයින් අතට පත්වේ.

ඔවුන් මෙම තාක්ශණය විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා භාවිතාකරන අතර මින් එක් කටයුත්තක් වන්නේ තම සතුරන් ඝාතනය කිරීමට පෙර අතුරුදහන් කිරීම සඳහායි. 2074 වනවිට ප්‍රවීක්ෂණ තාක්ශණය ඉතා ඉහල අඩියකට දියුණුවී ඇති අතර සෑම මිනිසෙකුගේ සිරුර තුලට උපතේදීම ඇතුලුකරන ක්ෂුද්‍ර පරිපථයක් (micro circuit) මගින් ජීවිතකාලයම ඔවුන්ව අධික්ශණය කරන අතර ජීවිත හානියකදී හෝ විශාල හදිසි අණතුරකදී වහාම මෙම පරිපථය මගින් බළධාරීන්ව දැනුවත්කරනු ලබනවා පමණක් නොව GPS තාක්ශණය මගින් සිරුර තිබෙන ස්ථානය පවා පෙන්වාදෙයි. මෙබැවින් පාතාල ධනකුවේරයින්ට සිය සතුරන් මරාද මා නීතියෙන් ගැලවී සිටීමේ අවස්ථාව අහෝසීවී ඇතර මෙයින් ගැලවීමේ මාර්ගයක් ලෙස ඔවුන් නීතිවිරෝධීව අතපත් කරගන්නාලද කාළතරණ තාක්ශණය යොදාගනී.

මරාදැමිය යුතු සතුරන් කාළතරණ තාක්ශණය ආධාරයෙන් වසර තිහක්, එනම් 2044 වසරට ආපසු යැවෙන අතර එහිදී ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනා, 2074වසරෙන් එවන ලද ඝාතකයෙකු ඔවුන්ව මරාදමයි.

Loopers ලෙස හැඳින්වෙන මොවුන් 2074වසරේ සිට වසර 30ක් අතීතයට (එනම් 2044ට) යවන අතර 2074 කාළවකවානුවේ නීතියෙන් ගැලවී වසර 30ක් අතීතයේ සැඟවී සිය මිනීමැරුම් සිදුකරයි. එහෙත් ලූපර්වරුන් නොදන්නා දෙයක්නම් ඔවුන්ගේ පාතාල සේවායෝජකයින් ඔවුනට ජීවත්විය හැකි කාළය සීමා කොට ඇති බවයි. වසර කිහිපයක් එක් ලූපර්වරයෙකුගෙන් සේවය ගන්නා පාතාලය ඔහු නැවතත් වර්තමානයට (එනම් 2074ට) පැමිණ මිනීමැරුම් හෙලිකරනු ඇතැයි යන සැකය මත ඔවුන්වද ඝාතනය කරවයි. මේ ඝාතනය සඳහා භාවිතාකරන්නේද එම ලූපර්වරයාගේම අනාගත ප්‍රතිමූර්තිය, එනම් අනාගතයෙන් එවන ඔහු විසින්මය...

ජෝ නම් ලූපර් චරිතයට පණපොවන බෲස් විලිස්, සිය ඝාතකයාවන, අනාගතයෙන් පැමිණි තමාගේම තරුණ රූපකාය අවන්හලකදී මුන ගැසෙයි.
පැටලිලි සහිතයි නේද? :)

X යනු පාතාලයට සේවය කරන ලූපර් ඝාතකයෙකු යයි සිතන්න. X ඉපදුනේ 2050වසරේදීය. 2074දී ඔහුගේ වයස 24ක් වන අතර ඔහු ලූපර් වරයෙකු ලෙස 2044ට, එනම් ඔහු ඉපදීමට වසර 6කට පෙර අතීතයට යයි. එහිදී සිය සේවායෝජකයා වෙනුවෙන් ඝාතනවල යෙදෙන ඔහු 2050 වසරේදී, එනම් ඔහු ඉපදෙන වසරේදී වර්තමාන X ලෙස වසර 30ක් ජීවත්ව ඇත (2074දී වයස 24යි +2044 සිට 2050 දක්වා වසර 6)

එමන්ම 2050වසරේදි Xගේ දෙමව්පියන්ට දාව X බිළිඳාද උපදී. ඒ අනුව කාළතරණයෙන් සිදුකෙරුනු විරෝධාහාසය (paradox) හේතුකොට ගෙන 2050 වසරේදී X වරුන් දෙදෙනෙකු ජීවත්වේ. අනාගතයෙන් පැමිනි 30හැවිරිදි X හා වර්තමානයේ X බිලිඳායි. මේ X බිලිඳාට වසර 20ක් වනවටදී මොහු ගැන සෙවිල්ලෙන් සිටින පාතාලය ඔහුව ඝාතකයෙකු ලෙස බඳවාගත්තා යයි සිතන්න.

එවිට X නමින් ලූපරුන් දෙදෙනෙකු සිටී. එනම් ඒවනවිට 50 හැවිරිදි X හා 20 හැවිරිදි X යන දෙදෙනායි.

20 හැවිරිදි X සිය අනාගත රූපකාය එනම් 50 හැවිරිදි X ගැන නොදන්නා අතර මෙම 20 හැවිරිදි X පාතාලය මගින් 50 හැවිරිදි X මරාදැමීමට යොදවාගනී.

මෙවැන්නක් සිදුවීමේදී ඇති තවත් විකාර රූපී ස්වභාවකයක් නම් මෙය මිනීමැරුමක් ලෙස අර්ථ දැක්වීමට නීතියට නොහැකිවීමයි.

Y විසින් X මරාදැමුනේනම් ‍Y මිනීමරුවෙකු ලෙස අර්ථදැක්විය හැකිය. එහෙත් X විසින් X මරාදැමූ විට එය සියදිවි හානිකරගැනීමක්ද? මිනීමැරුමක්ද?

ජීවත්වන X (තරුණ X) හා මියගිය X (50 හැවිරිදි X) දෙදෙනාම එක් අයෙකු. රූප දෙකක් වුව, කාළ දෙකකින් පැමිණියාවුවද ඔවුන් එකම පුද්ගලයාය. එහෙත් මළමිනියක් ඇති තැන, මළමිනිය ඇතිකල පුද්ගලයා (මිනීමරුවා) ජීවත්වනවිට ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල නොකර සිටිය හැකිද? එහෙත් චෝදනා ගොනුකරන්නේ කුමන පදනමකින්ද?

Paradoxes of time travel කාළතරණයෙන් බිහිවිය හැකි විරෝධාහාස ලෙස මෙම උභතෝකෝටිකයන් හඳුන්වයි.




මෙවැනි උභතෝකෝටිකයන් මෙන්ම දරුණු අපරාධකරුවන්ට, ජන ඝාතකයින්ට කාළතරණ තාක්ශණය ආධාරයෙන් මහා අපරාධ සිදුකොට වෙනත් කාළයකට පැනගොස් සැඟවිය හැකි නිසා කාළතරණ තාක්ශණයක් නිර්මාණය කල විගසම එය තහනම් තාක්ශණයක් ලෙස නම්කොට සදහටම වළලාදැමීමට දේශපාලන බළධාරීන් තීන්දුකරනු ඇතැයි විද්‍යා ප්‍රබන්ධ කරුවන් මෙන්ම බොහෝ විද්‍යාඥයින්ද විශ්වාස කරයි. විශේෂයෙන්ම අතීතයට ගොස් යම් යම් සිද්ධීන් වෙනස් කිරීමට උත්සහ කිරීමෙන්, අපගේ වර්තමානය මහත් ව්‍යසනයකට බඳුන්වේයයි විද්‍යාඥයින් තුල බියක් පවතී.

උදාහරණයක් ලෙස කාළතරණය උපයෝගීකරගෙන නට්සි මතවාදය දරන්නන් අතීතයට ගොස් හිට්ලර් හට දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට සහය දුන හොත් වසර 50ක අතීතය වෙනස් කිරීම තුලින් අප වර්තමානය කුමක් බවට පෙරලේද? අප කශණිකව නට්සීන් පාලනය කරන, ජර්මන් බස කතාකරන මහා නට්සි ජර්මන් අධිරාජ්‍යයේ වහලුන් බවට පත්වේද?

එපමණක් නොව, අතීතයට යන ජාතිවාදී වර්ගවාදී විකෘති මානසිකයෙකු බුදුන්වහන්සේ හෝ ජේසුස්වාමිදරුවන් හෝ මහම්මත්තුමා සිය ධර්ම ප්‍රචාර අරඹන්නට පෙර මරාදැමුවහොත් කුමක් සිදුවේද? එසේත් නැතිනම් සිදුහත් කුමරු කුස දරාගෙන සිටිනා මහාමායා දේවියට හෝ ජේසු බිළිඳුන් කුස දරාගෙන සිටින මරියමවුන් හට යම් අණතුරක් කල නොහැකිද? එවැන්නක් වලක්වන්නේ කෙසේද?



අපට හොරා අතීතයට ගොස් අපගේ වර්තමානය හා අනාගතය හිතූ හිතූ ආකාරයට වෙනස් කරන්නට කිසිවෙකුටත් ඉඩ දිය යුතුද? අපගේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් කාළත්‍රස්තවාදීන් සමග දිවි නොතකා සටන්කරන්නට යම් දිනක අපට සිදුවේවිද?

බුදුන්වහන්සේ, ජේසු මුණිතුමන්, මහම්මත් තුමන් ආරක්ශාකර ගැනීමට අනාගතයේ සිට ආරක්ශක බල ඇණි අතීතයට යවන්නට අපට සිදුවේවිද? අතීතයේ එවැනිදෑ සිදුවී ඇද්ද?

බුදුන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධකර ගැනීමට වීරිය වඩද්දී උන්වහන්සේට උදවු කල, දෙව් හා බඹුන් ලෙස බණපොතේ හඳුන්වන්නන් අතර උන්වහන්සේ බැහැ දැක දහම් ඇසීමට ආශාවෙන් අනාගතයට ගිය කාළ යාත්‍රිකයන් සිටියාද? තමන්ගේ සැබෑ තත්වය ඔවුන් බුදුන්වහන්සේට සැළකොට නොසිටින්නට ඇත්ද?

4 comments: