අඩුමිල චන්ද්‍රිකා රැසකින් චන්ද්‍රිකා තාක්ශණයේ නව විප්ලවයක් කිරීමට සැරසෙන ස්කයිබොක්ස් චන්ද්‍රිකා සමාගම

සැතපුම් 500ක් ඉහල අහසේ සිට පොලොව දෙස බලන්නෙකුට දැනගත හැක්කේ මොනවාද? ගූගල් අර්ත් සේවාව මගින් ලැබෙන චන්ද්‍රිකා ඡායාරූප දෙස බලන අපට නම් එතරම් දෙයක් පෙනෙන්නේ නැත. ගිනිපෙට්ටි වැනි ගොඩනැගිලි, ඉඳහිට පෙනෙන වාහන, ගුවන්තොටුපොලවල නවතා ඇති ගුවන්යානා පෙනෙතත් වැඩි යමක් තේරුම් ගැනීමේ හැකියාවක් අපගේ නුපුහුණු දෑස් වලට නොහැකිය.

එහෙත් චන්ද්‍රිකා හා ගුවන් ඡායාරූප (ඩ්‍රෝන ඡායාරූප හා වීඩියෝද ඇතුලුව ) අධ්‍යයනය සඳහා විශේෂයෙන් පුහුණුකල දෑස් වලට මෙම ඡායාරූප බොහෝදෑ  හෙලි කරයි.

උදාහරණයක් ලෙස පාකිස්තානයේ අබොටාබාද්හි තිබූ, උස තාප්පයකින් වට වුනු තෙමහල් නිවසේ වෙසෙන කාන්තාවන් ගණන සී.අයි.ඒ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂකයින් නිර්ණය කරගත්තේ එම නිවසෙන් පිටවන කීදෙනෙකු නිවස වටා ඇද තිබූ රෙදිවැල් වෙත යනවාද යන්න අධ්‍යයනය කිරීමෙන්. පාකිස්තානු/ඇෆ්ඝන් පිරිමින් කිසිවිටකත් රෙදි වේලීම වැනි කටයුතුවල නිරත නොවන බව පාකිස්තාන හා ඇෆ්ඝන් දිවිපෙවෙත් ගැඹුරින් හදාරාතිබූ සී.අයි.ඒ විශේෂඥයින් දැනසිටියා. 

එපමණක් නොව එම කාන්තාවන් හා පිරිමින්ගෙන් කීදෙනෙකු තරුණද, වයස්ගතද යන්න තෝරා ගැනීමට ඔවුන් භාවිතා කලේ එම පුද්ගලයින්ගේ ඇවිදීමේ වේගය අධ්‍යයනය කිරීමයි. එම නිවස අවට ඇති ගොඩනැගිලි වල විශාලත්වය, සිතියම් වල පරිමාණය ආදී දත්ත භාවිතයෙන් නිවසවටා ඇති මිදුලේ විශාලත්වය ඉතා නිවැරදිව මැනගත් ඔවුන් ඒ අනුව මිදුලේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති දුර මැනගෙන එම දුර ඇවිදීමට එක් එක් පුද්ගලයාට ගතවන කාලය අනුව ඔවුන්ගේ වයස් අනුමාණ වශයෙන් නිර්ණය කරගෙන තිබෙනවා.

චන්ද්‍රිකා ඡායාරූප මගින් මිලිටරිමය නොවන භාවිතාවන් (non-military uses) රැසක්ද තිබෙනවා. අප සැම දන්නා කාළගුණ අනාවැකි සඳහා උපයෝගී කරගැනීම මින් එකක්. මීට අමතරව;

* කෘෂිකර්මාණ්තය
* වන සංරක්ශනය 
* භූගෝල විද්‍යා අධ්‍යයනයන්
* පතල් කර්මාණ්තය
* නගර සැළසුම්කරණය
* මහාමාර්ග සැළසුම් කරණය
* ස්වාභාවික හා හදිසි ආපදා වලට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සඳහා 

වැනි භාවිතාවන් රාශියක් සඳහා චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කරගන්නවා. එහෙත් මෙහිදී සිවිල් පර්යේෂකයින් හට ඇතිවන ප්‍රධාන ගැටළුව නම් සිවිල් පර්යේෂකයින් හට අධි විබේධන චන්ද්‍රිකා ඡායාරූප ගන්නා මිලිටරි චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමට හැකියාවක් නොලැබීමයි. මේ නිසා විවිධ පර්යේෂණ කටයුතු සඳහා යාවත්කාලීන ඡායාරූප ලබාගැනීමේ විශාල ගැටළුවක් සිවිල් පර්යේෂකයින් හා මිලිටරිමය නොවන රාජ්‍ය ආයතන වලට තිබෙනවා.

ඡායාරූප ලබාදෙන සිවිල් චන්ද්‍රිකා හිඟකම

ඕනෑම මොහොතක පෘථිවිය වටා චන්ද්‍රිකා 1000ක් පමණ ගමන් කරතත් මින් ඡායාරූප ලබාගෙන එවිය හැකි චන්ද්‍රිකා ඇත්තේ 100ක් පමණයි. එම චන්ද්‍රිකා 100 අතරිනුත් අධිවිබේධන ඡායාරූප ලබාගෙන එවිය හැක්කේ චන්ද්‍රිකා 12කින් පමණක් බව පැවසුවහොත් ඔබ පුදුම වනු ඇත. මෙම චන්ද්‍රිකා 12න් 3ක් අමෙරිකානු හා යුරෝපීය රාජ්‍ය ආයතන සඳහා පමණක් සේවා සපයන අතර චන්ද්‍රිකා 9ක ඡායාරූපකරණ සේවා, වානිජමය-චන්ද්‍රිකා ඡායාරූප සේවාවන් (commercial space-based imaging sevices) හරහා පර්යේශකයින් හට මිළදීගත හැක.

එපමණක් නොව මෙම චන්ද්‍රිකා ඡායාරූප සඳහා 80%ක ඒකාධිකාරයක් අමෙරිකානු රජයට ඇත්තේ එම චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් අමෙරිකානු රජය හෝ සමාගම් සතු බැවිනි. ඕනෑම මොහොතක චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමේ ප්‍රමුඛතාවය අමෙරිකානු රජයේ ආයතන වලට ලැබෙන අතර වාණිජ ගැනුම් කරුවන්ගේ අවශ්‍යතා දෙවැනි තැනට වැටේ. ඒ අනුව වානිජමය ගැනුකරුවෙකු, සිවිල් පර්යේෂන ආයතනයක් හෝ වෙනත් රටක ගැණුම් කරුවෙකුට, පෘථිවියේ නිස්චිත ප්‍රදේශයක ඡායාරූප ඇණවුම් කිරීම හා එය ලැබීම අතර කාළය සති කිහිපයක සිට මාස ගණනාවකට ප්‍රමාදවිය හැකිය.

වාණිජ චන්ද්‍රිකා ඡායාරුප වෙළඳපොලේ රාජ්‍ය ඒකාධිකාරිය අවසන් කිරීමට සැරසෙන SkyBox චන්ද්‍රිකා සමාගම

2009 වසරේදී ආරම්භවුනු ස්කයිබොක්ස් සමාගම අමෙරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් තිදෙනෙකු විසින් ආරම්භ කරන ලද සමාගමක්.

සැටන්ෆර්ඩ් හි පස්චාත්-උපාධි ශිෂ්‍යයින් ලෙසින් සිටියදී හඳුනාගත් මොවුන්ගේ මුල්ම අභ්‍යවකාශ ව්‍යාපෘතිය වූයේ ගූගල් සමාගම විසින් ලූනාර් එක්ස්-ප්‍රයිස් ලෙස නම් කොට ඇති, සඳ වෙත යානාවක් යවා, සඳ මතුපිටට කුඩා රොබෝ රෝවරයක් ගොඩබස්වා ඡායාරූප ආපසු ගෙන්වා ගැනීමේ අභියෝගාත්මක තරඟයයි. ගූගල් සමාගමේ කොන්දේසි අනුව මේ සඳහා යොදාගන්නා යානාව දැනට ඇති වාණිජ තාක්ශණයන් පමණක් යොදාගෙන, සම්පූර්ණයෙන්ම පෞද්ගලික ප්‍රාග්ධනය හා ශ්‍රමය යොදාගෙන නිර්මාණය කලයුතු වනවා.

ස්කයිබොක්ස් සමාගමේ විද්‍යාගාරයේ නිමැවෙන SkySat-2 චන්ද්‍රිකාව
ඩෑන් බර්කෙන්ස්ටෝක්, ජෝන් ෆෙන්වික් හා ජූලියන් මෑන් යන මේ තිදෙනා ලූනාර් එක්ස්-ප්‍රයිස් අභියෝගය සඳහා ප්‍රායෝගික සැළසුමක් ඉදිරිපත් කොට ඒ සඳහා ආයෝජකයින්ද සොයාගැනීමට සමත්වූවත් 2008 වසරේදී අමෙරිකාවේ සිදුවුනු විශාල මූල්‍ය අර්බුදය හේතුකොට බැංකු හා කොටස් වෙළඳපොල කඩාවැටීම හමුවේ ඔහුගේ ආයෝජකයින් ව්‍යාපෘතියෙන් ඉවත්වීමෙන් එය අසාර්ථක වූවා.

එහෙත්, අඩු මුදලකට, වෙලඳපොලේ පහසුවෙන් ලබාගත හැකි තාක්ශණික උපකරණ භාවිතයෙන් චන්ද්‍රිකාවක් නිපදවීමේ අදහස ඔවුන් තුල පැළපදියම් වී තිබුණු අතර, 2003 වසරේදී කියුබ්-සැට් නම් සෙන්ටිමීටර් 10ක ඝණකයක් ලෙස නිර්මාණය කොට තිබූ කුඩා ක්ශුද්‍ර චන්ද්‍රිකාව (micro-satellite) වෙනත් අභ්‍යවකාශ ගමණකට සූදානම් කොට තිබූ රුසියානු රොකට්ටුවක තිබූ අමතර ඉඩ තුල අසුරා අභ්‍යවකාශයට සාර්ථවක යැවීමෙන්, ඉතා අඩු මුදලකට කුඩා චන්ද්‍රිකා නිර්මාණය කොට, සාමාන්‍ය අභ්‍යවකාශ ගුවන්ගත කිරීම් කරන රොකට්ටුවල ඇති අමතර ඉඩ අඩු මුදලකට මිළදීගෙන සාමාන්‍ය චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන්නට යන වියදමෙන් 1/100ක් පමණ බරපැණකින් ප්‍රායෝගික ප්‍රයෝජන ගත හැකි චන්ද්‍රිකා ගුවන්ගත කල හැකි බව තහවුරු වූවා.

කියුබ්සැට් චන්ද්‍රිකාව සාර්ථක වීමෙන් පසු ඩෑන් බර්කෙන්ස්ටෝක්, ජෝන් ෆෙන්වික් හා ජූලියන් මෑන් මිතුරන් තිදෙනා නැවත වතාවක් සිය සැලසුම් හමස් පෙට්ටියෙන් එලියට ගත් අතර කියුබ්සැට් චන්ද්‍රිකාවට වඩා තරමක් විශාල, එහෙත් දැනට ඇති පරිගණක හා දෘෂ්‍ය තාක්ශණයන් සම්මිශ්‍රණයෙන් පෘථිවියේ අධිවිබේධන ඡායාරූප හා HD විබේධනයේ සජීවී වීඩියෝ ලබාගත හැකි චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම ඇරඹුනා. මොවුන් තිදෙනාගෙන් ජෝන් ෆෙන්වික් අමෙරිකාවේ ඔත්තු බලන චන්ද්‍රිකා පාළණය කරන "National Reconnaissance Office - NRO" ආයතනයේ තනතුරක් දැරූ අතර ඔහු සතුව චන්ද්‍රිකා නිර්මාණය පිලිබඳ අතිවිශාල දැනුමක් තිබුණා. එම දැනුමින් ස්කයි-බොක්ස් චන්ද්‍රිකා සැළසුම් වඩාත් දියුණු වූ බව පැවසෙනවා.

මොවුන් නිර්මාණය කල SkySat-1 හා SkySat-2 චන්ද්‍රිකා මේ වසර අවසානයේ රුසියානු ද්නීපර් රොකට්ටුවක් ආධාරයෙන් කක්ශගත කිරීමට නියමිත අතර වසර කිහිපයකදී මෙය චන්ද්‍රිකා 24ක දැවැන්ත ජාලයක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. මෙම චන්ද්‍රිකා ජාලය මගින් ලොව සෑම අඟලක්ම ආවරණය කලහැකි අතර ඕනෑම ස්ථානයක අධිවිබේධන චායාරූප හා HD වීඩියෝ දිනකට දෙවරක් බැගින් ගැනුම් කරුවනට ලබාදීමට බලාපොරොත්තුවනවා.









Comments