2009 වසරේදී ෆෝමියුලා 1 පිටියෙන් ඉවත් වූ සුප්‍රකට ටොයෝටා (Toyota) සමාගම, වසර 15ක නිහඬතාවයකින් පසු නැවතත් සිය සන්නාමය ලෝක ප්‍රකට F1 තරඟ බිමට රැගෙන ඒමට සූදානම් වෙනවා.
මෙහි සුවිශේෂීම පියවර වන්නේ 2026 තරඟ වාරයේ සිට හාස් කණ්ඩායමේ නිල නාමය 'TGR Haas F1 Team' ලෙස වෙනස් වීමයි. ටොයෝටා ආයතනය මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස කටයුතු කිරීමට එකඟවීමත් සමගම Hass F1 කණ්ඩායම ටොයෝටා තාක්ෂණය හරහා වඩාත් ශක්තිමත් වීම ඇරඹී තිබෙනවා.
2024 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගීතාවයක් ආරම්භ වූ අතර, එමඟින් මෝටර් රථ සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ ඉංජිනේරු තාක්ෂණය හුවමාරු කර ගැනීමට මුලින් අවධානය යොමු කෙරුනා. මෙම නව ගිවිසුමත් සමඟ එම සහයෝගීතාවය තවත් ඉදිරියට ගොස් තිබෙනවා.
මෙම නව ගිවිසුම යටතේ මෙතෙක් හාස් (Haas) කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ MoneyGram ආයතනය වෙනුවට Toyota Gazoo Racing පත්වෙනවා.
කෙසේ වෙතත්, දැනට පවතින තාක්ෂණික එකඟතාවයන්ට අනුව හාස් කණ්ඩායමේ F1 රථ සඳහා අඛණ්ඩව ෆෙරාරි (Ferrari) එන්ජින් භාවිතා කරනු ඇත. ටොයෝටා ආයතනය මෙහිදී එන්ජින් සැපයීම වෙනුවට, හාස් කණ්ඩායමට අවශ්‍ය අනෙකුත් සියලුම උසස් මෝටර් රථ තාක්ෂණයන් (Automotive Technologies) සහ මෘදුකාංග (Software) සැපයීමට කටයුතු කරනු ලබයි.
මෙමඟින් හාස් කණ්ඩායමේ කාර්මික දක්ෂතාවය සහ තරඟකාරිත්වය ඉහළ නැංවීමට ටොයෝටා සමාගම විශාල දායකත්වයක් ලබා දීමට බලාපොරොත්තු වෙයි.
මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා වායුගතික විද්‍යාව (Aerodynamics) සහ වාහන ගතිකත්වය (Vehicle dynamics) වැනි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වයම සූදානම් වෙනවා.
තවත් සුවිශේෂී පියවරක් ලෙස, ටොයෝටා සමාගම සතුව තිබූ ෆෝමියුලා 1 පරීක්ෂණ වැඩසටහන (F1 Car Testing Program), 'TGR Haas Driver Development Program' ලෙස අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වෙනවා. මෙමගින් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පිවිසෙන දක්ෂ තරුණ රියදුරන් පුහුණු කිරීමට සහ ඔවුන්ට ෆෝමියුලා 1 සිහිනය ජය ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමට කටයුතු කිරීමටත් ඉදිරියේදී හාස් රේසින් කණ්ඩායමට අවශ්‍යවන දක්ෂ F1 රියදුරන් බිහිකර ගැනීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා.
Comments
Post a Comment