Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 28 February 2017

කොටියා දැක්කද?

යාල කොටියෙක් දැක්කා කියලා පණිවුඩයක් ආපු හැටියේ එතනට රොක්වෙන සෆාරි ජීප්
යාල, විල්පත්තු වගේ ජාතික වනෝද්‍යානයක සංචාරයක යන හැමෝගෙම ආසාව කොටියෙක් බලාගන්න එක. කොටි බලන්නම යාල, විල්පත්තු යන කොටි ලෝලීන් විශාල පිරිසකුත් ලංකාවේ ඉන්නවා.   අඩි දෙක තුනක් දිග, ලොකු ටෙලිෆොටෝ ලෙන්ස් හයිකරපු, හයි-එන්ඩ් කැමරා අරගෙන එන මේ අය දැක්කම අඳුරගන්න ලේසියි. සමහර අය හරිම අමාරුවෙන් වනජීවී එකෙන් පාලනය වන, වනෝද්‍යාන ඇතුලේ තියෙන කෑම්පිං සයිට්, නවාතැන් පොලවල් වෙන් කරගෙන වනෝද්‍යාන ඇතුලේම රෑ නවතින්නේ වැඩි හරියක්ම කොටියා දැක ගන්න, ඡායාරූප ගත කරගන්න.

ඇත්තම කියනවානම් කොටියා නිශාචර දඩයක්කාරයෙක් හින්දා එයාගෙ ක්‍රියාකාරකම් බලන්න හොඳම වෙලාවල් වෙන්නේ පාන්දර හා ඇඳිරි වැටීගෙන එන කාළය. ඒ නිසා, කොටි බලන එක විනෝදාංශයක් කරගෙන ඉන්න, අතමිට සරු අය, මහන්සිවෙලා, වියදම් කරලා කොහොමහරි යාල, විල්පත්තු, ලුණුගම් වෙහෙර වගේ කොටි දැකගන්න පුලුවන් වනෝද්‍යාන ඇතුලේ බංගලා වෙන් කරගන්නවා.

පසුගිය සතියේ දිගු සති අන්තයේ කතරගම ගිහිල්ලා යාල පැත්තටත් ගිය මේ ලේඛකයාටත් වෙහෙරගල ජලාශය පිහිටලා තියෙන යාල බ්ලොක් 5 කියන අඩවියේදී කොටියා දැක ගන්න අවස්ථාවක් ලැබුණා. මීට කලින් මම කොටියා දැකලා තිබුණේ විල්පත්තුවේදී.

Sri Lanka Leopard @ Yala Block V (Weheragala, Lunugamwehera), Feb 2017 - 02.jpg
වෙහෙරගලදි දැකගන්නට ලැබුණු කොටි ධේනුව

පැන්තීරා පාර්ඩුස් කියල කුළයට අයිති කොටි (ඉන්ග්‍රීසියෙන් ලෙපර්ඩ්) කියල බිළාල වර්ගයන් කිහිපයක්ම ඉන්නවා. ඉන්දියානු කොටියා, අප්‍රිකනු කොටියා, අරාබියානු කොටියා, පර්සියානු කොටියා, උතුරු-චීන කොටියා, අමූර් කොටියා (රුසියාව), ඉන්දුචීන කොටියා (අග්නිදිග ආසියාව), ජාවා කොටියා හා ශ්‍රී ලංකා කොටියා වශයෙන් කොටි වර්ග ගණනාවක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කොටියා,  ලංකාවටම ආවේණික වූ උප විශේෂයක් වන අතර පැන්තීරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මොවුන් ඉන්දියානු කොටියන්ට වඩා මදක් වෙනස්.

ලංකාවේ තෙත්, වියලි හා ශුෂ්ක යන කලාප තුනේම පැතිරී සිටින කොටියා ලංකාවටම ආවේණික උප විශේෂයක් ලෙස මුලින්ම හඳුනාගත්තේ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සත්ව වේදියෙකු වෙන පී දෙරණියගල මහතා විසිනුයි. ඔහු විසින් 1956 ලියන ලද "The Ceylon leopard, a distinct subspecies" නිබන්ධනයේ ලංකා කොටියාගේ සුවිශේෂී ලක්ෂණ දක්වා තිබෙනවා.

ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, ගෝණා වැනි සතුන් ද ගොදුරු කරගනී.

විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවල‍ට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු කුළු හරකුන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. කොටියා විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.

මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.

ලංකාවේ වැඩිම කොටි ගහණය වාර්තා වන්නේ යාල හා විල්පත්තු ප්‍රදේශවලින්ය.

මගේ කොටි ෆොටෝ ඇල්බම් එක


Sri Lankan Leopard (Kotiya)












__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...