නියමු රහිත රොබෝ යානා මිනිස් නියමුවන් අභාවයට යවයිද?

 
වසර      : 2008
ප්‍රදේශය : කළු මුහුද අසබඩ ජෝර්ජියා/අබ්කාසියා දේශසීමාව

පැරණි සෝවියට් දේශයේ රාජ්‍යයක් වුනු ජෝර්ජියාවේ ප්‍රාන්තයක්ව තිබුණු අබ්කාසියාව රුසියාවේ යුධමය ආධාර වල ශක්තියෙන් වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කල අතර ජෝර්ජියාව එයට විරෝධය පාන්නට විය. එවක ජෝර්ජියාව ඊශ්‍රායලයෙන් ලබාගත් නියමු රහිත යානා උපකාරයෙන් ජෝර්ජියා/අබ්කාසියා දේශසීමා ප්‍රදේශය නිරීක්ශණය කරමින් සිටි අතර රුසියානු හමුදා අබ්කාසියාවට ඇතුලුවී ජෝර්ජියානු දේශසීමාවේ කඳවුරු බැඳගන්නා ආකාරය ජෝර්ජියානු නියමු රහිත යානාවල කැමරාවලට හසුවුනු අතර ජෝර්ජියාව මෙම ඡායාරූප ලොව පුරා මාධ්‍යවලට නිකුත් කරමින් රුසියාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපහසු තාවයට පත් කලේය.

මිසයිලයක් මුදාහරින මිග් 29 යානයක්
 මෙයින් කෝපයට පත් රුසියාව එක් ජෝර්ජියානු නියමු රහිත යානයක් රුසියානු මිග් 29 ප්‍රහාරක යානාවක් මගින් වෙඩිතබා බිඳ හෙලන ලදී. රුසියානු මිග් යානයේ ප්‍රහාරය අවසාන මොහොත වනතෙක් නියමු රහිත යානාවේ කැමරා මගින් යානා මෙහෙයුම් කරුවන්හට සජීවීව ලබාදෙන ලදී. රුසියානු මිග් 29 යානය ප්‍රහාරය සඳහා ස්ථානගත වන ආකාරයත්, තාප සංවේදක මිසයිලයක් මුදාහරින ආකාරයත් පමණක් නොව මිසයිලය විදුලිවේගයෙන් යානය වෙත ලඟාවෙන ආකාරයත් නියමුරහිත යානයෙන් පාලක මැදිරියට සජීවීව ලබාදෙන ලදී.

මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

නියමු රහිත යානාවලට ඔත්තු බැලීමේ හා භූමියේ ඉලක්ක කරා සාර්ථකව ප්‍රහාර එල්ලකිරීමේ මෙහෙයුම් කල හැකි වුවත් ඒවාවලට තමන්ගේම ආරක්ශාව සලසාගැනීමට හෝ තවත් ගුවන් යානයක් සමග ගුවන් සටනක නිරතවීමට හැකියාවක් නැති බවයි.

දැනට තිබෙන තාක්ශණයට අනුව හොඳින් පුහුණුවූ ප්‍රහාරක ජෙට් නියමුවෙක් සතු දැනුම පලපුරුද්ද හා හැකියාව පරිගණක වැඩසටහනකට ඇතුලු කිරීමට කිසිසේත්ම නොහැකිය. පරිගණක කොතරම් වේගවත් වුවත්, බලසම්පන්න වුවත් බිලියන 100කට අධික නියුරෝන සංඛයාවක් ඇති, එම නියුරෝන හා සිනැප්ස අතර වසර ගණනාවක අත්දැකීම් හා පුහුණුව ගබඩාකරගෙන ඇති මිනිස් මොලයකින් මෙහෙයවන ප්‍රහාරක යානයක් හා කරට කර සටන් වැදිය හැකිවන ලෙස ප්‍රහාරක යානයක් මෙහෙයවිය හැකි පරිගණකයක් තවම නිපදවා නැත. 

පරිගණක චෙස් වීරයා

IBM සමාගම නිර්මාණය කල Deep Blue නම් පරිගණකය 1997දී ලොව සුපිරි චෙස් ක්‍රීඩකයා වුනු ගැරී කැස්පරොෆ් පරාජයකල බව සැබෑවකි, එහෙත් මෙය පරිගණකය තනිවම කල හපන්කමක් නොව දුසිම් ගණනක් පරිගණක ඉන්ජිනේරුවන් විසින් සෑම තරඟයකටම පෙර හා පසු පරිගණකයේ වැඩසටහන සීරුමාරු කරමින් එය කලින් වටයේදී සිදුකල වැරදි නැවත නොකරන්නට ක්‍රියාකරමින් ගන්නා ලද ජයග්‍රහණයකි. තරඟය සඳහා ගැරී කැස්පරොෆ් තනිවම පැමිණි අතර Deep Blue පරිගණකය පැමිණියේ පරිවාර සේනාවක්ද සමගය.
වොට්සන් පරිගණක වැඩසටහන මිනිස් තරඟ කරුවන් දෙදෙනෙකු සමග ජෙපර්ඩි ප්‍රශ්ණ විචාරාතමක වැඩසටහනට සජීවීව සහභාගී වෙමින්.
එපමණක් නොව 2011දී IBM සමාගම නිර්මාණය කල Watson නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහන සාමාන්‍ය භාශාවෙන් (natural language) ප්‍රශ්ණ අසන ජනප්‍රිය අමෙරිකන් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් වන Jeopardy නම් වැඩසටහනෙන් මිනිස් තරඟකරුවන් අභිබවා ජයගත්තේය. එහෙත් මේ හපන්කම සඳහා වොට්සන් වැඩසටනට ටෙරාබයිට් 4කට අධික ධාරිතාවක් ඇති දෘඩතැටියක් පිරෙන්නට දත්ත සපයාදී තිබුණු අතර එම දත්ත අතර සම්පූර්ණ විකිපීඩියා විශ්වකෝශයද තිබුණු බව සඳහන් වේ.

චෙස්ක්‍රීඩා කිරීම හා ගුවන් සටන් අතර වෙනස

ගුවන් සටනකදී නියමුවා සෑම තත්පරකයදීම පූර්ණ තත්ව සම්ප්‍රජානනයක (360 degree situational awareness) සිටිය යුතුය. සතුරු යානා තෙබෙන්නේ කොහිද?, තම යානාවට සාපේක්ශව ඒවා කිනම් දිසාවකට කිනම් වේගයකින් ගමන් කරයිද? තම සගයින් සිටින්නේ කොයිබදද? ඔවුන් කෙලෙස සතුරු තර්ජනයට ප්‍රතික්‍රියා කරනවාද? යානයේ ඉන්ධන තත්වය, අවි ආයුධ සූදානම, යානයට සවිකර ඇති රේඩාර්, අධෝරක්ත සංවේදක වෙනත් උපකරණ මගින් ලැබෙන දත්ත මොනවාද? වැනි සියගණනක් වැදගත් කරුණු ගැන සෑම තත්පරයකම අවධානයෙන් සිටින අතර සතුරු යානා හා සිය සගයින්ගේ යානා සිදුකරන මාර්ග වෙනස් කිරීම් හා වෙනත් ක්‍රියාවලට නියමුවා ස්වයංක්‍රීයව ප්‍රතික්‍රියා දක්වයි. මේ සියල්ල සිදුවෙන අතරම නියමුවා (හෝ දෙදෙනා) ගුවනේ සිටින සිය සගයන් සමග, ගුවනේ රැඳී සිටිනා AWACS වැනි පියාඹන මෙහෙයුම් මධ්‍යස්ථාන, සතුරු රේඩාර් හා මිසයිල අවුල් කරන electronic counter-measures උපකරණ වලින් සන්නද්ධ යානා, ඉන්ධන සපයන ටෑංකර් යානා මෙන්ම ගොඩබිම සිටිනා අණදෙන නිළධාරීන් සමගද නිරන්තරව රේඩියෝ පණිවුඩ හුවමාරුවල යෙදී සිටියි.

එමපණක් නොව බොහෝ බලසම්පන්න යානා එක නියමුවෙක් නොව නියමුවන් දෙදෙනෙකු යොදා ගෙන පියාසර කල යුතු යානාවේ. නියමුවන් දෙදෙනෙකු ඇවැසි වන්නේ එම යානා එතරම්ම සංකීර්ණ නිර්මාණ වන බැවිනි. දෙදෙනෙකු (යානය පියාසර කරවන්නා හා අවිආයුධ ක්‍රියාකරවන්නා - pilot & weapons officer ) සිටින විට දෙදෙනාම ඉතා සහයෝගයෙන් එකාමෙන් ක්‍රියාත්මක විය යුතුය. එකෙකු සිතනාදෙය අනෙකා ඉවෙන් මෙන් දත යුතුය. මෙවැනි හැකියාවක් මිනිස් නියමුවන් ලබාගන්නේ පැය සිය ගණනාවක් එකට පුහුණු පියාසැරිවල නිරතවීමෙනි.

පියාසර කරවිමට නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය අති නවීන මිග්-35 ප්‍රහාරක ජෙට්යානය
මෙවැනි සුසංයෝගී ක්‍රියාවලියක් පරිගණක වැඩසටහනකට හසුකරගැනීම දැනට ඇති ඉහලම පරිගණක තාක්ශණයට වුවද තවමත් සිහිනයකි. තව අවුරුදු 20කින් පමණ එතරම් බලසම්පන්න එහෙත් ගුවන් යානයකට සවිකර හැකි ලෙස කුඩා ප්‍රමණයේ පරිගණක නිපැදවෙන ඇත. එතෙක් මිනිස් නියමුවන් ප්‍රහාරක ජෙට් යානාවල රජ කරනු ඇත.






Comments

  1. ඒකනම් ඇත්ත,යන්ත්‍රවලට මිනිහගෙ තැනට එන්න තව ගොඩක් කාල‍යක් යාවි.
    අර Black ops 2 -trailer එකේ කියනව වගේ වගෙ.
    "But what happen when enemy steal the keys,,They all ways need men like us, Can do what others cannot. "

    ReplyDelete

Post a Comment