තටු හතරේ පියාඹන ඩයිනසෝරයා; චන්ග්‍යුරැප්ටර්

පිහාටු සහිත තටු සතරක් ඇති, පියාසර කල හැකි කුඩා මයික්‍රෝරැප්ටොරියා වර්ගයේ ඩයිනෝසර ෆොසිලයක් අධ්‍යයනය කරන විද්‍යාඥයින්, කුරුල්ලන් පරිනාමය වන්නට පෙර පිහාටු සහිත ඩයිනසෝරයින්ට ඉගිලෙන්නට හැකියාව තිබූ බවට අනුමාන කරති.

ඇඟපුරාම හොදින් වැඩුණු පිහාටු සහිත මේ ඩයිනෝසරයා චන්ග්‍යුරැප්ටර් (Changyuraptor) ලෙස නම්කැර ඇත. දිගින් අඩි හතරක් හා බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වන මේ සත්ත්වයාට හොඳින් වැඩුණු පියාපත් හතරක් හා දිගැති වලිගයක් තිබී ඇත. රාත්තල් 90ක් (කිලෝ 40ක්) පමණ බරැති, අඩි 4ක් පමණ දිගැති මෙම පියාසරන ඩයිනසෝරයා මීට වසර මිලියන 125ක පමණ පෙර ජීවත්වී ඇත.

ඉතා පහසුවෙන් ගුවනේ පියඹා යාමටත්, පහසුවෙන් හා සුරක්ෂිතව යළි පොළොව මතට බැසගැනීමටත් මේ පියාපත් හතර උපකාරී වන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. ඩයිනෝසරයන් අතර දිගැති වලිගයක් ඇති තරමක් කුඩා මයික්‍රොරැප්ටෝරියා ඝනයට අයත්වන මේ සත්ත්ව විශේෂයේ පිටුපස පියාපත් දෙක වඩාත් හොඳින් හා ශක්තිමත්ව වැඩී තිබුණු බවත් එය පසුකාලීනව පාද දෙකක් ලෙස පරිනාමය වන්නට ඇති බවත් පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

චන්ග්‍යුරැප්ටර් ඉගිලීමට විශේෂ සමත්කමක් දක්වන්නට ඇතැයි ආචාර්ය අලාන් ටර්නර් සඳහන් කරයි. මයික්‍රොරැප්ටෝරියා ඝනයේ කුඩාම ඩයිනෝසරයකු ලෙස සැළකිය හැකි මේ සත්ත්වයාගේ ශරීරයේ සැකැස්ම අනුව ඉතා හොඳින් පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ද තිබෙන්නට ඇතැයි වාර්තා වේ.

දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිදුකළ මේ අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය ලුයිස් චිආප් පවසන්නේ මයික්‍රොරැප්ටෝරියා සතුන්ගේ වලිගයේ පිහාටු වර්ධනය වීමෙන් ඉගිලෙන චන්ග්‍යුරැප්ටර් ඩයිනෝසරයාට ඉතා හොඳ වල්ගයක් ද ලැබී තිබෙන බවයි. මෙම දිගු වල්ගය මගින් පියාසැරියේදී සමබර තාවය හා වේගය පාලනය කරගැනීමේ හැකියාව මොහුට ලැබී ඇත.

චන්ග්‍යු රැප්ටරයන් වැනි ඉගිලිය හැකි ඩයිනසෝරයින් හමුවීම නිසා කුරුල්ලන්ගේ ආදිතම පුරුක් හා ඩය්නසෝරයින් අතර ඇති වෙනස කෙමෙන් බොඳවෙමින් පවතී. මේ ඩයිනසෝරයින්ටද, කුරුල්ලන්ගේ නිසඟ ලක්ශණ වන, පිහාටු, සැහැල්ලු කුහර සහිත ඇට (light, hollow bones) මෙන්ම කූඩු තැනීමේ හැකියාව හා පියාසර කිරීමේ හැකියාවද තිබුනු බව දැන් හෙලිවෙමින් පවතී. ඒ අනුව සැබෑ කුරුල්ලන් බිහිවීමට බොහෝ කාලයකට පෙර ඩයිනසෝරයින් කුරුල්ලන් සතු බොහෝ ලක්ශණ ඉතා දියුණු ලෙස පරිණාමය කොටගෙන තිබී ඇත.




Comments