සිය පාසැල තුල වෙඩිතබා සමූළඝාතනයක් කරන්නට සැළසුම්කල අමෙරිකානු පාසැල් සිසුවියන් දෙදෙනා හා පාසැල ඝාතකාගාරයක් කල සිසුන් දෙදෙනා...

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මවුන්ටන් විස්ටා උසස් පාසැල, සිසුසිසුවියන් 2000ක් පමණ ඉගෙනුම ලබන මධ්‍යම ප්‍රමාණයේ  පාසැලකි. ලංකාවේ ක්‍රමය අනුව 10-11-12-13 ශ්‍රේණි,  එනම් සාමාන්‍යපෙල හා උසස්පෙල ලෙස හැඳින්වෙන ශ්‍රේණි ඒකාබද්ධ කොට පවත්වන පාසැල් අමෙරිකාවේ හයි ස්කූල් හෙවත් උසස්/ජෙශ්ඨ පාසැල් ලෙස හඳුන්වයි. මවුන්ටන් විස්ටා උසස් පාසැලද මෙවැනි පාසැල් දහස් ගණනකින් එකකි. එම පාසැල්වල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ගේ පැතුම උසස් පාසැල් ඩිප්ලෝමා විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමයි.



කෙසේවෙතත් අමෙරිකානු උසස් පාසැල් සිසුන් කලින් කලට පුවත් බිහිසුනු පුවත් මවනවා. අපහසුවකින් තොරව ගිණිඅවි ලබාගත හැකි රටක්වන අමෙරිකාව තුල වසර කිහිපයකකට වරක් උසස් පාසැලක් හෝ විශ්වවිද්‍යාලයක් තුල වෙඩිතැබීමේ පුවතක් වාර්තාවන අතර මින් බිහිසුණුම උසස් පාසැල් වෙඩිතැබීම සිදුවන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ කොලොම්බයින් උසස් පාසැලේ සිදුවූ වෙඩිතැබීමයි. 1999 අප්‍රේල් විසිවැනිදා කොලොම්බයින් පාසැලේ ජෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු වන එරික් හැරිස් හා ඩිලන් ක්ලෙබෝල්ඩ් කොලොම්බයින් පාසැල තුලට අවිආයුධ හා බෝම්බ තොගයක් ගෙනැවිත් බිහිසුණු වෙඩිතැබීමක් සිදුකොට සිසුසිසුවියන් දොලොස් දෙනෙකු හා එක් ගුරුවරයෙකු මරාදමා තමන්ද සිය දිවි හානිකර ගත්තා.

ජේෂ්ඨ සිසුන් වන එරික් හැරිස් හා ඩිලන් කීබෝල්ඩ් කොලොම්බයින් පාසැලේ ආපනශාලාවේ CCTV කැමරාවට හසුවූ ආකාරය.
එරික් හා ඩිලන් මෙම ඝාතනයන් සිදුකලේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් අභිරහසක් වුවත් ඔවුන් දෙදෙනා පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිවල ඔවුන් සමාජය කෙරෙහිත් තම පාසැල කෙරෙහිත් දැඩි වෛරයකින් පසුවූ බවට හෙලිවන සටහන් තබා තිබුණා. එම සටහන්වල පාසැලේ තමන් අකමැති සිසුන් හා ගුරුවන් හට මරණය කැඳවන බවට තර්ජන තිබූ අතර ඔවුන් පයිප්ප බෝම්බ ලෙස හඳුන්වන නිවසක සෑදිය හැකි සරල බෝම්බ නිශ්පාදනය කරමින් සිටින බවද සටහන් කොට තිබුණා. අදමෙන් අන්තර්ජාල භාවිතය පැතිර නොතිබුණු එම අවදියේ මෙම වෛරී සටහන් බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුන්ව තිබුනේ නෑ.

ඝාතනවලින් පසුව කෙරුණු පරීක්ශණ වලදී ඩිලන් හා එරික් විසින් ලියන ලද දිනපොත් හා ඔවුන් පටිගත කරන ලද වීඩියෝ රැසක් හමුවුනා. මෙම දිනපොත් වල සටහන් වන ආකාරයට ඔවුන් පාසැලේ විවේක කාලයේදී ආපනශාලාව තුල බෝම්බ පුපුරවා සියගණක් සිසුන් මරාදැමීමට සැළසුම් කොට තිබූ අතර මෙම බෝම්බ වලින් දිවිගලවා ගන්නා සිසුන් සොයමින් වෙඩිතැබීමටද සැලසුම් කොට තිබුණා. පොලීසිය හා හදිසි සේවා පාසැල වෙත ලඟාවූ පසු ඔවුන් බෝම්බ සවිකරන ලද සිය කාර් රථ මෙම පොලිස් හා හදිසිසේව රථවල හප්පවා ඔවුන් විශාල පිරිසක්ද මරාදැමීමට සැලසුම් කරන බව ලියා තිබුණා.

ඔවුන් එක් රැස්කල අවි ආයුධ හා බෝම්බ වීඩියෝවල පටිගත කල අතර ඒවා සිය නිවෙස් වල සඟවා ඇති ආකාරය මෙන්ම සිය නිවස ආසන්නයේ ඇති ලඳු කැලෑතුල වෙඩි තැබීමට පුහුණුවන ආකාරයද පටිගත කොට තිබුණා.
සිය පාසැල් මිතුරු මිතුරියන් සිය ගණනක් මරාදැමීමට සැලසුම් කොට අවසානයේ දොලොස් දෙනෙකු හා හා ගුරුවරයෙකු මරාදමා සියදිවි හානිකරගත් එරික් හැරිස් හා ඩිලන් ක්ලෙබෝල්ඩ් ඊට වසරකට පමණ පෙර ගන්නා ලද ඡායාරූපවල පෙනී සිටි ආකාරය. මෙම තරුණ සිසුන් දෙදෙනා මෙතරම් දරුණු මිනීමරුවන් වුනේ කෙසේදැයි තවමත් අභිරහසක්.
හැරිස් හා ඩිලන් 1999 අප්‍රේල් 20 වැනිදා කොලොම්බයින් පාසැලෙන් තරමක් ඈත පිටියක බෝම්බයක් පුපුරුවා හැරියේ පොලිසියේ අවධානය වෙනතක යොමු කිරීමයි. එම බෝම්බය පුපුරා යන අතර වාහන දෙකකින් පාසැල වෙත පැමිණි හැරිස් හා ඩිලන් බෑග් දෙකක් තුල සැඟවූ බෝම්බ දෙකක් රැගෙන ආපන ශාලාව වෙත පැමිණියා. පෙරවරු 11.17ට පුපුරා යාමට සකස් කොට තිබූ එම බෝම්බ දෙක කුඩා ගෑස්ටැංකි වටා ඩයිනමයිට් අසුරා සකස් කොට තිබූ අතර එම බෝම්බ දෙක සැලසුම් කල ආකාරයට පුපුරා ගියේනම් ඒ වනවිට ආපන ශාලාවේ ආහාරගනිමින් සිටි සිසුසිසුවියන් 400කට අධික පිරිසෙන් විශාල පිරිසක් මරණයට පත්වීමට හා ඉතිරිය බරපතල තුවාල ලැබීමට ඉඩ තිබුණා.

බෝම්බ සහිත බෑග් ආපනශාලාවේ තැබූ ඩිලන් හා හැරිස් නැවතත් සිය වාහන වලට ගියේ බෝම්බ පුපුරා ගිය පසු එම ස්ථානයෙන් එලියට දිව එන්නවුන්ට වෙඩි තැබීමටයි. කෙසේ වෙතත් එම බෝම්බ දෙකම පුපුරා නොගිය නිසා මහා විනාශයක් වැලකුණු අතර බලාපොරොත්තු කඩවුනු ඩිලන් හා හැරිස් සිය වාහන තුල තිබූ තුවක්කු රැගෙන ආපනශාලාව වෙත ගියේ හැකිතාක් මරාදමා තමන්ද මිය යාමට කතිකාකරගෙනයි. ආපනශාලාවට ඇතුලුවූ ඔවුන් නෙත ගැටන සෑම දෙනෙකුටම වෙඩි තැබූ අතර පසුව ආපනශාලාවේ මේසයෙන් මේසයට යමින් සැඟවී සිටින්නන් සොයමින් වෙඩි තැබුවා.

ඉන් පසු පුස්තකාලය වෙත ගිය හැරිස් හා ඩිලන් එයතුල සිටියවුන්ටද වෙඩිතැබූ අතර කිහිපදෙනෙකු මරාදැමුවා. ඉන් පසු පාසැල පුරා ඇවිදිමින් සැඟව සිටියවුන් වෙත උසුලු විසුලු කරමින් ඉවක් බවක් නැතිව වෙඩි තැබූ හැරිස් හා ඩිලන් පුස්තකාලය අසලදී එකවිට වෙඩිතබාගෙන සිය දිවිහානි කරගත්තා.

පාසැලේ ඉතා ක්‍රියාශීලී සිසුන් වූ ඩිලන් හා හැරිස් පාසැලේ නාට්‍යවල රඟපෑ අතර පාසැලේ වීඩියෝ රූගත කිරීමේ කණ්ඩායමේ සිටි අතර පාසැලේ පරිගණක පද්ධතිය පවත්වාගැනීමට උපකාරීවුනු පරිගණක ශිල්පීන් දෙදෙනෙකුද වූවා. හොඳ අනාගතයක් තිබූ, ස්ථාවර පවුල් වල දරුවන් වන මේ දෙදෙනා බිහිසුණු මිනීමරුවන් බවට පත්වූයේ කෙසේදැයි තවමත් පැහැදිලි නෑ.

ඔවුන් සිය ඝාතන ක්‍රියාත්මක කරන ආකාර පිලිබඳ විස්තරාත්මක සටහන් තබාගෙන සිටියත් ඔවුන් එවැන්නක් සිදුකරන්නේ ඇයිද යන්න ගැන තොරතුරු සටහන් කොට ඇත්තේ ඉතා අඩුවෙන්. අමෙරිකාව තුල සිදුවූ ප්‍රථම ත්‍රස්ත ප්‍රහාරය වන ඔක්ලහෝමා නගරයේ සිදුවූ දැවැන්ත බෝම්බ ප්‍රහාරය මෙන් සදාකල් මතකයේ රැඳෙන යමක් කරන්නෙමුයි යන්න ඔවුන් සිය දිනපොත්වල සටහන් කොට තිබුණා. මොවුන් දෙදෙනා හිට්ලර්ගේ නට්සිවාදය පිලිගත් බවත් නිතරම නට්සි ආචාරක්‍රමයට (Nazi Salute) ආචාර කරනබවත් ඒ අනුව පාසැලේ අනෙක් සිසුන්ගේ දෝෂදර්ශණයට බඳුන්වූ බවත් පැවසෙනවා. මෙම ප්‍රහාරය සිදුකල දියනවූ අප්‍රේල් 20 හිට්ලර්ගේ උපන්දිනය වීම තවත් සුවිශේෂී දෙයක්.

කෙසේවෙතත් පාසැල තුල සිසුනට හිරහැර කිරීම (bullying) විශාල ලෙස පැතිර තිබූ බවත් ඒවා නැවැත්වීමට ගුරුවරුන් හෝ විදුහල්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවටත් කොලොම්බයින් සංහාරය පිලිබඳව ලියැවුනු පර්යේෂණ පත්‍රිකාවල සටහන් වනවා. එරික් හා ඩිලන් නිතරම හිරිහැරයට පාත්‍රවූ බවත් දාමරික සිසුන් කල්ලි නිතරම ඔවුන්ට හිරිහැර කල බවත් පැවසෙනවා. මින් එක් අවස්ථාවකදී දාමරික සිසුන් කල්ලියක් ඩිලන් හා එරික්ව තක්කාලි සෝස් වලින් නෑවූ බවත් මුලු දවසම තක්කාලි සෝස් තැවරුණු ඇඳුම් පිටින් ඔවුන් පාසැලේ ගතකල බවත් වාර්තාවනවා. ඔවුන් මුලු පාසැලට වෛරකරන්නට මෙවැනි හිරිහැර කිරීම් හේතුවූ බව පැවසෙනවා.

මේ අතර එරික් හා ඩිලන්ගේ දිනපොත් හා සටහන් පර්යේෂණයට බඳුන්කල මනෝවිද්‍යාඥයින් ඔවුන් දෙදෙනාටම ගැඹුරු මානසික සංකූලතා තිබූ බවටත්, ඒවා සඟවාගෙන සාමාන්‍ය ලෙස ජීවත්වන අතර මහා ලේවැගිරුමක් සැලසුම් කිරීමට ඔවුන් දක්ශවූ බවත් සටහන් කොට තිබෙනවා.

ඩිලන් හා හැරිස් විරුවන් ලෙස සලකමින් ඔවුන් කල ආකාරයටම සිය පාසැල විනාශකොට දැමීමට සැලසුම් කල 16 හැවිරිදි බෲක් හා සියෙනා.

මවුන්ටන් විස්ටා උසස් පාසැලේ සිසුවියන් වන 16 හැවිරිදි බෲක් හිගින්ස් හා සියෙනා ජොන්සන්

16 හැවිරිදි බෲක් හිගින්ස් හා සියෙනා ජොන්සන් ඉගෙනුම ලබන මවුන්ට් විස්ටා උසස් පාසැල පිහිටා තිබෙන්නේ එරික් හැරිස් හා ඩිලන් ක්ලෙබෝල්ඩ් මහා විනාශයක් කල කොලොම්බයින් උසස් පාසැලට සැතපුම් 10ක් පමණ එපිටින්. වසර කිහිපයක සිටම එරික් හා ඩිලන් කොලොම්බයින් පාසැලේ සිදුකල "වික්‍රමය" පිලිබඳව සොයාගත හැකි සෑම විස්තරයක්ම කියවූ බෲක් "මටත් එරික් හා ඩිලන් සමග එක්ව කොලොම්බයින් පාසැලේ විනාශයට සහභගී වන්නට තිබුණානම් කොතරම් අගනේදැයි" සිය දිනපොතේ සටහන් කොට තැබුවා.

බෲක් හිගින්ස් ගේ මේ උන්මාදය බෙදා ගැනීමට එම පාසැලේම සමවයස් සිසුවියක් වූ සියෙනා ජොන්සන් එක්වූ අතර ඔවුන් දෙදෙනා කොලොම්බයින් සංහාරය (Columbine Massacre) වැනිම සංහාරයක් සිය පාසැලේද සිදුකිරීමට සැළසුම් සකස්කරමින් සිටි බව නිර්නාමික ඔත්තුවක් අනුව ඔවුන් අත් අඩංගුවට ගත් පොලීසිය ප්‍රකාශකලා.

බෲක් අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාරයින්ට තුවක්කු මිලදීගත හැකි ආකාරය පිලිබඳව සොයාබලා ඇති අතර කාන්තා සමූහඝාතකයින් ගැනද සොයාබලා තිබෙනවා. ඇයගේ සහයිකාව වූ සියෙනා සිය පාසැලේ සිතියමක් සකස් කොට ආරක්ශක නිළධාරීන් සංචාරය කරන ස්ථාන හා වේලාවන් පිලිබඳව සෝදිසියෙන් සිටිමින් සටහන් තබා තිබෙනවා.

ඒ අතරම සියෙනාද ගිණිඅවි මිලිදීගැනීම සඳහ තොරතුරු සොයමින් සිට ඇති අතර ඇය කුරුල්ලන් වෙඩිතබන (BB Gun/Air Rifle) තුවක්කුවක් මිලදීගෙන ඉලක්කයට වෙඩිතැබීම පුහුණු වෙමින් සිට තිබෙනවා.



මේ සටහන තබන මොහොත වනවිටත් බෲක් හා සියෙනාගේ සැළසුම්වලට හේතුව හෝ ඔවුන්ගේ අරමුණු පැහැදිලිවී නැහැ. කොලරාඩෝ පොලීසිය සිසුවියන් දෙදෙනාටම මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම හා එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම යන චෝදනා මත නඩුපවරා තිබෙන අතර උසාවිය දෙදෙනාටම ඩොලර් මිලියනයක ඇප නියම කොට තිබෙනවා. සිසුවියන්ගේ නීතිඥයින් පවසන්නේ ඔවුන් නීතිවිරෝධී කිසිවක් සිදුකොට නොමැති බවත්, තොරතුරු සොයාබැලීම හෝ දිනපොත් සටහන් තැබීම සමූළඝාතන සැලසුමක් ක්‍රියාත්මක කිරීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments