NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HIKING & TREKKING: හෝර්ටන් තැන්නේ කඳවුරු බඳිමු! | Lets do camping at Horton Plains!

Camp site 2 - Horton Plains National Park

ගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න.

මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ Horton Plains visitor center එකෙන් 750m වගේ දුරින්. අනිත් park වල වගේ නෙමෙයි මෙහෙදී අපිට වාහනයකින් යන්න බැහැ camp site එක ලගට. අනික හවස 6න් පස්සේ ඇතුලේ ඇවිදින්න බැහැ.  හොදට මතක ඇතුව ඕනි කරන ඔක්කොම බඩු අරගෙන යන්න එක පාරම. 

Horton Plains කෑම්පින්ග් සඳහා ගෙනයා යුතු දේවල්

1] කෑම්පින්ග් ටෙන්ට් - හොඳ ශක්තිමත්, දැඩි සුලඟට ඔරොත්තු දෙන ඒවා විය යුතුමයි.

2] හැමට වැහි කබා - හෝර්ටන්තැන්නේ කාළගුණය අවිනිශ්චිතයි

3] ශීතලට අඳින්න උණුසුම් ඇඳුම් - දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි රෑට අධික ශීතල. මාර්තු, අප්‍රේල්, මැයි එතරම් නෑ, ඒත් පාන්දර ශීතල හා තුහින.

4] කෑම්පින්ග් ස්ටෝව් එකක් - හැබැයි හොඳ ආරක්ශිත එකක්. ඒ කියන්නේ කෑම්පින්ග් සඳහාම හදපු, දැල්ල නිරාවරණය නොවන ආරක්ශිත උදුනක් වෙන්න ඕනෑ.

5] ඉවුම් පිහුම් සඳහා සාස්පාන් හා කෑම පිඟන් හා කෝප්ප

6] ජලය - ලීටර් 5 ලොකු කෑන්. (වීසිකරන ලීටර් 5 බෝතල් ගෙනියන්න බෑ)

7] බැටරි ලන්තෑරුම් - රාත්‍රී ආලෝකය සඳහා හොඳින් චාර්ජ් කරන ලද බැටරි ලන්තෑරුම් කිහිපයක්.

8] ප්‍රථමාධාර පෙට්ටිය - සුළු කැපුම් හා තුවාල සඳහා සැව්ලෝන් දියර, පුලුන් හා ප්ලාස්ටර්, සුළු තැලීම් උලුක්කුවීම් සඳහා වින්ටොජිනෝ වැනි ආලේපයක් හා බැන්ඩේජ් කිහිපයක්, වේදනා නාෂක පෙති. දියවැඩියා හෝ අධික රුධිර පීඩනය ඇති අය යනවානම් ඒ අයට ඇති තරම් ඖෂධ හා සීනී හා රුධිරපීඩන පරික්ශාකරන යන්ත්‍ර. 

9] කැමරා හා ෆෝන් ආරක්ශාකර ගැනීම සඳහා සීල් කල හැකි පොලිතීන් ෆීසර් බෑග් (freezer bags) හෝ වෙනත් waterproof ආවරණ.

අවදානමට පෙර සූදානම කියලා හිතාගෙන ඕනෑකරන හැමදේම ගෙනියන්න. කොළඹ ඉඳන් උස්සගෙන එන්න අනවශ්‍ය, සුලභ දේවල් නුවර එළිය ටවුමෙන් ගන්න


Camp Site බූක් කරන්නේ මෙහෙමයි.

0112888585 මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලගේ විස්තර කියල booking එක දාන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා යන්න මාසෙකට වත් කලින් කරන්න. මේ නම්බර් එක Department of Wildlife Baththaramulla. පොඩි ගානක් අය කරනවා. 

මෙන්න මෙහෙමයි camp site ගැන විස්තර

හැම site එකේම toilet එකක් තියනවා. ලොකු tent දෙකකට වගේ ඉඩ තියනවා. හැබයි 10 දෙනෙකුට විතරයි එයාල ඉන්න දෙන්නේ එක site එකක. 

මෙන්න මේක නම් හොදට මතක තියා ගන්න. Horton plains රෑට තද සීතලයි. අපි සීතලට කැමතියි ඔෆිස් එකේ AC එක 21C දාගෙන ඉන්නේ කියල හිතන්න එපා. ඇටමිදුළු වලට වදින සීතලක් පාන්දරට එන්නේ.

ඒ වගේම July/August තද හුලං. මේ කාලේ සමහර වෙලාවට tent එක හුළඟින් බේරගන්න සෑහෙන්න මහන්සිවෙන්න වෙනවා. කෑම්පින්ග් වලට අලුත් නම් නම් July/August කාලේ මග හරින එක වඩාත් සුදුසුයි.

අනිත් එක, ටෙන්ට් අරගෙන යන්න ඕනි අපිම. කෑම්ප් සයිට් එකේ ඒවා නෑ. වයිල්ඩ් ලයිෆ් එකෙන් වත්, හෝර්ටන් තැන්නේ හරි නුවර එළියන් හරි කුළියට හෝ මිලට ගන්ඩ බෑ. ඒ නිසා කොළඹින්ම අරගෙන යන්න ඕනෑ. 

කොළඹ camping හා outdoor excursion බඩු බාහිරාදිය විකුණන තැනකින් ගන්න පුලුවන්. නැතිනම් Amazon.com, Ebay  වලින් ගෙන්න ගන්න පුලුවන්. නැතිනම් රට යන/රට ඉන්න, කෑම්පින්ග් බඩු ගැන දන්න කෙනෙකුට කියලා මෙහෙට එවාගන්නත් පුලුවන්. මතක ඇතිව fly sheet තියන හොද ටෙන්ට් අරගෙන යන්න. මොකද හැම වෙලාවේම වගේ පොඩි වැසි, හුලං තියනවා. 

Note; A fly sheet (also known as a rain fly or simply a tarp) is the separate, outer layer of a tent that provides a waterproof and windproof barrier, protecting the inner tent from the elements. In a double-walled tent system, a gap between the inner tent and the fly sheet helps control condensation and keeps the inner living space dry

ගිනි දල්වන්න (open fire) බැහැ. කෑම රත් කර ගන්න, උයාගන්න ගෑස් කෑම්පින්ග් ස්ටෝව් එකක් පාවිච්චි කරන්න පුලුවන්, හැබැයි බොහොම පරිස්සමෙන්. හෝර්ටන් තැන්නේ පායන කාලෙට ඉක්මණනට කැලෑගිණි ඇතිවෙනවා. ගෑස් ලිප පත්තුකරපු ගිණිකූර පවා පරිස්සමට නිවා දමන්න ඕනෑ. මේ උපදෙස් දැඩි ලෙස පිලිපදින්න. 

උයන්න එහෙම බැරි නම් Horton Plains වල මුලදීම හම්බ වෙන canteen එකට කියල කෑම ටික හදා ගන්න පුළුවන්. ඒත් ඉතින් camp කරන්න යනවා නම් අපිම කෑම ටික හදන්න එක තමයි fun. මට හොඳටම මතකයි, අපි කෑම්පින්ග් ගියම, හදිසියට, අඩුපාඩුත් ඇතිව හදාගන්න කෑමට ටික, ගෙදරදි උයලා කනවට වඩා හරිම රස බව.

හවස 6න් පස්සේ නම් එළියේ ඇවිදින්න එපා. 

(1) දිවියෝ එනවා. හෝර්ටන් තැන්නේ දිවියෝ ගැන පහතින් වැඩි විස්තර තියෙනවා.
(2) ඒ වගේම හිතාගන්න බැරි ඝණ මීදුමක් එක පාරට පාත් වෙනවා. ඒ මීදුම කොච්චර ඝණද කියනවා නම් අඩියක් එහායින් ඉන්න කෙනා පේන්නේ නෑ. අඩි 10ක් ටෙන්ට් එකෙන් ඈතට ගියොත්, ආයෙ ටෙන්ට් එක හොයාගන්න බැරි වෙන්න පුලුවන්. අත්දැකීමෙන්මයි මේ කියන්නෙ.

NO BBQ in Horton Plains!

බාබකිව් දාන්න බෑ, ඒනිසා බාබකිව් උදුන් උස්සාගෙන යන්න එපා. අවසර නෑ. සමහර ජාතික වනෝද්‍යානවල පුලුවන්. මට මතකයි අපි වස්ගමුවේ කෑම්පින්ග් ගිය වෙලාවෙ, රෑ හොඳ බාබකිව් එකක් දැම්මා. ට්‍රැකර් මහත්තයා කිව්වා කිසි ගැටලුවක් නෑ කියලා. එහෙම අවසර තියෙන තැන්වල විතරක් ඒවා කරන්න.

දඩමස් හොයන්න එපා!

දඩමස් පිස්සුව තියෙන අයව මේ වගේ ගමන් එක්කගෙන යන්න එපා.

හෝර්ටන් තැන්න ලංකා කොටියාගේ (Lanka Leopard / Panthera pardus kotiya) වාසභූමියක්

අනිත් එක තමයි camp site 1 and 2 පැත්තට කොටියා එනවා පාන්දරට. Horton Plains වල කොටියා දකින්න මාර වාසනාවක් තියෙන්න ඕනි. ඌ හරිම ලස්සනයි. යාල/විල්පත්තු වගේ උෂ්ණාධික පැතිවල ඉන්න කොටියන්ට වඩා පුෂ්ඨිමත්, ලෝම ඝණයි, සීතලට වුනු අනුවර්තනයක්.

ඒ උනාට camp site වල ඉදලා කොටියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. Motion Sensor Camera එකක් තියෙනවා නම් සෙට් කරලා තියන්න. රෑට කෑම්ප් සයිට් එකට කොටියා ආවොත් වීඩියෝ වෙලා තියෙයි.

ප්ලාස්ටික් / පොලිතීන් තහනම්

Single use plastics / polythene, විසීකරන ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් ස්ට්‍රෝ, ලන්ච් ෂීට් හෝර්ටන් තැන්න ඇතුලට ගෙනියන්න බෑ. ඒ කියන්නේ කඩෙන් ගන්න Knuckles, Aquafina, Aquafresh, Kinley වගේ වතුර බෝතල් (ඒ කියන්නේ පානිය ජල බෝතල්) ගෙනියන්න බෑ.  වතුර reusable කෑන් වලට දාගෙන ගෙනියන්න ඕනෙ.

ඒ වගේම ප්ලාස්ටික් පැණි බීම බෝතල්, මත්පැන්, සිගරට්, ලයිටර් වගේ දේවල් ගෙනියන්ඩ දෙන්නේ නෑ. ගමන් මලු පරීක්ශා කරනවා. ප්ලාස්ටික් කෑම පෙට්ටි, ප්ලාසිට්ක් ජල බෝතල් (ඉස්කෝලෙ ගෙනියන වතුර බෝතල්), තර්මෝස් උණුවතුර බෝතල් ගෙනියන්න පුලුවන්.

ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා. 

බිස්කට්, රටකජු, මුරුක්කු, බයිට් වගේ පැකට් කරනලද ඉක්මන් කෑම (packeted snacks), ගෙනියනවා නම් ඒවායේ ප්ලාස්ටික් හා වෙනත් දවටන ඉවත් කරලා ඒවා කෑම පෙට්ටිවලට දාගෙන ගෙනියන්න. 

වතුර හා පැණි බීමත් ඉස්කෝලේ ගෙනියන වතුර බෝතල් වගේ නැවත නැවත් භාවිතයට ගන්න ප්ලාස්ටික් බෝතල් වලට දාගන්න. එතකොට ඔයාලටත් ලේසියි, උද්‍යාන පාලකවරුන්ටත් ලේසියි.

මේවගේ දවටන ඉවත්කරන්න කියලා ඔවුන් ඉල්ලුවහම, ගෙනියන්න දෙන්න බෑ කිව්වහම උද්‍යාන පාලකවරුන් සමග ගැටුම් ඇතිකර ගන්න, රණ්ඩුවෙන්න යන්න, නීති කතාකරන්න යන්න එපා. මත්පැන් හා බියර් ගෙනියාම තහනම්, ඒ වගේම බීමතින් සිටිනවා නම් ඇතුලට ගන්නෙත් නෑ.

Comments