FICTION WRITING : ප්‍රබන්ධයක් ගොතන හැටි | මගේ home-made ක්‍රමය



කතා ලියන්න ආස අයට ආරම්භයක් ගන්න ක්‍රමයක් විධියට මේක අත්හදා බලන්න.

1] සරල ආදර කතාවක් ලියන්න පටන්න ගන්න පුලුවන් විධිය

2] විද්‍යා ප්‍රබන්ධයක් / ඇක්ෂන් ත්‍රිලර් එකක් ලියන්න පටන්ගන්න පුලුවන් විධිය


ප්‍රබන්ධ කිහිපයක් ලියා ඇති නමුත්, ප්‍රබන්ධකරණය හැදෑරූ හෝ සාහිත්‍යය ගැඹුරට හැදෑරූ අයෙක් නොවෙමි. ඒ නිසා මේ සරල මගපෙන්වීමක් ලෙස විතරක් සලකන්න. එහෙත්  මා භාවිතා කරන මේ ක්‍රමයට ඕනෑම කතාවක් ලියාගන්න පුලුවන.. 

ආදර කතා ලියන්න ආස අයටත්, 
අපේ සුපිරි රහස් පරීක්ෂක කතා ලේඛක ඩීමන් ආනන්ද මහත්තයා වගේ රහස් පරීක්ෂක කතා ලියන්න ආස අයටත්
මයිකල් ක්‍රයිච්ටන් වගේ ඇක්ෂන් / ත්‍රිලර් / ලියන්න ආස අයටත්
ඉයන් ෆ්ලෙමිං (ජේම්ස් බොන්ඩ්) වගේ ස්පයි ත්‍රිලර් ලියන්න ආස අයටත්
ඇල්ෆ්‍රඩ් හිච්කොක් වගේ අත්භූත කතා ලියන්න ආස අයටත් මේ ක්‍රමයට පුලුවන්.

හැබයි මේ ක්‍රමය පාවිච්චි කරලා ඉයන් ෆෙලෙමින්ලා, ක්‍රයිච්ටන්ලා වගේ වෙන්න පුලුවන් කියලා මම කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒක විහිලුවක් වෙනවා. කතා ලියන්න ආස අයට ආරම්භයක් ගන්න ක්‍රමයක් විධියට මේක අත්හදා බලන්න.

*] සරල ආදර කතාවක් 

1] වස්තු බීජයක් හොයාගන්න

අපි හිතමු ආදර කතාවක් කියලා. ඕක කොහොමටත් තුන්කොන්, සිවු කොන් ආදරයක් වෙන්න ඕනැනෙ.

  • එක්කෝ ට්‍රයිකරලා තරඟකරුවන් සමග සටන් කරලා අමාරුවෙන් සෙට්කරගෙන ඉවරවෙන happy ever after  කතාවක් වෙන්න පුලුවන්
  • නැතිනම් සෙට්කරගෙන ලව් එක ලස්සනට යනකොට මැද්දට පැනපු දුෂ්ටයෙක් හා සටන්කරලා ජයගන්න එකක් වෙන්න පුලුවන් ඒකත් happy ever after කතාවක්. දුෂ්ටයා වෙන කොල්ලෙක් නැතිනම්, කෙල්ලගෙ තාත්තා, පුතාව කෙල්ලට බන්දලා දෙන්න ට්‍රයිකරන මාමා කෙනෙක් වෙන්නත් පුලුවන්.
  • නැතිනම් සෙට්කරගෙන ලව් එක ලස්සනට යනකොට මැද්දට පැනපු දුෂ්ටයෙක් හා සටන්කරලා පරදින, හිතපු නැති විධියට කෙල්ලත් වෙනස්වෙන, විරහ වේදනාවෙන් පිරිච්ච sad story කතාවක් වෙන්නත් පුලුවන්


2] කතාවෙ මුල මැද අග ගැන හිතන්න.

කෙල්ලව දකිනවා > ට්‍රයිකරනවා > රිජෙක්ට් වෙනවා > පසු නොබැස ට්‍රයිකරනවා > කොහොම හරි කෙල්ලගෙ හිත වෙනස් කරගෙන යාලුකරගන්නවා

කතාව මේ විධියට කොටස් වලට සෙග්මන්ට් කරගෙන ප්ලෑන් එකක් හදාගත්තම ලේසියි. මේ සෙග්මන්ට් එකකට එක පරිච්ඡේදයක්, නැතිනම් දෙකක් තියෙන විදියට ලියන්න පුලුවන්.

3]  ඊට පස්සේ චරිතවලට පණපොවන්න 

එයාලාගෙ ගතිලක්ෂණ, හැසිරීම් රටාව, උගත්කම, රස්සාව, කැමති අකමැති දේවල් ගැන හිතන්න.  කෙල්ල කවුද, කොල්ලා කවුද, අනෙක් කොල්ලා කවුද, අනෙක් කෙල්ල කවුද කියන එක ඩිෆයින් කරගන්න.

කෙල්ල 1 - ටියුෂන් ක්ලාස් යන කෙල්ලෙක්, කැම්පස් කෙල්ලෙක්, කාගිල්ස් එකේ වැඩකරන කෙල්ලෙක්, බැංකුවෙ ටෙලර් කෙල්ලෙක්, රීලෝඩ් දාන කොමියුණිකේෂන් එකේ කෙල්ලෙක්, මර්සඩීස් එකක් ඩ්‍රයිව්කරගෙන යන පොෂ් සල්ලිකාර කෙල්ලෙක්, යාලුවගෙ වෙඩින් එක තිබ්බ හෝටලේ රෙසෙප්ෂන් එකේ ඉන්න කෙල්ල, යාලුවගෙ වෙඩින් එකේ මනමාලිගෙ පැත්තෙන් ආපු ලස්සන කෙල්ලෙක්. 

එයා මොනවිධිය කෙල්ලෙක්ද? ලැජ්ජාකාරී, කුලෑටි, නිතරම බිම බලාගෙන යන, ඇහෙන්න කතාකරන්නෙ නැති කෙල්ලෙක්ද? කෙලිලොල්, බය නැති, දඩිබිඩි කෙල්ලෙක්ද, හොඳ උගත්, තැන්පත් හැබැයි කුලෑටි නැති කෙල්ලෙක්ද? දුප්පත්ද, පෝසත්ද, මිඩ්ල් ක්ලාස්ද, දෙමව්පියෝ කවුද? කොහෙද ඉස්කෝලෙ ගියේ - මේවා ඩිෆයින් කරගන්න.

කොල්ලා 1, කෙල්ල 2, කොල්ලා 2, දුෂ්ඨයා, දුශ්ඨටයාගේ සපෝටර්ලා, වීරයාගේ සපෝටර්ලා, කෙල්ලගෙ යාලුවෝ, කෙල්ලගෙ යාලුවන්ගෙන් වීරයාට සපෝට් කරන අය, දුෂ්ඨයාට සපෝට් කරන අය, දෙපැත්ත කොටවන අය - ඕව ගැනත් හිතලා එයාලගෙ චරිත ඩිෆයින් කරගන්න. ගොඩක් ගැඹුරට, ඉතා සවිස්තරව කරන්න ඕනෑ නෑ. කතාව ගොතාගෙන යනකොට වෙනස් කරගන්න, ගැඹුරු කරගන්න පුලුවන්.

4] දැන් ලෝකේෂන් ගැන හිතන්න. 

කතාව දිග හැරෙන්නේ කොහෙද? මේවා හැමවෙලාවෙම තාත්විකව ගන්න. තැන් මවන්න යන්න එපා. හැමෝම දන්න, ප්‍රසිද්ධ තැන් අරගන්න. එතකොට කතාව කියවන අයට ඒකට සම්බන්ධවෙන්න, චිත්තරූප මවාගන්න ලේසියි.

5] තාත්වික බවෙන් හා වත්මනට ගලපාගත හැකිවෙන ලෙස ලියන්න.

විද්‍යා ප්‍රබන්ධයක් වුනත්, හොල්මන් කතාවක් වුනත්, ආදර කතාවක් වුනත් තාත්වික වෙන ඕනෑ. වර්තමාන සමාජ රාමුවට ගැලපෙන්න ඕනෑ. එතකොට කියවන කෙනාට ඒ කතාව එක්ක සම්බන්ධවෙන්න, චිත්ත රූප මවාගන්න, කියවන ගමන් වින්දනය කරන්න ලේසියි.

කතාවේ වස්තුබිජය ප්‍රබන්ධයක් / හිතලූවක් වුනත් ඒක සැබෑ තාත්වික ලෝකයේ සිදුවෙන දේවල්, තැන් හා පුද්ගලයින් එක්ක බැඳලා ලියනකොට කියවන කෙනාට ඒක ප්‍රබන්ධයක් කියලා හිතෙන එක අඩුයි.

6] භාශාව

සරල භාශාවෙන් ලියන්න, ව්‍යාකරණ ගැන උනන්දුවෙන්න. හැබැයි 100% ව්‍යාකරණානුකූල වෙන්න ඕනෑ නෑ. 

ග්‍රාම්‍ය නැතිනම් වීදි භාශාවෙන් ලියන්න එපා, කතාවේ බොහෝ තැන්වල අරූ, මූ, ගජයා, සඳුනයා, අරකි, මේකි වගේ ග්‍රාම්‍ය භාශාවත්, slang (අපභාෂාව) පාවිච්චිකරලා වත් ලියන්න එපා. එතකොට කතාව කියවන අයට නීරස වෙනවා. කතාකරන භාශාවෙන් කියන්න ඕනෑ දේවල් දෙබස්වලට දාගන්න.

7] ශුභවාදීව ජීවිතයට මුහුණ දෙන කතානායකයෙක් / කතානායිකාවක් ගොඩනගන්න

කතාව පරාජිත ආදරකතාවක් වුනත් ටිකක් ශුභවාදී විධියට upbeat විධියට ලියන්න. මම හිතන ආකාරයට කියවන අය ආසයි ආදරයෙන් පැරදුනත් ශක්තිමත්ව ඉන්න කතානායකයෙකුකට.  මොකද ජීවිතය කියන්නේ එහෙම දෙයකට. කෙල්ල නැතිවුනා කියලා විරහවේදනාවෙන් වහ බොන, නැතිනම් කාන්තා සංහතියටම වෛරකරන කොල්ලෙක් කතානායකයෙක් විධියට අසාර්ථකයි. සැබෑ ජීවිතයෙත් අසාර්ථකයි.



*] විද්‍යා ප්‍රබන්ධයක් / ඇක්ෂන් ත්‍රිලර් එකක්

මේවා ලියන්න විද්‍යා දැනුම / තාක්ෂණික දැනුම ටිකක් තියෙන්න ඕනෑ. ඒකයි ඉස්සෙල්ලම ආදරකතාවකින් පටන් ගන්න එක හොඳ. ඒවා ලියන්න තාක්ෂණික දැනුම ඕනෑ නෑ. මිනිස් ගතිපැවතුම් ගැන දැනගත්තම ඇති.

1] වස්තු බීජය 

කැමති ටී.වී සීරීස් එකක් හරි ෆිල්ම් එකකින් හරි වස්තුබීජය හොයාගන්න පුලුවන්. උදාහරණයක් විධියට - ස්ටාර් ගේ සිරීස් එක ගනිමු. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනු එකක්.

ස්ටාර් ගේට් එකක් ලංකාවේ හොයාගත්තා කියලා හිතා ගන්න. මේකෙන් කතාවක් ලියන්න පුලුවන්. 

2] පසුබිම් පර්යේෂණ නැතිනම් background research කරන්න

හැබැයි ස්ටාර්ගේට් කතාමාලාවේ එන ස්ටාර්ගේට් වල ඉතිහාසය, ක්‍රියාත්මක වෙන ආකාරය, කවුරුන් ඒවා නිර්මාණය කලාද යන්න වගේ දේවල් දැනගෙන ඉන්න ඕනෑ. ඒ තොරතුරු දැනගන්න අමාරු නෑ. ස්ටාර්ගේට් යුනිවර්ස්, නැතිනම් ස්ටාර්ගේට් ප්‍රබන්ධ මාලා විශ්වය ගැන බොහෝ දේවල් "StarGate Wikia" එකේ තියෙනවා.

කැමති අය මේ ලින්ක් එකට ගිහිල්ලා කියවන්න http://stargate.wikia.com/wiki/Stargate_Wiki 

විශ්වය පුරා පැතිරුනු ස්ටාර්ගේට් දොරටු ජාලය නිර්මාණය කලේ කවුරුන්ද? ක්‍රියාත්මක වන මූලධර්ම මොනවාද? වගේ තාක්ෂණික තොරතුරු විශාල ප්‍රමාණයක් මේ ලින්ක් එකේ තියෙනවා. http://stargate.wikia.com/wiki/Stargate (WARNING : සෑහෙන්න දිගයි, විස්තර ගොඩයි )

තාත්වික විද්‍යා ප්‍රබන්ධයක් ලියනකොට / නැතිනම් ඇක්ෂන් ත්‍රිලර් එකක් ලියනකොට ගොඩක් රිසර්ච් කරන්න ඕනෑ. මම ලියපු හැම ප්‍රබන්ධයකටම අදාල වෙන තාක්ෂණයන්, ක්‍රියා දාමයන්, බුද්ධිඅංශවල ක්‍රියාකාරිත්වය වගේ දේවල් ගොඩක් ගැන කියවලා, රිසර්ච් කරලා ඒවා පාවිච්චි කරනවා. 

මම ප්‍රබන්ධයක් ලියනකොට ලොකේෂන් ගැන හොයන්න පැය ගණන් ගූගල් මැප්ස් වල, ස්ට්‍රීට් විව් ඇප් එකේ වගේම ඒ අදාල ලොකේෂන් ගැන විස්තර කියන විකිපීඩියා පිටුවල ගත කරනවා.

ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කියලා ඇහුවොත් - මගේ උත්තරේ - ඒක මගේ ආශාව හා විනෝදාංශය කියලා කියන්න පුලුවන්.

මයිකල් ක්‍රයිච්ටන් වගේ සුපිරි ලේඛකයින් ඔවුන්ගේ ප්‍රබන්ධ සඳහා අවුරුදු ගණන් රිස්චර්ච් කරලා තියෙනවා, විද්‍යාඥයින්, ඔත්තු සේවා නිළධාරීන්, යුද විශේෂඥයින් හමුවෙලා සම්මුඛ සාකච්ඡා පවත්වලා තොරතුරු එක් රැස් කරගන්නවා.

සුද්දෝ විතරක් නෙමෙයි අපේ ඩීමන් ආනන්ද මහත්තයත් ඉස්සර අලුත් කඩේ උසාවියේ අහන මිනීමැරුම් නඩු, ලොකු මංකොල්ලකෑම්වල නඩු අහනවා බලන්න නිතරම  උසාවියට ගිහින් තියෙනවා. ඒ දැනුමෙන් තමයි ඩීමන් ආනන්ද සුපිරි රහස් පරීක්ෂක කතා ලිව්වේ.

සරල ආදර කතාවකට වඩා වැඩි ගැඹුරක් තියෙන ප්‍රබන්ධයක් ලියන්න ආස අය හොඳට බැක්-ග්‍රවුන්ඩ් රිසර්ච් කරන්න පුරුදුවෙන්න.

3] කතාවෙ මුල මැද අග 

මුලදි වෙන්නේ මොනවද? මැද හරියෙදි මොනව වෙන්න ඔනෙද? ඉවර වෙන්නේ කොහොමද? මේ ගැන හිතලා ප්ලොට් එක නැතිනම් කතාවේ synopsis එක හදාගන්න.

4]  ඊට පස්සේ චරිතවලට පණපොවන්න 

5] Action sequences එහෙම නැතිනම් ක්‍රියාදාම සිදුවෙන තැන්වලදී ඒවා තාත්විකව ගොඩනගාගන්න. 

6] පාඨකයාට පසුබිම් තොරතුරු දෙන උපක්‍රම සකසා ගන්න. 

උදාහරණයක් විධියට කතා නායකයාව සිතුවිලි දාමයක ගිල්වලා එයාගේ සැලසුම් නැතිනම් අතීත සිදුවීම්, එක් පරිච්චේදයකින් තව එකකට මාරු වෙනවිට ඒ දෙක අතර මැද සිදුවුන දේවල් එයාට මෙනෙහි වෙන ආකාරයට ලියන්න පුලුවන්.

7] දෙබස් ඇතිවන අවස්ථාවලදි 

ඒ දෙබස් වලින් කතාවේ වැදගත් තොරතුරු හා චරිතවල පසුබිම, සිතුවිලි හා ආකල්ප ඉස්මතුවෙන ආකාරයට ගොඩනගා ගන්න.

8] දැන් ලියන්න --- > ලියපුවා කියවන්න -----> වැරදි තැන් හදාගෙන ඉස්සහරට යන්න --------> ආයෙත් මුල ඉඳන් කියවන්න -------> නොගැලපෙන තැන්, වැරදි තැන් හදාගෙන ඉස්සහරට යන්න -------> ලියපුවා කියවන්න -------> කතාවේ මැද හරියේ / අග හරියේ ලියලා තියෙන ඒවා මුල හරියේ කියපුවට, මවපු චිත්‍රයට ගැලපෙනවාද බලන්න----------->

මම කතාවක් ලියලා ඉවරවෙන කොට ඒක මුල ඉඳන් අගට විසි තිස් වතාවක් කියවලා තියෙනවා. ඉවර වුනාම ඒක පෝස්ට් කරන්න ඉස්සෙල්ලා දවස් දෙකක් විතර විවේක අරගෙන ආයෙ මුල ඉඳන් කියවලා අඩුපාඩු හදලා පෝස්ට් කරන්න.  ලියලා ඉවරවුනු ගමන් කලබලේට පොස්ට් කරන්න එපා.

ඔබට ජය!!!




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ඔබගේ විද්‍යා ප්‍රබන්ධ කියෙව්වම හිතෙනවා කයිච්ටන් වගේම ඔබත් කොයි තරං ඒ වෙනුවෙන් මහන්සි වෙනවද කියලා. හරිම අමාරු කාර්යයක් ඒක. හිත හදාගෙන කොනක් අහුවෙනකං වෙලාව කනවා කියන්නේ මට නං කරන්න බැරිම දෙයක්.. (කමෙන්ට් බොක්ස් එක හදපු එකට තැන්ක්ස්. මං දවස් ගානක් හැරිල ගියා කමෙන්ට් කරන්න බැරිව..)

    ReplyDelete

Post a Comment