Related Posts Plugin for WordPress, Blogger...

Monday, 19 September 2016

ක්‍රිස්තුපූර්ව 480 කාළයේ ජාත්‍යන්තර වෙළඳාමේ නිරතවූ තපස්සු හා භල්ලුක සමාගමය තැනවූ ලොව පලමු චෛත්‍යය

ගිරිහඬුසෑය - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය. ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාව ඇරඹෙන්නේ මහා භාරතයෙනි.

මහා භාරතයේ උත්කලා නුවර හෙවත් නූතන ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.

අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ. හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු හා භල්ලූකට දුන්හ. බුද්ධ ශීර්ෂයෙන් හිසකෙස් අටක් මෙසේ තපස්සු හා භල්ලුකට ලැබුණු බව සමහර මූලාශ්‍ර මගින් පැවසේ. මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ. එකල තපස්සු හා භල්ලුක පැමිණි ඔරිස්සාව ඇතුලත් නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ ප්‍රජාව හා ලංකාව අතර විශාල ලෙස වෙළඳාම සිදුවූ බව පැවසෙනවා. මෙම වෙළඳාමේ ලාංකික මූලස්ථාන වූයේ මන්නාම පිහිටි ඉපැරණි වරාය නගර සංකීර්ණයක් වන මන්තායි වරාය හා ගෝකණ්න වරාය හෙවත් ත්‍රිකුණාමළ වරායයි.

බුදුන් ජීවමාන සමයේ ඉතා දියුණුවට පත්ව තිබූ ලංකා භාරත වෙළඳාම

තපස්සු හා භල්ලුක යනු සුළු ව්‍යාපාරිකයින් නොව, ජනප්‍රවාදයේ දැක්වෙන ආකාරයට ගැල් 500ක බඩු පටවාගෙන වෙළඳාමේ ගිය මහා පරිමාණ ව්‍යාපාරිකයින් දෙපලකි. ඔවුන් කළාපය අවට බොහෝ රටවල ප්‍රසිද්ධ වෙළඳ නඩයකි. මෙවැනි ව්‍යාපාරිකයින් ලංකාවට වෙළඳාම සඳහා පැමිණියා යනු, එකල ලංකාව ධනවත් වෙළඳ මධ්‍යස්ථානයක් විය යුතුය. ජනශූන්‍ය දුශ්කර කැලෑවකට වෙළඳාමේ යන්නට හෝ තමන්ට තථාගතයන් වහන්සේගෙන් ලැබූ මහානර්ඝ ත්‍යාගයක්වූ බුද්ධ කේෂ ධාතුවක් නිදන්කොට කැලෑවේ ගල්කුළක් මත චෛත්‍යයක් ගොඩනගන්නට තරම් උමතුවක් මොවුන් දෙදෙනාට නොතිබෙන්නට ඇති. නිසැකවම ලංකාව තපස්සු භල්ලුකගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානයක් වන්නට ඇත. 

තපස්සු හා භල්ලුක ඇතුලු වෙළඳ නඩය ලංකාවට සැපත්වූයේ ගෝකණ්න වරායෙන්ද නැතහොත් මන්තායි වරායෙන්ද යන්න පැහැදිලි නැතත්, ගිරිහඬු සෑය ගෝකණ්න වරාය අසල පිහිටි නිසා එයින් පිවිසෙන්නට ඇති බවට අනුමාණ කල හැකිය. ගෝකණ්න වරායෙන් යාංඔයට පිවිසි තපස්සු හා භල්ලුක ඇතුලු වෙළඳ නඩය යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි එහි සිය තාවකාලික නවාතැන සකස්කර ගත්තේ වෙළහෙළඳාම් කටයුතු කිරීමේදී ආරක්ශාව ගැන සිතාද වන්නට ඇත. උස් භූමියක ආරක්ශාව වැඩිය. කඳු මුදුනෙහි වූ තැන්නෙහි රන් මංජුසාව තබා වෙළඳාමේ යෙදුනු දෙබෑයෝ, නික්මයන්නට පෙර රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බව කියැවේ.

තපස්සු හා භල්ලුක කේෂ ධාතු නිධන්කල විහාර කර්මාණ්ත කලේ ලංකාවේ පමණක් නොවේ!

ජාතක නිදාන කතා, විනය පිටකයේ මහාවග්ගය, ආදී මූලාශ්‍ර ග්‍රන්ථවල තපස්‌සු භල්ලුක හෝ භල්ලික ලෙසද සංස්‌කෘත භාෂාවෙන් ලියූ මහා වස්‌තූ ලලිත විස්‌තරය යන ග්‍රන්ථවල ත්‍රපූෂ - භල්ලුක ලෙසද මොවුන් සඳහන් වේ (සෙනරත් පරණවිතාන - ලිපිමාලා 1972 පිටුව 59)

මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට තපස්සු හා භල්ලුක රැගෙන සිය මව් නගරයට ගොස් එහි මනරම් වෙහෙරක් ගොඩ නංවා කේෂ ධාතූන්ට පූජා උපහාර කල බව පැවසෙනවා. එමෙන්ම ජාත්‍යන්තර වෙලඳුන් වූ ඔවුන් වෙළඳාම් කලේ ලංකාවේ පමණක් නොව, පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, බුරුමය ආදී රටවලත් ඔවුන් වෙළඳාම් කල බව පැවසෙනවා. ඒ සියලු රටවල ඔවුන් කේෂධාතුව බැගින් නිදන්කොට චෛත්‍ය ගොඩනැගූබව පැවසෙනවා. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. 

එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටියේ නිතුපත්පානේය. වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ කේෂ ධාතු කරඬුව තැම්පත්කල කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේ ඒ අනුවය. ක්‍රි.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.

වසභ රජු විසින් කරවන ලදැයි සැළකෙන ගල්පාලම - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016
ගිරිහඬුසෑය පුලුල් කොට මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් කල සිලාමේඝ රජ

ගිරිහඬු සෑයෙන් හමුවන සෙල්ලිපි දෙකකි. එක් සෙල්ලිපියක් ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. 

සිලාමේඝ රජ සමයේ ගිරිහඬුසෑයේ ආරක්ශාවට ඉදිකල වටදාගෙය - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016
සිලාමේඝ රජ සමයේ ගිරිහඬුසෑයේ ආරක්ශාවට ශෛලමය වටදාගෙයක් ඉදිකරන ලදී. වටදාගෙයි දොරටු හතරකි.  ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය.  චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය විශේෂය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.

වැලි මළුවෙහි පිළිම ගෙවල් දෙකකි. එකක ඔත් පිළිමයකි හෙවත් සැතපෙන පිලිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබේ.

Statue House (පිළිම ගෙය) with a standing Buddha Statue in the Girihandu Seya Complex -- Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016

ගිරිහඬුසෑ භූමියේ නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය. වෙලඳ මධ්‍යස්ථානයක්වූ ගෝකන්ණ අසල පිහිටි ගිරිහඬු සංකීර්ණය බොහෝ කාළයක් බෞද්ධ මධ්‍යස්ථානයක් විය. එහෙත් දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණයට හෙළ රජවරුන් අසමත්වීමයි. මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.

මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය. ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. 

ගිරිහඬුසෑයට පිවිසෙන ශෛලමය පියගැටපෙල - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016
ගිරිහඬුසෑය බුදුන් ජීවමාන සමයේ නිමැවූ ලොව ප්‍රථම චෛත්‍යය නම්, මහාවංශයේ ඒ පිලිබඳව සටහනක් නැත්තේ ඇයි?

ගිරිහඬු සෑය ලංකාවේ ප්‍රථම දාගැබ වන්නේ නම් ඒ පිළිබඳ යම් තොරතුරක්‌ සටහනක්‌ මහාවංශයේ තිබිය යුතුය. අනෙක එම වෙහෙර බුදුන් වහන්සේ ධර්මානු සමයේ ඉදිවූවා යෑයි කියෑවේ. එමෙන්ම බුදුන් වහන්සේගේ කේශධාතු නිදන්කර ඇත. මෙනයින් බලන කල ගිරිහඬු සෑය ආගමික වටිනාකම අතින් ඉහළය. එනිසා අපගේ වංශකතාවලිය තුළ ගිරිහඬු සෑයට ඉඩක්‌ තිබිය යුතුය.

එසේ වුවද මහාවංශය තුළ ගිරිහඬු සෑය පිළිබඳ තොරතුරු බැහැර කර ඇත්තේ මක්‌නිසා ද? මේ පිළිබඳ අගනා නිරීක්‍ෂණයක්‌ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිදුකර ඇත. කිරියාය ගිරිහඬු සෑය ආරාමික සංකීර්ණයේ ආරම්භය, විකාශනය හෝ එහි තදානුබද්ධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳ හෝ අනුරාධපුරය කේන්ද්‍රීය රාජ්‍ය පාලනයේ අනුග්‍රාහාත්මක මැදිහත්වීම් හෝ ප්‍රාදේශීය පාලක හෝ වෙනත් ප්‍රභූන්ගේ ප්‍රදානයන් ගැන හෝ මහාවංශය තුළ සවිස්‌තාරාත්මක තොරතුරු නොමැත. ඉහතින් දැක්‌වූ සංස්‌කෘත ශිලා ලිපිය පිහිට වූ ක්‍රි. ව. 8 වන සියවස වන විට ගිරිහඬු සෑය ප්‍රධාන කොටගත් ආරාමික සංකීර්ණ සහ එහි විසූ භික්‍ෂූ පරම්පරාව මහායාන බෞද්ධ ආධිපත්‍ය යටතේ පැවතීම නිසා මෙම තත්ත්වයට හේතු වූ බව පරණවිතාන කියයි.(සෙනරත් පරණවිතාන ලිපිමාලා 1972 පිටුව 64) 

මහායාන ධර්මය අඩංගු පොතපත සංස්‌කෘත භාෂාවෙන් ලියා ඇති හෙයින් මහායානය සමග සංස්‌කෘත භාෂාව හැදැරීම හා එම භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ව්‍යාප්ත වූ බවද පරණවිතානගේ මතයයි. ඉහත දැක්‌වූ ගිරිහඬුසෑ ශිලා ලිපිවල ශ්ලෝක දෙකක අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වරුන් දෙදෙනාට ස්‌තුති කිරීම ගැන සඳහන් වීම මගින් මෙම මතය වඩාත් තහවුරු වේ. 

මේ බව මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් තම ලක්‌දිව මහායාන අදහස්‌ නම් කෘතියේ සඳහන් කරයි. (පිටුව 375) සාසනරතන හිමියන්ගේ අදහස අනුව ක්‍රි. ව. 5-10 ශතවර්ෂ අතර කාලයේ මහායාන බෞද්ධ දර්ශනය ලංකාවේ බෙහෙවින් පැතිර පැවතිණි. ථෙරවාදීන් මහායානික සම්ප්‍රදායට විරුද්ධ වන අතරම එයට තම සාහිත්‍ය සම්ප්‍රදායන් තුළදී හෝ සුජාත භාවයක්‌ නොදීම වංශකතාවලින් පුරාම දක්‌නට ඇත. තම මතය වඩාත් තහවුරු කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්‌වන්නේ ගිරිහඬු සෑය තපස්‌සු භල්ලුක වෙළෙඳුන් විසින් කර වූවා යෑයි මහායානිකයන් ප්‍රකාශ කිරීම නිසා ථෙරවාදීන් එය නොපිළිගත් හෙයින් මහාවංශය තුළ සඳහන් කර නොමැති බවයි. (සෙනරත් පරණවිතාන - ලිපිමාලා 1972 පිටුව 64)

Source Articles



__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...