HUMAN HISTORY: ගෝල් දේශයේ සූර පප්පලා සීසර්ගේ රෝමන් කාරයින්ට පැරදුනේ අද වගේ දවසක | Anniversary of Caesar's Victory at Alesia Siege in Gaul
සන්දර්භය : වර්සින්ජෙටොරික්ස්ගේ නායකත්වය යටතේ එක්සත්වූ ගෝල් හමුදාවන්ට එරෙහිව සිදු වූ ඇලේසියාවේ වැටලීම ක්‍රි.පූ. 52 සැප්තැම්බර් මාසයේ දී ජූලියස් සීසර් විසින් ජයග්‍රහණය කරනු ලැබුවා. 2026 ඔක්තෝම්බර් මුල් සතිය පසුවෙන විට වසර 2,077 කට පෙර රෝමන් හමුදා හා ගෝල් දේශයේ රණකාමීන් අතර සිදු වූ බිහිසුණු සටන් මාළාවක අවසානය සටහන් වුනා.
සුප්‍රකට Asterix කාටූන් පොත්වල පිළිඹිබු වන්නේ සීසර් ගෝල් දේශය අල්ලාගැනීමට සිදුකල සටන් හා රෝමන් හමුදා පරාජය කරන ආකාරය උපහාසාත්මක උත්ප්‍රාසයකි. සිරසේ සූරපප්පා ලෙස හඬ කැවුනේ Asterix කාටූන් පොත්වලින් බිහිකල සජීවී Adventures of Asterix කාටූන් සිංහලට හඬකැවීමෙනුයි.
බෙදීවෙන්වී සිටි ගෝල්වරුන් එක්සේසත් වීම
ක්‍රි.පූ. 51/52 ආරම්භය වන විට, ආර්වර්නි ගෝත්‍රයේ නායකයා වූ වර්සින්ජෙටොරික්ස්, බෙදී, විසිරී කුළල්කාගනිමින් සිටි ගෝල් දේශයේ විවිධ ගෝත්‍රයන් (නූතන ප්‍රංශය හා බෙල්ජියම ඇතුලත් විශාල ප්‍රදේශය) එක්සත් කරමින් රෝම අධිරාජ්‍ය ජූලියස් සීසර්ගේ දීර්ඝකාලීන යුද ආක්‍රමණයට විරුද්ධව දරුණු හා පුළුල් කැරැල්ලක් ඇති කිරීමට සමත් වුනා.
![]() |
| වර්සින්ජෙටොරික්ස් හා ඔහුගේ යුධ නායකයින් මෙහෙයුම් සැලසුම් කරමින්: Image Generated by Meta AI using historical data as input |
ගෝල් වරුන්ගේ යුධ උපාය - Strategy of Gauls
රෝම සේනාංක දවන ලද පොළොව උපාය මාර්ගය (scorched earth tactics) එනම් රෝමන් වරුන්ට ප්‍රයෝජනවත් සියල්ල විනාශ කරමින් සහ පහරදී ඉක්මණින් පසුබැස යාමේ ගරිල්ලා උපායමාර්ග මගින් වෙහෙසට පත් කිරීම ගෝල්වරුන්ගේ ප්‍රධාන සටන් උපාය වුනා.
මේ යුධ සංග්‍රාමයේ අවසන් අදියර ලෙස වර්සින්ජෙටොරික්ස් නැගෙනහිර ප්‍රංශයේ වර්තමාන අලීස්-සෙන්ට්-රේන් අසල පිහිටි ඇලේසියා නම් කඳු මුදුනේ බලකොටුව වෙත සිය හමුදාවන් රැගෙන ගියේ ශක්තිමත් බළකොටුවක් තනාගෙන රෝම ප්‍රහාරවලට මුහුණදීමේ අපේක්ෂාවෙන් සිටියා.
මේ ශක්තිමත් බලකොටුවකින් ආරක්ශාව සිටි ගෝල් හමුදාවට සෘජු ප්‍රහාරයකට නොයන්නට ජූලියස් සීසර් තීරණය කලේ ඔහුගේ යුධ උපායශීලිත්වය මනාව ප්‍රදර්ශණය කරමින්.
බළකොටුවලට මුවාවී සටන් කල නිර්භීත, බිහිසුණු සටන්කරුවන් වූ ගෝල්වරුන්ට කෙලින්ම පහර දීම විශාල රෝමන් මරණ සංඛ්‍යාවකට පාරකපන බව අවබෝධ කරගත් සීසර් ඒ වෙනුවට ගෝල් වරුන් නොසිතු උපායක් යොදාගත්තා.
සීසර්ගේ ප්‍රති-උපාය - Counter Strategy of Caesar
![]() |
| ජූලියස් සීසර් හා ඔහුගේ සෙනෙවියන් ගෝල් දේශයේ ප්‍රහාර සැලසුම් කරමින් Image Generated by Meta AI using historical data as input |
ගෝල් කඳවුරේ සටන්කාමීන් උපරිම 80,000 ක් පමණවන බව සීසර්ගේ ඔත්තු කරුවන් වාර්තාකර තිබුණා. බලවත් ලෙස ආරක්ෂා කර තිබූ විශාල බළකොටු ජනාවාසයක් හමුවේ, සීසර් සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළකී සිටිමින් ඒ වෙනුවට වටලෑමක් ආරම්භ කිරීමට තීරණය කළා. ගෝල් හමුදාව සාගින්නේ තබා යටත් කර ගැනීමේ අරමුණින් සැතපුම් 11 ක් දිග ආරක්ෂක වළල්ලක් ඉදි කිරීම සඳහා සීසර් සෙබළුන් 60,000 ක් පමණ යෙදවූවා.
ගෝල් දේශයේ අභ්‍යන්තරයේ සිට තවත් මහා සේනාවක් සටනට පැමිණෙන බව සීසර්ගේ ඔත්තුකරුවන් වාර්තා කරනවා.
සීසර්ගේ ඔත්තුකරුවන් විසින් රෝම කඳවුර දෙසට පැමිණෙමින් තිබූ දැවැන්ත හමුදාවක් පිළිබඳව වාර්තා කළා. ළඟා වෙමින් සිටි ගෝල් සහන හමුදාවේ තර්ජනයට මුහුණ දීම සඳහා, සීසර් තම සේනාංක භටයින්ට පිටතට මුහුණලා ඇති සැතපුම් 14 ක් දිග ද්විතීයික බාහිර වටලෑම් වළල්ලක් ඉදි කරන ලෙස අණ කළා.
ජලය පුරවන ලද ගැඹුරු දිය අගල්, උගුල්, උල් සහිත දිය අගල් සහ ලී මුර කුටි වලින් සමන්විත වූ මෙම ද්විත්ව බලකොටු පද්ධතිය පෙර නොවූ විරූ ආරක්ෂක බාධකයක් නිර්මාණය කළා.
ගෝල් සෙබළුන් 100,000ක පමණ සහන හමුදාවක් රැළි කිහිපයකින් වේගයෙන් රෝම ආක්‍රමණිකයින් වෙත කඩාවදිමින් සිටියා.
රෝම හමුදාවන් දැවැන්ත හමුදා දෙකක් අතරට කොටු වුණා. මාස ගණනාවක් පුරා, රෝම හමුදා විනයේ සහ උපායශීලීත්වයේ උපරිම සීමාවන් පරීක්ෂාවට ලක් කරමින්, පෙරමුණු දෙකකම බිහිසුණු ලෙස සටන් කරන්නට සිදුවුනා. එක් පසකින් කඳවුරු බැඳසිටි වර්සින්ජෙටොරික්ස්ගේ හමුදා රෝමන්වරුන්ට පහරදුන් අතර අනෙක් පසින් වර්සින්ජෙටොරික්ස්ට සහයට පැමිණෙන අතිවිශාල හමුදාවේ ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවුනා.
සීසර් ප්‍රතිප්‍රහාර මෙහෙයුම සියතට ගනී
සීසර්ගේ සෘජු අණ යටතේ, රෝමවරු සෑම ප්‍රහාරයක්ම සාර්ථකව මැඩපැවැත්වූ අතර, අවසානයේදී සහන සේනාව පලවා හැර ගෝල්වරුන්ගේ යුධ ශක්තිය හා අභිප්‍රේරණය සම්පූර්ණයෙන්ම බිඳ දැමූවා.
සැපයුම් සම්පූර්ණයෙන්ම අවසන් වීමත් සමඟ, වර්සින්ජෙටොරික්ස් කිසිදු කොන්දේසියකින් තොරව සීසර්ට යටත් වූ අතර, ඒ තුළින් ගෝල් යුද්ධ අවසන් වූ අතර වර්තමානයේ ප්‍රංශය සහ බෙල්ජියම ලෙස හැඳින්වෙන විශාල ප්‍රදේශය සියවස් ගණනාවක්ම කිසිදු අභියෝගයකින් තොරව ස්ථිර රෝම ආධිපත්‍යයට නතුවුනා.
ඇලේසියාවේ වැටලීම පුරාණ රෝම ඉංජිනේරු ශිල්පයේ සහ යුධ උපාය මාර්ගයේ විශිෂ්ටතම නිදසුනක් ලෙස පවතින අතර, එහි සංකීර්ණ බලකොටු පද්ධතිය පසුව සිදු කරන ලද නූතන පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කර සිතියම්ගත කොට තිබෙන, සැබැවිම සිදුවූ රෝම අධිරාජ්‍යයේ හා එහි පළමු අධිරාජ්‍යයා ලෙස සීසර්ගේ දෛවයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් වුන බව ඉතිහාසඥයින් පවසනවා.


Comments
Post a Comment