ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතා කරන ආකාරය [Understanding the Mode Dial of a Digital Camera - Everyday Photography Tutorial #2]


ඉහත රූපයේ පෙන්වන්නේ නිකොන් කැමරාවක Mode Dial උපාංගයයි. ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙවැනිම  මුහුණතක් තිබෙන්නට පුලුවන. කැමරාවේ ඉතාම වැදගත් වැඩකොටසක් සිදුකරන මෙම ඩයලයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව නිවැරදි දැනුමක් තිබීම ඔබගේ කැමරාවෙන් ඉතා හොඳ තත්වයේ ඡායාරූප ලබාගැනීමට අත්‍යාවශ්‍ය වේ.

M A S P අකුරුවලින් දක්වන්නේ කුමණ ක්‍රියාකාරිත්වයන්ද?


නිකොන්, ෆුජිෆිල්ම්, ඔලිම්පස්, සෝනි වැනි කැමරාවල මෝඩ් ඩයලයේ M A S P අක්ශර සඳහන් වන අතර කැනන් කැමරාවල M Av Tv P ලෙස සටහන් කර තිබේ. මෙහිදී නිකොන් ඇතුලු නිශ්පාදකයින් A හා S ලෙස දක්වන ආකාර කැනන් කැමරාවල දක්වන්නේ Av හා Tv යනුවෙනි.

M හෙවත් Manual Mode

මෝඩ් ඩයලය කරකවා Manual Mode තෝරාගත් විට කැමරාව සියලුම ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වයන් ගෙන් මිදී භාවතා කරන්නාට අවශ්‍ය ආකාරයට සියලුම settings, එනම් කැමරාවේ නාභිගත කිරීම (focus), ශටරයේ වේගය (shutter speed), ආලෝක තව්වේ (aperture) ප්‍රමාණය, ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) වැනි සියලුම තෝරාගැනීම් හා සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.

මැනුවල් මෝඩ් ආකාරයෙන් හොඳ ඡායාරූප ගැනීම සඳහා කැමරාවේ තාක්ශණික හැකියාවන් හා ඡායාරූපකරණයේ සිද්ධාන්ත පිලිබඳව සෑහෙන දැනුමක් තිබිය යුතුය.

A (Av) හෙවත් Aperture Priority Mode

ඇපචර් යනු, කැමරාවේ කාචය හරහා එන ආලෝකය, සෙන්සරය වෙත යාමේදී පසුකරන සිදුර හෙවත් ආලෝක තව්වයි. මෙම සිදුරේ විශාලත්වය අනුව ලැබෙන ඡායාරූපයේ යම් යම් වෙනස්වීම් සිදුවෙයි. Aperture Priority ආකාරය තෝරාගත්විට කැමරාව, භාවිතා කරන්නා හට ඇපචර් අගය තෝරා ගැනීමට ඉඩ දෙන අතර, තෝරාදෙන ඇපචර් අගයට අනුරූප වන ආකාරයට ශටරයේ වේගය (shutter speed), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) ස්වයංක්‍රීයව සකසා ගනියි.

ඡායාරූප ශිල්පීන් Aperture Priority ආකාරය භාවිතා කරන්නේ ඔවුන් ගන්නා ඡායාරූපයේ Depth of Field (DoF) අඩු වැඩි විය යුතු ආකරය අනුවයි. Depth of Field හෙවත් ඡායාරූපයේ ඈතින් ඇති වස්තූන් පවා පැහැදිලිව සටහන් වීම හෝ නොවීම කැමරාවේ ඇපචර් සිදුරේ විශාලත්වය අනුව තීරණය වේ. උදාහරණයක් ලෙස මල්වත්තක ඡායාරූපයක් ගන්නාවිට එම මල්වත්තේ ඡායාරූපයට හසුවන සියලුම ස්ථාන එකලෙස පැහැදිලිව පෙනිය යූතුය, එනම් Depth of Field තිබිය යුතුය. මේ සඳහා කුඩා ඇපර්චරයක් (කුඩා සිදුරක්) තිබෙන ආකාරයට ඇපර්චර් අගය සැකසිය යුතුය.

හොඳ Depth of Field ඇති ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ගැනීමේදී ඇපචරය කුඩා විය යුතු අතර ඒ සඳහා විශාල f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/22
අඩු Depth of Field ඇති ඡායාරූපයක්. මෙහිදී නාභිගත කොට ඇති මල හැරුණකොට ගෙන අවට ඇති අනෙකුත් මල් සියල්ල බොඳවී ඇති ආකාරයට ඡායාරූප ගත වී ඇත. මෙවැනි ප්‍රථිපලයක් ලබා ගැනීමට ඇපචරයේ විශාලත්වය වැඩිවිය යුතු අතර, ඒ සඳහා කුඩා f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/2
කැමරාකරණයේදී ඇපචර් අගයන් f-stops නැතහොත් f-number ලෙස හැඳින්වෙන අතර කැමරා කාචයේ, එම කාචයෙන් ලැබෙන ඇපර්චර් අගයන් 16 11 8 5.6 4 2.8 2 යනාදී ආකාරයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබේ. පහත රූපය බලන්න.


එක් එක් f-stop/f-number අගයන් හිදී ඇපචරයේ විශාලත්වයද රූප සටහනේ දක්වා ඇත. මෙහිදී ආධුනිකයින් ව්‍යාකූලත්වයට පත්විය හැකි එක් කරුණක් නම් f-stop/f-number අගය විශාලවන විට, ඊට අනුබද්ධ ඇපචර් සිදුරේ ප්‍රමාණය (aperture size) කුඩාවන බවයි. උදාහරණයක් ලෙස f/22 අගයේදි ඇපචරයේ ප්‍රමාණය ඉතා කුඩා බව රූපසටහනෙන් ඔබට පෙනෙනු ඇත. f/2අගයේදී ඇපචරයේ ප්‍රමාණය ඉතා විශාල වේ. එනම් f-stop/f-number අගය හා ඇපර්චරයේ විශාලත්වය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී.

කැමරා ලෙන්සයක ඉදිරියේ Focal Length හා f-stop/f-number සටහන් කොට ඇති ආකාරය

Focal Length ඇසුරින් ලෙන්සයක Optical Zoom අගය ගණනය කරගන්නා ආකාරය

18-55mm ලෙස දක්වා ඇති ඉහත ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය කොතරම්ද? වැඩි මිලිමීටර් අගය, අඩු මිලිමීටර් අගයෙන් බෙදීමෙන් සූම් අගය ලබාගත හැකිය. එනම් 55/18=3. මෙම ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය හෙවත් දුර ඇති වස්තූන් ලං කොට ඡායාරූප ගතකිරීමේ හැකියාව 3ගුණයකි.

Telephoto Zoom

ඉතා ඈත ඇති වස්තූන් ඡායාරූපගත කිරීමට ටෙලිෆොටෝ සූම් ලෙන්සයක් අවශ්‍යය. මෙවැනි ලෙන්සවල අගය 18-400mm වැනි අගයන් ගනී. 18-400mm. ලෙන්සයක ඔප්ටිකල් සූම් අගය : 400/18=22 වේ.


S (Tv) හෙවත් Shutter Priority Mode 

Shutter Priority Mode ආකාරය තෝරාගත් විට ඡායාරූප ශිල්පියා කැමරාවේ ශටරයේ වේගය තෝරාගන්නා අතර, කැමරාව තෝරාදෙන ශටර් වේගයට අනුරූපව ඇපචර් අගය හා අනෙකුත් සීරුමාරු ස්වයංක්‍රීයව සිදුකරගනී.

ඇපචර් ප්‍රයෝරිටි ආකාරය ඡායාරූපයේ depth of field වෙනස් කිරීමට භාවතා කරනවා මෙන් ඡායාරූප ශිල්පීන්ට Shutter Priority Mode ආධාරයෙන් ශටරයේ වේගය පාලනය කිරීමෙන්ද විවිධාකාරයේ ඡායාරූපී ප්‍රථිපල (photographic effects) ලබාගත හැකියි. හොඳ කැමරාවක ශටරයේ වේගය තත්පර 30ක-60ක අවම වේගයේ සිට තත්පරයෙන් 1/4000ක් තරමේ අධික වේගයක් දක්වා සීරුමාරු කිරීමේ හැකියාව තිබේ.

Shutter Priority Mode ආධාරයෙන් ලබාගත හැකි photographic effects මොනවාද?

1] Fast shutter speed for freezing action.


ඉහත අධිවිබේධන ඡායාරූපය බලන්න. F1 ධාවන තරඟයකදී සිදුවන අණතුරක්, ඒ ඇසිල්ලේම ඡායාරූපගත වී ඇති අතර, වාහන දෙකෙහි කොටස් අහසේ රැඳී තිබෙන්නාක් මෙන් ඉතා පැහැදිලිව සටහන් වී ඇත. පැයට කිලෝමීටර් 200ක් පමණ වේගයෙන් ධාවනය වන රථ දෙකක් එකට ගැටීමකදී පවා මෙතරම් පැහැදිලිව සියලු දේ සටහන් වී ඇත්තේ ඡායාරූප ශිල්පියා ඉතා ඉහල (1/4000 පමණ) ශටර් වේගයක් සහිතව ඡායාරූපය ගෙන ඇති නිසාය. මෙවැනි freeze-action ඡායාරූප ගැනීමට Shutter Priority Mode ඉතා වැදගත් වේ.

2] Very slow shutter speed for special effect photography


ඉහත ඡායාරූපය බලන්න. රාත්‍රීකාලයේ මහා මාර්ගයක ගෙන ඇති මෙම ඡායාරූපයෙහි වාහන සටහන් වී නොමැති අතර ඉදිරියට එන වාහනවල ප්‍රධාන ලාම්පු හා විරුද්ධ අතට යන වාහනවල පසුපස රතු ලාම්පු රේඛා ලෙසට සටහන් වී ඇත. Light trails photograph ලෙස හඳුන්වන මෙම ආකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා කැමරාව ශටර් ප්‍රයෝරිටි ආකාරයට සකස්කරගෙන ශටර් වේගය තත්පර 30ක් හෝ 60ක් දක්වා අඩුකර ඡායාරූපය ගත යුතුය.

P හෙවත් Program Mode

ප්‍රෝග්‍රෑම් මෝඩ් ආකාරයේදී කැමරාව ලැබෙන ආලෝකයට අනුව ස්වයංක්‍රීයව ඇපචර් විශාලත්වය හා ශටර් වේගය තීරණය කරනු ලබයි. ඡායාරූප ශිල්පියාට ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.

Program Mode පිලිබඳව දැනගත යුතු වැදගත් කරුණක් නම් Program Mode යනු කැමරාව පූර්ණලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන (fully automatic) අවස්ථාවක් නොවන බවයි. පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයට පත්කර ගැනීමට මෝඩ් ඩයලය AUTO ලෙස දක්වා ඇති ස්ථානය වෙත කරකැවිය යුතුය. එවිට ඕනෑම සංකීර්ණ කැමරාවක්, සරල point & shoot වර්ගයේ පොකට් කැමරාවක් මෙන්ම පහසුවෙන් ක්‍රියාත්මක කල හැකිය. AUTO අවස්ථාවේදී ඡායාරූපය ගන්නා තැනැත්තා කැමරාව එල්ලකොට ශටර්-රිලීස් බොත්තම එබීම පමණක් සෑහේ.

Scene Modes



M A S P AUTO යන තෝරාගැනීම් වලට අමතරව බොහෝ කැමරාවල මෝඩ් ඩයලයේ විවිධ අයිකන රැසක් දක්වා ඇත. Scene Modes ලෙසින් හඳුන්වන මෙම අයිකන විශේෂිත ඡායාරූප අවස්ථාවන් සඳහා කැමරාව ස්වයංක්‍රීයව සූදානම් කරන තෝරාගැනීම් පෙලකි.

Scene Modes තෝරාගන්නා ආකාරය වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.









10 comments:

ඇමරිකානු GPS සේවාවට තරඟයක් දෙන්නට සූදානම් වන රුසියානු GLONASS හා චීන BeiDou

GPS චන්ද්‍රිකාවක්
GPS හෙවත් Global Positioning System 1973 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් ව්‍යාපෘතියක් ලෙස ඇරඹිනි. මෙහි අරමුණ වූයේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට සිය හමුදාවන්, යුධ නෞකා හා ගුවන්යානා ස්ථානගතවී තිබෙන තැන් ඉතා නිවැරදිව, ඕනෑම කාළගුණ තත්වයක් යටතේ දැනගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමයි. මුලින් චන්ද්‍රිකා 10ක පද්ධතියක් ලෙස 1985 වසරේදී නිළවශයෙන් ක්‍රියාත්මකවීම ආරම්භවිය.

1994 වනවිට චන්ද්‍රිකා 24ක් දක්වා වැඩි දියුණු වුනු ජී.පී.එස් පද්ධතිය තවදුරටත් අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙතත්, එහි සේවාව ඕනෑම රටක සිවිල් ජනතාවට හෝ රාජ්‍ය ආයතනයකට ලබාගත හැකිවෙන ලෙස නිදහස් කොට ඇත. දැනට සිවිල් ජී.පී.එස් යන්ත්‍රයක් හෝ ජී.පී.ස් චිපයක් අඩංගු ස්මාර්ට්-ෆෝනයක් මගින් මීටර් 2ක නිරවද්‍යතාවයකින් යුතුව එය පිහිටන ස්ථානය දැක්විය හැකිය. වාර්තාවන අන්දමට අමෙරිකානු යුධ හමුදාවල ජී.පී.ස් යන්ත්‍ර සෙන්ටිමීටර් කිහිපයක නිරවද්‍යතාවයකින් ක්‍රියාතමක වේ.

අමෙරිකානු GPS සේවාවේ ක්‍රියාකාරිත්වය

GPS පද්ධතිය කොටස් තුනකට බෙදා ඇත.

1. අභ්‍යවකාශ පද්ධතිය (Space Segment) 

කිලෝමීටර් 20,200ක් ඉහල අහසේ කක්ශගත කොට ඇති චන්ද්‍රිකා 31ක් මගින් ජී.පී.එස් සේවාව ක්‍රියාත්මක වන අතර මින් සිවිල් සේවාව සඳහා චන්ද්‍රිකා 24ක් දායකවේ. ඉතිරිය හදිසි අවශ්‍යතාවලදී ස්ථානගත කල හැකි ලෙස කක්ශගත කොට ඇත. මෙම චන්ද්‍රිකා 31හි අභ්‍යවකාශ පද්ධතිය අමෙරිකානු ගුවන්හමුදාව මගින් පාලනය වෙයි. මෙම චන්ද්‍රිකා නිර්මාණය හා අභ්‍යවකාශගත කිරීමද සිදුකරන්නේ අමෙරිකානු ගුවන්හමුදාවේ අධීක්ශණය යටතේය.

GPS කක්ශවල රඳවා ඇති ආකාරය.
මෙලෙස චන්ද්‍රිකා ස්ථානගත කිරීමෙන්, ලොව ඕනෑම ස්ථානයකට, ඕනෑම මොහොතක, අවම වශයෙන් චන්ද්‍රිකා 4කින් සංඥා ලබාගත හැකිය.
මෙලෙස චන්ද්‍රිකා 24ක් ලොව වටා විවිධ කක්ශවල ස්ථානගත කිරීමෙන්, ලොව ඕනෑම ස්ථානයක, ඇන්ටාක්ටිකාවට පවා, ඕනෑම මොහොතක චන්ද්‍රිකා අවම වශයෙන් 4ක සංඥා ලබාගත හැකිය. GPS පද්ධතිය නිර්මාණය කොට ඇති ආකාරය අනුව GPS යන්ත්‍රයකට නිවැරදි ස්ථානගත කිරීමක් සඳහා අවම වශයෙන් චන්ද්‍රිකා 4කින් සංඥා ලැබිය යුතුය.

2. පාලන පද්ධතිය (Control Segment) 


එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රීවර් ගුවන්හමුදා කඳවුරේ (Schriever Air-force Base) GPS පද්ධතියේ ප්‍රධාන පාලන මැදිරිය පිහිටා ඇති අතර, කැලිෆෝනියාවේ වැන්ඩෙන්බර්ග් ගුවන්හමුදා කඳවුරේ අමතර පාලන මධ්‍යස්ථනයක් පිහිටුවා ඇත. ශ්‍රීවර් කඳවුර මූලස්ථානය කොටගෙන ඇති, ගුවන් හමුදාවේ 2වන අභ්‍යවකාශ මෙහෙයුම් බළගණය (USAF 2nd Space Operations Squadron) GPS චන්ද්‍රිකා පද්ධතියේ මෙහෙයුම් හා පාලන කටයුතු භාරව සිටියි.

අලුත් චන්ද්‍රිකා ගුවන් ගතකල විට ඒවා බලගන්වා GPS සේවාවට එක් කරගැනීම, අභ්‍යවකාශ ගතකරන ලද ජී.පී.එස් චන්ද්‍රිකා නිවැරදි කක්ශවෙත යොමුකිරීම, චන්ද්‍රිකාවල කක්ශයන් පිලිබඳව අවධානයෙන් සිටිමින්, අවශ්‍ය අවස්ථාවලදී සීරුමාරු කිරීම් හා නිවැරදි කිරීම් සිදුකිරීම, චන්ද්‍රිකාවල ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමින් තබාගැනීම, වැනි සංකීර්ණ ක්‍රියාදාම ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මගින් සිදුවෙයි.

3. සේවා-ලාභී පද්ධතිය (User Segment)

ජී.පී.එස් සේවා ලාභීන් අතර අමෙරිකානු යුධ හා සිවිල් සේවාවන්, පොදු ජනතාව මෙන්ම ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සිවිල් පුරවැසියන්ද වේ. ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, ගුවන්යානා මෙහෙයුම්, මිනින්දෝරු කටයුතු, සන්නිවේදන කටයුතු, සෞඛ්‍ය හා සහන සේවා මෙන්ම, වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති සතුන් රැකබලාගැනීම හා විද්‍යාත්මක පර්යේශණ කටයුතු සඳහාද ජී.පී.එස් පද්ධතිය සේවා සපයයි.

ජී.පී.එස් සේවාව නොමිලේ ලැබෙන අතර ඒ සඳහා සිදුකල යුතු එකම ගෙවීම වන්නේ ජී.පී.එස් යන්ත්‍රය හෝ ජී.පී.එස් පහසුකම අඩංගු උපාංගය මිලදී ගැනීම පමණකි. ජී.පී.එස් සේවාව ලබාගත හැකි සෑම යන්ත්‍රයකම ජී.පී.එස් පරිපථයක් (GPS Chip) අඩංගුවන අතර මෙහි තාක්ශණය සඳහා යම් ගෙවීමක් මෙම පරිපථ නිර්මාණය කරන සමාගම් අමෙරිකානු රජයට සිදුකල යුතුය.

GPS යන්ත්‍රයක් චන්ද්‍රිකා සංඥා මගින් සිය පිහිටුම (location) සොයා ගන්නේ කෙසේද?

සෑම ජී.පී.එස් චන්ද්‍රිකාවක්ම සිය කක්ශය, ගමන්වේගය හා පොලවට ඉහලින් ගමන් කරන ස්ථානය පිලිබඳ තොරතුරු නිරන්තරව සන්නිවේදනය කරයි. ඊට අමතරව ඉතා නිවැරදිව වේලාව සන්නිවේදනය කලහැකි පරමාණු කාල යන්ත්‍ර (atomic clock) සියලුම නවීන ජී.පී.එස් චන්ද්‍රිකාවල අඩංගු කොට ඇත. චන්ද්‍රිකා 4කින් ලැබෙන මෙම තොරතුරු ජී.පී.එස් චිපයේ අඩංගුකොට ඇති සංකීර්ණ ඇල්ගොරිතමයක් (algorithm) මගින් යන්ත්‍රය පොලොවේ පිහිටන නිවැරදි ස්ථානය ගණනය කරනු ලබයි.

GPS සේවාව අඩු වියදමකින් ලබාගත හැකිව තිබියදීත් රුසියාව හා චීනය අධික වියදමක් දරා GLONASS හා BeiDou පද්ධති නිර්මාණය කරන්නේ ඇයි?

රුසියාව සිය පද්ධතිය නිර්මාණය කිරීම ඇරඹුවේ අමෙරිකාව සිය ජී.පී.එස් පද්ධතිය ගොඩනැගීම අරඹා වසර 2කට පසු, එනම් 1975 වසරේදීයි. එකල සෝවියට් දේශය ලෙස අමෙරිකාව හා සීතල යුද්ධයක පැටලී සිටි රුසියාවට තමන්ගේ යුධමය කටයුතු සඳහා ජී.පී.එස් වැනි පද්ධතියක අවශ්‍යතාවය මත ග්ලෝනාස් පද්ධතිය නිර්මාණය කෙරිනි. එකල අමෙරිකානු ජී.පී.එස් පද්ධතිය සිවිල් ප්‍රජාවට විවෘත නොවූ අතර එය යුධමය කටයුතු සඳහා සීමා කෙරුනු ජී.පී.එස් තාක්ශණය සතුරාට නොලැබියයුතු රහසිගත තාක්ශණයක් (Classified Technology) ලෙස අමෙරිකානු රජය මගින් ආරක්ශා කෙරිනි.

අද තත්වය මීට වෙනස් වුවත්, අදටත් රුසියාව මෙන්ම චීනයද සිය යුදමය හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා අමෙරිකානු ජී.පී.එස් සේවාව භාවිතා කිරීමට අකමැත්තක් දක්වන්නේ, සිවිල් ප්‍රජාවට සේවා සැපයූවත් ජී.පී.එස් පද්ධතිය අමෙරිකානු ගුවන් හමුදාව මගින් පාලනය වන, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට යටත් සේවාවක් බැවිනි.

එබැවින් , යුධමය අවස්ථාවලදී අමෙරිකානු රජයට ජී.පී.එස් සේවාව සතුරු රටවල් වෙත ලබා ගැනීම සීමා කිරීමේ හැකියාවක් ඇතැයි විශ්වාසයක් මෙම රටවල් තුල පවතී.

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය වුනු අන්තර්ජාලය පවා යුධමය අවස්ථාවලදී අමෙරිකාවට අවශ්‍ය ලෙස පාලනය කල හැකිවන්නේ අන්තර්ජාලයේ පාලනය හා ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය මර්මස්ථාන බොහොමයක් අමෙරිකාව තුල ක්‍රියාත්මක වන නිසා මෙන්ම අන්තර්ජාලය මුලුමනින්ම අමෙරිකානු තාක්ශණය මත ක්‍රියාත්මක වන ජාලයක් බැවිනි. නාමිකව ICANN හෙවත් Internet Corporation for Assigned Names and Numbers නම් ලාභ නොලබන, රාජ්‍ය නොවන ආයතනයක් මගින් අන්තර්ජාලයේ පාලන කටයුතු සිදුවුනත් ප්‍රායෝගිකව තවමත් අන්තර්ජාලය අමෙරිකානු ආනුභාවය පවතින සේවාවකි.

GPS දැනට ලැබී ඇති තොරතුරු අනුව, යුධමය වශයෙන් අතිශය වැදගත් ජී.පී.එස් සේවාවේ නිරවද්‍යතාවය අවශ්‍ය ආකාරයට පාලනය කිරීමේ තාක්ශණය අමෙරිකානු ගුවන්හමුදාව සතුව පවති. ඒ අනුව අමෙරිකානු හමුදාවන් භාවිතාකරන යුධමය ජී.පී.එස් චිපයන් අඩංගු යන්ත්‍ර වලට බලපෑමක් නොමැතිව සිවිල් ජී.පී.එස් යන්ත්‍රවලින් සාවද්‍ය ස්ථාන තොරතුරු පෙන්වීමේ හැකියාවක් ඇතිබව පැවසේ. චන්ද්‍රිකා මගින් නිකුත් කරන සංඥා වෙනස් කිරීමෙන් මෙය සිදුකල හැකි බව යුධ තාක්ශණය පිලිබඳ විශේෂඥයන් අනුමාන කරයි.

මේ අනුව යුධමය අවස්ථාවකදී අමෙරිකානු ජී.පී.එස් තාක්ශණය මත යැපීම තමන්ට දැවැන්ත අවාසියක් බව චීනය හා රුසියාව නිගමණය කොට ඇත.

එහෙත් රුසියාව මෙන්ම චීනයද, අමෙරිකාව මෙන්ම සිය ග්ලෝනාස් හා බෙයිඩු පද්ධතියන් සිවිල් ප්‍රජාව සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන්නේ එම පද්ධති ක්‍රියාතමක් කරීමට යන අති විශාල බරපැනෙන් කොටසක් හෝ යලි ලබා ගැනීමේ අරමුණෙනි.

රුසියානු ග්ලෝනාස් හා චීන බෙයිඩු සේවාවන්ට අමතරව බටහිර යුරෝපීය රටවල්ද Galileo  ලෙසින් තමන්ගේම ජී.පී.එස් චන්ද්‍රිකා සේවාවක් සැළසුම් කරමින් පවතින්නේ බටහිර යුරෝපය පවා අමෙරිකාව මත අනවශ්‍ය ලෙස යැපීමේ අණතුර හඳුනාගෙන ඇති බැවිනි.



3 comments:

Popular Science Magazine 2012 Best of Aerospace Technology, [2012 වසරේ හොඳම ගගනවිද්‍යා නිර්මාණ]

[1] NASA Sky Crane landing system (Successfully landed the nuclear powered, 1 ton robotic lab Curiosity on Mars)



කිව්රියෝසිටි රෝවරය අඟහරු මතට සීරුවෙන් ගොඩ බස්වනු ලැබූ ස්කයි-ක්‍රේන් නිර්මාණය ගැන බොහෝ දෙනෙකු දන්නවා. මේ නිර්මාණයේ ඇති අපූර්වත්වය නම් එය පොලොවට සැතපුම් මිලියන ගණනාවක් ඈතින් ඇති වෙනත් ග්‍රහයෙකු මත, කිසිදු මිනිස් සහයකින් තොරව ස්වයංක්‍රීයව සිදුවුනු බැවිනි. මෙවැනි නිර්මාණයක් සිදුකිරීම සඳහා කොතරම් ගණන් බැලීම්, සැළසුම් කිරීම් හා පරීක්ශණ/පර්යේශණ සිදුකරන්න්නට ඇත්ද? ස්කයි-ක්‍රේන් තාක්ශණයේ සැබෑ අපූර්වත්වය නම් එය මිනිස් තාක්ශණය කෙතරම් දියුණුවී ඇතිදැයි පෙන්වන හොඳ මිනුම් දණ්ඩක් බැවිනි..

[2] LOCKHEED MARTIN/KAMAN K-MAX Robotic Transport Helicopter (Active duty in Afghanistan since December 2011)



Maximum speed: 100 knots (185.2 km/h)
Cruise speed: 80 knots (148.2 km/h)
Range: 267 nm (494.5 km)


2008 වසරේදී ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම් ආරම්භ කල අමෙරිකානු හමුදාවන්ගේ වැඩිම ජීවිත හානි සිදුවී ඇත්තේ අල්ඛයිඩා/තලේබාන් සටන්කාමීන් හා මුහුණට මුහුණලා සිදුකෙරුනු සටන්වලින් නොව ඇෆ්ඝනිස්ථානයේ ඈත යුධ කඳවුරු වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ වෙත ආරක්ශාව සපයමින් ගමන් කරද්දී එල්ලවුනු හදිසි ප්‍රහාර හා බිම් බෝම්බ මගිනි. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයේ හමුදා සැපයුම් ආරක්ශාකිරීම මාරාන්තික රාජකාරියක් බවට පත්වී තිබුණි.

2011 දෙසැම්බර් මෙම රාජකාරියට නවතම රොබෝ සෙබලෙකු අනුයුක්ත කරන ලදී. ඒ ලොක්හීඩ් මාටින් සමාගම නිර්මාණය කරන ලද කේ-මැක්ස් නම් නියමු රහිත රොබෝ ප්‍රවාහණ හෙලිකොප්ටරයයි.


මෙම නියමු රහිත හෙලිකොප්ටරයට මෙට්‍රික් ටොන් 2.7ක බරක් කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව සැතපුම් 250ක් (කිලෝමිටර් 400ක්) දුරකට නොනවත්වා ගෙනයා හැකිය. යානයේ පරිගණකයට කවා ඇති දත්ත, ජී.පී.එස් චන්ද්‍රිකා දත්ත හා යානයේ සංවේදක වලින් ලැබෙන තොරතුරු අනුව දිවා-රෑ ඕනෑම වේලාවක නොකඩවා මෙම ප්‍රවාහන කටයුතු සිදුකල හැකිය. 2011 දෙසැම්බරයේ සිට කේ-මැක්ස් හෙලිකොප්ටර් 2ක් මගින් මෙට්‍රික් ටොන් 900ක භාණ්ඩ ප්‍රමාණයක් ඇෆ්ඝනිස්ථානය පුරා ඇති අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රවාහණය කොට එහි විශ්වාසවන්තභාවය තහවුරු කරගෙන ඇතැයි පැවසේ. ඒ අනුව ලොක්හීඩ් මාටින් කේ-මැක්ස් රොබෝ හෙලිකොප්ටරය 2012 වරසරේ විශිෂ්ඨ ගගනවිද්‍යා නිර්මාණයක් ලෙස සටහන් වන ඇත.

[3] RED BULL STRATOS PRESSURE SUIT (Allowed Filix Baumgartner to jump from 40 kilometers above the earth and brought him down safely)


කිලෝමීටර් 40ක් ඉහල අහසේ, එනම් අභ්‍යවකාශ අද්දර සිට බිමට පනින්නට  සිදුවුව හොත්?

කිලෝමිටර් 40ක් ඉහල අහස යනු උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -55ක දැඩි ශීතලක් සහිත, හුස්ම ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති, මිනිස් සිරුරේ සියලු රුධිර නාල පුපුරා ක්ශණික මරණයක් ලඟාදෙන අඩු වායු පීඩනයකින් යුතු මිනිස් සිරුරට මාරාන්තික අණතුරු උදාකල හැකි ප්‍රදේශයකි.


2012 ඔක්තෝම්බර් 14වැනිදා හීලියම් බැලූනයක නැගී කිලෝමීටර් 40ක් ඉහල නැගි ෆීල්ක්ස් බෞම්ගාර්ට්නර් නම් නිර්භීත මිනිසා බැලූනයේ එල්ලා තිබුණු ගොන්ඩෝලාවෙන් එලියට පැන්නේ  මෙතරම් උසක සිට බිමට පනින ලද පලමුවැන්නා ලෙස ඉතිහාසගතවීම සඳහාය. ජීවිතයත් මරණයත් අතර සටනක් වූ මේ මහා පිම්ම ආරක්ශිතව සිදුකිරීම සඳහා බෞම්ගාර්ට්නර්හට අභ්‍යවකාශගාමීන් පලඳින ආකාරයේ ආරක්ශිත ඇඳුම් කට්ටලයක් නිර්මාණය කෙරිනි.

රෙඩ් බුල් සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සිදුකරන ලද මෙම ඇඳුම නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද ගුවන්හමුදාවේ ගුවන් නියමුවන් හා නාසා ගගනගාමීන්හට  ආරක්ශිත ඇඳුම් නිර්මාණය කරන ඩේවිඩ් ක්ලාර්ක් සමාගම විසිනි.

බැලූනයෙන් එලියට පැන විනාඩි කිහිපයකදි බෞම්ගාර්ට්නර් ශබ්දයේ වේගය මෙන් 1.24ක වේගයකින් ගොඩ්බිම දෙසට ඇදී එන්නට වූ අතර මෙවැනි අධික වේගයෙනුත්, සෙන්ටිග්‍රේඩ් -55ක අධික ශීතලෙනුත්, අඩු පීඩනයෙනුත් ආරක්ශා කරන ලද්දේ "රෙඩ්බුල් ස්ට්‍රැටෝ ප්‍රෙශර් සූට්" නම් වූ මෙම ආරක්ශිත ඇඳුමෙනි. එය 2012 වසරේ අපූර්වතම ගගනවිද්‍යා නිර්මාණවලින් එකක් ලෙස සම්මානයට පාත්‍රවන්නේ එබැවිනි.


[3] Boeing Phantom Eye: Hydrogen-powered spy drone (Proved that liquid hydrogen can be a safe and practical energy source to power aircraft)


ඉතා ඉහල අහසේ, බොහෝ කාළයක් රැඳී සිටිමින් (high altitude, long endurance) ඔත්තු බැලිය හැකි යානයක් ලෙස නිර්මාණය වුනු බෝයිං ෆැන්ටම් අයි යානයේ සුවිශේෂත්වය වන්නේ එය හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන්නට නිර්මාණය කොට ඇති බැවිනි. ප්‍රායෝගිකව භාවිතය අපහසු වන ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ වාසිය එය මගින් ලීටරයකට ලබාදෙන ශක්තිය පෙට්‍රෝල් වැනි ෆොසිල ඉන්ධන ලීටරයක් මගින් ලබාදෙන ශක්තියට වඩා විශාල වශයෙන් වැඩි බැවිනි.

මෙම යානය වැදගත් නිර්මාණයක් ලෙස සළකන්නේ එහි ගගනවිද්‍යා හැකියාවන් නිසා නොව එය, ගුවන්යානා සඳහා හයිඩ්‍රජන් ප්‍රායෝගික ඉන්ධන ප්‍රභවයක් ලෙස තහවුරු කිරීමට එය සිදුකරන කාර්යභාරය නිසාය. කිලෝග්‍රෑම් 850ක හයිඩ්‍රජන් ඉන්ධන ටැංකියක් මගින් ෆැන්ටම් අයි යානයට දින හතරක් ඉහල අහසේ රැඳී සිටියහැකි තරමේ බල ප්‍රමාණයක් ලබාදෙයි.

මෙම යානයේ ඇති තවත් වැදගත් අංගයක් නම් යානය බලගන්වන එන්ජින්, එම යානය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද එන්ජිමක් නොව, ෆෝඩ් ෆියුෂන් මෝටර් රථය සඳහා නිපදවන ලද පැට්‍රෝල් එන්ජිමකි (2.3 liter Ford Fusion patrol engine). එය හයිඩ්‍රජන් දහනය සඳහා අනුවර්තනය කොට මෙම යානයට යොදා ඇත.කිලෝමීටර් 20ක් ඉහල, ඔක්සිජන් අවම වූ අහසේ හොඳ කාර්යක්ශමතාවයකින් ක්‍රියාත්මක වීමට මෙම අනුවර්තනය කරනලද එන්ජින් සමත්වී ඇති බව බෝයිං සමාගම පවසයි.


[4] NASA PHONESAT (The cheapest satellite ever to be launched into space)


HTC Nexus One ස්මාර්ට්-ෆෝනයක් පාදක කරගෙන නිර්මාණය කරන ලද නාසා ආයතනයේ මයික්‍රෝ චන්ද්‍රිකාවක් වුනු ෆෝන්-සැට් ක්ශුද්‍ර චන්ද්‍රිකාව ලොව අඩුම මුදලකට නිර්මාණය කරන ලද ප්‍රායෝගිකව භාවිතා කල හැකි චන්ද්‍රිකාව ලෙස පැවසේ.

ෆෝන් සැට් චන්ද්‍රිකාව පිලිබඳ අප තැබූ සටහන මෙතනින් කියවන්න.


[5] NASA/General Motors Robonaut 2 (On active duty aboard International Space Station since August 2011)


Anthropomorphic robot හෙවත් මිනිස් සිරුරේ හැඩය හා ඒහා සමාන ක්‍රියාකාරකම් වල යෙදිය හැකි රොබෝනෝට් 2 නම් රොබෝ යන්ත්‍රය 2011 දී ඩිස්කවරි අභ්‍යවකාශ ශටල් යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. ප්‍රථිස්ඨාපන කටයුතු (installation) අවසන්වීමෙන් පසු 2011 අගෝස්තු මසදී ක්‍රියාත්මක කිරීම ඇරඹුණු රොබෝනෝට් 2 මේවන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

මිනිස් දෑතට බොහෝ සමාන දෑතකින් යුතු රොබෝනෝට් හට පැවරී ඇති රාජකාරි වන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු හා පිරිසිදු කිරීමේ කටයුතු වලට උපකාරී වීමයි.










0 comments:

යූරී ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් ඔහුගෙන් අභ්‍යවකාශ ගමනට ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්!! [හා අභ්‍යවකාශ මෙහෙයුම් හා සබැඳුනු වෙනත් අපූරු චාරිත්‍ර...]


අභ්‍යවකාශ තරණය යනු, රටක දක්ශතම විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන් හා තාක්ශණඥයින් එකට එක්වී සිදුකරන දැවැන්ත තාක්ශණික ව්‍යායාමයකි. අවසන් තත්පරයට, මිලිමීටරයට ගණන්බලමින් වසර ගණනාවක් සැලසුම් කරමින් සියගණනක් පුහුණුවීමේ ව්‍යායාම වලින් අනතුරුවයි සෑම අභ්‍යවකාශ ගමණක් ආරම්භ වෙන්නේ. කරුණු එසේවුවත්, අභ්‍යවකාශ ව්‍යාපෘතිවල නිරතවන්නන් බොහෝවිට සිය මෙහෙයුම්වල සාර්ථකත්වයේ අවසන් අදියර වාසනාව වෙත පවරනවා. කලහැකි සියල්ලම සිදුකලවිට, ඉන් ඉදිරියට සිදුවන සියල්ල වසනාව මත රැඳී පවතින බව විශ්වාස කරන ඔවුන්, තම මෙහෙයුම වෙත වාසනාව ලඟාකරගැනීමටත්, අසුභ පලවා හැරීමටත් වීවිධාකාරයේ අපූර්ව චාරිත්‍ර සිදුකරනවා. අභ්‍යවකාශ ව්‍යාපෘති හා සබැඳුනු අමෙරිකානුවන්ගේ හා රුසියානුවන්ගේ අපූර්ව චාරිත්‍ර කිහිපයකි මේ...

පියාසැරියට පෙර ගගාරින්ගෙන් ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්....

රුසියානු අභ්‍යවකාශගාමීන්ගේ සියලු පුහුණු කටයුතු සිදුවන්නේ මොස්කව් නුවර අසල පිහිටි තාරකා නගරය නම්වූ අභ්‍යවකාශ ව්‍යපෘති සඳහා විශේෂයෙන් නිමැවුනු නගරයේ සිටයි (Star City training complex). මෙහි සිට රොකට්ටුව ගුවන්ගතවෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාමට පෙර සෑම රුසියානු අභ්‍යවකාශගාමියෙකුම යූරී ගගාරින්ගේ ස්මාරකය අභියස රතු කානේශන් මල් තබා ඔහුට ගෞරව කරන අතර ඉන් අනතුරුව ඔවුන් තාරකා නගරයේ පිහිටි ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් අමුත්තන්ගේ පොතෙහි අත්සන් තබා, අභ්‍යවකාශ ගමන සාර්ථක කරගැනීම සඳගා ගාරින්ගෙන් ආශීර්වාද පතන බව පැවසෙනවා. මෙම චාරිත්‍රය සෝවියට් ගගනගාමී යූරි ගගාරින් ගුවන් අණතුරකින් මියයාමෙන් පසු ඇරඹුණු බව සඳහන් වෙනවා.

පියාසැරියට පෙර මෙහෙයුම සැළසුම්කල තාක්ශණ ශිල්පීන් සමග කාඩ් සෙල්ලම් කරන අමෙරිකානු අභ්‍යවකාශගාමීන්....


STS-135 Launch Day - Friday, July 8, 2011 in Cape Canaveral, Florida.
STS-135 මෙහෙයුම සඳහා ඇට්ලෑන්ටිස් ශටලයෙන් අභ්‍යවකාශගත වීමට පෙර මෙහෙයුමේ ගගනගාමීන් ප්‍රධාන තාක්ශණික නිළධාරිනී පෙගී වින්ස්ටන් සමග බ්ලැක්-ජැක් ක්‍රීඩාවේ නිරතවන අන්දම.
අභ්‍යවකාශ ගමනකට පෙර මෙහෙයුමේ අණදෙන නිළධාරියා (Mission Commander) මෙහෙයුම සැළසුම්කල තාක්ශණික ශිල්පීන් සමග බ්ලැක්-ජැක් වැනි කාඩ් ක්‍රීඩාවක් කිරීම චිරාගත සම්ප්‍රදායක්. අණදෙන නිළධාරියා තාක්ශණික ශිල්පීන්ට පරාජය වනතෙක්ම ක්‍රීඩාව සිදුකල යුතු බව පැවසෙනවා. මෙම චාරිත්‍රය ආරම්භවීමට මූලිකවුනු හේතුව නොදන්නා නමුන් 1960 ගණන්වල මුල් කාලයේ ඇරබුණු ඇමරිකානු ජෙමිනි ව්‍යාපෘතිය කාලයේ සිට අද දක්වාම පැවත එන සම්ප්‍රදායක් බව නාසා මූලාශ්‍ර පවසනවා.

රොකට්ටුව වෙත තමන් රැගෙන ගිය බස් රථයේ ටයරයකට සුලු-දිය හෙලන රුසියානු අභ්‍යවකාශගාමීන්.... :)



මෙම චාරිත්‍රයත් යූරී ගගාරින් හා සබැඳුනු එකක්. වාර්තාවෙන අන්දමට යූරී ගගාරින් අභ්‍යවකාශගත වුනු ප්‍රථම මිනිසා වීමේ සිය ඓතිහාසික පියාසැරිය සඳහා වොස්ටොක් රොකට්ටුව වෙත අභ්‍යවකාශගාමීන් ප්‍රවාහනය කරන බස් රථයෙන් රැගෙන යන අතරමග ඔහුට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා. බස් රථ රියදුරාට රථය නවත්වන ලෙස පැවසූ යූරී ගගාරින් බස්රථයේ ටයරයක් මතට සුලුදිය පහකොට තිබෙනවා. එවක් පටන් අද දක්වා යූරී ගගාරින් අභ්‍යවකාශගත වුනු බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වෙන සියලු අභ්‍යවකාශගාමීන්, ගාගාරින් මෙන්ම තමන් ගෙන යන බස්රථය මග නවත්වා එහි ටයරයකට සුලුදිය පහ කරීමේ අපූර්ව චාරිත්‍රයක් තිබෙනවා.

අභ්‍යවකාශගත වුනු පලමු ඇමරිකානුවා වුනු ඇලන් ශෙපර්ඩ් ගත් උදය ආහාරය ගන්නා ඇමරිකානු අභ්‍යවකාශගාමීන්....

උඩුගුවනට යන සෑම අමෙරිකානු අභ්‍යවකාශගාමියෙකුම අභ්‍යවකාශගත වුනු පලමු ඇමරිකානුවා වුනු ඇලන් ශෙපර්ඩ් ගත් scrambled eggs and steak, උදය ආහාරය ලෙස ගැනීම චාරිත්‍රයක් ලෙස සිදුකරනවා. ඒ ඇලන් ශෙපර්ඩ් හට කරන ගෞරවයක් ලෙස.

තමන් ගුවනට ගෙනයන රොකට්ටුව Launch Pad මත ස්ථානගත කරන දින කොණ්ඩය කපන රුසියානු අභ්‍යවකාශගාමීන්....

යූරී ගගාරින්ගේ කාලයේ සිටම පැවත එන තවත් චාරිත්‍රයක් නම් තම රොකට්ටුව ලෝන්ච්-පෑඩ් කුළුණු මත ස්ථානගත කරන දින ගගනගාමීන්ට එම ප්‍රදේශය තහනම් කලාපයක් කොට තිබීමයි. රොකට්ටුව ස්ථානගත කරන අවස්ථාවේ ගගනගාමීන් එහි පැමිණීම අවාසනාව ගෙන එන බවට විශ්වාස කරන රුසියානු අභ්‍යවකාශ සැළසුම්කරුවන්, එදින ගගනගාමීන් සිය කොණ්ඩය කැපිය යුතු බවට නියම කොට තිබෙනවා.

අභ්‍යවකාශ මෙහෙයුමක ඉතා බැරෑරුම් අවස්ථා තුලදී වාසනාව සඳහා රටකජු කන අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම් නිළධාරීන්.


කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය අඟහරු මතට ගොඩබස්වන දින වාසනාව සඳහා නාසා මෙහෙයුම් මැදිරියට ගෙන ආ රටකජු බෝතල්....
අභ්‍යවකාශ මෙහෙයුම්වලදී සමහර අවස්ථා ඉතා බැරෑරුම්, බොහෝ වැරදීයාම් සිදුවිය හැකි අවස්ථා වනවා. රොකට්ටුව ගුවන් ගතකිරීමේ අවස්ථාව, කක්ශගත වන අවස්ථාව, කක්ශයෙන් මිදී වායුගෝලයට ඇතුලුවන අවස්ථාව වැනි බැරෑරුම් අවස්ථාවලදී වාසනාව සඳහා රටකජු මෙහෙයුම් මැදිරියට ගෙන ඒමත්, එවැනි අවස්ථාවලදී රටකජු කෑමත් නාසා මෙහෙයුම් මැදිරිවල චාරිත්‍රයක් වනවා. මෙම චාරිත්‍රය ඇරඹුනේ 1960 දශකයේ රේන්ජර් අභ්‍යවකාශ යානා සඳෙහි ඡායාරූප ගැනීමට යැවූ කාලයේ. එකදිගටම රේන්ජර් යානා මෙහෙයුම් 6ක් අසාර්ථක වුනු අතර 7 වැනි රේන්ජර් යානාව සඳ වටා කක්ශගත කරවන දිනයේදී මෙහෙයුම් මැදිරියට යමෙක් රටකජු ගෙනවිත් සගයින් සමග බෙදාගෙන තිබෙනවා. එදින මෙහෙයුම අතිශය සාර්ථක වුනු අතර, රේන්ජර් 7 යානාව සාර්ථකව සඳවටා කක්ශගතවී ඡායාරූප ගෙන තිබෙනවා. එතැන් පටන් නාසා මෙහෙයුම් මැදිරිවල රටකජු අනිවාර්ය අංගයක් බව පැවසෙනවා.


6 comments:

Hottest cars for 2013

Ford Mustang Boss 302


Engine Type:     5.0L V8
Cylinders:   8
Power:     444 hp @ 7400 rpm
Torque:    380 lb-ft @ 4500 rpm
Transmission:     6-Speed Manual
Drive-train:    Rear wheel

Valves Configuration: Dual Overhead Cam (DOHC)

2013 Aston Martin Vanquish

Engine:   5.9L V12

Power:   565 HP
Transmission:   Six-Speed Automatic
0-60 Time:   under 4.0 seconds (est.)
Top Speed:   183 mph
Drive-train:   Rear-Wheel Drive
Seating:    2








2013 Tesla Model S

High performance, fully electric sports sedan


VEHICLE TYPE: rear-motor, rear-wheel-drive, 7-passenger, 5-door hatchback
MOTOR TYPE: AC permanent-magnet synchronous electric motor, 362 or 416 hp, 325 or 443 lb-ft
TRANSMISSION: 1-speed direct drive
PERFORMANCE (C/D EST):
Zero to 60 mph: 4.4–6.5 sec
¼-mile: 12.6–13.7 sec
Top speed: 110–130 mph
Braking, 70–0 mph: 147 ft
FUEL ECONOMY:
EPA city/highway driving: 88/90 MPGe








1 comments:

SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැනකට හමුදා ඛණ්ඩයක් යැවිය හැකි අමෙරිකානු අභ්‍යවකාශ යුධ සැළස්ම

SUSTAIN හෙවත් Small Unit Space Transport and Insertion යනු අමෙරිකානු මැරීන් හමුදාව (United States Marines - USMC) විසින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යුධ සැලැස්මකි. මේ සැලැස්මට අනුව ලොව ඕනෑම තැනකට, කුඩා සන්නද්ධ කොමාන්ඩෝ භට ඛන්ඩයක් යැවීමේ හැකියාව ඇමරිකාවට ලැබෙනවා.

සස්ටේන් සැලැස්මේ මූලික අංගය වන්නේ අමෙරිකානු මහද්වීපයේ හමුදා කඳවුරක සිට ගුවන් ගත කල හැකි කුඩා අභ්‍යවකාශ ගුවන්යානයක්. දැනට සැළසුම් කොට ඇති පරිදි සන්නද්ධ කොමාන්ඩෝ භටයින් 13ක හා ඔවුන්ගේ අවිආයුධ හා උපකරණ ගෙනයා හැකි ලෙස මෙම අභ්‍යවකාශ ගුවන්යානය නිර්මාණය කෙරෙමින් පවතිනවා.


පැය දෙකක් වැනි කෙටි කාලයක් තුල ලොව ඕනෑම තැනකට ගමන් කිරීමට සාමාන්‍ය ගුවන් යානයකට නොහැකි වන්නේ වායුගෝලීය ඝර්ශණය එම යානය ගමන්කල හැකි වේගය සීමා කරන බැවිනි. මෙයට විසඳුමක් ලෙස මැරීන් හමුදාව යෝජනා කරන්නේ ගුවන් කඳවුරේ සිට සෙබලුන් අභ්‍යවකාශය වෙත කක්ශගත කොට පෘථිවිය වටා අභ්‍යවකාශ යානයක් මෙන් ගමන් කරමින් සතුරු ගොඩබිම ඉහලින් යනවිට කක්ශයෙන් ඉවත්වී අවශ්‍ය ස්ථානය වෙත ගොඩ බැසීමයි. කක්ශයේදී සැතපුම් 20,000-30,000ක වේගයකින් ගමන්කල හැකි නිසා පැය දෙකේ සීමාව තුල ලොව ඕනෑම තැනකට ගොඩබැසිය හැකිබවට මැරීන් හමුදාවේ අභ්‍යවකාශ යුධ විශේෂඥයින් ගණන් බලා තිබෙනවා.


සස්ටේන් අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මෙසේයි...


STAGE 1 - පලමුවැනි පියවර වන්නේ මැරීන් කොමාන්ඩෝ භටයින් රැගත් යානය අභ්‍යවකාශගත කිරීමයි. මෙම යානය කුඩා බැවින් එයට තම බලයෙන් අභ්‍යවකාශ ගත විය නොහැකියි. මේ නිසා එය කැරියර් ගුවන්යානයක් (carrier aircraft) ලෙස හඳුන්වන අති විශාල ගුවන්යානයක යට බඳෙහි රඳවා එය ධාවන පථයකින් ගුවන්ගත කොට කිලෝමිටර් 10ක් පමණ ඉහල අහසට ගෙන යනවා. මෙම සීමාවේදී අභ්‍යවකාශ ගුවන් යානය කැරියර් යානයෙන් නිදහස්වී සිය ස්ක්‍රැම් ජෙට් නම් සුපර්සොනික් ජෙට් එන්ජින් වර්ගය ක්‍රියාත්මක කරමින් කිලෝමිටර් 30ක් ඉහල අහසට යනවා. 

STAGE 2 - ජාත්‍යන්තර සම්මතය අනුව අභ්‍යවකාශය ආරම්භවන්නේ පෘථිවියට කිලෝමීටර් 50ක් ඉහල අහසේදීයි. යානයේ ස්ක්‍රැම් ජෙට් එන්ජින් ක්‍රියාත්මක වීමට කිලෝමීටර් 30කට වඩා ඉහල අහසේදී යාගුගෝලියා ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් මෙම සීමාවේදී යානය සිය රොකට් එන්ජින් ක්‍රියාත්මක කරගෙන කක්ශගත වෙනවා.

STAGE 3 - පෘථිවි කක්ශයේ ගමන් කරමින් ගොඩබැසිය යුතු භූමිප්‍රදේශයට ඉහලින් ස්ථානගත වන අභ්‍යවකාශ ගුවන්යානය සිය ප්‍රති-රොකට්ටු (retro-rockets) දල්වාගෙන කක්ශයෙන් ඉවත්ව සාමාන්‍ය ගුවන්යානයක් මෙන් ධාවන පථයකට, නැතහොත් මහාමාර්ගයකට ගොඩබසිනවා.



2 comments:

කූඩුවක සිටින සතෙකු, කූඩුවේ දැල මගහැර ඡායාරූපයට නගන්නේ කෙසේද? [Photographing Caged Animals - Everyday Photography Tutorial #1 ]

මේ පාසැල් නිවාඩු සමයයි. පාසැල් නිවාඩු සමයේ බොහෝ දෙනෙකු සිය දුවා දරුවන් සමග සත්තුවත්ත නැරඹීමට යන්නට බලාපොරොත්තු වෙනවා ඇති, නැතිනම් මේ වනවිටත් ඔබ සත්තුවත්ත නරඹා අවසන් ඇති. සත්වෝද්‍යානය වැනි විනෝදය හා දැනුම ලබාදෙන තැනකට දුවාදරුවන් සමග යන බොහෝ දෙමව්පියන් සිය ඩිජිටල් කැමරාවද රැගෙන යන්නට අමතක නොකරන්නේ ඒ විනෝදජනක පැය කිහිපයේ මතකසටහන් කිහිපයක් රැගෙනයාමේ අදහසින්.

දෙහිවල සත්වෝද්‍යානයේ නිතර සංචාරය කරන මා බොහෝ අවස්ථාවලදී අත්දැක ඇති දෙයක් නම් දැල් ගැසූ කූඩුවල සිටින අලංකාර පක්ශීන් හා වෙනත් සතුන් ඡායාරූපගත කරගැනීමේ අපහසුවයි. මෙවැනි දැල් ගැසූ කූඩුවක සිටින සතෙකුගේ ඡායාරූපයක් ගන්නා බොහෝ අවස්ථාවලදී කූඩුවේ සිටින සත්වයාට වඩා තීව්‍රලෙස කූඩුවේ දැල සටහන්වීම නිසා කූඩුවේ සිටින සත්වයා අපහැදිලි ලෙස ඡායාරූපයේ දැක්වෙනවා. ඡායාරූපය ගැනීමේදී ෆ්ලෑශරය දැල්වුනහොත් ඡායාරූපය තවත් අපහැදිලිවන්නේ ෆ්ලෑශරයේ ආලෝකයෙන් දැලවඩාත් දීප්තිමත්ව සටහන්වීම නිසයි.

කූඩුවේ සිටින සත්වයා අප දෑසට පැහැදිලිව පෙනුනත්, ඡායාරූපයට නගනවිට සත්වයා අපහැදිලිව කූඩුවේ දැල ඉස්මතුවී සටහන් වන්නේ ඇයි?

අප දෑස, අප නොදැනුවත්වම අපට දැකබලාගත යුතු දෙය වෙත නාභිගත කොට, අන් දසුන් වලින් අවධානය ඉවත්කිරීමට අපගේ මොලයේ දෘශ්‍යය පාලනය කරන කොටසට හැකිවෙනවා. එබැවින් අපට කූඩුව වටා ඇති දැල නොසලකා කූඩුව තුල සිටින සත්වයා දැකබලා ගැනීමේ හැකියාව තිබෙනවා.

එහෙත් ඔබගේ ඩිජිටල් කැමරාවට මෙම හපන්කම කිරීම අපහසුයි. විශේෂයෙන්ම බොහෝදෙනා භාවිතා කරන පොකට් කැමරාවල භාවිතාකරන්නාට නාභිගත කිරීම වෙනස්කිරීමේ හැකියාවක් නෑ. ඔටෝ-ෆෝකස් (auto-focus) හෙවත් ස්වයංක්‍රීය නාභිගත කිරීමේ උපක්‍රමය අනුව ස්වයංක්‍රීයවම නාභිගත කලයුතු වස්තුව හඳුනාගෙන නාභිගත වෙනවා.

නාභිගත කල යුතු වස්තුව හඳුනාගැනීම සඳහා බොහෝ ඩිජිටල් කැමරා භාවිතා කරන උපක්‍රමය වන්නේ කැමරාවේ සෙන්සරයට වැඩිපුරම ආලෝක ප්‍රමාණයක් පරාවර්තනය කරන වස්තුව වෙත නාභිගත වීමයි.


කැමරාව ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයෙකු හෝ වෙනත් දෙයක ඡායාරූපයක් ගැනීමේදී මෙම උපක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සෙන්සරයට වැඩිපුරම ආලෝකය පරාවර්තනය කරන වස්තුව, ඔබට ඡායාරූපගත කරගැනීමට අවශ්‍ය දෙය බවට වන සම්භාවිතාවය 99%ක් තරම් වන බැවින්.

එහෙත්, කූඩුවක් තුල සිටින සතෙකු ඡායාරූපයට නැගීමේදී නම් මෙම ඔටෝෆෝකස් උපක්‍රමය අසාර්ථක වනවා. එසේ වන්නේ සෙන්සරයට වැඩිපුරම ආලෝකය පරාවර්තනය වන්නේ කූඩුව තුල සිටින සත්වයාගෙන් නොව කූඩුව වටා තිබෙන දැලෙන් බැවිනුයි. එමනිසා කැමරාවේ ඔටෝෆෝකස් පද්ධතිය කූඩුවේ දැල නාභිගත කරගන්නා අතර කූඩුව තුල සිටින සත්වයා අපහැදිලි ලෙස සටහන් වනවා...

දෙහිවල සත්තුවත්තේ දැල්ගැසූ මොණර කූඩුවේ නිවැසියෙකු ...


දැල් ගැසූ කූඩුවක සිටින මෙවැනි සුන්දර පක්ශියෙකුගේ පැහැදිලි ඡායාරූපයක් ඔටෝෆෝකස් පොකට් කැමරාවකින් ගත නොහැකිද?

පිලිතුර - පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීම පහසුවෙන් කල හැකියි! පහතින් දක්වා ඇති ඡායාරූපය, ඉහතින් පෙන්වූ දැල්ගැසූ මොණර කූඩුවේ සිටිනා මොණරෙකුගේම පැහැදිලි ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ඔබටත් ගත හැකියි.


ඒ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
1. කැමරාවේ ෆ්ලෑශරය ක්‍රියා විරහිත කරන්න. ෆ්ලෑශරය දැල්වීමෙන් දැල අනවශ්‍ය ලෙස ආලෝකමත් වීම සත්වයා හසුකර ගැනීමට බාධාවක්.

2. කූඩුව තුල ආලෝකය අඩුනම්, එම අඩු ආලෝක තත්වය මග හරවා ගැනීමට ඔබට පහත උපක්‍රම භාවිතාකල හැකියි. මෙම පහසුකම් බොහෝ පොකට් කැමරාවල තිබෙනවා.
i. කැමරාවේ ISO අගය වැඩිකරගන්න -  පොකට් කැමරාවල ISO අගය ස්වය්ංක්‍රීයව කැමරාව මගින් නිර්ණය කෙරෙතත්, භාවිතා කරන්නාට එම අගයන් වෙනස් කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා. ISO අගය වෙනස් කිරීමේ ක්‍රමය කැමරාවෙන් කැමරාවට වෙනස් වන බැවින් ඒ සඳහා ඔබ කැමරාවේ user manual එක කියවිය යුතුයි.
ISO අගයෙන් සිදුවන්නේ කැමරාවේ සෙන්සරයේ ආලෝක සංවේදීත්වය නිර්ණය කිරීමයි.  ISO අගය 800කට පමණ තබන්න. සමහර කැමරාවල ISO අගය 3200/6400 වැනි ඉහල අගයන් වලට වැඩිකල හැකි නමුත් ISO අගය එලෙස වැඩිකිරීමේදී ඡායාරූපයේ විබේධනය අඩුවී එය අපහැදිලි වෙනවා. 
ii.  Exposure Compensation ලෙස හඳුන්වන සීරුමාරුව, මදක් වැඩි කරන්න (+1 හෝ +2). සාමාන්‍ය තත්වයන් යටතේ Exposure Compensation අගය 0 වන අතර එය -1,-2,-3 ලෙස අඩුකිරීමටත්, +1,+2,+3 ලෙස වැඩි කිරීමටත් පහසුකම බොහෝ පොකට් කැමරාවල තිබෙනවා. බොහෝ කැමරාවල Exposure Compensation සීරුමාරුව සිදුකල හැකි බොත්තම පහත රූපයේ පෙනන ආකාරයට +/- සළකුණකින් සටහන් වෙනවා. එහය කැමරාවේ පිටුපස පාලන බොත්තම් පැනලයේ සටහන්කොට තිබෙනු ඇත.
Exposure Compensation සීරුමාරුව මගින් ඔබ ගන්නට සැරසෙන ඡායාරූපයේ අඳුරුකරගැනීම හෝ ආලෝකමත් කරගැනීමට හැකියාව තිබෙනවා. දැඩි සූර්යාලෝකයේ ඡායාරූප ගන්නාවිට මෙම සීරුමාරුව -1 හෝ -2 දක්වා අඩු කිරීමෙන් ඡායාරූප සුදුවී යාමේ ප්‍රවනතාවය අඩුකරගත හැකිවන අතර, මේ අවස්ථාවේදී කූඩුව තුල අඳුරු ස්වභාවයක් ගන්නේ නම් +1 හෝ +2 දක්වා වැඩිකර කර ගැනීමෙන් ඡායාරූපය තවත් පැහැදිලි කරගත හැකිවනවා.

3. කැමරාව හැකිතාක් දැල අසලටම - ගෑවෙන නොගෑවෙන තෙක්- ගෙන එන්න. මෙසේ කිරීමේදී ඔබ දැඩිලෙස සැළකිරීමත්ව එය කල යුතු වන්නේ කැමරාවේ කාචය කිසිලෙසකින් වත් දැලෙහි ගෑවීමට ඉඩ නොතැබිය යුතු බැවින්. ඔබ අපරීක්ශාකාරීව මෙය කලහොත් කාචය දැලෙහි ඇතිල්ලී සීරී යන්නට පුලුවන්.

හැකිතාක් ලං කරමින් කැමරාවේ කාචයට දැලෙහි එක් සිදුරක් තුලින් කූඩුව තුල සිටින සත්වයා හසුවන ආකාරයට සීරුමාරුවෙන් සකසන්න.

මෙසේ කරන අතරම කැමරාවේ shutter release බොත්තම (එනම් ඡායාරූපය ගැනීමට එබිය යුතු බොත්තම ) අඩක් තදකරගෙන (half-press) සිටින්න. Shutter release බොත්තම අඩක් තදකරගෙන සිටිනා විට කැමරාවේ ඔටෝ-ෆෝකස් පද්ධතිය ඔබ ගන්නට උත්සහ කරන වස්තුව වෙත නාභිගත වීමේ ක්‍රියාවලිය අරබයි එවිට ඔබට කැමරාවේ තිරයෙන් නරඹමින් හොඳම අවස්ථාවේදී බොත්තම තවදුරටත් තදකොට (full-press) ඡායාරූපය ගත හැකියි.

වැදගත්ම දැනමුතුකම - මෙවැනි ඡායාරූප හදිසියේ, දුවන ගමන් ගන්නට උත්සහ නොකරන්න. මෙවැනි ඡායාරූප ගන්නාවිට කල් ගතකොට, හොඳම අවස්තාව උදාවන තෙක් මදක් ඉවසිලිවන්තව සිටිය යුතුය. විශේෂයෙන් සත්තු වත්ත වැනි ජනාකීර්ණ ස්ථානයක නරඹන්නන් විශාල ප්‍රමාණයක් කූඩු වටා රැස්වෙන බැවින් ඔබට අවශ්‍ය පරිදී කැමරාව මෙහෙයවීමට සෙනග මදක් ඉවත්ව යන තෙක් ඉන්නට සිදුවිය හැකියි. එම කාළය කැමරාවේ ISO හා Exposure Compensation අගයන් නිවැරදිව සකසා ගැනීමට වැය කරන්න.
එමෙන්ම එක් හොඳ ඡයාරූපයක් ගැනීමට ඡයාරූප ගණනාවක් ගැනීමට සිදුවන්නට පුලුවන්. ඒ සඳහා කල් ගතකිරීමට සූදානම් වන්න. උදාහරණයක් ලෙස ඉහත මොනරාගේ ඡායාරූපය නිවැරදි ලෙස හසු කරගැනීමට මොණර කූඩුව අසල පැය භාගයක් පමණ රැඳෙන්නට මට සිදුවුනු අතර ඡායාරූප විශාල ප්‍රමාණයක් ගන්නා ලදී. එම අසතුටුදායක ඡායාරුප විශාල ප්‍රමාණයෙන් කොටසක් පහත thumbnail රූපයේ දක්වා ඇත. මෙය වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පීන්ට පවා පොදු දෙයකි. එනිසා ඔබගේ මුල් ඡායාරූප කිහිපය අසතුටුදායක නම් අධෛර්‍යමත් නොවන්න...



3 comments:

පික්ස්ල් බිලියන 4ක රෙසොලූශන් එකක් ඇති එවරස්ට් කඳුවැටියේ ඡායාරූපය [four BILLION pixel image of Everest that lets you zoom in as if you were actually there on the mountain ]


අධි-විබේධන ඡායාරූප 477ක් එකතුකොට ග්ලැසියර්-වර්ක්ස් නම් රාජ්‍ය නොවන ග්ලැසියර පර්යේශණ ආයතනයත්, ඩේවිඩ් බ්‍රෑශීයර්ස් නම් සිනමා කරුවාත් එක්ව නිර්මාණය කරන ලද මෙම පික්සල් බිලියන 4ක ඡායාරූපය හිමාලය කඳුවැටියේ ස්වභාවික සුන්දරත්වය ඔබගේ පරිගණක තිරය වෙත ගෙන ඒමට සමත් වී තිබෙනවා.

ඒ අතරම ගෝලිය උශ්ණත්වය වේගයෙන් ඉහල යාම නිසා හිමාලය ප්‍රදේශය වසාගෙන ඇති ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින අතර හිමාල අයිස් වැස්මෙන් පෝශණය වන ගංගා සියගණනක අනාගතය අවිනිශ්චිත වෙමින් පවතිනවා. ග්ලැසියර්-වර්ක්ස් විද්‍යා පර්යේශණ ආයතනය මේ පිලිබඳව ලොව ජන නායකයින්ගේ හා පොදු මහ ජනතාවගේ අවධානය යොමුකරවීමේ වැඩපිලිවෙලේ එක් අංගයක් ලෙසයි මෙම අධි-විබේධන ඡායාරූපය නිර්මාණය කලේ.

හිමාලය ප්‍රදේශයේ ඡායාරූප ගන්නා ග්ලැසියර්-වර්ක්ස් ආයතනයේ ඡයාරූප ශිල්පියෙකු...
Interactive image ලෙස නිර්මාණය කොට ඇති මේ ඡායාරූපයේ විවිධ ස්ථානවලට ඔබගේ මවුසය ගෙනයාමෙන් එම ස්ථාන විශාල කොට නැරඹිය හැකිවනවා. මෙම ඡයාරූපය වෙත යාහැකි ලින්ක් එක මෙම ලිපිය අවසානයේ තිබෙනවා.

පස් වතාවක් එවරස්ට් කඳ නැග ඇති බ්‍රැශියර්ස්, ග්ලැසියර්-වර්ක්ස් කණ්ඩායම මයික්‍රෝසොෆ්ට් සමාගම හා බ්‍රිතාන්‍යයේ Royal Geographical Society ආයතනය හා ඒකාබද්ධව තවත් විශාල, අධිවිබේධන ඡායාරූප නිර්මාණයේ යෙදී සිටිනවා. ඔවුන් පවසන අන්දමට හෙලිකොප්ටරයකින් ගන්න ඡායාරූප 120,000ක් එකිනෙක සම්බන්ධ කිරීමෙන් අති දැවැන්ත නිර්මාණයක් සිදුකිරීමේ කටයුතු ලඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

එවරස්ට් කන්දේ පික්සල බිලියන හතරේ ඉන්ටරැක්ටිව් ඡායාරූපය වෙත මෙතනින් යන්න...


0 comments:

පෘථිවියට පිටසක්වල ප්‍රහාර එල්ලවෙයිද?



ලඟදීම පෘථිවියට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට එක්තරා දෛවඥයෙකු මෑතකදී මව්බිම පුවත්පතට ලිපියක් සපයමින් කියා තිබුණි. එම ලිපිය අන්තර්ජාලය හරහා මටද කියවන්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් රේඩියෝ වැඩසටහනක්ද පැවැත්වුනු බවත් එහිදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුවුනු බවත් අසන්නට ලැබුණි. මේ අතර දේශපාලඥයෙකු වන උදය ගම්මන්පිල මහතා ලෝකවිනාශය තවත් අවුරුදු 40කට, එනම් 2052ට කල්දමා ඇති බවද අද මව්බිම වාර්තාකොට ඇත. ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයටද මා එකඟ නොවුනත්, එතුමාගේ ප්‍රකාශයට මා අභියෝග නොකරන්නේ එම අදහස අඩුම ගණයේ මිනිස් ක්‍රියාකරකම් නිසා සිදුවන පරිසර විනාශය පාදක කොටගත් උපකල්පණයක් බැවින්, යම් ආකාරයක විද්‍යාත්මක පදනමක් ඇති බැවිනි.

මේ ලිපියෙන් මා අදහස් කරන්නේ, දෛවඥ චන්ද්‍රසිරි බණ්ඩාරයන් පලකල අදහස් හැකිතාක් විද්‍යාත්මකව විශ්ලේශණය කිරීමයි. එම උගත් දෛවඥයාට පෞද්ගලික ප්‍රහාරයක් එල්ල කිරීම හෝ පොදුවේ නක්ශස්ත්‍ර ශාස්ත්‍රයට පහර ගැසීම මේ ලිපියේ අරමුණ නොවන බව මුලින්ම පැහැදිලි ලෙස ප්‍රකාශකල යුතුය...

ලංකාවාසීන්ට පිටසක්වල යානා දර්ශණය වීම...

මෙම සාකච්ඡාවේ මුල් කොටසේදී බණ්ඩාර මහතා මෑතකදී ශ්‍රී ලංකාවාසීන් දුටුවා යයි කියන, පිටසක්වල යානා බවට මතයක් ගොඩ නැගී ඇති අත්භූත ආලෝක හා අහසේ පෙනුනු දර්ශණ නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය (astrology) හා සම්බන්ධ කිරීමට උත්සහ දරා තිබෙනවා. විවිධ ග්‍රහචාර, ග්‍රහයන්ගේ ගමන් කිරීම්, උච්ඡවීම්, නීචවීම් ගණනාවක් සඳහන් කරමින් දරන මෙම උත්සහයේ ඇති පලමු වැරැද්ද නම් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දර්ශණය වුනු මෙම අත්භූත ආලෝක පිටසක්වල ජීවීන් රැගත් යානා බවට කරන උපකල්පණයයි.

මෙය අතිවිශාල වරදක් බවත්, පාඨකයින් දැඩිලෙස නොමග යවන්නක් බවත් තරයේ ප්‍රකාශ කලයුතුයි. මෙම අත්භූත යයි පැවසෙන ආලෝක හා වෙනත් දර්ශණ පිලිබඳව කිසිදු ආකාරයක විද්‍යාත්මක කරුණු සෙවීමක්, මෙම දර්ශණ දුටු පුද්ගලයින් හමුවී තොරතුරු විස්තර සොයාබැලීමක් (අඩුම ගණනේ මේවා දැක්කා යයි කෑමොරදෙන මිනිසුන් බීමතින් සිටියාද, ගන්ජා වැනි මත්ද්‍රව්‍යයක් ගෙන සිටියාද යන්න, නැතහොත් මානසික අසමතුලිතතා පිලිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින්දැයි සොයා බැලීමක් කලයුතුයි..).

එමෙන්ම එවැනි පුද්ගලයින්ගෙන් ලබාගන්නා කරුණු  ගැඹුරු ලෙස විශ්ලේශණය කිරීමක්, එම දින කාල වකවානු තුල එම ප්‍රදේශය ඉහලින් පියාසර කල සිවිල් හෝ යුධ ගුවන්යානා හෝ වෙනත් සංසිද්ධියක්/හමුදාමය ක්‍රියාකාර කමක් පිලිබඳව කරුණු සොයා බැලීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබුණා. මා දන්නා පරිදි බණ්ඩාර මහතා හෝ වෙනත් රජ්‍ය හෝ රාජ්‍ය නොවන විද්‍යා ආයතනයකින් මෙවැනි සොයාබැලීම් සිදුකර නැහැ. උදාහරණයක් ලෙස මෙලෙස අහසේ දිස්වුනු ප්‍රභල ආලෝක යුධහමුදාව විසින් භාවිතා කරන, ප්‍රභල ආලෝකයක් විහිදුවන ෆ්ලෙයාර් වෙඩි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මගේ හැඟීමයි. මට පෙනෙනා ආකාරයට බණ්ඩාර මහතා, පත්තර අලෙවිය වැඩි කරගන්නට මොකක් හෝ සුලු සිදුවීමක්, අත්වැරදීමක් හෝ වැරදි වැටහීමක් මහා ජංජාලයක් ලෙස පුම්බමින් මුල් පිටුවේ හෙඩ්ලයින් දමනා පත්තර වාර්තා පමණක් පදනම් කරගෙන මෙම ප්‍රකාශ සිදුකොට තිබෙනවා.

2012 දෙසැම්බර් 23 : පිටසක්වල ආක්‍රමණ හා ස්වාභාවික විපත් ආරම්භවන යුගයක්?

බණ්ඩාර මහතාගේ තවත් ආන්දෝලනාත්මක් මෙන්ම රැවටිලි සහගත ප්‍රකාශයක් වන්නේ 2012 දෙසැම්බර් 23 ආරම්භවන වකවානුව පිටසක්වල ජීවීන් ප්‍රථිවිය ආක්‍රමණය කිරීම, පෘථිවියට පැමිණීම සිදුවිය හැකි වකවානුවක් බව නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය ඇසුරින් ප්‍රකාශ කිරීමයි. මෙය හුදෙක්ම රැවටිලි සහගත, ලාභ ප්‍රසිද්ධිය අපේක්ශාවෙන් සිදුකල පුවත් මවන, හෙඩ්ලයින් ලොකු කරන ප්‍රකාශයක් පමණක් වන අතර එම පුවත් මවන අරමුණ දැනටමත් ඉටුවී ඇති බව පෙනෙනවා.

පිටසක්වල ප්‍රහාරය - පිටසක්වලයින් සැබැවින්ම පෘථිවියට ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති උවමනාව බණ්ඩාර මහතා මුලින්ම පැහැදිලි කලයුතුයි. ආලෝක වර්ශ දහස්ගණනක් ගමන්කරමින් ක්ශීර පථය (milky-way) නම් චක්‍රවාටයේ එක් කෙලවරක ඇති, කිසිසේත්ම සුවිශේෂී නොවූ කුඩා සූර්යයෙකු වටා ගමන්කරන ජලය පිරි, දුර්වල මෙන්ම පිටසක්වලුන්ට සාපේක්ශව නොදියුණු, කාබන්-මූලික (carbon based) ජීවීන් වසන ග්‍රහලෝකයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය කුමක්ද?

විශ්වයේ සුවහසක් ග්‍රහලෝකවල නැති, පෘථිවියේ පමණක්ම ඇති, ආලෝක වර්ශ සියගණනක් හෝ දහස්ගණනක් මගගෙවාගෙන පැමිණ යුධ ප්‍රකාශකරන්නට තරම් පිටසක්වලයින්ට වටිනා වස්තුවක් මේ පෘථිවිය මත තිබේද?

ජලය? - ජලය අප සිතනා තරම් දුර්ලභ දෙයක් නොවේ. ද්‍රව ජලය පැවතිය හැකි, වායුගෝලයක් සහිත ග්‍රහලෝක දුර්ලභ බව සැබෑ වුවත්, පිටසක්වලයින් හට ජලය අවශ්‍යනම්, ඒ සඳහා පාදක මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් හා ඔක්සිජන් ඉතාම සුලභය. විශ්වයේ සුලභම මූලද්‍රව්‍යය හයිඩ්‍රජන් වන අතර ඔක්සිජන් ලබාගත හැකි රසායණික සංයෝග බොහෝ ග්‍රහලෝක/ග්‍රහක වල ඇත.

රසායණික ද්‍රව්‍ය/මූලද්‍රව්‍ය හෝ ඛනිජ සම්පත්? - ආවර්තිතා වගුවේ ඇති සියලුම මූලද්‍රව්‍ය හා පෘථිවියේ ඇති සියලුම රසායනික ද්‍රව්‍ය හා ඛණිජ විශ්වයේ බොහෝ තැන්වලින් ලබාගත හැකිය. ඒ සඳහා විශ්වයේ ඇති මිලියන ගණනක් චක්‍රවාටවලින් එකක් වන ක්ශීරපථයේ කෙලවරක ඇති නොවැදගත් සූර්යයෙක් වටා යන ග්‍රහලෝකයකට කඩාවැදිය යුතු නැත.

පෘථිවිය? - පිටසක්වල ආක්‍රමණ පිලිබඳ තවත් මතයක් නම් පිටසක්වලයින් හට පෘථිවිය අතපත් කරගැනීමට අවශ්‍ය බවයි. ද්‍රව ජලය ඇති, ජීවය පැවතිය හැකි ලෙස ඝණ වායුගෝලයක් ඇති පෘථිවිය දුර්ලභ ගණයේ ග්‍රහලෝකයක් බව ඔවුන් පවසයි. එහෙත් ඇත්තටම පෘථිවිය වැනි ග්‍රහලෝක දුර්ලභද? උත්තරය නැත යන්නයි. දැනටමත් විද්‍යාඥයින් ඈත සෞරග්‍රහ මණ්ඩල සොයාගෙන ඇති අතර ඉතා මෑතකදී, තාරකාවක් වටා ගමන්කරන පෘථිවිය වැනිම ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එම ග්‍රහලෝකයද පෘථිවිය මෙන්ම එම තාරකාව වටා ඇති habitable zone හෙවත් ද්‍රව ජලය පැවතිය හැකි-ජීවය ඇතිවිය හැකි පරාසයේ කක්ශගතවී ඇති බව තහවුරුකරගෙන ඇත. එකක් සොයාගත්තා යනු තවත් ලක්ශ ගණනාවක් පෘථිවිය වැනි ග්‍රහලෝක ක්ශීරපථ චක්‍රවාටය තුල පමණක් ඇති බව උපකල්පණය කිරීම වැරදි නොවේ. ඒ අනුව පෘථිවියද දුර්ලභ ග්‍රහලෝකයක් නොවේ..

2013 ස්වභාවික විපත් වැලක ආරම්භය? - පෘථිවිය විශාල ස්වභාවික විපත් යුගයකට එලඹී ඇති බව බණ්ඩාර මහතා නොපැවසුවත් පුවත්පත් කියවන/ප්‍රවෘත්ති බලන සියල්ලන්ම දන්නා දෙයකි. බණ්ඩාර මහතාද මේ අනාවැකි කියන්නේ නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය අනුව නොව පත්තර බලලා බව පැහැදිලිය.

පසුගිය වසර කිහිපය පුරාවටම ලොව වටා බිහිසුණු විපත් සිදුවිය. ඇමරිකාවට 2005 කටරීනා කුණාටුව බිහිසුණු විනාශයක් ගෙන දුන් අතර නොබෝදා සැන්ඩි කුණාටුවද එවැනි හානියක් සිදුකලේය. බ්‍රිතාන්‍යයට  හා යුරෝපයට නිරන්තර ජලගැලීම් ඇතිවේ. ජපානයේ භූමිකම්පාව හා සුනාමියෙන් සිදුවුනු විනාශයෙන් ගොඩෑඉමට ජපානය තවමත් උත්සහ ගණිමින් සිටියි. ලොව පුරා මෙන්ම ලංකාවේද භූමිකම්පා ඇතිවෙමින් තිබේ...

මේ ස්වභාවික ව්‍යසන නැබුරුතාවය දිගටම පවතින බව අවබෝධකරගැනීමට නක්ශෂ්ත්‍ර අනාවැකි අවශ්ය නැත. ලෝක ගෝලය උණුසුම් වීම නිසා කුණාටු හා ජලගැලීම් වැඩිවෙමින් ඇති අතර භූමිකම්පා සිදුවන කාලවකවානු ගැන අනාවැකි කීම තවමත් නිවැරදිව සිදුකල නොහැකිය. කලින් කලට විවිධ රටවල මහා විනාශයන් සිදුකරමින් භූමිකම්පා සිදුවෙයි. මුහුදේ සිදුවූ විට 2004 සුනාමිය වැනි විනාශයන් ඇතිවේ. ගොඩබිම සිදුවූ ආසන්නතම දැවැන්ත විනාශය හයිටි දූපතේ සිදුවිය. මෙම සිදුවීම් වලට විද්‍යාත්මක පැහදිලි කිරීම් තිබේ.

බණ්ඩාර මහතාට ස්ව්භාවික විපත් ගැන අනාවැනි කිව හැකිනම්, එතුමා 2004 සුනාමිය ගැන අනාවැකි නොකීවේ මන්ද? එවැනි මහත් විනාශයක් ග්‍රහතාරකාවල නොපෙන්වුනේද? එතුමා 2004 සුනාමිය ගැන වචනයක් වත් නොකියා 2013 ස්භාවික විපත් ගැන පමණක් කියවන්නේ මන්ද?

2004 සුනාමියෙන් පසු තවත් එක් කපටි හොරෙක්, තමන් පිදුරුතලාගල කන්දේ පස් පරීක්ශාකල බවත්, ලඟදීම තවත් සුනාමියක් එනබවත් කියා රටම බියගැන්වූ අයුරු අමතකද? මෙවැනි චෞරයින්ගේ ප්‍රලාප වලට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ප්‍රසිද්ධිය ලබාදෙන පුවත්පත් සිදුකරන්නේ මහත් අවැඩකි. පත්තර කිහිපයක් වැඩිපුර විකුණාගැනීමට මෙවැන්දේ සිදුකිරීම ජාතික වගකීමක් ඇති මාධ්‍ය සිදුනොකල යුතුය.

පත්තරේ යන ප්‍රවෘත්ති වලට ග්‍රහතාරකාවල ගමන්මං ගැලපීම නූතන ශ්‍රී ලාංකේය ජනප්‍රිය නක්ශෂ්ත්‍රකරුවන්ගේ ක්‍රියාන්විත අංගයක් වී තිබේ. උදාහරණයක් ලෙස, එක්තරා ගුවන්විදුලි නාලිකාවක් උදේ පාන්දර නක්ශෂ්ත්‍රකරුවෙකු ගෙන්නා විවිධ අනාවැකි හා පලාපල කියවනු ලැබේ. එම නක්ශෂ්ත්‍රකරුවා ඊයේ පෙරේදා දිනක යම් ලග්නයක පලාපල කියනවිට "අද දින ජලයෙන් පීඩාවන්නට ඉඩ තිබේ..."   යනුවෙන් අනාවැකියක් සිදුකලේය. මොහු මෙසේ කීවේ රටෙන් බාගයක්ම ජලයෙන් යටවී මිනිසුන් දහස් ගණනකට උන්හිටි තැන් අහිමිව සිටි දිනකය. කොහොමද අනාවැකිය?





10 comments:

එම්පරර් පෙන්ගුවින්, ඇන්ටාක්ටිකාව

නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ඡායාරූප ශිල්පී පෝල් නික්ලන් පසුගිය ඔක්තෝම්බරයේදී (Oct. 2012) ඇන්ටාක්ටිකාවේ ඡායාරූපකරණ සංචාරයක (photographic expedition) නිරතවුනා. එහිදී ඔහුගේ කැමරාවේ සටහන්වුනු ඇන්ටාක්ටිකාවේ ජීවත්වන එම්පරර් පෙන්ගුවින් පක්ශීන්ගේ දුර්ලභ ඡායාරූප පෙලක් අප ඔබ වෙත ගෙන එනවා. ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද (Ross Sea) නම් මිදුනු මුහුද අසබඩ පිහිටි විශාල එම්පරර් පෙන්ගුවින් කොළණියකදී මෙම ඡායාරූප ගෙන තිබෙනවා.

සෙල්සියස් -2 තරම් අධික ශීතල ජලයේ කිලෝමීටර් භාගයක් (අඩි 1750ක්) තරම් ගැඹුරට කිමිදීමේ සමත්කම් දක්වන එම්පරර් පෙන්ගුවින් දියයට මිනිත්තු 20ක් තරම් දිගුකාලයක් හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාවද දරනවා.









0 comments: