Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 17 May 2014

වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද?

හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරය

ඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී තිබෙනවා. දැනට නිර්මාණය කොට ඇති  විසඳුම්වලට අනුව වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන්නවුන් මුලින්ම හයිඩ්‍රොෆොනික් ක්‍රමයට වගාකිරීම සිදුකරනු ඇති. හයිඩ්‍රොෆොනික් ක්‍රමය යටතේ පැල පසෙහි සිටුවීමක් සිදු නොවන අතර ඒවා ආධාරක මත රඳවා විශේෂයෙන් සකසන ලද පෝශක ද්‍රාවණයක මුල් ඇදෙන්නට සලස්වනවා. බොහෝ බෝග වර්ග මෙලෙස සාර්ථකව වගාකල හැකිබව පර්යේෂණ වලදී පෙනීගොස් තිබෙනවා.

වෙනත් ග්‍රහලෝකයකදී ආහාර සපයාගැනීම පිලිබඳව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජීන් හන්ටර් පවසන ආකාරයට මුලින්ම ඉක්මණින් වැවෙන සලාද කොලවර්ග, කැරට්, බීට්, කොළ ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා වැනි ආහාරවර්ග මුලින්ම වගාකිරීම ආරම්භ කල යුතුයි. ඒ, එවැනි එළවළු වර්ග ඉක්මණින් වැඩී පලදාව ලබාදෙන බැවින් හා එතරම් අපහසුවකින් තොරව කුඩා ඉඩ ප්‍රමාණවල වගාකරගත හැකි බැවිනුයි. දෙවැනි පියවර ලෙස කාබෝහයිඩ්‍රේට සපයන අල, බතල හා තිරිඟු, ඉරිඟු හා ගොයම් වගාකිරීම ආරම්භ කල හැකියි. ප්‍රෝටීන බෝග (මාංශ බෝග ) වගාකිරීම තෙවන පියවර වනවා. කෙසේවෙතත් බොහෝ කාළයක් යනතුරු වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවාගන්නා පෘථිවි වැසියන්ට ශාකමය ආහාරවේලකින් (vegetarian) යැපෙන්නට සිදුවනු ඇති. ඒ වෙනත් ග්‍රහලෝකයක සත්වපාලන සිදුකිරීම පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ ඉතා අවමයෙන් නිසා.

කේසේ වේතත් කොළණි වැසියනටට සත්ව ප්‍රෝටීන ලබාගැනීම සඳහා ප්‍රෝටීන අධික කෘමිසතුන් ඇතිකිරීමේ හැකියාව තිබෙන බව ඔවුන් පවසනවා. එපමණක් නොව, මෙලෙස කුඩා ඉඩ ප්‍රමාණවල බෝග වගාව ඉතා අකාර්යක්ශම අධික ශ්‍රමයක් වැයවෙන කටයුත්තක් බව පවසන මහාචාර්ය හන්ටර් කොළණි වැසියනට සිය දෛනික කාලයෙන් විශාල ප්‍රමාණයක් ආහාර නිපදවාගැනීම සඳහා වැය කරන්නට සිදුවිය හැකිබවට අණතුරු අඟවනවා. කොතරම් සාර්ථක ලෙස වගාකටයුතු සිදුකල හැකිවූවත් අඟහරු වැනි ග්‍රහයෙකු මතට ගොඩබසින ගවේශකයින් මාස 6 සිට වසරක පමණ කාළයකට සෑහෙන ආහාර රැගෙන යායුතු වනවා. නැත හොත් කලින් කලට පෘථිවියෙන් එවිය යුතු වනවා. ඒ අවශ්‍ය ගොඩනැගිලි නිර්මාණය කරගෙන වගාව ආරම්භ කිරීමට කල් ගතවන බැවිනුයි.

මේ පිලිබඳව වැඩිදුර හැදෑරීම සඳහා අපූරු පර්යේෂණයක් නාසා ආයතනය මගින් හවායි දූපතේ පිහිටවූ පර්යේෂණාගාරයක සිදුකරනු ලැබුවා. Hawaii Space Exploration Analog and Simulation (HI-SEAS) ලෙස හඳුන්වන ලද මෙය සීල් තැබූ පර්යේෂණාගාරයක්. අමෙරිකාවට අයත් හවායි දූපත් සමූහයේ විශාලතම දිවයිනේ පිහිටා ඇති මව්නා-ලෝවා ගිණිකන්දේ බෑවුමක, මුහුදු මට්ටමේ සිට අඩි 8000ක් ඉහලින් මෙම පර්යේෂණාගාරය පිහිටුවා තිබේ. මෙම ප්‍රදේශයේ භූවිශමතා අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන භූමි ස්වභාවයට යම් අන්දමකින් සමානවීම, මෙම ස්ථානය තෝරාගැනීමට හේතුව බව නාසා ආයතනය පවසනවා.

මෙය තුල පර්යේෂකයින් 8 දෙනෙකු දින 120ක්, බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොරව ජීවත් වුනා. ඔවුන් සඳහා පෙර පිසින ලද පැකට් ආහාර මෙන්ම බීජ හා හයිඩ්‍රොෆොනික් ලෙස ආහාර වගාකරගත හැකි පහසුකම් ලබාදී තිබුනා. පසුගිය 2013 අගෝස්තුවේ අවසන් වුනු මෙම පර්යේශණයේදී අනාගත වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවා ගන්නා මිනිස් ගවේෂකයින් හට උපකාරවිය හැකි දත්ත රාශියක් එක් රැස් කරගත් බව නාසා ආයතනය පවසනවා.

ආහාර වගාකිරීම, පිසීම, ඒවායේ පෝෂ්‍යගුණය, දීර්ඝ කාලීනව මෙලෙස වගාකල ආහාර මත යැපීමෙන් ශරීර සෞඛ්‍යට වන බලපෑම මෙන්ම වෙනත් ග්‍රහලෝකයක පිහිටුවාගත් ජනාවාසවල වැසිකිලි-කැසිකිලි නිර්මාණය කලයුත්තේ කෙසේද, කසළ හා මළද්‍රව්‍ය බැහැර කරන්නේ කෙසේද, ජලය සපයාගන්නේ කෙසේද යනාදී විද්‍යාත්ම ගැටලු රාශියක් මෙහිදී අධ්‍යයනය කරමින් තිබෙනවා. මෙම පර්යේෂණයේ ප්‍රථිපල තවමත් සකසා අවසන්වී නෑ. පර්යේෂකයින් 6දෙනෙකු සහිතව මෙහි දෙවැනි අදියර (HI-SEAS 2)  2014 මාර්තු 24 වැනිදා ඇරඹුනු අතර ඔවුන් දින 120ක් මෙහි ගත කරමින් පර්යේෂණ කටයුතුවල යෙදෙනු ඇත.

HI-SEAS පර්යේෂණාගාරයේ සංචාරයක යෙදෙන වීඩියෝව නරඹන්න.

 
Related Posts Plugin for WordPress, Blogger...