ලොව පලමුවෙනි "භූගත එළවළු ගොවිපොල" ලන්ඩනයේදී දළුළයි!!

ලොව පලමු "භූගත එළවළු ගොවිපොල" ලන්ඩනයේ අතහැරදැමූ දෙවනි ලෝක යුද්ධ බංකරයක ආරම්භවූ බව ලන්ඩන් ටෙලිග්‍රාප් පුවත්පත වාර්තාකරනවා.

"Growing Underground" ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපාරය ලොව එකම භූගත ගොවිපොල වන අතර ඒ සඳහා  දෙවන ලෝක යුධසමයේ ගුවන්ප්‍රහාර වලදී ලන්ඩන් වැසියන්ට ආරක්ශාව දීම සඳහා නිර්මාණයකරන ලද බංකරයක් යොදාගෙන තිබෙනවා. ලන්ඩන් ව්‍යාපාරිකයින් වන රිචර්ඩ් බලාර්ඩ් හා ස්ටීවන් ඩ්‍රින්ග් යන දෙදෙනාත්, ලන්ඩනයේ ජනප්‍රිය සූපවේදියෙකුවන මයිකල් රෝක්ස් සම සහභාගිත්වයෙන් මෙම ගූගත ගොවිපොල ව්‍යාපාරය ආරම්භකොට තිබෙනවා.

මෙම බංකරය තුල වැවෙන පැලෑටි සඳහා ආලෝකය ලබාදීමට අති නවීන ආලෝක පද්ධතියක් හා ජලය ලබාගැනීමට වාර් පද්ධතියකුත් නිර්මාණය කොට තිබෙන අතර එම ගොවිපොල ලඟදීම ලන්ඩනයේ අවන්හල් සඳහා අලුත්ම කොළ එලවලු (leafy-green vegetables) ලබාදීමට සූදානම් වනවා. පලමු අදියරේදී   රාබු, අබ, කොත්තමල්ලි, රතු තම්පලා, සැල්දිරි, රට අසමෝදගම් (parsley) ආදී එළවලු සැපයිමට සූදානම් කොට තිබෙනවා.

මෙම එළවලු වගාව සාර්ථක කරගැනීම සඳහා මාස 18ක් පුරා පර්යේෂණ, අත්හදාබැලීමේ වගාවන් සිදුකල බව මෙහි පුරෝගාමියෙකුවන රිචර්ඩ් බලාර්ඩ් පවසනවා. මෙම ගොවිපොලේ සමාරම්භකයෙකුවන සූපවේදී මයිකල් රෝක්ස් ගොවිපොලේ එළවළු උපයෝගීකරගෙන විවිධ කෑම වර්ග සෑදීමට සූදානමින් සිටිනවා. ලන්ඩනයේ පමණක් නොව, ලෝකයේම එකම භූගත ගොවිපොල වන මේ අද්විතීය ව්‍යාපෘතිය හා සම්බන්ධවීමට ලැබීම භාග්‍යක් බව මයිකල් රෝක්ස් පවසනවා.

අතිනවීන, අඩු බලශක්ති භාවිතයක් ඇති ආලෝක පද්ධතිය, ජල නාස්තිය ඉතා අඩු නවීන ජල සැපයුම් පද්ධතිය හා වාතාශ්‍රය ලබාදීමේ පද්ධතිය පරිගණක මගින් පාලනය වන අතර බලශක්ති හා ජල නාස්තිය අවමකරමින් පරිසරයට ඉතා අඩු බලපෑමක් ඇතිවන ලෙස නිර්මාණය කොට තිබෙනවා. මෙම ගොවිපොලට විදුලිය ලබාගන්නේත් ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලිය සපයන ආයතනයකින් නොව සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන ආයතනයකින්. එබැවින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම ඉතාමත් අවමයි.

දෙවන ලෝක යුද්ධයේදී ලන්ඩනයට නිරන්තරව එල්ලවුනු ජර්මන් ගුවන් ප්‍රහාරවලින් ලන්ඩන් වැසියන් ආරක්ශාකර ගැනීම සඳහා නිමැවුනු මෙම බංකරයේ 8000ක ජනකායකට රැඳීසිටිය හැකි තරමට විශාල බැවින් ඉදිරියේදී ගොවිපොල තවත් විශාල කල හැකිබව මෙහි ව්‍යවසායකයින් පවසනවා.

ලන්ඩන් නගරයේ නවමු ව්‍යාපාර ඇරඹීම සඳහා විශේෂයෙන් කැපවී ක්‍රියාකරන ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් මෙම ව්‍යාපාරය සඳහාද විශේෂ අනුග්‍රහයක් දැක්වූවා. ලන්ඩන් වැසියන්ගේ නවමු ව්‍යාපාර ඇරඹීමේ හැකියාවට හා ව්‍යාපාරික දර්ශණයට මෙම භූගත ගොවිපොල හොඳ උදාහරණයක් බව ඔහු පවසනවා. මෙවැනි නවමු ව්‍යාපාර මගින් ලන්ඩනයට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනයවී ඇති බව පවසන බොරිස් ජොන්සන් මෙවැනි නව ව්‍යාපාර මගින් ලන්ඩනයේ ආර්ථිකයට පවුම් බිලියන 30ක දායකත්වයක් ලැබෙන බව පවසනවා.


Comments