අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SPACE FLIGHT : කක්ෂයට ඇතුලුවූ සැනින් අතුරුදහන්වූ Zuma චන්ද්‍රිකාව


පසුගිය සතියේ ජනවාරි 7වැනිදා ඊලෝන් මස්ක් මහතාට  (TESLA, SpaceX, The Boring Company) අයත්  ස්පේස් X සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවකින් ගුවන්ගත කල සූමා (Zuma) නම් චන්ද්‍රිකාව කක්ෂයට ඇතුලුවූ සැනින් අභිරහස් ලෙස අතුරුදහන් වී තිබෙනවා.

ෆ්ලොරිඩවේ කැනවරල් තුඩුවේ ගුවන්හමුදා රොකට් පර්යන්තයකින් අහසට නැගුනු ස්පේස් X ෆැල්කන් 9 රොකට්ටුව සූමා චන්ද්‍රිකාව කක්ෂය වෙත නිදහස් කොට නැවත කැනවරල් තුඩුවට ගොඩබැස්සා.  සිදුවිය යුතුව තිබුණේ සූමා චන්ද්‍රිකාව රැගත්  කොටසේ වැසුම් ඉවත්වී රොකට්ටු දල්වාගෙන චන්ද්‍රිකාව නිවැරදි කක්ෂය වෙත ඇතුලුවීමයි. කෙසේ වෙතත් ස්පෙස් X රොකට්ටුව නිරුපද්‍රිතව ආපසු පැමිණ පැය ගණනාවක් ගතවුනත් සූමා චන්ද්‍රිකාව කක්ෂගතවූ බවට තහවුරු කරමින් සිදුකල යුතු ජාත්‍යන්තර චන්ද්‍රිකා ලේඛණයේ (Space-Track.org) යාවත්කාලීන කිරීමක් සිදුවුනේ නෑ.


සූමා චන්ද්‍රිකාව නොර්ත්‍රොප් ගෘම්මාන් සමාගම මගින් නිෂ්පාදනය කරන ලද වාර්තාවන ආකාරයට ඩොලර් බිලියනයක් වටිනා අධිතාක්ෂණික චන්ද්‍රිකාවකි. ඉතාමත් රහසිගත ලෙස නිෂ්පාදනය කොට කක්ෂගත කරන ලද මේ චන්ද්‍රිකාව ඇමරිකානු රජයේ කුමන ආයතනයක් වෙනුවෙන් නිෂපාදනය කරන ලද්දේද?, කුමක් සඳහා එය කක්ෂගත කලේද යනාදී කිසිදු තොරතුරක් වාර්තාවන්නේ නෑ.

මේ අනුව මුලින් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේදී යම් දෝශයක් වී එය කඩාවැටී ඇති බවට සැකයක් ඇතිවූයේ ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය චන්ද්‍රිකාව පිලිබඳව ස්පේස් X ආයතනයෙන් විමසන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දුන් පසුවයි. වහාම ප්‍රතිචාර දැක්වූ ස්පේස් X සමාගම, තමන්ගේ රොකට්ටුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මකවූ බවත් චන්ද්‍රිකාව රැගත් කොටස නියමිත කක්ෂය වෙත ගෙන ගිය තම රොකට්ටුව නැවත නිරුපද්‍රිතව ආපසු ගෙන්වාගත් බවත් පවසා සිටියා. තමන් අතින් කිසිදු වැරද්දක් නොවූ බව පවසන ස්පේස් X සමාගම සුපුරුදු ආකාරයෙන් ඊලඟ රොකට් ගුවන්ගත කිරීමට සූදානම් වන බව පැවසූවා.


පසුව රොකට්ටුව කක්ෂයේ නිවැරදි ස්ථානය වෙත යොමුකරන payload fairing කොටසේ දෝෂයක් ඇතිවී එමගින් චන්ද්‍රිකාව විනාෂවී යන්නට ඇතැයිද සැකයක් මතුවී තිබුණා. චන්ද්‍රිකාව කක්ෂයට ඇතුලුකරන (orbit injection) පේලෝඩ් ෆෙයාරින් කොටසද නෝත්‍රොප් සමාගම මගින් නිෂ්පාදනය කර ඇති අතර එහි දෝෂයක් ඇතිවුනානම් එහි වගකීම ස්පේස් X සමාගම මත පැවරිය නොහැකි බව විචාරකයින් පවසනවා.

ඩොලර් බිලියනයක් වටිනා චන්ද්‍රිකාවට කුමක් සිදුවුනේදැයි නිශ්චිත යමක් ප්‍රකාශකරන ලෙස දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉල්ලීම් කරද්දී ආරක්ෂක දෙපාර්තමේතු මාධ්‍ය ප්‍රකාශිකා ඩේනා වයිට් "සෙපේස් එක්ස්" සමාගමෙන් අසන ලෙස  නැවතත් පැවසීමේදී පෙන්ටගනයේ මාධ්‍ය සාකච්ඡා කාමරය තුල උණුසුම් තත්වයක් උද්ගතවූ බව එහි සිටි වාර්තාකරුවන් පැවසූවා.

කෙසේ වෙතත් සමහර ආරක්ෂක වාර්තාකරුවන් පවසන්නේ සූමා චන්ද්‍රිකාවේ ගැටලුවක් ඇති බව සාවද්‍ය බවත් එය නිරුපද්‍රිතව කක්ෂයට ඇතුලුවී ඉතා රහසින් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.













__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments