එතෙක් මෙතෙක් ලෝකයේ ජනප‍්‍රියතම වාහනය – TOYOTA COROLLA

1966 වසරේ එලිදැක්වුනු 1වැනි පරම්පරාවේ ටොයෝටා කොරොල්ලා රථය. TOYOTA TECNNO MUSEUM - Nagoya, Japan  | Image Credit : Wikimedia
කලින් කලට ලෝකයේ බොහෝ නිෂ්පාදන සිදුකරන අතරතුර ජපානය ගැන අභිමානයෙන් වැඩකළ කෙනෙක් ‘සකිචි ටොයොඩෝ’. හැම මොහොතකම ඔහු විශ්වාස කළේ ජපනුන්ගේ දෑත් වලින් නිෂ්පාදනයක් නිර්මාණය විය යුතුයි යන්නයි. ඒ නිසාම ඔහු වචනය වගේම ක්‍රියාවත් ඔප්පු කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරනවා.

ඔහු කළ ඒ නිර්මාණය ටොයොටා කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ නිසයි තවදුරටත් නිෂ්පාදන කාර්යයේ ‍යෙදෙන සකිචි ටොයොඩා තම ආදරණීය පුතණුවන් ‘කිචිරෝ ටොයොඩාට’ මෝටර් රථ නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ලබා දෙන්න උනන්දු වෙන්නේ. ඒ කිචිරෝ තුළින් අනාගතයේ මහා කර්මාන්තකරුවකු දැකපු නිසා.

තාත්තාගේ බලාපොරොත්තුව සනාථ කරමින් ලබා ගත් දැනුමත් එක්ක විවිධ අත්හදා බැලීම් කරන කිචිරෝ 1930 දී මෝටර් රථයකට අවශ්‍ය තාක්ෂණය සොයා ගන්නවා. අවුරුදු දෙකක උත්සහයත් එක්ක විසිදෙනෙකුගේ පමණ මහන්සියෙන් ඔවුන් කරන පළමු නිෂ්පාදනය වූයේ A1 කාණ්ඩ මෝටර් රථයයි. ‍ෙම්ත් සමඟ 1933 දී ‘ටොයොඩා’ මෝටර් රථ සමාගම ඔහු ආරම්භ කරනවා. ආරම්භයේදීම ‘ටොයොඩා’ පවුලේ නමින් සිය නිෂ්පාදන කළ අතරම 1936 සැප්තැම්බර් මස අලුත් නමක් සොයන්න ඔවුන් උත්සාහ කළා. පොදු ජනයාගේම හිතසුව පිණිස සිදුකරන නිෂ්පාදනයක් නිසාම කිචිරෝ පව‍ුලේ උදවියත් එක්ක අපූරු යෝජනාවකට එළැඹුණා. අලුත් නමක් ලෝගෝවක් වෙනුවෙන් මහජනයා අතර තරගයක් ආරම්භ කළා. විසිහත්දහසක නිර්මාණ අතරින් ඔවුන් සොයාගත් නාමය වුණේ ‘ටොයො‍ටා’ යි. ජපන් ක්‍රමයේ ටොයොටා යන්න අක්ෂර අටකින් හැදින්වූවා. අංක අට වාසනාව ගෙනෙන අංකයක් ලෙස ජපනුන් අතර ඇති විශ්වාසය නිසාම ටොයොටා මෝටර් රථ සමාගම ලෙස 1937 දී ලියාපදිංචි වෙන්න ගන්නවා.

E20 from 1970, 2nd Generation Corolla | Image Credit : Wikimedia
E80 from 1983, 5th Generation Corolla | Image Credit : Wikimedia
ටොයොටා කොරොල්ලා මුලින්ම ජපානය හඳුන්වා දෙන්නේ 1966 දී. කොරොල්ලා යන වදනෙහි තේරුම මලින් තැනූ ඔටුන්නක් වැනි හිස් පලදනාවක් යන්නයි. 1966 ඔක්තෝම්බර් මස එලිදැක්වුනු මුල්ම ටොයෝටා කොරොල්ලා රථය 110CC ධාරිතාවයකින් යුතු එන්ජිමකින් සමන්විතවුනා. මෙය E10 ලෙස ටොයෝටා සමාගම නම්තබා තිබුණා. 1974 වනවිට ටොයෝටා කොරොල්ලා මාදිලිය ලොව වැඩියෙන්ම අලෙවිවන වාහනය බවට පත්වෙනවා. ලෝකයේ රටවල් අතර ඉතාම හොඳින් අලෙවි වන වාහනය ලෙස ටොයොටා කොරොල්ලා අදටත් ලෝකයේ අංක එකේ රැඳී ඉන්නවා. 2013 ජූලි මාසය වනවිට පරම්පරා එකොළහක් පසු කරමින් මිලියන හතළිහකට අධික ටොයොටා කොරොල්ලා මෝටර් රථ පමණක් ලොව පුරා බෙදී ගොස් අවසන්.  2014 වසරේදී එලිදක්වන්නට නියමිත ටොයෝටා කොරොල්ලා රථය කොරොල්ලා පවුලේ 11වැනි පරම්පරාවේ (11 generation Toyota) රථය වන අතර එය E160 ලෙස නම්තබා තිබෙනවා.

E160, 2014 Toyota Corolla (USA Edition) | Image Credit : Wikimedia
1995 දී ලංකාවට එක ටොයොටා කොරොල්ලා මෝටර් ථයක වටිනාකම වුණේ රුපියල් ලක්ෂ 13 ක්. එහෙත් අද නවීන පන්නයේ වෙළෙඳ පොළට එන ටොයොටා කොරොල්ලා නවතම කාණ්ඩයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 80ටත් වැඩි මිලකට අලෙවි වෙනවා‍.

දිනෙන් දින එකතුවන නවතම තාක්ෂණයත් සමඟ වෙළෙඳ පොළ මෙන් ම ජනතා ආකර්ෂණය දිනාගත් කිචිරෝ ටොයොඩාගේ ටොයොටා මෝටර් රථ අද ලෝකයේ අංක එකේ නාමය බවට පත්ව අවසන්. 1894 ජුනි 11 ජපානයේ උපත ලද කිචිරෝ තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කරමින් මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්ත පෙරැළියක් කරමින් 1952 මාර්තු මස 27 දා සදහටම ජීවිතයෙන් සමුගෙන යන්නේ මෝටර් රථ නිෂ්පාදනයේ යුගයක් නිර්මාණය කළ යුග පුරුෂයකු විදිහටයි.

- වසන්ත ජයසිංහ ආරච්චිගේ / Silumina



Comments

  1. 110CC ධාරිතාවයකින් යුතු එන්ජිමකින් සමන්විතවුනා
    ????????????????

    ReplyDelete

Post a Comment