2017 වසරේදී ඇමෙරිකාවේ මුළු ආනයනවලින් 21.6%ක්ම චීනයෙන් ආනයනය කලත්, පසුගිය 2024 නොවැම්බර් වෙද්දී ඒක 13.5% දක්වා පහළ වැටුණ බව තමයි ඇමෙරිකානු සංගණන කාර්යාංශයේ දත්ත කියන්නේ.
ඒ කෙසේ වෙතත්, තවමත් ගෝලීය සමාගම් වලට චීනය නැතුවම බැරි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔවුන් සතු උසස් නිෂ්පාදන හැකියාව. චීනයේ ශ්‍රමය ලාභයි විතරක් නෙවෙයි, ඒ සේවකයෝ හරිම දක්ෂයි. තාක්ෂණයෙන් ඉහළ, සංකීර්ණ නිෂ්පාදන මහා පරිමාණයෙන් කරන්න චීනයට තියෙන හැකියාවට අභියෝග කරන්න පුළුවන් වෙනත් කිසිම රටක් තවම ලෝකයේ නෑ.
චීනය තමුන්ගේ ශ්‍රම බලකාය තාක්ෂණික හැකියාවන් ගෙන් සන්නද්ධ කරන්න දශක ගණනාවක් තිස්සේ ගෙන ගිය වැඩපිලිවෙලේ ප්‍රතිපලයක් විධියට, ලෝකයේ කිසිම රටකට නැති ප්‍රමාණයේ දක්ෂ ඉන්ජිනේරුවන්, තාක්ෂණවේදීන්, ජෛවතාක්ෂණඥයින්, විද්‍යාඥයින් චීනයේ ඉන්නවා.
කොහොම උනත් චීනය මත ඕනෑවට වඩා යැපෙන එක අවදානම් කියලා ලෝකයේ ප්‍රබල සමාගම් අවබෝධ කරගෙන තියෙන නිසා ඔවුන් තමුනෙගේ සැපයුම් දාමයට චීනය මත සපූර්ණයෙන් යැපෙන එක ක්‍රමයෙන් අඩුකරන්න පටන් අරගෙන. මේක ට්‍රම්ප්ගේ පලමුවෙනි ධූරකාලයේදී පටන් අරගෙන, කොවිඩ් ලොක්ඩවුන් කාලේ තවත් වේගවත් වුනා.
මේකට විසඳුමක් විදිහට හුඟක් සමාගම් දැන් ‘චීනය ප්ලස් වන්’ කියන උපක්‍රමය පාවිච්චි කරනවා. ඒ වගේම බොහෝ සමාගම් චයිනා ප්ලස් වන් වැඩපිලිවෙල දැන් 'චයින ප්ලස් වන්, ප්ලස් වන්’ දක්වා ගෙනවිත් තිබෙනවා. ඒ කියන්නේ එක කර්මාන්තශාලාවක් චීනයේ තියාගෙන, දෙවැනි එක ආසියාවේ වෙනත් රටකත්, තුන්වැනි එක වෙනත් මහාද්වීපයකත් පිහිටුවන එකයි මේ අලුත් ක්‍රමය.
විවිධාංගීකරණය සහ බදු බරින් බේරෙන්න ගත්ත "China plus" ස්ට්‍රැටෙජිය නිසා වියට්නාමය දැන් ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් විදිහට වේගයෙන් ඉස්සරහට ඇවිත්. Apple, HP, Dell, Samsung වගේ දැවැන්ත සමාගම් තමන්ගේ නිෂ්පාදන කටයුතු වියට්නාමයට ගෙනවිල්ලා. 2016 සිට 2024 තෙක් වියට්නාමයට ඇවිත් තියෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 290ක විදේශ ආයෝජනවලින් මේක හොඳටම පැහැදිලි වෙනවා.
බටහිර සමාගම් වගේම දැන් චීන සමාගම් පවා ‘China plus’ උපායමාර්ගය අනුගමනය කරනවා. යුරෝපය සහ ලතින් ඇමෙරිකාව වැනි රටවලට කිට්ටුවෙන් කර්මාන්තශාලා ඇරඹීම ඔවුන්ගේ අරමුණයි. චීනයේ ප්‍රබලම විදුලි වාහන නිෂ්පාදකයා වන BYD සමාගම මේ වන විටත් තායිලන්තය, බ්‍රසීලය සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයකම අලුත් කර්මාන්තශාලා ඉදිකිරීමට ගිවිසුම් ගසා තිබෙනවා.
Comments
Post a Comment