අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූපය



අපි හැමෝම දන්න දෙයක් තමයි, ලෝකෙ පලමුවන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත වුනේ 1957 ඔක්තෝම්බර් 4වැනිදා කියන එක. සෝවියට් දේශයෙන් යවනු ලැබූ මෙම කුඩා ගෝලාකාර වස්තුව අභ්‍යවකාශයට යැවුනු පලමුවන මිනිස් දෑතින් කල නිමැවුම ලෙස  පිලිගැනෙනවා. රේඩියෝ සංඥාවක් නිකුත්කරමින් ලොව වටා ගමන්කල මෙම චන්ද්‍රිකාවට කැමරා සවිකොට තිබුණේ නෑ.

ඒත් ස්පුට්නික් ගුවන්ගත වෙන්න අවුරුදු දහයකටත් ඉස්සෙල්ලා අභ්‍යවකාශයට කැමරාවක් සවිකල රොකට්ටුවක් යවලා අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය දැක්වෙන ප්‍රථම ඓතිහාසික ඡායාරූපය ලබාගන්න ඇමරිකාවේ වයිට් සෑන්ඩ්ස් රොකට් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් සමත්වෙලා තියෙනවා.

1946 ඔක්තෝම්බර් 24වැනිදා නිව් මැක්සිකෝ ප්‍රාන්තයේ වයිට් සෑන්ස් රොකට් අංගනයෙන් ගුවන්ගත කෙරුණු නට්සි ජර්මනියෙන් අල්ලාගෙන පර්යේෂණ සඳහා අමෙරිකාවට ගෙනවිත් තිබුණු V-2 රොකට් එකක සවිකරපු කැමරාවකින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.


මේ නට්සි V-2 රොකට්ටුව සැතපුම් 65 ඉහල අහසට නැගිලා තියෙන අතර එහි සවිකර තිබූ මිලිමීටර් 35 චිත්‍රපට කැමරාවකින් මෙම සේයාරූ අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පිලිගැනෙන අන්දමට අභ්‍යවකාශය පටන්ගන්නේ පොලොවට කිලෝමීටර් 100ක්, නැතිනම් සැතපුම් 62ක් ඉහලින් . මේ අනුව සැතපුම් 65 ඉහල නැගි බවට තහවුරු වුනු මෙම රොකට්ටුව අභ්‍යවකාශයට ඇතුලුවෙලා තමයි මෙම ඡායාරූප රැගෙන තියෙන්නේ. ඒ අනුව නිළවශයෙන්ම මේ ඡායාරූප, අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පලමු ඡායාරූප ලෙස පිලිගැනෙනවා.

1946 ආරම්භ වුනු මෙම V-2 රොකට්ටු ආධාරයෙන් අභ්‍යවකාශ ඡායාරූප හා වෙනත් විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය 1950 වෙනකම් ක්‍රියාත්මක වුන අතර ඡායාරූප අතිවිශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. සමහර V-2 රොකට්ටු සැතපුම් 100ක් එනම් කිලෝමීටර් 160 ඉහල අහසට නැගුනු බව වාර්තා වනවා.



__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments