HISTORY : කැරිබියන් මුහුද දෙවනත් කල කුප්‍රකට Pirates of the Caribbeanලා පොත් කියවපු බව හෙලිවෙලා!


පයරට්ලා නැතිනම් මුහුදු කොල්ලකරුවන් කියපු ගමන් මතක් වෙන්නේ පයරට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටවල ඉන්න ජැක් ස්පැරෝ චරිතයයි ඔහුගේ ගෝල පිරිසයි. නූගත්, කපටි, කුරිරු ගති ඇති ඔවුන් ඉතා අපිරිසිදු ජීවිත ගතකරන බවත්, නිතරම  කට ගොන්නක් බීගෙන ගණිකා නිවාසවල ඉන්න බවත්, මුහුදේදී නිරායුධ යාත්‍රාවලට පහරදීලා ඒවා යේ වස්තුව කොල්ල කාලා නැවියන් මරා දමන බවත් මේ චිත්‍රපටවල පෙන්වනවා. මුහුදු කොල්ලකරුවන් ගැන ලියවුනු පොත්, හැදුනු වෙනත් චිත්‍රපටවලත් ඔවුන්ව පිලිඹිඹු කරන්නේ මීට සමාන ආකාරයකටමයි. 

ඒත් වසර සිය ගණනකට කලින් ජීවත්වුනු සැබෑ මුහුදු කොල්ලකරුවන් ඇත්තටම මේ වගේද?

කැරිබියන් දූපත්වල සිය අණසක පතුරුවාගෙන සිටිය සැබෑ ලෝකයේ මුහුදු කොල්ලකරුවන් ගෙන් කුප්‍රකටම මුහුදු කොල්ලකාරයා වෙන්නේ කළුරැවුළා හෙවත් බ්ලැක් බියර්ඩ්.

1680දී ඉපදුනු බ්ලැක්බියර්ඩ්ගේ නියම නම එඩ්වර්ඩ් ටීච්. එන්ගලන්ත ජාතිකයෙකු වූ ඔහු බටහිර ඉන්දීය දූපත් හා ඉන් උතුරේ ඇති ඇමරිකාවේ නැගෙනහිර වෙරළේ කොල්ලකෑම්වල නිරතවුනා.එඩ්වර්ඩ් ටීච්ගේ ළමා කාළය ගැන තොරතුරු නැති අතර ඔහු ප්‍රසිද්ධ වෙන්නට ගත්තේ කොන්කෝර්ඩ් නම් ප්‍රංශ නෞකාවක් අත්පත්කරගෙන එයට කාලතුවක්කු 40ක් සවිකරලා මහා බලසම්පන්න යුධ යාත්‍රාවක් බවට හරවාගත්තට පස්සේ. මේ නෞකාව  "Queen Ann's Revenge" නැතිනම් ඈන් රැජිණගේ වෛරය කියලා භෞතීස්ම කරගත් එඩ්වර්ඩ් ටීච්ට, බ්ලැක්බියර්ඩ් නම පටබැඳුනේ ඔහුගේ බියකරු පෙනුම හා විශාල රැවුළ නිසා බව කියැවෙනවා.


බ්ලැක්බියර්ඩ් ගැන ලියවී ඇති සත්‍ය ඉතිහාස කරුණුවල, ඔහු කුරිරු මිනිසෙක් බව පෙන්වන්නේ නෑ. බ්ලැක්බියර්ඩ් සිය කොල්ල කල්ලිය පාලනය කරන්නට සාමූහික එකඟතාවය භාවිතාකල බව තමයි කියැවෙන්නේ. ඒ වගේම නිරපරාදේ මිනිසුන් මරාදමනවා වෙනුවට තම ග්‍රහණයට හසුවෙන නෞකා කප්පිත්තන් ලවා සිතැඟි කරවා ගන්නට ඔහු සිය භයානක ප්‍රතිරූපය  භාවිතාකලා කියලත් කියවෙනවා.






පයරට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට මාලාවේ "On Stranger Tides" චිත්‍රපටයේ බ්ලැක්බියර්ඩ් හා ඔහුගේ දියණිය  ඇන්ජෙලිකා (ඔහුට සැබෑවටම දියණියක් සිටි බවට ඉතිහාස සටහන් නෑ) ප්‍රධාන චරිතවලට පණපොවනවා. මේ චිත්‍රපටයට අනුවනම් බ්ලැක්බියර්ඩ් ඉතාමත් රුදුරුවන අතර පසුව අමනුෂ්‍යයෙක් බවට පත්වනවා. ඔහුගේ දියණියත් ඉතාම චපල, කලක් ගණිකාවක් ලෙස කටයුතුකල, සිය පියා හා එක්වීමෙන් පසු ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නෞකාවේ දෙවැනි නායකයා (first mate) ලෙස පත්වනවා.

කෙසේ වෙතත් බ්ලැක්බියර්ගේ ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නෞකාව 1996 වසරේදී උතුරු කැරොලයිනා වෙරළට ඔබ්බෙන් ගිලීගොස් තිබියදී හමුවුනා. මෙය ගිලීගියේ 1718දීයි.






මේ නෞකාවේ කෞතුක වස්තූන් පරීක්ෂාකරමින් වසර ගණනාවක් ගතකල සමුද්‍ර ඉතිහාසඥයින්ට මේ නැවේ තිබී විනාශ නොවූ කඩදාසි කිහිපයක් හමුවී තිබෙනවා. එම කඩදාසි පරීක්ෂාකල පුරාවිද්‍යාඥයින්ට ඒවා බ්‍රිතාන්‍ය දේශගවේෂක කැප්ටන් එඩ්වර්ඩ් කුක් විසින් ලියන ලද  "A Voyage to the South Sea, and Round the World, Perform’d in the Years 1708, 1709, 1710 and 1711" පොතෙහි පිටු බවට දැන් සැක රහිතවම සනාතවෙලා තියෙනවා.

මේ පිටු 1712දී පලවුනු කැප්ටන් කුක්ගේ පොතෙහි පළමු මුද්‍රණයේ පිටු බවටයි තහවුරු වෙලා තියෙන්නේ. ඒ අනුව බ්ලැක් බියර්ඩ් රුදුරු ලේ පිපාසිත නූගතෙකු නොව පත-පොත කියවූ තැනැත්තෙක් වියයුතු බවටයි දැන් අනුමාන වෙන්නේ.

බ්ලැක්බියර්ඩ්ගේ අවසානය සිදුවුනේ 1718දී. ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නෞකාව ගිලීගිය පසු බ්‍රිතාන්‍යයට ගිය ඔහු මාස කිහිපයකින් නැවතත් කැරිබියන් සාගරයට යන්නේ පරණ මුහුදු මංකොල්ල රැකියාව කරන්නට. එහෙත් එහිදී ඔහු එකල ඇමරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ්ගේ උදහසට ලක්වෙනවා. ඒ අනුව ඔහුව මරාදැමීමට දක්ෂ කුඩා නැවියන් කණ්ඩායමක් යොදවන අතර 1718 නොවැම්බර් 22වැනිදා සිදුවූ දරුණු අසිපත් සටනකින් පසු ඔහු මිය යනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments