Monday, 2 July 2012
5 comments

පාහියන්ගල මානවයා එංගලන්තයට යයි

පාහියංගලින් හමුවූ ආදිමානව අවශේෂ පිලිබඳව පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක පලවුනු ප්‍රවෘත්තිවල එකතුවක්...
Photos Courtsy : Lanka e News
පාහියන්ගල මානවයා එංගලන්තයට යයි....

(ලංකා-ඊ-නිව්ස් -2012.ජූලි.02-ප.ව.2.30) පසුගියදා බුලත්සිංහල පාහියන්ගල ලෙන් සංකීර්ණයෙන් සොයාගත් ප්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ල එංගලන්තයට ගෙන යෑමට සූදානම් වේ.

මේ ගැන පරීක‍ෂණ කිරීමට ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති බැවින් එංගලන්තයේ කේම්බි්‍රජ් සරසවියේ මානව විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම සම්පූර්ණ ඇටසැකිල්ල එම සරසවිය වෙත ගෙන යෑමට කටයුතු යොදා තිබේ.

පාහියන්ගල ලෙනේ පැරණිම පස්තට්ටුවෙන් හමුවූ මෙම මානව ඇට සැකිල්ල වසර 37000 ක් පැරණි බව දළ වශයෙන් සඳහන් කර තිබේ. එය කාන්තාවකගේ ඇට සැකිල්ලක් යැයි පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පුරා විද්‍යා සහකාර අධ්‍යක‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

" මෙම එංගලන්ත පර්යේෂකයන් කණ්ඩායම අද ආවා. දැන් මූලික පර්යේෂන කටයුතු සිදුකරගෙන යනවා. මෙහි ප්‍රධාන අරමුණ ලංකාවේ බලංගොඩ මානවයා, සහ ආසියාවේ මානවයා ගැන පුරාවිද්‍යාත්මක තොරතුරු ලබා ගැනීමයි. මේ ඇට සැකිල්ලෙන් විවිධ පරීක‍ෂණ සඳහා නියැදි ලබා ගත හැකියි. යුරෝපයේ පර්යේෂණාගාර වල එය සිදුකරනවා. එයින් මේ මානවයාගේ ජීවිතය ගැන ස්ථීර තොරතුරු ලබා ගත හැකියි" ආචාර්ය නිමල් පෙරේරා පැවසීය. "

පාහියන්ගල මානවයාගේ අස්ථි කාබන් පරික්ෂාවට


(SRI LANKA MIRROR) පාහියන්ගල කැණීම්වලදී නොබෝදා සොයා ගත් මිනිස් අස්ථි පද්ධතිය වසර 37,000ක් තරම් පැරණි විය හැකි බවට සැක කරන බවත්, ඒ සඳහා කාබන් 14 පරීක්‍ෂණයක් සිදු කළ යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බලංගොඩ මානවයාගේ බවට සැලකිය හැකි පාහියන්ගල පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගනු ලැබූ මෙම මිනිස් අස්ථි පද්ධතිය මෙතෙක් දකුණු ආසියාවෙන් හමුවූ පළමු සම්පූර්ණ අස්ථි පද්ධතිය වේ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පුරාවිද්‍යා විශේෂඥ ආචාර්ය ශිරාන් දැරණියගල, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන් ඊයේ(19) පාහියන්ගලට පැමිණ මෙම අස්ථි පද්ධතිය පරික්‍ෂාවට ලක් කර ඇත.

මෙම මානව සිරුර දැනට සිදු කර ඇති නිරීක්‍ෂණ අනුව අදින් වසර 37,000කට පෙර පොළෙවේ වළ දමා ඇති මළ සිරුරකි.

අදාළ ලෙන ඇතුලත වළක් හාරා එම සිරුර වළ දමා තිබේ. ඉන් අනතුරුව සිරුර මතින් ගල් දෙකක් ද තබා ඇත. මෙම මිනිස්  අස්ථි පද්ධතියේ ඉරියව් අනුව ඔහුගේ එක් කකුලක් අනෙක් කකුල මත තබා ඇති ආකාරය පෙන්නුම් කරයි.

එම අස්ථි පද්ධතිය පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් විදෙස් මානව විද්‍යාඥයින් යොදවා සිදු කිරීමට ද නියමිතය.

එසේම මෙම අස්ථි පද්ධතිය සොයා ගත් පස් තට්ටු ආශ්‍රිතව සත්ව වසුරුද හමුව තිබේ. අස්ථි පද්ධතිය ආශ්‍රිත පස් තට්ටුවල ඇතැම්විට ලේ පැල්ලම්වල සලකුණු හෝ හිස කෙස්ද හමුවන්නට ඉඩ ඇතැයි කැණීම් නිලධාරීන් අනුමාන කරති.

එසේම කැණීම්වලදී සොයා ගත් මෙම අස්ථි පද්ධතිය එම ස්ථානයෙන් රැගෙන යාමට නොහැකි බැවින් එය සංරක්‍ෂිතව තබා ගැනීමට ආවරණයක් තබා පූර්ණ පොලිස් ආරක්‍ෂාව ලබා දීමට පියවර ගත් බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේය.

මෙම අස්ථි පද්ධතිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු අවසන් වනතුරු එය නැරඹීමට පැමීණීමෙන් වළකින ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.


අවුරුදු දොළොස්දාහක් වයසැති මී මුත්තා

Photos Courtsy : Lankadeepa | පාහියංගල ලෙන
Photos Courtsy : Lankadeepa |අලුතින්ම මතුවූ මිනිස් සැකිල්ල

(2012 ජූනි මස 24 12:39:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ) අදින් වසර 38000 ට පෙරාතුව ගින්දර භාවිතා කරමින් මස් හා ගස් ගෙඩි පුච්චා කමින් බුලත්සිංහල පාහියන්ගල ලෙනේ විසූ ප‍්‍රාග් ඓතිහාසික මානවායගේ ජීවන චරිතයේ තවත් පැතිකඩක් පසුගියාදා අනාවරණය විය. ඒ අපේ මුතුන් මිත්තන්ගේ අඛණ්ඩ ඉතිහාසයයි. තුරු මතින් බිමට බැස ශිෂ්ඨාචාරගත වූ මුල් අවධියේ පටන් නූතන දියුණු මිනිසා බවට පත්වන තුරු අඛණ්ඩව පාහියන්ගල ගල්ලෙනේ විසූ නූතන මානවයාගේ පැරණිතම ඥාතියකුගේ සම්පූර්ණ සැකිල්ලක් පාහියන්ගල ලෙනෙන් හමුවීම මානව ඉතිහාසයේ ස්වර්ණමය සොයා ගැනීමකි.

පාහියන්ගල ලෙනෙන් ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ අස්ථි කොටස් හමුවූයේ අද ඊයේ නොවේ. අදින් දශක තුනකට පමණ පෙර පටන් වරින් වර එහි කරන ලද කැණීම් වලදී ප‍්‍රාග් ඓතිහාසික මානවයන්  11 දෙනකුගේ යැයි විශ්වාස කළ හැකි අස්ථිමය අවශේෂ වරින් වර හමුව තිබේ.

එවැනි අස්ථි කොටස් හමුවුව ද මෙවර සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවීම ඉතාමත්ම වැදගත් සොයා ගැනීමකි.

කි‍්‍රස්තු වර්ෂ පස්වැනි සියවසේ ශී‍්‍ර ලංකාවට පැමිණියායැයි සැළකෙන පාහියන් නම් භික්ෂුව නවාතැන් ගෙන සිටි ලෙන පාහියන්ගල ලෙන නමින් ව්‍යවහාරයට එක්විය. ඒ බව සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාධක නොමැති මේ ලෙන මෙරට දැකිය හැකි විශාලතම ලෙන බව පිළිගැනීමයි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙහි උස අඩි 150 ක් පමණ වේ. අඩි 175 ක් පළලැති මේ ලෙනෙහි ගැඹුර අඩි 280 කි.

1986-87 කාලයේදී හා 2008-2009 කාලයේදී කරන ලද කැණීම් වලදී මෙහි වසර 38,000 ක් පමණ පැරණි මානව අවශේෂ හමුවී තිබේ.

පාහියන්ගල ගල්ලෙන පිළිබඳ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කීවේය.

" පාහියන්ගල කියන්නේ දකුණු ආසියාවේදී නූතන හෝමෝ සේපියන්ස්  මානවායාගේ පැරණිතම සාධක හමුවන ස්ථානය. ඒ නිසා ශී‍්‍ර ලංකාවට පමණක් නොවෙයි මුළු මහත් ලෝකයටම මෙම ස්ථානයේ කරන සොයාගැනීම් වැදගත් වනවා. ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් ආරම්භ කරන ලද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු සෙවීමේ වැඩපිළිවෙල යටතේ මෙහි හයවන අදියර කැණීම් ආරම්භ කළා. මේ කැණීමේදී තමයි සම්පූර්ණ මානව ඇට සැකිල්ල හමුවුනේ." "

පුරාවිද්‍යාඥයන් පවසන්නේ 1986 දී එවකට කැණීම් අධ්‍යක්ෂවරයාව සිටි ආචර්ය ඩබ්ලිව්.එස්.විජේපාල මහතා විසින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු හතරක් විශ්ලේෂණය කැර තිබූ බවයි. අදින් වසර 25 කට පමණ පෙර එම කැණීම් කරන අවධියට වඩා දැන් පුරාවිද්‍යා කැණීම් වලදී භාවිතා කරන තාක්ෂණික ශිල්පිය ක‍්‍රමයන් බොහෝ සෙයින් දියුණු වී තිබේ.

මෙලෙස ලබා ඇති දියුණුව ප‍්‍රයෝජනයට ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු ආචාර්ය විජේපාල මහතා විසින් විශ්ලේෂණය කරන ලද පස්තට්ටු හතර සියුම් පරීක්ෂණයන්ට භාජනය කරමින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු 125 කට වෙන්කළහ.

‘‘ අදින් වසර 38,000 සිට 4,000 දක්වා වූ පස්තට්ටු හතර ජනාවාස යුග හතරක් විශ්ලේෂණය කර තිබුණත් මෙවර කැණීම් වලින් පස්තට්ටු 125 ක් හඳුනාගැනීමට හැකිවීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ අනුව අපිට ඉතාමත්ම සියුම් පරීක්ෂණ වලින් තවත් වැදගත් සාධක රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ""

පර්යේෂණ ව්‍යාපෘති භාර නිලධාරී ඩබ්ලිව්.එම්.සී.ඔෂාන් වෙදගේ මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.

‘‘ මේක ප‍්‍රාග් ඓතිහාසික මානව වංශ කථාවේ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. මෙතැන මිහිදන්වූ මිනිසාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මෙය අපි හැකිතාක් මතුකැර ගත්තා. ඇට සැකිල්ල හොඳ තත්ත්වයේ තිබෙන බව පෙනෙන්ට තිබෙනවා.  ’’

ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඇට සැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීම නවීන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් භාවිතා කරමින් සියුම්ව කළයුතු කාර්යයක් බවයි.


‘‘ අපි ඇටසැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළොත් එයට හානි සිදුවිය හැකියි. ඒ නිසා අපි මේ සඳහා විදේශීය විශේෂඳයන්ගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වනවා. කලින් මේ ස්ථානයෙන් හමුවූ මානව අස්ථි විශ්ලේෂණය කළේ කෝනල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ.ආර්.කෙනඩි මහතා විසින්. අපේ රටේ ඔවුන්ගේ තරම් දියුණු තාක්ෂණික උපකරණ නැහැ. ඒ නිසා මෙවරත් එලෙස විදෙස් සහයෝගය ලබාගැනීමට අප කටයුතු කරනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙන්නේ. ’’

ඔෂාන් වෙදගේ මහතා මහතා පවසන්නේ කලින් කරන ලද කැණීම් වලින් තහවුරු වූ තොරතුරු අනුව මෙම ඇටසැකිල්ල අයත් මානවයා අදින් වසර 12,000 ට පෙරාතුව ජීවත් වූ අයකු විය හැකි බවයි.

‘‘ කැණීම් කරගෙන යද්දී මේ මානව ඇටසැකිල්ල හමුවූ ස්ථානයේ පස් මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් වෙනස්කම් වලට භාජනය නොවූ බව පැහැදිලි වුනා. ඒ මානවයා විසින් භාවිතා කළ ගල් ආයුධ, ආභරණ මෙන්ම ඔහු ආහාරයට ගත් ද්‍රව්‍ය පවා අපිට හුමුවුනා. පස් ස්ථරය, ගල් ආයුධ සකස් කැර ඇති ආකාරය සැළකිල්ලට ගැනීමේදී අපිට දළ වශයෙන් මානවයා ජීවත් වූ කාලය ගැන තීරණයක් ගත හැකියි. නමුත් එය ස්ථිරවම තීරණය කිරීමටනම් කාලනිර්ණය කිරීමට සිදුවනවා. ’’

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ ඇටසැකිල්ල අයත් මානවයා මියගිය පසු ඔහුගේ හෝ ඇගේ ඥාතීන් විසින් මෙම ස්ථානයේ මිහිදන් කොට හිස ඇති ස්ථානයේ ගල් පතුරු කිහිපයක් තබා ඇති බවයි. නොගැඹුරු වළක මිහිදන් කොට ඇතත් ඉන් අනතුරුව එම ස්ථානය නැවත නැවතත් තම වාසස්ථාන ලෙස භාවිතා කළ බවට ද කැණීම් වලදී සාක්ෂි හමුවී තිබේ.

වැළලූ මානවයා ආසන්නයේම ලිප් බැඳ ගිනිමොළවා ඇති බව එම ස්ථානයේ පිළිස්සී ගොස් ඇති පස් කොටස් ඇතුළු අවශේෂයන්ගෙන් පැහැදිලි වේ.

මේ සොයා ගැනීමේදී අපගේ ආදි ප‍්‍රාග් ඓතිහාසික මානවයකු මියගියාට පසු අනුගමනය කළ අභිචාරවිධි පිළිබඳ මෙහිදී අපට තීරණයට එළඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සියුම පර්යේෂණ කිරීමෙන් ඔහු ගේ බඩවැල් කොටස් දිරාපත්ව ඇති ආකාරය. සිරුරේ අනෙක් කොටස් වල රසායනික අවශේෂයන් පවා විශ්ලේෂණය කරමින් ආහාර රටාව, ජීර්ණමය හැකියාවන් පමණක් නොවේ වැළඳී ඇති ලෙඩ රෝග පිලිබඳ පවා අපට නිගමනය කිරීමට හැකියාව තිබෙනවා. ආචාර්ය නිමල් පෙරේරා මහතා එසේ කීවේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා විශ්ලේෂක ජූඞ් පෙරේරා මහතා එම මානවයා විසින් ආහාරයට ගත් සතුන්ගේ අස්ථි කොටස් විශාල ප‍්‍රාණයක් විශ්ලේෂණය කර තිබිණි.

ඒ අතර මේ වනවිට ශී‍්‍ර ලංකාවේ දැකිය නොහැකි ව්‍යාඝ‍්‍රයාගේ අස්ථි කොටසක් ද දක්නට ලැබීම විශේෂත්වයකි. වඳුරන් ඇතුළු සියළුම ආකාරයේ වානරයන්, මුගටි, තලගොයි, ඉත්තෑවුන්, දඩු ලේනුන්, සර්පයන්, මසුන් හා බෙල්ලන් බහුල වශයෙන් ආහාරටය ගෙන ඇති මේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා මිහිතලයේ දැවැන්තයා වූ අලින් ද මරා කා ඇති බවට අස්ථිමය සාධක ලැබී තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.

මේ මානවයාගේ ආහාර අතර මුහුදු බෙල්ලන්, මිරිදිය බෙල්ලන් හා ගස් බෙල්ලන් ද සිටිනවා. ඒ වගේම මෝර දත් හමුවුනා. බොහෝ අවස්ථාවලදී ආදි මානවයා තමන්ගේ ආභරණ ලෙස මෝරදත් යොදාගෙන තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලියි පාහියන්ගල සිටි මානවයා පවා මුහුදු බඩ ප‍්‍රදේශ සමග සම්බන්ධතා පැවැත්වූ බව. ඒ වගේම කැකුණ ඇට පුළුස්සා ආහාරයට ගෙන තිබෙනවා.

ආචාර්ය නිමල් පෙරේරා මහතා කියා සිටියේ බෙල්ලන්ගේ කවච අතර ලූණු බෙල්ලන්ගේ කවච පවා දක්නට ලැබුණු බවයි. ලූණු බෙල්ලන් මේ අතර සිටීමෙන් පාහියන්ගල ලෙනේ විසූ ආදි මානවයන් ලූණු රස හඳුනන මානවයකු බව ද ඇතැම් විට පිළිස්සූ මස් ලූණු සමග මිශ‍්‍ර කරන්නට ඇති බවට ද ඔහු සැක පහළ කළේය.

විවිධ ප‍්‍රමාණයේ හා විවිධ හැඩයේ ගල් ආයුධ හා ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැුසක් හමුවී ඇති මෙහි ආයුධයක් ලෙස භාවිතා කළ ගෝන අගක කොටසක් ද හමුවීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත්ම පිරිසිදු තත්ත්වයේ පවතින මිනිරන් කැබලි කිහිපයක් ද හමුවී තිබේ. අදින් වසර 12,000 ට පෙර සිරිලක සිටි ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම ආභරණ ලෙස මිනිරන් කොටස් භාවිතා කළ බවට එය හොඳ සාක්ෂියකි.

හමුවූ ඇට සැකිල්ල අසලින් ඉතාමත් සියුම්ව තෝරාබේරාගන්නා ලද කාබන් නියැදි හතරක් වෙන්කැරගෙන තිබේ. ඒවා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි නියාම් රසායනාගාරයට යැවීමට නියමිතව තිබේ.

පසුගිය බ‍්‍රහස්පතින්දා සවස මේ මානව සැකිල්ල යළි වසා දැමුණි. ඉදිරි දිනක විදෙස් පර්යේෂකයන් පැමිණ එහි පර්යේෂණ කටයුතු ආරම්භ කරනතුරු මුද්‍රා තැබෙනු ඇත.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ මගපෙන්වීමෙන්, අමාත්‍යාංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මියගේ කි‍්‍රයාකාරී දායකත්වය ද අතිරේක ලේකම් සමරසිංහ මහතාගේද  සහයෝගය ඇතිව මෙම කැණීම් කටයුතු සඳහා ඉතාමත් ඉහළ රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබෙන බව ද එය ඉදිරි කටයුතු සඳහා අයෝමය ශක්තියක් බව ද කැණීම් ස්ථානයේ සිටින පුරාවිද්‍යාඥයෝ පවසති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කැණීම් උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙහි කටයුතු නිරන්තරවම අධීක්ෂණය කරති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් ඩබ්ලිව්.එම්.සී. ඔෂාන් වෙදගේ මහතා පර්යේෂණ ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.

පාලිත වීරසිංහ මහතා, කමල් නන්ද සිරිසේන මහතා, යූ.ඩබ්ලිව්.කරුණාරත්න මහතා, සමන් කුමාර ඇරෑගම මහතා, සුසන්ත නිහාල් මහතා, ඒ.වී.ඒ.ද මෙල් මහතා, පී.ජී.ගුණදාස මහතා, එච්.ජූඞ් පෙරේරා මහතා, කේ.පී.රුවන් ප‍්‍රමෝද් මහතා සහ කේ.පී.සුමනදාස මහතා පාහියන්ගල ගල්ලෙන් විහාරස්ථානයේ කඳවුරු බැද මාස හයක කාලයක සිට කැණීම් කටයුතු වල නිරත වෙති.

ඔවුන් සියල්ලෝම තම ගෙවල් දොරවල් ඇතුළු පෞද්ගලික දිවියට මදකට අමතක කොට තිබේ. හිමිදිරි පාන්දර තම අහර කිස සාදා ගෙන පාහියන්ගල ගල් ලෙනට නගින ඔවුත් නැවත ආපසු පහළට එන්නේ මළ හිරු බැස ගිය පසුය. රාති‍්‍රයේ කරවල හොද්ද ඇතළුපහසුවෙන් සපයා ගත හැකි ව්‍යංජනයක් ඔවුන්ගේ ආහාරය වී ඇත්තේ නිවෙස් වල රස මසවුළු පිසෙද්දීය.

තම සැපවත් දිවිය මදකට අමතක කොට ඔවුන් මේ වෙහෙසෙන්නේ අදින් වසර 12,000 ට පෙරාතුව තම මව මස් පුළුස්සන සුවඳට ලොල් බැඳ පාහියන්ගල ලෙනේ තම නිවස්නට දිවගිය කොළු ගැටයාගේ පරපුරේ කතාන්තරය අනාවරණය කිරීමේ කාර්යය වෙනුවෙනි.


5 comments:

Post a Comment

 
Toggle Footer
Top