බොස්ටන් ත්‍රස්තවාදීන් ගැන කලින් සොයාගන්න බැරිවුනාට අපිට දොස් කියන්න එපා! : අමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර්...

ජේම්ස් ක්ලැපර් ජනපති ඔබාමා සමග සී.අයි.ඒ මූලස්ථානයේදී - 2011 (Photo Credit : CIA)
බොස්ටන් බෝම්බයෙන් පසු නැවතත් FBI, CIA, NSA, DIA වැනි අමෙරිකානු ඔත්තුසේවාවන්  වෙත අමෙරිකානු ජනතාවගෙන් මෙන්ම කොන්ග්‍රස් මණ්ඩළයෙන්ද දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබේ.

කලක් රහස් ඔත්තුසේවා පිලිබඳව සෙනෙට් මණ්ඩල සභාවේ (select committee on intelligence) නියෝජිතයෙකු වූන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් අමෙරිකානු ඔත්තුසේවා වලට පොදුවේ චෝදනා කරමින් කියාසිටියේ "අපි රැඩිකල් මුස්ලිම් වරුන් සමග යුද්ධයක් කරන අතරේ අමෙරිකාවේ ඔත්තුසේවා සිය වගකීම් හරිහැරි ඉටුකරලා තියනවද කියන එක ගැටළුවක්.." බවයි.

2011දී තමන් ටමර්ලන් සරනයෙෆ්ගෙන් රුසියානු රජයේ ඉල්ලීමකට අනුව ප්‍රශ්ණ කල බවත්, එහිදී රුසියානුවන් චෝදනාකල ආකාරයට ටමර්ලන් රැඩිකල් මුස්ලිම් අන්තවාදී අදහස් නොදරන බව තමන්හට අවබෝධවූයෙන් ඔහු ගැන වැඩිදුරත් සෙවීම අතහැර දැමූ  බවත් පිලිගත්තා.

අද (25/04) වොශිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකරන අන්දමට එෆ්.බී.අයි ආයතනය ටමර්ලින් සරනයෙෆ් ප්‍රශ්ණකිරීමෙන් මාස කිහිපයකට පසු සරනයෙෆ්ගේ තොරතුරු "Terrorist Identities Data Environment" නම් ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු පුද්ගලයන්ගේ දත්ත ගබඩාවට සී.අයි.ඒ සංවිධානයේ ඉල්ලීම අනුව ඇතුලුකරනු ලැබූ බව හෙලිකර සිටිනවා.

ඒ ටමර්ලන් පිලිබඳව 2011 තරම් ඈත කාළයේදී සිටම සී.අයි.ඒ සංවිධානයට සැකයක් ඇතිවී තිබුණු බැවින්. එපමනක් නොව, 2012 ජනවාරි මාසයේදී ටමර්ලන් සරන්යෙෆ් රුසියාවේ ඩගේස්ථාන් ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යනවිට, ඔහුගේ නම අමෙරිකානු ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුවේ අවධානය යොමුකලයුතු පුද්ගලයින්ගේ රතු ලයිස්තුවේ සටහන් වුනා.

එලෙස රතු ලයිස්තුවේ සටහන් වුනු ටමර්ලන්, රැඩිකල් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාතමක වන ඩගෙස්ථානයේ මාස 6ක්  ගතකොට ආපසු පැමිණිවිට ඒ මාස 6තුල ඔහු ඩගෙස්ථානයේ සිදුකලේ කුමක්ද, හමුවුනේ කවුරුන්ද,  ජීවත්වුනේ කා සමගද යනාදී වැදගත් කරුණු කිසිවක් සොයා බලන්නට ස්වේදේශාරක්ශක දෙපාර්ථමේන්තුව, එෆ්.බී.අයි ආයතනය, සී.අයි.ඒ ආයතනය වැනි දුසිම් ගණනක් අමෙරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන, මහජනයාගේ ආරක්ශාව පිලිබඳව වගකිවයුතු ආයතන අසමත්වී ඇතැයි අමෙරිකානු කොන්ග්‍රස් සභිකයින්, සෙනේට් සභිකයින් මෙන්ම මහජනතාවත් චෝදනා කරනවා.

මේ චෝදනාවලට පිලිතුරුදෙන අමෙරිකානු රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර් සඳහන් කරන්නේ, අමෙරිකානු ඔත්තුසේවා හා ආරක්ශක අංශවලට චෝදනා කරන්නට පෙර, එම ආයතනවලට අමෙරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු, පෞද්ගලික ක්‍රියාකාරකම්, අන්තර්ජාලයේ සිදුකරන ක්‍රියාකාරකම් පිලිබඳව රහසින් සොයා බලන්නට, තොරතුරු එක් රැස් කරන්නට ඉඩදෙන්නට අමෙරිකානු ජනතාව සූදානම්ද නැද්ද යන්න පිලිබඳව තීරණය කලයුතු බවයි.

ටමර්ලන් හා ඔහුගේ බාල සොයුරු zශෝකාර් බෝම්බ නිපදවමින් සිටියාද නැද්ද පිලිබඳව කලින් දැන ගන්නටනම් ඉතා බරපතල ලෙස ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ඔවුන්ගේ දුරකථන ඇමතුම්, ඊමේල් පණිවුඩ, සමාජ-ජාලවල තබන සටහන්, ඔවුන් යන එන තැන්, මිලදීගන්නා දේවල් මෙන්ම ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් පිලිබඳවත් සොයා බලන්නට සිදුවන බවයි. දැනට ඇති පුද්ගලිකත්ව නීති (privacy laws) වලට අනුව මෙවැනි තොරතුරු සොයාබැලීමක් සිදු නොකල හැකිබව ප්‍රකාශකරන ජේම්ස් ක්ලැපර්, තමා යටතේ ඇති සියලුම ඔත්තුසේවා රටේ නීතියට ගරුකරමින්, නීති නොකඩා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වූ බව සඳහන් කරනවා.

එහෙත් මෙම පැහැදිලි කිරීම් ප්‍රතික්ශේප කරන ස්වදේශාරක්ශාව පිලිබඳව කොන්ග්‍රස් මණ්ඩල අධීක්ෂණ කමිටුවේ වත්මන් සභාපතිදූරය හොබවන, කොන්ග්‍රස් සභික මයිකල් මැකෝල් පවසන්නේ අමෙරිකානු ඔත්තුසේවා හා ස්වදේශාරක්ශක දෙපාර්ථමේතුව හා ඒ යටතේ ඇති ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් හා වැදගත් තොරතුරු බෙදාහැරීමේ නිසි වැඩපිලිවෙලක් 2001 නිව්යෝර්ක් ප්‍රහාරයෙන් වසර 12ක් ගතවී ඇතත් තවමත් නොමැති බවයි.

උදාහරණයක් ලෙස ටමර්ලන් අමෙරිකාවෙන් ඩගෙස්තාන් වෙත නික්මයනවිට ඔහු අවධානයෙන් සිටියයුතු පුද්ගලයෙකු ලෙස අමෙරිකානු ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුවට අයත් ආගමන-විගමන හා දේශසීම පිලිබඳ ඒජනසිය (Immigration & Border Control Agency) ඔහුගේ නම හා විස්තර රතු ලයිස්තුවට ඇතුලත් කරනු ලැබුවා. එහෙත් ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුව මෙම තොරතුරු එෆ්.බී.අයි ආයතනයට, සී.අයි.ඒ ආයතනයට හෝ ත්‍රස්තක්‍රියා වැලැක්වීමේ කාර්යංශයට දැනුම් දී තිබුණේ නෑ.

කොන්ග්‍රස් සභික මැකෝල් චෝදනා කරන්නේ ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුව මෙම තොරතුරු සී.අයි.ඒ සංවිධානයට දැන්වූවානම් එම සංවිධානයේ රුසියානු කාර්යංශයේ ඔත්තුකරුවන් හට ටමර්ලන් ඩගෙස්තානයේ කුමක් කරන්නේදැයි සොයාබලන්නට තිබූ බවයි. එමෙන්ම ටමර්ලන් මාස 6කට පසු සියරට පැමිනි විගස එෆ්.බී.අයි ආයතනයට ඔහුව ප්‍රශ්ණකරන්නටත්, ඔහුගේ ක්‍රියාකාරකම් පිලිබඳව සෙවිල්ලෙන් සිටින්නටත් හැකියාව තිබුණු බවයි.

මේ සියල්ලටම අමතරව 2011 සැප්තැම්බර් මාසයේදී යලිත් රුසියානු ඔත්තුසේවය වන FSB ආයතනය ටමර්ලන් සරනයෙෆ් පිලිබඳව සොයා බලන ලෙස ඉල්ලීමක් සිදුකොට තිබෙනවා. රුසියානු ඔත්තුසේවා 2011 වසරතුලදී දෙවතාවක් ටමර්ලන් ගැන සොයාබලන ලෙස ඉල්ලා සිටියත් ඒ පිලිබඳව එතරම් උනන්දුවක් නොගත් එෆ්.බී.අයි ආයතනය, 2012දී ඉස්ලාම් භක්තිකයෙකු වුනු ටමර්ලන්, සිය බිරිඳ හා කුඩා දියණිය අමෙරිකාවේ තනිකොට දමා රැඩිකල් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මකවන ඩගෙස්ථානයේ මාස 6ක් වැනි දීර්ඝකාලයක් ගතකොට පැමිණිය ඒ පිලිබඳව සොයා බලන්නට පවා කිසිදු උනන්දුවක් නොදැක්වූ බවට අමෙරිකානු ජනතාව, විශේෂයෙන්ම බොස්ටන් බෝම්බයෙන් විපතට පත්වූවන් හා ඔවුන්ගේ ඤාතීන් චෝදනා කරනවා.

එහෙත් ජේම්ස් ක්ලැපර් මෙම චෝදනා ප්‍රතික්ශේප කරමින් කියා සිටින්නේ අමෙරිකානු ජනතාව දැඩිලෙස සිය පෞද්ගලික ජීවිතය හා රහස්‍ය භාවය ආරකශාකර ගන්නා ගමන්ම ටමරලන් වැනි පුද්ගලයින්ගේ සියලු ක්‍රියා පිලිබඳව සෙවිල්ලෙන් සිටින්නට අසමත්වූ බව චෝදනා කිරීම ඉතා අසාධාරණ බවයි. මුස්ලිම් වූවත් ටමර්ලන් හා ඔහුගේ සොයුරා අමෙරිකානු පුරවැසියන් බව අමතක නොකල යුතුයැයි ඔහු කියා සිටිනවා. අමෙරිකානුවන් රජයේ ඔත්තුසේවාවලට තම පෞද්ගලික ජීවිතය පිලිබඳව සොයා බැලීමට හා ර්හසේ තොරතුරු රැස්කරන්නට නීත්‍යානුකූල අවසරය ලබාදෙන්නේනම් අනාගතයේ ටමර්ලන් වැනි අමෙරිකානු පුරවැසි ත්‍රස්තවාදීන් කලින්ම හඳුනාගැනීමේ හැකියාව වැඩිවනු ඇතැයි ඔහු පවසනවා.




Comments