පෘථිවියට පිටසක්වල ප්‍රහාර එල්ලවෙයිද?



ලඟදීම පෘථිවියට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට එක්තරා දෛවඥයෙකු මෑතකදී මව්බිම පුවත්පතට ලිපියක් සපයමින් කියා තිබුණි. එම ලිපිය අන්තර්ජාලය හරහා මටද කියවන්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් රේඩියෝ වැඩසටහනක්ද පැවැත්වුනු බවත් එහිදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුවුනු බවත් අසන්නට ලැබුණි. මේ අතර දේශපාලඥයෙකු වන උදය ගම්මන්පිල මහතා ලෝකවිනාශය තවත් අවුරුදු 40කට, එනම් 2052ට කල්දමා ඇති බවද අද මව්බිම වාර්තාකොට ඇත. ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයටද මා එකඟ නොවුනත්, එතුමාගේ ප්‍රකාශයට මා අභියෝග නොකරන්නේ එම අදහස අඩුම ගණයේ මිනිස් ක්‍රියාකරකම් නිසා සිදුවන පරිසර විනාශය පාදක කොටගත් උපකල්පණයක් බැවින්, යම් ආකාරයක විද්‍යාත්මක පදනමක් ඇති බැවිනි.

මේ ලිපියෙන් මා අදහස් කරන්නේ, දෛවඥ චන්ද්‍රසිරි බණ්ඩාරයන් පලකල අදහස් හැකිතාක් විද්‍යාත්මකව විශ්ලේශණය කිරීමයි. එම උගත් දෛවඥයාට පෞද්ගලික ප්‍රහාරයක් එල්ල කිරීම හෝ පොදුවේ නක්ශස්ත්‍ර ශාස්ත්‍රයට පහර ගැසීම මේ ලිපියේ අරමුණ නොවන බව මුලින්ම පැහැදිලි ලෙස ප්‍රකාශකල යුතුය...

ලංකාවාසීන්ට පිටසක්වල යානා දර්ශණය වීම...

මෙම සාකච්ඡාවේ මුල් කොටසේදී බණ්ඩාර මහතා මෑතකදී ශ්‍රී ලංකාවාසීන් දුටුවා යයි කියන, පිටසක්වල යානා බවට මතයක් ගොඩ නැගී ඇති අත්භූත ආලෝක හා අහසේ පෙනුනු දර්ශණ නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය (astrology) හා සම්බන්ධ කිරීමට උත්සහ දරා තිබෙනවා. විවිධ ග්‍රහචාර, ග්‍රහයන්ගේ ගමන් කිරීම්, උච්ඡවීම්, නීචවීම් ගණනාවක් සඳහන් කරමින් දරන මෙම උත්සහයේ ඇති පලමු වැරැද්ද නම් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දර්ශණය වුනු මෙම අත්භූත ආලෝක පිටසක්වල ජීවීන් රැගත් යානා බවට කරන උපකල්පණයයි.

මෙය අතිවිශාල වරදක් බවත්, පාඨකයින් දැඩිලෙස නොමග යවන්නක් බවත් තරයේ ප්‍රකාශ කලයුතුයි. මෙම අත්භූත යයි පැවසෙන ආලෝක හා වෙනත් දර්ශණ පිලිබඳව කිසිදු ආකාරයක විද්‍යාත්මක කරුණු සෙවීමක්, මෙම දර්ශණ දුටු පුද්ගලයින් හමුවී තොරතුරු විස්තර සොයාබැලීමක් (අඩුම ගණනේ මේවා දැක්කා යයි කෑමොරදෙන මිනිසුන් බීමතින් සිටියාද, ගන්ජා වැනි මත්ද්‍රව්‍යයක් ගෙන සිටියාද යන්න, නැතහොත් මානසික අසමතුලිතතා පිලිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින්දැයි සොයා බැලීමක් කලයුතුයි..).

එමෙන්ම එවැනි පුද්ගලයින්ගෙන් ලබාගන්නා කරුණු  ගැඹුරු ලෙස විශ්ලේශණය කිරීමක්, එම දින කාල වකවානු තුල එම ප්‍රදේශය ඉහලින් පියාසර කල සිවිල් හෝ යුධ ගුවන්යානා හෝ වෙනත් සංසිද්ධියක්/හමුදාමය ක්‍රියාකාර කමක් පිලිබඳව කරුණු සොයා බැලීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබුණා. මා දන්නා පරිදි බණ්ඩාර මහතා හෝ වෙනත් රජ්‍ය හෝ රාජ්‍ය නොවන විද්‍යා ආයතනයකින් මෙවැනි සොයාබැලීම් සිදුකර නැහැ. උදාහරණයක් ලෙස මෙලෙස අහසේ දිස්වුනු ප්‍රභල ආලෝක යුධහමුදාව විසින් භාවිතා කරන, ප්‍රභල ආලෝකයක් විහිදුවන ෆ්ලෙයාර් වෙඩි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මගේ හැඟීමයි. මට පෙනෙනා ආකාරයට බණ්ඩාර මහතා, පත්තර අලෙවිය වැඩි කරගන්නට මොකක් හෝ සුලු සිදුවීමක්, අත්වැරදීමක් හෝ වැරදි වැටහීමක් මහා ජංජාලයක් ලෙස පුම්බමින් මුල් පිටුවේ හෙඩ්ලයින් දමනා පත්තර වාර්තා පමණක් පදනම් කරගෙන මෙම ප්‍රකාශ සිදුකොට තිබෙනවා.

2012 දෙසැම්බර් 23 : පිටසක්වල ආක්‍රමණ හා ස්වාභාවික විපත් ආරම්භවන යුගයක්?

බණ්ඩාර මහතාගේ තවත් ආන්දෝලනාත්මක් මෙන්ම රැවටිලි සහගත ප්‍රකාශයක් වන්නේ 2012 දෙසැම්බර් 23 ආරම්භවන වකවානුව පිටසක්වල ජීවීන් ප්‍රථිවිය ආක්‍රමණය කිරීම, පෘථිවියට පැමිණීම සිදුවිය හැකි වකවානුවක් බව නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය ඇසුරින් ප්‍රකාශ කිරීමයි. මෙය හුදෙක්ම රැවටිලි සහගත, ලාභ ප්‍රසිද්ධිය අපේක්ශාවෙන් සිදුකල පුවත් මවන, හෙඩ්ලයින් ලොකු කරන ප්‍රකාශයක් පමණක් වන අතර එම පුවත් මවන අරමුණ දැනටමත් ඉටුවී ඇති බව පෙනෙනවා.

පිටසක්වල ප්‍රහාරය - පිටසක්වලයින් සැබැවින්ම පෘථිවියට ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති උවමනාව බණ්ඩාර මහතා මුලින්ම පැහැදිලි කලයුතුයි. ආලෝක වර්ශ දහස්ගණනක් ගමන්කරමින් ක්ශීර පථය (milky-way) නම් චක්‍රවාටයේ එක් කෙලවරක ඇති, කිසිසේත්ම සුවිශේෂී නොවූ කුඩා සූර්යයෙකු වටා ගමන්කරන ජලය පිරි, දුර්වල මෙන්ම පිටසක්වලුන්ට සාපේක්ශව නොදියුණු, කාබන්-මූලික (carbon based) ජීවීන් වසන ග්‍රහලෝකයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය කුමක්ද?

විශ්වයේ සුවහසක් ග්‍රහලෝකවල නැති, පෘථිවියේ පමණක්ම ඇති, ආලෝක වර්ශ සියගණනක් හෝ දහස්ගණනක් මගගෙවාගෙන පැමිණ යුධ ප්‍රකාශකරන්නට තරම් පිටසක්වලයින්ට වටිනා වස්තුවක් මේ පෘථිවිය මත තිබේද?

ජලය? - ජලය අප සිතනා තරම් දුර්ලභ දෙයක් නොවේ. ද්‍රව ජලය පැවතිය හැකි, වායුගෝලයක් සහිත ග්‍රහලෝක දුර්ලභ බව සැබෑ වුවත්, පිටසක්වලයින් හට ජලය අවශ්‍යනම්, ඒ සඳහා පාදක මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් හා ඔක්සිජන් ඉතාම සුලභය. විශ්වයේ සුලභම මූලද්‍රව්‍යය හයිඩ්‍රජන් වන අතර ඔක්සිජන් ලබාගත හැකි රසායණික සංයෝග බොහෝ ග්‍රහලෝක/ග්‍රහක වල ඇත.

රසායණික ද්‍රව්‍ය/මූලද්‍රව්‍ය හෝ ඛනිජ සම්පත්? - ආවර්තිතා වගුවේ ඇති සියලුම මූලද්‍රව්‍ය හා පෘථිවියේ ඇති සියලුම රසායනික ද්‍රව්‍ය හා ඛණිජ විශ්වයේ බොහෝ තැන්වලින් ලබාගත හැකිය. ඒ සඳහා විශ්වයේ ඇති මිලියන ගණනක් චක්‍රවාටවලින් එකක් වන ක්ශීරපථයේ කෙලවරක ඇති නොවැදගත් සූර්යයෙක් වටා යන ග්‍රහලෝකයකට කඩාවැදිය යුතු නැත.

පෘථිවිය? - පිටසක්වල ආක්‍රමණ පිලිබඳ තවත් මතයක් නම් පිටසක්වලයින් හට පෘථිවිය අතපත් කරගැනීමට අවශ්‍ය බවයි. ද්‍රව ජලය ඇති, ජීවය පැවතිය හැකි ලෙස ඝණ වායුගෝලයක් ඇති පෘථිවිය දුර්ලභ ගණයේ ග්‍රහලෝකයක් බව ඔවුන් පවසයි. එහෙත් ඇත්තටම පෘථිවිය වැනි ග්‍රහලෝක දුර්ලභද? උත්තරය නැත යන්නයි. දැනටමත් විද්‍යාඥයින් ඈත සෞරග්‍රහ මණ්ඩල සොයාගෙන ඇති අතර ඉතා මෑතකදී, තාරකාවක් වටා ගමන්කරන පෘථිවිය වැනිම ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එම ග්‍රහලෝකයද පෘථිවිය මෙන්ම එම තාරකාව වටා ඇති habitable zone හෙවත් ද්‍රව ජලය පැවතිය හැකි-ජීවය ඇතිවිය හැකි පරාසයේ කක්ශගතවී ඇති බව තහවුරුකරගෙන ඇත. එකක් සොයාගත්තා යනු තවත් ලක්ශ ගණනාවක් පෘථිවිය වැනි ග්‍රහලෝක ක්ශීරපථ චක්‍රවාටය තුල පමණක් ඇති බව උපකල්පණය කිරීම වැරදි නොවේ. ඒ අනුව පෘථිවියද දුර්ලභ ග්‍රහලෝකයක් නොවේ..

2013 ස්වභාවික විපත් වැලක ආරම්භය? - පෘථිවිය විශාල ස්වභාවික විපත් යුගයකට එලඹී ඇති බව බණ්ඩාර මහතා නොපැවසුවත් පුවත්පත් කියවන/ප්‍රවෘත්ති බලන සියල්ලන්ම දන්නා දෙයකි. බණ්ඩාර මහතාද මේ අනාවැකි කියන්නේ නක්ශෂ්ත්‍ර ශාස්ත්‍රය අනුව නොව පත්තර බලලා බව පැහැදිලිය.

පසුගිය වසර කිහිපය පුරාවටම ලොව වටා බිහිසුණු විපත් සිදුවිය. ඇමරිකාවට 2005 කටරීනා කුණාටුව බිහිසුණු විනාශයක් ගෙන දුන් අතර නොබෝදා සැන්ඩි කුණාටුවද එවැනි හානියක් සිදුකලේය. බ්‍රිතාන්‍යයට  හා යුරෝපයට නිරන්තර ජලගැලීම් ඇතිවේ. ජපානයේ භූමිකම්පාව හා සුනාමියෙන් සිදුවුනු විනාශයෙන් ගොඩෑඉමට ජපානය තවමත් උත්සහ ගණිමින් සිටියි. ලොව පුරා මෙන්ම ලංකාවේද භූමිකම්පා ඇතිවෙමින් තිබේ...

මේ ස්වභාවික ව්‍යසන නැබුරුතාවය දිගටම පවතින බව අවබෝධකරගැනීමට නක්ශෂ්ත්‍ර අනාවැකි අවශ්ය නැත. ලෝක ගෝලය උණුසුම් වීම නිසා කුණාටු හා ජලගැලීම් වැඩිවෙමින් ඇති අතර භූමිකම්පා සිදුවන කාලවකවානු ගැන අනාවැකි කීම තවමත් නිවැරදිව සිදුකල නොහැකිය. කලින් කලට විවිධ රටවල මහා විනාශයන් සිදුකරමින් භූමිකම්පා සිදුවෙයි. මුහුදේ සිදුවූ විට 2004 සුනාමිය වැනි විනාශයන් ඇතිවේ. ගොඩබිම සිදුවූ ආසන්නතම දැවැන්ත විනාශය හයිටි දූපතේ සිදුවිය. මෙම සිදුවීම් වලට විද්‍යාත්මක පැහදිලි කිරීම් තිබේ.

බණ්ඩාර මහතාට ස්ව්භාවික විපත් ගැන අනාවැනි කිව හැකිනම්, එතුමා 2004 සුනාමිය ගැන අනාවැකි නොකීවේ මන්ද? එවැනි මහත් විනාශයක් ග්‍රහතාරකාවල නොපෙන්වුනේද? එතුමා 2004 සුනාමිය ගැන වචනයක් වත් නොකියා 2013 ස්භාවික විපත් ගැන පමණක් කියවන්නේ මන්ද?

2004 සුනාමියෙන් පසු තවත් එක් කපටි හොරෙක්, තමන් පිදුරුතලාගල කන්දේ පස් පරීක්ශාකල බවත්, ලඟදීම තවත් සුනාමියක් එනබවත් කියා රටම බියගැන්වූ අයුරු අමතකද? මෙවැනි චෞරයින්ගේ ප්‍රලාප වලට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ප්‍රසිද්ධිය ලබාදෙන පුවත්පත් සිදුකරන්නේ මහත් අවැඩකි. පත්තර කිහිපයක් වැඩිපුර විකුණාගැනීමට මෙවැන්දේ සිදුකිරීම ජාතික වගකීමක් ඇති මාධ්‍ය සිදුනොකල යුතුය.

පත්තරේ යන ප්‍රවෘත්ති වලට ග්‍රහතාරකාවල ගමන්මං ගැලපීම නූතන ශ්‍රී ලාංකේය ජනප්‍රිය නක්ශෂ්ත්‍රකරුවන්ගේ ක්‍රියාන්විත අංගයක් වී තිබේ. උදාහරණයක් ලෙස, එක්තරා ගුවන්විදුලි නාලිකාවක් උදේ පාන්දර නක්ශෂ්ත්‍රකරුවෙකු ගෙන්නා විවිධ අනාවැකි හා පලාපල කියවනු ලැබේ. එම නක්ශෂ්ත්‍රකරුවා ඊයේ පෙරේදා දිනක යම් ලග්නයක පලාපල කියනවිට "අද දින ජලයෙන් පීඩාවන්නට ඉඩ තිබේ..."   යනුවෙන් අනාවැකියක් සිදුකලේය. මොහු මෙසේ කීවේ රටෙන් බාගයක්ම ජලයෙන් යටවී මිනිසුන් දහස් ගණනකට උන්හිටි තැන් අහිමිව සිටි දිනකය. කොහොමද අනාවැකිය?





Comments

  1. ඔවුවා යානා. මං කියන්නෑ ඒවා පිටසක්වල යානාද කියලා. ඔය චන්ද්‍රා කියල විද්‍යඥ ඩයල් එකක් [ඕකා මං දන්න තරමින් ඇමෙරිකන් පප්පා] ඔය අහසේ යන යානා පිටසක්වල යානා නොවන බවත් ඒවා නිකන්ම නිකන් උල්කාපාත් බවත්ය. උල්කාපාත් එක එක වෙලාවට උඩටයි පහලටයි යන්නයි එක තැන නතර වෙලා ඉන්නයි පුලුවන් කමක් නෑ. නමුත් තවම මේවාට වග කියන පුද්ගලයොත් නැති නිසා රජයෙන් අනාගතයේදී ඒවන් ඩයල් එකක් දැම්මොත් අර පුරාවිද්‍යා දෙපාර්ථමෙන්තුවේ ඉන්න කැන්දයෙක් දැම්මොත් අම්මපා මං නඩු කියනවා.

    ReplyDelete
  2. බණ්ඩාර මහතාට ස්ව්භාවික විපත් ගැන අනාවැනි කිව හැකිනම්, එතුමා 2001 සුනාමිය ගැන අනාවැකි නොකීවේ මන්ද? එවැනි මහත් විනාශයක් ග්‍රහතාරකාවල නොපෙන්වුනේද? එතුමා 2001 සුනාමිය ගැන වචනයක් වත් නොකියා 2013 ස්භාවික විපත් ගැන පමණක් කියවන්නේ මන්ද?

    උත්තරේ මේ ප්‍රශ්නෙම තියනවා, “එතුමා මන්ද“ නිසා නොවෙද?

    පිස්සො කියවන දේවල් ගැන ලිපිලියන්න එපා සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මේ වගේ මැජික් කාරයෝ කියන බොරු පුම්බන්න ජාතික යයි කියාගන්නා පත්තර තියෙන එකත් මේ වගේ මැජික් කාරයන් විස්වාස කරගෙන අදහන බූරු ජනතාවක් මේ රටේ ඉන්න එකනෙ....

      ඔනෑම වෘශභයෙක් රේඩියෝ චැනල් එකකට ඇවිල්ලා මට විශ්ව ශක්තිය තියෙනවා, දෙයියොත් එක්ක ගණුදෙනු තියෙනවා කිව්වොත් ඒ බොරු විශ්වාස කරලා තමුන්ගේ අතිශය පෞද්ගලික කරුණු පවා රටටම ඇහෙන්න අර බූතයාට කියලා උපදෙස් ඉල්ලන කියන මෝඩ මිනිස්සු ඉන්න රටක් මේක,,,උදේට හැම රේඩියෝ චැනල් එකකම මොකෙක් හරි බූතයෙක් අහිංසකයින්ව රවටනවා...චැනල් කාරයොත් පත්තර කාරයෝ වගේම මේ පල් හොරුන්ව ප්‍රොමෝට් කරවා පටු වෙළඳ වාසිය බලලා...

      Delete
  3. අනිත් එක මේ යකා මට වර්ල්ඩ් කප් එකේ අවුරුද්ද මතක නෑ.. උදේ පාන්දරම දෙරණෙ ඇවිල්ලා මුගේ $#&%$^# ග්‍රහයො සෙට් එක අරගෙන කියනවා අද ෂුවර් දිනනවා කියලා..

    මේන් දින්නා.. අනෙ මගෙ කට.
    ඕන් අද පැරදෙනවා කියනව. ඒකනම් යස අගේට වෙනවා.
    ආයෙ දිනවනව කියනවා මොන!!!

    අනෙ මූයි මුගෙ සාත්තරෙයි.. අර පුත්තලම් බූරුවන්ට සාස්තර කියන්න දැම්මනම් හොදයි.. මේ ගස් ගෝනාව.

    ReplyDelete
  4. පුතා මන් අධ්‍යාත්මවේදීයෙක් ...

    ReplyDelete
  5. මෙය හුදෙක්ම ඔහු කෙරෙහි රටේ ජනතාව අතර ජනප්‍රියත්වයක් ගොඩනගා ගැනීමට කරන ලද උප්පරවැට්ටියක් බව මට සිතෙ යි.

    ReplyDelete
  6. ප්‍රිය මිත්‍රය ඔබගේ ලිපිය මම පැසසුමට ලක් කරමි එමෙන්ම සුනාමිය ඇතිවූයේ 2001 වසරේ නොවැ 2004 වසෙරේ බව මතක් කර දෙන්නෙමි. මෙවැනි හරවත් ලිපියක් ලිවීමේදී එවැනි අතපසුවීම් සිදුවිය හැකි බැවින්එහි ගැටළුවක් නැත නමුත් මා ගොඩක් ආසා කරන බ්ලොග් අඩවියක් වන මෙහි. අකුරක්වත් අඩුපාඩුවක් තිබෙනවාට මා කැමති නැත කරුණාකර එය නිවැරදි කර මෙම කොමෙන්ටුව මකා දමන්න. මා කිව් දේ ඔබට අවහිරයක් නම්.

    ReplyDelete
    Replies
    1. වරද නිවැරදි කලා....පෙන්වා දුන්නාට බොහෝ තුති...

      Delete
  7. මම නම් කියන්නේ බන්ඩාර මහතා මින් ඉදිරියටත් විවිධ ප්‍රකාශ කළ යුතුයි.ඒවා කියවා අපේ ලේ පිරිසිදු වීම ඊට හේතුවයි.බොහෝ අනාවැකිකරුවන් හා බන්ඩාර මහතාගේ ක්‍රමවේදය එකක්ම වුනත් බන්ඩාර මහතාගේ ශෛලිය නිසා හිනා යනවා වැඩියි

    ReplyDelete

Post a Comment