2013 නොබෙල් ත්‍යාගලාභියෝ


නොබෙල් ත්‍යාග ප්‍රදානය, 1901 වසරේ සිට වාර්ෂිකව සිදු කෙරේ. සාහිත්‍යය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ සාමය යන ක්ෂේත්‍රවලින් ලෝකයාගේ යහපත උදෙසා කැපී පෙනෙන සේවාවක් කරන පුද්ගලයන්ට සහ ආයතවලට නොබෙල් සම්මාන ප්‍රදානය කෙරේ. නොබෙල් ත්‍යාග ප්‍රදානය කෙරෙන්නේ, ජීවතුන් අතර සිටින විශිෂ්ටයන්ටය.

නොබෙල් ත්‍යාග ප්‍රදානය සිදුවන්නේ, ස්වීඩන ජාතික විද්‍යාඥයකු මෙන්ම නව නිපැයුම්කරුවකු ද වූ ඇල්ෆ්‍රඞ් නොබෙල්ගේ සංකල්පයකට අනුවය. ඩයිනමයිට් සොයා ගත් තැනැත්තා ඇල්ෆ්‍රඞ් නොබෙල්ය.
ඇල්ෆ්‍රඞ් නොබෙල් උපන්නේ 1833 වසරේය. ඔහු මියගියේ 1896 දීය. වයස අවුරුදු 17 වෙද්දී, ඔහුට භාෂා පහක් චතුර ලෙස කතා කිරීමට හැකියාව ලැබී තිබුණි. ඔහු ස්ඞීනයේ පිළිගත් විද්‍යාඥයෙක්, නව නිපැයුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක්, සාමයට ලැදි අයෙක් මෙන්ම ගත් කතුවරයෙක් ද වෙයි. එපමණක් නොව, ඔහු පේටන් බලපත්‍ර 355 ක හිමිකරුවෙකි.

ඩයිනමයිට් ලොවට හඳුන්වා දීමෙන්, ලෝකයට යහපතක් වූවාට වඩා සිදුවුණේ අයහපතක් බවත්, ඇල්ෆ්‍රඞ් නොබෙල් ‘මරණයේ වෙළෙන්ඳකු’ බවත් ප්‍රංශ පුවත්පතක් වාර්තා කළේය. එම ප්‍රවෘත්ති වාර්තාවෙන් නොබෙල්ගේ සිත පෑරුණේය. ලොවට කැපීපෙනෙන උත්තරීතර සේවයක් කරන පුද්ගලයන් හෝ ආයතන හඳුනාගෙන ඔවුන් ඇගැයීමේ අදහසක් ඔහුට පහළ වූයේ එම අවස්ථාවේදීය.

1895 වසරේ දී ඇල්ෆ්‍රඞ් නොබෙල් සිය අන්තිම කැමැත්ත සකස් කළේය. නොබෙල් ත්‍යාග ප්‍රදානයට මුදල් ලබා දීම සිදුවන්නේ නොබෙල්ගේ එම අන්තිම කැමැත්ත හරහාය. ආරම්භයේදී නොබෙල් ඊට එක් කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 265 ක් පමණ විය.

අද වන විට ත්‍යාග ප්‍රදානය සහ මුදල් ප්‍රතිපාදන සැපැයීම සිදුවන්නේ ‘නොබෙල් පදනම’ මගිනි. එය, 1900 පිහිටුවූ පෞද්ගලික ආයතනයකි. පිහිටා ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවරය. නොබෙල් ත්‍යාග සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදුකරන්නේ විද්වත් මණ්ඩල සහ ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල පිළිගත් ආයතන එකමුතු වීමෙනි.

නොබෙල් ත්‍යාගලාභීන්ට රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් තෑග්ගක් හිමිවෙයි. නාම යෝජනා බාර ගැනීමෙන් පසු, ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි නොබෙල් කමිටුව ප්‍රකාශ කරන්නේ සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේය. ත්‍යාග ප්‍රදානය සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදා ස්ටොක්හෝල්ම් නුවරය. ඇල්ෆ්‍රඞ් නොබෙල් මියගියේ දෙසැම්බර් 10 වැනිදාය.

ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට ඇල්ෆ්‍රඞ් නොබෙල් අදහස් කරගෙන නොසිටියේය. ඔහුගේ අවසන් කැමැති පත්‍රයේ එවැන්නක් සඳහන් වී නැත. ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුවුණේ නොබෙල් කමිටුවේ සංකල්පයකට අනුව 1968 වසරේ සිටය.
සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය අතිශයින් වැදගත් වෙයි. මෙවර ඒ සඳහා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වී සුවය ලැබූ 16 හැවිරිදි මලාලා යූසොෆ්සායි ද සිටින්නීය. 2013 වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමිවුවහොත් එම ත්‍යාගය හිමිවන ලාබාලම තැනැත්තිය වන්නේ ද ඇයයි. මලාලා දැරිය ඇතුළුව, මෙවර නොබෙල් සාම ත්‍යාගයට 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබුණි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් ද වෙයි. ඔවුන් අතර සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට මැදහත්වී කටයුතු කළ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ද සිටී. ඊට අමතරව ඇමෙරිකා රහස් ලොවට හෙළි කළ ඇමෙරිකානු සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිං මෙන්ම විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් ඇසේන්ජ් ද සිටිති.

නොබෙල් සාම ත්‍යාගය

කෙසේ නමුත් වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුණේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයටය. වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුර දිග යෑම වැළැකුණේත් ලෝක සාමය සුරැුකුණේත්, එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂකයන් එම අර්බුදයට මැදිහත් වීම නිසාය. ඒ අනුව, 2013 නොබෙල් සාම ත්‍යාගය, එම සංවිධානයට පිරිනැමීමට තිරීණය කළේ යැයි හේතුපාඨ වශයෙන් නොබෙල් කොමිටුව පවසා ඇත.
ලෝකයේ රසායනික අවි සම්බන්ධයෙන් සොයා බලන්නේත් ඒවා තහනම් කිරීමට පියවර ගන්නේත් එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයයි. මෙම සංවිධානය පිහිටුවූයේ 1997 වසරේදීය. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට රුසියාව සහාය දෙද්දී, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප්‍රංශය කැරැුලිකාර පාර්ශ්වයට සහාය දෙයි. එම අර්බුදය තවත් දුරදිග ගියේ නම්, තෙවැනි ලෝක යුද්ධය ඇරැුඹේවි යැයි බොහෝ දෙනා බිය පළ කළහ.

සිරියානු ජනපති අසාද්ගේ රජය, ඔවුන් සතු රසායනික අවි යොදා ගනිමින් පහර දී සිවිල් වැසියන් ඝාතනය කරනවා යැයි චෝදනා එල්ල වෙද්දී, සිරියාවට ගොස් ඒ ගැන සොයා බැලූවේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ නියෝජිතයන් සහ අවි පරීක්ෂකයන්ය.

මේවනවිට රුසියාව, සිරියානු රජය සහ ඇමෙරිකාව එක් වී, එකඟතාවයකට පැමිණ සිටින අතර, සිරියානු රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කර ඇත. එම අවි විනාශ කිරීමේ මෙහෙයුම් ද ආරම්භ වී ඇත. මේ සියල්ල සිදුවන්නේ ද එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ මෙහෙයවීම යටතේය. රන් පදක්කමට අමතරව, එම සංවිධානයට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක ත්‍යාග මුදලක් ද හිමිවෙයි.



වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ සමව බෙදී ගියේය. ජේම්ස් ඊ රොත්මන්, රැුන්ඩි ෂෙක්මන් සහ තෝමස් සුඩොෆ් යනු ඔවුන් තිදෙනාය. ජේම්ස් ඊ රොත්මන්, රැුන්ඩි ෂෙක්මන් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් වන අතර, තෝමස් සුඩොෆ් ජර්මන් ජාතික විද්‍යාඥයෙකි. මොවුන්ට නොබෙල් ත්‍යාගය හිමිවන්නේ මිනිස් සිරුරේ ෙසෙල ආශ‍්‍රයෙන් සිදුකළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමිනි.

රසායන විද්‍යා නොබෙල් තෑග්ග

රසායන විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට පිරිනැමීමට, නොබෙල් කමිටුව ඉකුත් 9 වැනිදා තීරණය කළේය. ඔවුන් තිදෙනා ඇමෙරිකා ඔස්ටි‍්‍රයානු පුරවැසියකු වන මාර්ටින් කාර්පුස්, ඇමෙරිකා බි‍්‍රතාන්‍ය පුරවැසියකු වන මයිකල් ලෙවිට් සහ ඇමෙරිකා ඊශ‍්‍රායල පුරවැසියකු වන ආර්යි වෝෂෙල්ය.

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග

Peter Higgs
Franciois Englert
භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන තෑග්ග විද්‍යාඥයන් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒ, සර්න් න්‍යෂ්ටික පර්යේෂණායතනයේ විද්‍යාඥයන් දෙදෙනකු අතරේය. ඔවුන් දෙදෙනා හිග්ස් බෝසෝනය ලොවට හඳුන්වා දුන් විද්‍යාඥ පීටර් හිග්ස් සහ ඔහුට සහාය දුන් විද්‍යාඥ ෆ්‍රන්සුවා එන්ග්ලේය.

නොබෙල් සාහිත්‍ය තෑග්ග

සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර හිමිවූයේ, කැනෙඩියානු ජාතික ගත්කතුවරියකටය. ඇය ඇලිස් මුන්රෝය. 82 වැනි වියෙහි පසුවන මුන්රෝ, පසුගිය දශක කිහිපය පුරා විවිධ සම්මාන වලින් පිදුම් ලබා ඇති අතර, ඇය පසුගිය වසර කිහිපය තුළ විශාල සාර්කත්වයක් අත්පත්කර ගත් තැනැත්තියකි. විනීත, සැහැල්ලූවෙන් කටයුතු කරන නිහතමානි චරිතයක් ලෙස ද බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබයි.
1931 ජූලි 10 වැනිදා කැනඩාවේ වින්හැම්හි ඔන්ටෝරියෝහිදි ඇය උපත ලැබුවාය. ඇයට අවුරුදු 11 සම්පූර්ණ වනවිටම ඇය ලේඛිකාවක වන බව ඇය විසින්ම තීරණය කර ගෙන තිබුණාය. කැනඩාවේ උපත ලද තවත් ශ්‍රේෂ්ඨ ලේඛිකාවක් වන මාග‍්‍රට් ඇට්වුඞ්ට වඩා  සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් ලෙස විචාරනයන් විසින් මුන්රෝව හඳුන්වනු ලබයි. ඇයගේ පළමු කෘතිය ඇය බටහිර ඔන්ටෝරියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ප්‍රකාශයට පත්කළ අතර ඒ 1950 වසරේදිය.

 ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග

ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ද තිදෙනකු අතරේ බෙදී ගියේය. ඒ, යූජීන් එෆ් ෆැමා, ලාර්ස් පීටර් හැන්සන් සහ රොබට් ජේ සිලර් අතරේය. යූජීන් එෆ් ෆැමා ඇමෙරිකානු ජාතික ආර්ථික විශේෂඥයෙකි. හැන්සන්, ඇමෙරිකාවේ චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙකි. රොබට් ජේ සිලර්, ඇමෙරිකාවේ යේල් සරසවියේ මහාචාර්යවරයෙකි. නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශ කර අවසන් වී ඇතත්, ඔවුන්ට සම්මාන ප්‍රදානය සිදු කෙරෙනු ඇත්තේ එළැඹෙන දෙසැම්බර් 10 වැනිදාය.

Source: http://www.wijeya.lk/archives/642

Comments