Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 30 January 2016

ලංකා තොරතුරු තාක්ශණ කර්මාන්තයට යෝජිත ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුම මගින් ඇතිකල හැකි බලපෑම

මෙම ලිපිය, ලංකාවේ තොරතුරු තාක්ශණ සමාගමක් වන WSO2 සමාගමේ නිර්මාතෲ, සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරන සංජීව වීරවර්ණ මහතා සිය පෞද්ගලික බ්ලොග් අඩවියෙහි 27/01/2016 දින "Understanding the (Sri Lankan) IT Industry" යන ශීර්ෂපාඨයෙන් පලකරන ලද ලිපියේ පරිවර්තයකි. දීර්ඝ ලිපියක් වන එය මෙහි සංශිප්තව දක්වා ඇති අතර මෙහි පලවන අදහස් සංජීව වීරවර්ණ මහතාගේ අදහස් වන අතර ඒවා කිසිදු ආකාරයකින් වෙනස් නොවන අන්දමට පරිවර්තනය කිරීමට උත්සහ ගෙන ඇත. ඉංග්‍රීසි භාශාවෙන් පලකොට ඇති එම ලිපිය මෙතනින් කියවන්න.

පසුගිය සති තුනක පමණ කාලය තුල ලංකාවේ තොරතුරු තාක්ශණ කර්මාණ්තයේ නියුතු වෘත්තිකයින් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඉන්දියාවත් ලංකාවත් අතර ඇතිකරගන්නට බලාපොරොත්තුවන ආර්ථික ගිවිසුම (ECTA) මගින් ලංකාවේ තොරතුරු තාක්ශණ කර්මාණ්තයට ඇතිකල හැකි සෘණාත්මක බලපෑම පිලිබඳ ඇතිවී ඇති විවාදය මෙම නොසන්සුන්තාවයට හේතුවී තිබෙනවා.

මේ නිදහස් වෙළඳ ගිවිසුමට අනුව ඉන්දියානු තොරතුරු තාක්ශණ වෘත්තිකයින් හට ශ්‍රී ලංකාව තුල බාධාවකින් තොරව රැකියා සොයාගැනීමට හැකිවන බවට වාර්තාවෙනවා. ලංකාවේ තොරතුරු තාක්ශණ කර්මාණ්තය ගැන යම් දැනුමක් මෙන්ම මගේම අදහස්ද ඇති බැවින් ඒවා මෙසේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මා ECTA ලෙස හඳුන්වන වෙළඳ ගිවිසුම පිලිබඳව තොරතුරු නොදන්නා අතර රජය එම තොරතුරු ජනතාවට හෙලිනොකිරීම වරදක් ලෙස දකිනවා.

කෙසේ වෙතත් මේ ගිවිසුම පිලිබඳව හා එහි අයහත් ප්‍රථිපල පිලිබඳව විවිධ දේශපාලඥයින්, බහුශ්‍රැතයින් යයි කියාගන්නා පිරිස් (various pundits) මෙන්ම සාමාන්‍ය ජනයාද විවිධ අදහස් පළකරනවා.

ඔවුන් පලකරන අදහස් වලට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණ වෘත්තික ප්‍රජාව;

1] සිය රැකියා ඉන්දියානුවන් විසින් අත්පත් කරගනී යයි දැඩි බියකින් පසුවනවා (Scared to their wits that their jobs will be taken by Indians)

2] ලෝක තරඟකාරිත්වයෙන් රජය ඔවුන්ව ආරක්ශාකරගත යුතුයැයි බලාපොරොත්තු වනවා. (Looking for the state to give them protection from global competition)

3] ඉන්දියානු සහය නොමැතිව ලෝක තොරතුරු තාක්ශණ කර්මාන්තය ජයගැනීමට නොහැකි පිරිසක් වනවා. (Unable to compete with the world's IT industry without help from Indians)

4] සිය රටට ආදරයක් නොමැති, නොමිළයේ අධ්‍යාපනයෙන් පසු පිටරටට සංක්‍රමණයවීමට බලාගෙන සිටින පිරිසක් වනවා. (Unpatriotic because a lot of them leave the country after getting quality free education)

5] යථාර්ථවාදී නොවන ලෝකයක ජීවත්වන පිරිසක් වනවා. ඒ විශ්වවිද්‍යාලයෙන් පිටවූ වහාම ලැබුණු රු.150,000පමණ වේතනයක් ලබන සුළුතරයක් සිටින බැවිනුයි. (Living in a bubble because some of them get paid Rs. 150k/month straight out of university)

මේ බ්ලොග් ලිපියේ අරමුණ "ශ්‍රී ලාංකික තොරතුරු තාක්ශණික කර්මාන්තය" පිලිබඳව තිබෙන මිත්‍යා විශ්වාස හැකිතාක් දුරුකොට පොදුජනතාව දැනුවත් කිරීමයි. මෙම ලිපියතුල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණ කර්මාන්තය මට පෙනෙන ආකාරයට බෙදා වෙන්කොට කෙටි විග්‍රයක යෙදෙන අතර ඒ සෑම අංශයකටම ඇතිවිය හැකි ඉන්දියානු බලපෑම පිලිබඳව මාගේ අදහස ඉදිරිපත් කරනවා. මේ අදහස් සම්පූර්ණයෙන්ම මාගේ (එනම් මේ ලිපියේ කතෘ සංජීව වර්ණවීරගේ) වන අතර ඒවා විවේචනයට විවෘත වනවා.

මාගේ දැක්මේ හැටියට තොරතුරු තාක්ශණ කර්මාණ්තය පහත ලෙස වර්ගීකරණය කල හැකියි.

Hardware Resellers/Vendors (දෘඩාංග නැවත විකුණන්නන් හා වෙළෙන්දන්)
Hardware Manufacturers (දෘඩාංග නිශ්පාදකයින්)
Software Resellers/Vendors (මෘදුකාංග නැවත විකුණන්නන් හා වෙළෙන්දන්)
Software Manufacturers (මෘදුකාංග නිශ්පාදකයින්)
System Integrators - Local Market Focused (දේශීය වෙළඳපොල ඉලක්ක කරගත් තොරතුරු තාක්ශණ පද්ධති ඒකාගෘහිත කරන්නන්)
System Integrators - Outsourcers (විදේශීය ගැණුම් කරුවන් ඉලක්ක කරගත් තොරතුරු තාක්ශණ පද්ධති ඒකාගෘහිත කරන්නන්)
Enterprise Internal IT Teams (සමාගම් තුල සේවයේ නියුතු තොරතුරු තාක්ශඥයින්) 
IT Enabled Services (ITES) and Business Process Outsourcers (BPO) (තොරතුරු තාක්ශණයෙන් බළගැන්වෙන සේවා හා ව්‍යාපාර ක්‍රියාවලි සේවාවන් සපයන්නන්)
Universities (විශ්වවිද්‍යාල)
IT Training Institutes (තොරතුරු තාක්ශණ පුහුණු ආයතන)

Hardware Resellers/Vendors (දෘඩාංග නැවත විකුණන්නන් හා වෙළෙන්දන්)

මේ අංශයේ ප්‍රධාන සමාගමක් වන අයි.බී.එම් සමාගම ශ්‍රී ලංකාව තුල වසර 40ක කාලයක සිට ක්‍රියාත්මක වනවා. අයි.බී.එම් සමාගම මෙරටට පැමිණෙන්නට ඇත්තේ මහ බැංකුව හා වෙනත් විශාල රාජ්‍ය ආයතන අයි.බී.එම් මේන්ෆ්‍රේම් පරිගණක මිළදී ගැනීමෙන් පසුව වන්නට ඕනෑ. මීට අමතරව 70 හා 80 දශකවල ඩෙටා ජෙනරල්, වෑන්ග් වැනි, දැන් අක්‍රිය සමාගම්ද ලංකාව තුල ක්‍රියාත්මක වුනා.

මොවුන්ගේ ව්‍යාපාරික මොඩලය වන්නේ පිටරටින් පරිගණක පද්ධති ගෙනවිත් මෙරට විකුණා අදාල සේවා සැපයීමයි. සම්පූර්ණ පරිගණක මෙන්ම පරිගණක කොටස් හා උපාංග ආනයනය කොට වෙළඳාම් කරන විශාල ප්‍රජාවක්ද මෙම කර්මාන්තයේ සිටිනවා. මොවුන් බොහෝදෙනෙකු බම්බලපිටියේ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අපට හමුවනවා.

මා දන්නා පරිද්දෙන් මයික්‍රෝමැක්ස් ජංගම දුරකථන හැරුනකොට ඉන්දියානු සන්නාම සහිත පරිගණක හෝ උපාංග ලංකාවතුල අලෙවි වන්නේ නෑ. ඒ අනුව මට පෙනෙන ආකාරයට ඉන්දියානුවන් මෙහි පැමිණීම කර්මාණ්තයේ මෙම අංශයට වැඩි බලපෑමක් නෑ.

Hardware Manufacturers (දෘඩාංග නිශ්පාදකයින්)

මොවුන් යම් ආකාරයක පරිගණක හෝ තොරතුරු තාක්ශණ මෙවලමක් නිශ්පාදනය කොට දේශීයව හෝ විදේශීයව අලෙවි කරනවා. කෙසේවතත් තොරතුරු තාක්ශණක ලෝකයේ කිසිම මෙවලමක් එක් සමාගමකට සම්පූර්ණයෙන් නිශ්පාදනය කිරීමේ හැකියාවක් නෑ. සුප්‍රකට ඇපල් අයිෆෝනය පවා රටවල් ගණනාවක නිශ්පාදනය කරන කොටස් චීනයේ එකලස් කොට නිමැවෙනවා.

මා දන්නා පරිද්දෙන් ලංකාවේ දෘඩාංග නිශ්පාදනය හෝ එකලස් කිරීමේ සමාගම් තිබෙන්නේ අතලොස්සයි. සමහරක් සමාගම විශේෂිත දෘඩාංග (සුපිරි වෙළඳසැල් වල ඇති පරිගණක-ගත කැශියර් යන්ත්‍ර වැනි ) එකලස් කරනවා.

මාගේ අදහසේ හැටියට දෘඩාංග නිශ්පාදන කර්මාණ්තයේ නියුතු වෘත්තිකයින්ටද ඉන්දියානුවන් මෙහි පැමිණීමෙන් වැඩි බලපෑමක් ඇතිවන්නේ නෑ. මන්දයත් දෘඩාංග ඉන්ජිනේරුකරණය ඉතා විශේෂිතවූ, පුහුණු ශ්‍රමිකයින් හිඟ වෘත්තියක්. මේ වෘත්තියේ පුහුණුව ලැබූ ඉන්දියානුවන් ලංකාවට එනවාට වඩා අමෙරිකාවට හෝ යුරෝපයට රැකියා සඳහා යෑමේ ප්‍රවණතාවය ඉතා වැඩියි.

ඒ වගේම ලංකාවෙන් බිහිවන ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරු උපාධිධාරීන්ටද ශ්‍රී ලංකාව තුල රැකියා අවස්ථා හිඟවන්නේ ලංකාව තුල ඉලෙක්ට්‍රොණික උපාංග නිශ්පාදන කර්මාණ්තයක් නොමැති බැවිනුයි. 

Software Resellers/Vendors (මෘදුකාංග නැවත විකුණන්නන් හා වෙළෙන්දන්)

මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා ශාඛාව ප්‍රධාන සිය ගණනක් විදේශීය මෘදුකාංග සමාගම් නියෝජනයකරන දේශීය ඒජන්තයින් මෙම අංශයේ සිටින අතර මොවුන්ගෙන් කිහිපදෙනෙකු ඉතා හොඳ තත්වයේ ඉන්දියානු මෘදුකාංග අලෙවිකරනවා. ලංකාවේ බැංකු ගණනාවක් භාවිතා කරන, ඉන්දියාවේ ඉන්ෆොසිස් සමාගම නිශ්පාදනය කරන ෆිනකල් බැංකු සේවා මෘදුකාංගය එක් ඉන්දියානු උදාහරණයක්.

හොඳින් ස්ථාපනය කොට භාවිතාකරන විට මෘදුකාංග, ආයතනයක ඵලදායිතාවය ඉහල නංවන අතර එබැවින් මාගේ මතය අනුව හොඳ තාක්ශණයේ ඉන්දියානු මෘදුකාංග   ලංකාවට ගෙනැවිත් අලෙවියට ඉඩදිය යුතුයි. ලංකාවේ ආයතනවල ඵලදායිතාවය ඉහල නැංවීමට උපකාරිවීමෙන් ලංකාවට යම් වාසියක් ගෙනදෙනවා. එම මෘදුකාංග සඳහා සේවා සැපයිමට ඉන්දියානුවන් පැමිණිය යුතුනම්, එයද ගැටලුවක් නෑ.

ඒ අනුව තොරතුරු තාක්ශණ කර්මාණ්තයේ මෙම අංශයට ඉන්දියානු සමාගම් පැමිණීම එතරම් ගැටලුවක් නෑ. මෙම ඉන්දියානු මෘදුකාංග විකිණීම සඳහා ඉන්දියානු අලෙවිකරණ ඉන්ජිනේරුවන් පැමිණෙන්නේ නම් එයද ගැටලුවක් නෑ. මෘදුකාංග අලෙවිකරණයේදී සේවාලාභියාගේ ගැටලු විසඳාලීමේ හැකියාව ඇති දක්ශ අලෙවිකරණ ඉන්ජිනේරුවන් අත්‍යාවශ්‍යයි. හොඳ අලෙවිකරණ ඉන්ජිනේරුවන් නොමැතිව මෘදුකාංග අලෙවිකිරීමට තැත්කිරීම පලදායි නොවන බව මා අත්දැකීමෙන් දන්නවා. දක්ශ වෘත්තිකයින් ඕනෑම රටක් සාදරයෙන් පිලිගන්නවා.

Software Manufacturers (මෘදුකාංග නිශ්පාදකයින්)

යම් මෘදුකාංගයක් නිර්මාණය කොට විකිණීම මෙම කර්මාණ්තයේ ව්‍යාපාරික ආකෘතියයි. බොහෝ සමාගම් දැන් මෘදුකාංග සේවාවක් ලෙස (Software as a Service - SaaS) වෙළඳාම්කරනවා. මෙම කර්මාණ්තයේ ඉදිරියට යෑමට ඉතා හොඳ මෘදුකාංග නිර්මාණය අත්‍යාවශ්‍යයි. අඩුම ගණනේ හොඳ තත්වයේ මෘදුකාංග තරඟකරුවන්ට වඩා ලාභයට ලබාදීම සිදුකල යුතු වනවා. හොඳ මෘදුකාංග නිර්මාණයට තරඟකරුවන්ට වඩා නිර්මාණශීලී, වඩා හොඳ නවමු නිර්මාණ සිදුකරන තාක්ශණඥයින් අවශ්‍යයි. අදවනවිට මෘදුකාංග කර්මාණ්තයේ ඉතා කුඩා සමාගම්වලට පවා ලෝක මෘදුකාංග වෙළඳපොල් තරඟ කිරීමට සිදුව ඇත්තේ ලොව ඕනෑම ගණුදෙනුකරුවෙකුට අන්තර් ජාලය හරහා සේවාවක් ලෙස මෘදුකාංග සපයන්නන්ගෙන් සිය මෘදුකාංග අවශ්‍යතා ඉටුකරගත හැකි බැවිනුයි. ඒ අනුව ඉන්දියානුවන් පැමිණියත් නැතත් ලංකාවේ කුඩා මෘදුකාංග සමාගම්වලට පවා ලෝක තරඟයෙන් ආරක්ශාවීමේ හැකියාවක් නෑ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණ වෘත්තිකයින් හා සමාගම් තේරුම් ගතයුතු එක් වැදගත් සත්‍යයක් වන්නේ ලංකාවේ එක් සමාගමකට හෝ තොරතුරු තාක්ශණ විශේෂඥයෙකුට යම් මෘදුකාංග නිර්මාණයක් පිලිබඳව යම් අදහසක් පහලවී ඇත්නම්, බොහෝ අවස්ථාවලදී අමෙරිකානුවෙකුට, යුරෝපීයයෙකුට හෝ ඉන්දියානුවෙකුටද එම අදහසම ඇතිවිය හැකි බවයි.

ලංකාවේ මෘදුකාංග සමාගම් සංසදයේ 2015/2016 සභාපති හා 99X Technology සමාගමේ සම-නිමාතෲ වන මනෝ සේකරම් මහතා, අප WSO2 සමාගමේ එක් වැඩසටහනකට සහභාගිවී කල දේශණයකදී කල ප්‍රකාශයක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. "අදහස් ලාභයි - එම අදහස් ක්‍රියාත්මක කිරීම අපහසුයි | Ideas are cheap - execution is not"

මෘදුකාංග සමාගමක නිර්මාතෲවරයෙකු ලෙස මට කිව හැක්කේ අදහස් මත ප්‍රායෝගික මෘදුකාංග නිශ්පාදනයක් සිදුකොට එමගින් වෙළඳපොල අල්ලාගැනීම ඉතා අපහසු ක්‍රියාවලියක් බවයි. මෙහිදී ඉන්දියානුවන් මෙහි පැමිණීම අපට වාසියක් වේවිද? සත්තකින්ම වාසියකි. එහෙත් එය වාසියක් වන්නේ එලෙස පැමිණෙන ඉන්දියානුවන් විශිෂ්ඨ ගණයේ පරිගණක විශේෂඥයින් නම් පමණකි. ලිපිකරු රැකියාවකට මිලියන ගණනක් අයදුම් කරන රැකියා විරහිත ඉන්දියානුවන් මෙහි කඩාවැදීම කිසිදු ලාභයක් අපට අත් නොකරයි.

දැනට ලංකාවේ සුලභ නොවන දක්ශ මෘදුකාංග අලෙවිකරණ ඉන්ජිනේරුවන් ඉන්දියාවෙන් පැමිණෙන්නේනම් එයද අපගේ කර්මාණ්තයට වාසියකි. එහෙත් මාගේ පෞද්ගලික අත්දැකීම වන්නේ මෙවැනි දක්ශ මෘදුකාංග අලෙවි ඉන්ජිනේරුවන් ඉන්දියාවේ පමණක් නොව කැලිෆෝනියාවේද හිඟ බවයි. 

එමෙන්ම අපගේ අඥාණ දේශපාලකයින් නොදන්නා කමට කියන ආකාරයේ මහත්වූ දියුණු මෘදුකාංග කර්මාණ්තයක් ඉන්දියාවේ  ඇත්තේ නැත. එහෙත් ලොව පුරා ව්‍යාප්තවූ Software Development Outsourcing හා Business Process Outsourcing (BPO) කර්මාණ්තවල යෙදෙන සමාගම් සමූහයක් ඉන්දියාවේ ඇත. එසේ නොමැතිව ඉන්දියාව යනු  පරිගණක මෘදුකාංග නිර්මාණකරණයේ ලොව ජයගත් රටක් නොවේ.

කෙසේවෙතත් ඉන්දියාවේ පරිගණක මෘදුකාංග නිර්මාණ කර්මාණ්තය වේගයෙන් දියුණුවෙමින් පවතින බව සත්‍යයකි. එහෙත් දැනට ඇති කර්මාණ්ත ස්වරූපය අනුව ඉන්දියානු සමාගම් අවුට්සෝසින් හා බී.පී.ඕ සේවාවන් ඉදිරියෙන් සිටින අතර මෘදුකාංග නිර්මණයේදී සිටින්නේ පිටුපසිනි. එමෙන්ම මාගේම අදහසක් ඉදිරිපත් කරන්නේ නම්, ලංකාවේ තිබෙන මෘදුකාංග නිර්මාණ සමාගම්, මුළු කර්මාණ්තයේ ප්‍රතිශතයක් ලෙස ගත්කල ඉන්දියාවේ මෘදුකාංග නිර්මාණ සමාගම් එහි කර්මාණ්තයේ ප්‍රතිශතය හා සසඳන විට ලංකාවේ මෘදුකාංග නිර්මාණය කොට වෙළඳපොලට ඉදිරිපත්කරන සමාගම් ප්‍රතිශතය ඉහලය. එනම් ලංකාවේ තොරතුරු තාක්ශණ කර්මාණ්තයේ වැඩියෙන්ම තිබෙන්නේ මෘදුකාංග නිර්මාණය කොට දෙස්-විදෙස් වෙළඳපොලෙහි තරඟකරන සමාගම්ය.

එසේනම් ඉන්දියානුවන්ට පැමිණීමට ඉඩදිය යුතුද? - මාගේ අදහස නම් ඕනෑම අයෙකුට පැමිණීමට ඉඩදිය යුතුය. එහෙත් ලංකාවේ තොරතුරු තාක්ශණ හා මෘදුකාංග සමාගම් ඉන්දියාවෙන් පැමිණෙන බාල (mediocre) ඉන්ජිනේරුවන්ට රැකියා දෙනු ඇතැයි යමෙකු විශ්වාස කරන්නේ නම් එය විහිලුවකි. 

දෙස්-විදෙස් වෙළඳපොලේ දැඩි තරඟයකට මුහුණදී සිටින ශ්‍රී ලාංකික මෘදුකාංග සමාගම්වලට අවශ්‍යවන්නේ දක්ශයින්ය. මෘදුකාංග නිර්මාණය හා අලෙවිකරණය කලහැක්කේ දක්ශයින්ට පමණක්වන අතර අදක්ශයින් වෙනුවෙන් කල්මැරීමට තරම් ඉවසීමක් ලංකාවේ මෘදුකාංග සමාගම්වලට නැත. දක්ශ ඉන්දියානු මෘදුකාංග ඉන්ජිනේරුවන්ට හා අලෙවි ඉන්ජිනේරුවන්ට ඉන්දියාවතුලම දැඩි ඉල්ලුමක් ඇති අතර ඔවුන් ලංකාවට පැමිණෙනවානම් එසේ වන්නේ ඉන්දියාවට වඩා විශාල වැටුපක් මෙහිදී ලැබෙන්නේනම් පමණකි.

අපගේ WSO2 සමාගම BOI සමාගමක් වන අතර ඒ අනුව ලෝකයේ ඕනෑම රටකින් වෘත්තිකයින් ගෙන්නා ගැනීමේ අවසරය දැනටමත් අප (හා වෙනත් BOI) සමාගම් වලට ඇත. ඉතා හොඳ ඉන්දියානු ඉන්ජිනේරුවන් පැමිණෙනේනම් ඔවුන් ඉතා සාදරයෙන් පිලිගැනීමට අප සමාගම් සතුටු නමුත් විදේශිකයින්ට වැඩිපඩි ගෙවීමේ ප්‍රතිපත්තියක් අප සමාගමේ නැත. එහෙත් වෙනත් සමාගම් විදේශිකයින්ට, ලාංකිකයින්ට වඩා වඩි වේතන ගෙවන බව මා දන්නා කරුණකි.

System Integrators - Local Market Focused (දේශීය වෙළඳපොල ඉලක්ක කරගත් තොරතුරු තාක්ශණ පද්ධති ඒකාගෘහිත කරන්නන්)

යම් ගණුදෙනුකරුවෙකුගේ විශේෂිත තාක්ශණික විසඳුමක් ලබාදීම මෙම සමාගම්වල ව්‍යාපාරික ආකෘතියයි. ඔවුන් ඒ සඳහා විවිධ ආයතනවලින් මෘදුකාංග හා දෘඩාංග ලබාගෙන ඒවා ඒකාබද්ධකොට ගණුදෙනුකරුවාගේ විශේෂ අවශ්‍යතාවයට විසඳුම් ලබාදේ. මෝටර්වාහන ලියාපංදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක-මෘදුකාංග පද්ධතිය මීට උදාහරණයකි.

මොවුන්ගේ ක්‍රියාකාරකම් අතර වැදගත් ක්‍රියාවන් වන්නේ ගණුදෙනු කරුවන්නේ තාක්ශණික ගැටලුව හා අවශ්‍යතා හඳුනාගෙන, ඒ සඳහා ගැලපෙන තාක්ශණය තෝරාගෙන, සුදුසු දෘඩාංග හා මෘදුකාංග තීරණය කරමින් එම මෘදුකාංග හා දෘඩාංග ඒකාබද්ධකොට ගණුදෙනුකරුවාගේ අවශ්‍යතාවයන් ඉටුකල හැකි තොරතුරු තාක්ශණ පද්ධතියක් නිර්මාණයකොට දීමයි.

මෙවැනි සමාගම්වල සේවය කරන තොරතුරු තාක්ශණික වෘත්තිකයින් අතර ව්‍යාපාර විශ්ලේෂකයින් (business analysts), ආකෘති-නිර්මාපකයින් (architects), මෘදුකාංග ඉන්ජිනේරුවන්, තත්වපාලන ඉන්ජිනේරුවන් හා අතුරු-මුහුණත් ඉන්ජිනේරුවන් (user-interface engineers), ව්‍යාපෘති කළමණාකරුවන් (project managers) ප්‍රධාන වනවා.

ශ්‍රී ලංකාවේ සමාගම් ගත්කල, තොරතුරු තාක්ශණය අනුගත කරගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩුය (මේ කියන්නේ සේවකයින්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් දීම නොවේ). ලාභ ශ්‍රමය මෙන්ම පාරිභෝගිකයින්, බටහිර පාරිභෝගිකයින්ට වඩා අඩු පහසුකම්/සේවාවලින් සෑහීමකට පත්වීම මීට හේතු බව මගේ පෞද්ගලික අදහසයි. කෙසේවෙතත් මෙය වේගයෙන් වෙනස්වෙමින් තිබෙන අතර ලංකාවේ මෙවැනි සමාගම් සඳහා විශාල ලෙස තොරතුරු තාක්ශණ වෘත්තිකයින් ඉදිරියේදී අවශ්‍යවනු ඇත. ලංකාවේ දැනට බිහිවෙන තොරතුරු තාක්ශණ උපාධිධාරීන්ගෙන් මෙම මිනිස් සම්පත් අවශ්‍යතාවය සපුරාගත හැකි බව මාගේ අදහසයි. එනමුත් ඒකාගෘහිත සමගාම් වලටද අවශ්‍ය නම් විදේශවලින් තාක්ශණවේදීන් පහසුවෙන් ගෙන්වාගැනීමේ හැකියාව දැනටමත් පවතී. 

එමෙන්ම මෙම වෙළඳපොලෙහි තවත් සුවිශේෂ ප්‍රවණතාවයක් නම් කුඩා හා මධ්‍යම-පරිමාණ සමාගම් තොරතුරු තාක්ශණ පද්ධති සුළුවශයෙන් හෝ යොදාගැනීමට පටන්ගැනීමයි. මෙම වෙළඳපොල කොටසේ ඇති විශේෂත්වය නම් වැඩිමනත් පවුලේ ව්‍යාපාර වන මෙම කුඩා සමාගම් සිය තොරතුරු තාක්ශණ පද්ධතිය බිහිකරගැනීමට තොරතුරු තාක්ශණය උගත් සිය පවුලේ සාමාජිකයෙකු හෝ පවුලට විශ්වාසවන්තයෙකු යොදාගැනීමයි.

මෙම ක්‍රියාවලිය කුඩා පරිගණක ජාලයක් සකසා ගැනීම VB හා ඇක්සස් වැනි පැකේජයක් ආධාරයෙන් යම් යම් මෘදුකාංග නිර්මාණය කරගැනීම වැනි සරල ව්‍යාපෘති වලට සීමාවේ. මෙම වෙළඳපොල, පරිගණක ක්ශේස්ත්‍රයේ ගැඹුරු දැනීමක් නොමැති, එහෙත් ඵ්ලදායින් ව්‍යාපෘතිවල යෙදවිය හැකි තරුණ පරිගණක/මෘදුකාංග ශිල්පීන් සඳහා රැකියා අවස්ථා බිහිකරයි. මෙවැනි රැකියා සඳහා පරිගණක විද්‍යාව හෝ මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් අනවශ්‍යය. යම් පරිගණක ඩිප්ලෝමාවක් තිබීම මේ අංශයේ රැකියාවක් ලබාගැනීම සඳහා ප්‍රමාණවත්ය. මාගේ අදහස වන්නේ මෙම ක්ෂේත්‍රය රැකගත යුතු බවයි. එක් අතකින් අඩු වෘත්තීය පුහුණුවක් හෝ අඩු සුදුසුකම් ඇති එහෙත් ඵලදායි ලෙස රැකියාව කල හැකි තරුණයින්ට මෙය රැකියා වෙළඳපොලක් වන අතර කුඩා සමාගම් අතරට තොරතුරු තාක්ශණය ගෙනයාමට මෙම පරිගණක ශිල්පීන් කුළකය වැදගත් මෙහෙයක් ඉටුකරනවා.

මෙම කුළකය අඩු සුදුසුකම් ඇති අඩු පඩියට රැකියාව කරන්නට සූදානම් ඉන්දියානුවන්ගේ ආක්‍රමණයට ගොදුරුවිය හැකි අවදානමක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම කුඩා සමාගම් බොහෝමයක් සිය සේවක සේවිකාවන් තෝරා ගන්නේ දැන-හැඳුනුම්කම් හා පෞද්ගලික රෙකමදාරු මතයි. එබැවින් ඉන්දියානුවන්ට මෙම වෙළඳපොලට විශාල තර්ජනයක් එල්ලකල නොහැකි බවට මා විශ්වාස කරනවා.

System Integrators - Outsourcers (විදේශීය ගැණුම් කරුවන් ඉලක්ක කරගත් තොරතුරු තාක්ශණ පද්ධති ඒකාගෘහිත කරන්නන්)

ධනවත් හෝ තාක්ශණික දැනුම හිඟ රටකින් ව්‍යාපෘති ලබාගෙන ලංකාවේ එම ව්‍යාපෘති නිමකොට විදේශීය ගැනුම් කරුවාට ලබාදීම මෙම සමාගම් සිදුකරයි. 3000ක පමණ ලාංකික සේවක පිරිසක් සිටින වර්චූසා සමාගම මින් ප්‍රධාන සමාගමකි. එමෙන්ම 100කට ආසන්න සේවක පිරිසක් සිටින සමාගම් ද 10-20 සේවක පිරිස් ඉන්නා සමාගම් සියගණනක්ද මෙම අංශයේ ක්‍රියාත්මක වේ.

මින් කුඩා සමාගම් බොහොමයක ප්‍රාරම්භකයා විදෙස් රටකින් තමන්ගේ පෞද්ගලික සබඳකම් මත ලබාගත් ඇණවුමකින් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරයි. සාමාන්‍යයෙන් එම ඇණවුම අමෙරිකාවේ/යුරෝපයේ මිළගණන්වලින් 1/5කට හෝ අවම 1/3කට වඩා අඩුවෙන්, හොඳින් කරදුනහොත් ඉතා පහසුවෙන් වෙනත් ඇනවුම්ද ලබාගත හැකිය.

මෙම අංශයේ සිටින විශාල ලාංකික සමාගම් සිය සේවක සේවිකාවන්ට  ඉහල වැටුප්, විදෙස් සංචාර මෙන්ම වෙනත් පුහුණුවීම් අවස්ථාද සළසන අතර සමාගමට හිතෛෂීව කටයුතු කරන සේවකයින් ගණනාවක් බිහිකරගෙන ඇත. මධ්‍යම ප්‍රමාණයේ ලාංකික සමාගම්ද සේවකයින්ට තරඟකාරී වැටුප් ගෙවන අතර තෘප්තිමත්විය හැකි ආයතන පසුබිමක් සපයයි. එම ආයතනවලද හිතෛෂීව සේවය කරන සේවක-සේවිකාවන් විශාල ප්‍රමාණයක් සිටිඅන අතර එම සමාගම් මෘදුකාංග කර්මාණ්තයේ විශේෂිත කොටසක විශේෂඥයින් වනබැවින් වඩා වැඩි මිලකට සිය සේවා අලෙවිකිරීමේ හැකියාව ලබාගෙන ඇත.

මෙම ක්ෂේස්ත්‍රයේ සිටින කුඩා සමාගම් (සේක පිරිස 25ට අඩු) එතරම් හොඳින් සේවකයින්ට නොසලකන අතර දැඩි පීඩනයක් යොදමින් සේවක-සේව්කාවන්ගෙන් වැඩ ගනියි. හැකිතාක් අඩුපඩි ගෙවන මෙම සමාගම්වල සේවකයින් වැඩිකල් නොරඳන අතර එතරම් සුදුසුකම් නැති පිරිස්වලට රැකියා සපයන ස්ථාන බවට පත්වී ඇත.

හැකිතාක් පිරිවැය අඩුකරගැනීමට බලාපොරොත්තුවන මෙවැනි සමාගම් අඩු පඩියට වැඩකරන,  ගුණාත්මක බවින් තොර ඉන්දියානුවන් සේවයට ගැනීමට උනන්දුවනු ඇත. එබැවින් ලංකාවේ එම මට්ටමේ (දෙවැනි, තුන්වැනි පෙල තොරතුරු තාක්ශණ සේවකයින්) සේවක සේවිකාවන් හට ඉන්දියානුවන් නිසා රැකියා අහිමිවීමේ අවදානමක් ඇත. ඒ අනුව ලංකාවේ විශාල හා මධ්‍යම පරිමාණ තොරතුරු තාක්ශණ සමාගම් වලට වඩා ඉතා කුඩා (25ට අඩු සේවකයින් සිටින ) සමාගම්වලට ලාභයට වැඩකරන ඉන්දියානුවන් පැමිණීමෙන් වාසියක් අත්වනු ඇත.

ලාභයට වැඩකරන ඉන්දියානුවන් ගෙන් රටට වාසියක් නැතත් ඉතා දක්ශ, ලංකාවේ දුලබ තාක්ශණික හැකියාවන් ඇති (උදා: ඇපල් iOS ඇප් නිර්මාපකයින්) ඉන්දියානුවන් මෙහි පැමිණීම සමස්ත තොරතුරු තාක්ශණ කර්මාණ්තයටම වාසියකි.

Enterprise Internal IT Teams (සමාගම් තුල සේවයේ නියුතු තොරතුරු තාක්ශඥයින්) 

සමාගම්තුල සේවයේ නියුතු, එහි පරිගණක ජාල, මෘදුකාංග හා වෙබ්සේවා ක්‍රියාත්මක කරවන හා නඩත්තුකරවන ආය්තනයේ තොරතුරු තාක්ශණ දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් මෙම ගොඩට අයත්වේ. දැන් දැන් ලංකාවේ බොහෝ ආයතනවල ව්‍යාපාරික උපායමාර්ග (business strategy) තොරතුරු තාක්ශණය මත බෙහෙවින් යැපෙන නිසා මෙම කණ්ඩායම ඉතා වැදගත්ය.

සමාගමක තොරතුරු තාක්ශණ භාවිතය හා එමගින් තරඟකාරී වාසියක් (competitive advantage) ලබාගැනීමට නම් එම ආයතනයේ තොරතුරු තාක්ශණ දෙපාර්තමේන්තුව දක්ශ ප්‍රධාන තොරතුරු නිළධාරියෙකුගේ (Chief Information Officer - CIO) මගපෙන්වීම යටතේ ක්‍රියාත්මකවිය යුතුය. අවාසනාවකට ලංකාවේ මෙවැනි තොරතුරු තාක්ශණ විශේෂඥයින් හිඟවන අතර මෙම හිඟය පිරැවීමට දක්ශ ඉන්දියානුවන් පැමිණෙන්නේ නම් එය මහත් වාසියකි.

කුඩා සමාගම්වල තොරතුරු තාක්ශණ දෙපාර්තමේතුවක් නැති අතර ඒ වෙනුවට ආයතනයේ සියලුම තොරතුරු තාක්ශණ මෙහෙයුම් කටයුතු කරන තොරතුරු තාක්ශණ විධායකයෙකු (IT Executive) සිටියි. බොහෝවිට ලෙස සමාගම තුල IT guy ලෙස හඳුන්වන සියල්ලන්ගේම තොරතුරු තාක්ශණ ගැටලු විසඳාදෙන මෙවැනි පුද්ගලයින් විශාල මෙහෙයක් සිදුකරන අතර අඩු වේතන ලබයි. ඉන්දියානුවන් මෙහි පැමිණීමෙන් මෙවැනි සේවකයින්ට මහත් අවාසියක් වන අතර එය කෙසේහෝ වැලැක්විය යුතුය.

IT Enabled Services (ITES) and Business Process Outsourcers (BPO) (තොරතුරු තාක්ශණයෙන් බළගැන්වෙන සේවා හා ව්‍යාපාර ක්‍රියාවලි සේවාවන් සපයන්නන්)

තොරතුරු තාක්ශණ අංශයේ වැඩිම සේවකසේවිකාවන් පිරිසක් සේවය කරන අංශය මෙයයි. ඔබ ඇමරිකාවේ ජීවත්වන්නේ නම් පිසා ආහාරවේලක් ඇනවුම් කරන්නට දුරකථනයෙන් ඇමතූවිය පිලිතුරු දෙන්නේ ඉන්දියාවේ සිටින ඉන්දියානුවෙකි, අමෙරිකාවේ විශාල ගුවන් සමාගමක් වන ඩෙල්ටා එයාලයින් සමාගමේ පාරිභෝගික සේවාව ඇමතූවිට පිලිතුරු දෙන්නේ පිලිපීනයේ ජීවත්වන පිලිපීන ජාතිකයෙකි, ඔබ HSBC බැංකුවට කථාකලහොත් පිලිතුරු දෙනු ඇත්තේ ශිරී ලාංකාවේ ජීවත්වන ලාංකික තරුණයෙකි/තරුණියකි.

මුලින් පාරිභෝගික සේවා ඇමතුම්වලට පිලිතුරු දෙන සේවාවන් ලෙස ආරම්භවූ මෙම සේවා දැන් ව්‍යාපාරයක එක් ව්‍යාපාරික ක්‍රියාවලියක් () සම්පූර්ණයෙන්ම වෙනත් රටක සිදුකරන තරමට දියුණුවී ඇත. මෙහි ප්‍රධාන සේවා සැපයුම්කරුවා වන්නේ ඉන්දියාවයි. එන්ගලන්තයට පසු එන්ගලන්ත සුදුසුකම් ඇති ගණකාධිකාරීවරුන් වැඩි ප්‍රමාණයක් බීහිකරන රටක්වන ලංකාව ලෝකයේ වෙනත් රටවල්වලට ගණකාධිකාරී සේවා සපයන්නන් අතර ඉදිරියට පැමිණ ඇත.

ලංකාවේ වසරකට ලක්ශ තුනත් හතරත් අතර ප්‍රමාණයක් උසස් පෙල නිමවන අතර විශ්වවිද්‍යාලයට ඇතුලුවන 25,000 හැරුනකොට ඉතිරියට රැකියා අවශ්‍යය. මෙවැනි සේවා වැඩිදියුණු කල හැකිනම් රැකියා විරහිතභාවයට එය විසඳුමක් වනු ඇත. එහෙත් මෙම ක්ශේස්ත්‍රයේ නියුතු සමාගම් නගන මැසිවිල්ලක් වන්නේ ඉන්ග්‍රීසි කථාකල හැකි තරුණ පිරිස් අඩුවීම ඔවුනට මෙම කර්මාන්තය දියුණු කරගැනීමට අපහසු බවයි.




--------
Recent Posts Widget

----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...