Gorgon Stare | ARGUS-IS | Vigilant Stare | Constant Hawk යන නම්වලින් හැඳින්වෙන Wide Area Airborne Surveillance Sensor තාක්ශණය


අහසේ සිට ඔත්තුබලන ගුවන්යානා (spy planes) ඩ්‍රෝනයානා හා බැලූන සඳහා විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි, අධිවිබේධනයෙන් (high resolution) සජීව රූප ලබාගැනීම සඳහා කැමරා තාක්ශණ ගණනාවක් නිර්මාණය වෙමින් පවතී. Gorgon Stare, ARGUS-IS, Vigilant Stare, Constant Hawk  යන වෙළඳනාම වලින් හඳුන්වන මෙම තාක්ශණය පිලිබඳ මූලික සංකල්ප සලකා බලමු.

ඉහත දැක්වූ තාක්ශණ සන්නාම (technology brands) අතරින් වඩාත්ම ඉහල විබේධනයකින් වීඩියෝ රූප ලබාදෙන තාක්ශණය ARGUS-IS බව දැනට ඇති පිලිගැනීමයි. ARGUS-IS යනු Autonomous Real-Time Ground Ubiquitous Surveillance Imaging System යන දීර්ඝ නාමයේ කෙටි යෙදුමයි. අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට අනුබද්ධ යුධබිම සඳහා අධිතාක්ශණ නිර්මාණය කිරීමේ යෙදී සිටින DARPA ඒජන්සියේ සංකල්පයක් අනුව බ්‍රිතාන්‍යයේ BAE Systems සමාගම මගින් මෙම තාක්ශණය නිර්මාණය කොට ඇත.

BAE Systems සමාගම නිර්මාණය කල Taranis අධිතාක්ශණික සුපිරි ඩ්‍රෝනයානය ගැන මෙතනින් කියවන්න

ආර්ගස් පද්ධතියේ කැමරාව කොතරම් සංවේදී මෙන්ම ආවරණ කලාපයේ විශාලත්වය විස්තර කරනවානම් සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 36ක් තරම් විශාල ප්‍රදේශයක් එක්වර මෙම කැමරාවෙන් ආරවණය වේ. ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව කොළඹ නගරයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 37.31කි. ඒ අනුව එක් ආර්ගස් කැමරාවක් සවිකරන ලද ඩ්‍රෝනයානයකින් මුලු මහත් කොළඹ නගරයම ආවරණය කල හැකි අතර මෙම කැමරාව මගින් ලබාදෙන විබේධනය පුදුම සහගතය.

මෙතරම් විශාල ප්‍රදේශයක් ආවරණය කරන අතරම මාර්ගයේ ගමන් කරන එක් පදිකයෙකු දෙස සූක්ශව බැලීමටත් එම පදිකයාගේ ගමන්බිමන් පිලිබඳව පැයගණනාවක් නොකඩවා වීඩියෝ රූප එවීමටත් මෙම කැමරාව සමත්ය. මේ සඳහා මෙම කැමරාවට අමෙරිකාවේ ජාතික ආරක්ශක විද්‍යාගාරයක් වන Lawrence Livermore National Laboratory ආයතනයේ නිර්මාණය කරනලද Persistics මෘදුකාංගයක් ලබාදී ඇති අතර කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) අඩංගු එම මෘදුකාංගයට සවයංක්‍රීයව පැයගණනාවක් හෝ සතිගණනාවක් වුවත් එක් වාහනයක්, පුද්ගලයෙකු හෝ වෙනත් ස්ථානයක තොරතුරු පිලිබඳව ස්වයංක්‍රීයව සෙවිල්ලෙන් සිටිය හැකිය.
ඒ අනුව ත්‍රස්තවාදී සැකකරුවෙකු කොළඹ නගරය තුල ගැවසෙන්නේ නම්, එම පුද්ගලයාගේ කොළඹ නගරය පුරා මාස ගණනාවක් සිදුකරන ලද ගමන්බිමන් කිසිදු මිනිස් මෙහෙයවීමකින් තොරව වීඩියෝ ගත කිරීමට මෙම කැමරාවට හැකිය. ඒ සඳහා මෙම කැමරාව අහසේ ඉතා ඉහල රඳවන ලද නම් Aerostat බැලූනයක සවිකොට ක්‍රියාත්මක කල යුතුය. Aerostat බැලූන මාස ගණනාවක් හෝ එකම ස්ථානයක රැඳෙමින් දත්ත රැස් කල හැකි ලෙස නිර්මාණය කල ස්වයංක්‍රීය බැලූන යානා වර්ගයකි.

එපමණක් නොව ආර්ගස් කැමරාවට මෙලෙස එක් පුද්ගලයෙකු පිලිබඳව අවධානයෙන් සිටින අතරම තවත් ඉලක්ක ගණනාවක තොරතුරු විවිධ මෙහෙයුම් කරුවනට ලබාදිය හැකිය. උදාහරණයක් ලෙස කොළඹ ගැවසෙන ත්‍රස්තවාදී සැකකරුවාගේ ගමන්බිමන් දිවා රෑ ලුහුබැඳීම  (day & night tracking) සිදුකරන අතරම කොළඹ නගරයේම වෙනත් ස්ථානයක මත්ද්‍රව්‍ය තිප්පොලක් වැටලීමට යන විශේෂ කාර්යබළකායේ සෙබළමුළුවක අණදෙන නිළධාරියාට එම ඉලක්ක ස්ථානය අවට ප්‍රදේශයේ සජීව අධිවිබේධන වීඩියෝ දර්ශණ ලබාදීමට හැකිවා පමණක් නොව අවශ්‍ය ස්ථාන වලට zoom කොට ඉතා සූක්ශ්ම ලෙස නිරීක්ශණය කිරීමේ අවස්ථාවද ලබාදෙයි.

යුධ බිමකදී නම්, විවිධ ස්ථානවල රැඳී සිටින සෙබළ මුළුව ගණනාවකට, සිය ජංගම ටැබ්ලට් පරිගණකව වලට ඔවුන් රැඳී සිටින ස්ථාන අවට ප්‍රදේශයේ හෝ ඔවුන්ගේ ඉලක්ක ස්ථානයේ අධිවිබේධන වීඩියෝ ලබාදෙන අතරම යුධ බිමේ මෙහෙයුම් භාර අණදෙන නිළධාරියාට මුලු සටන්බිමම ආවරණය වන ආකාරයේ සජීව දර්ශණ ලබාදිය හැකිය.
ARGUS-IS පද්ධතිය මගින් ලබාදෙන සුපිරි අධිවිබේධන ඡායාරූපයක්. මෙය මත double click කොට විශාල ඡායාරූපය නරඹන්න
BAE Systems සමාගම නිකුත්කොට ඇති තාක්ශණික තොරතුරු වලට අනුව කැමරා පද්ධතියට එකවර වෙනස් ඉලක්ක 65ක සමීප වීඩියෝරූප ලබාදීමට හෝ ස්වයංක්‍රීයව ලුහුබැඳීමට (automatic tracking) හැකියාව ඇත. එමෙන්ම පද්ධතිය මගින් ලැබෙන දත්ත ආධාරයෙන් එය නිරීක්ශණය කරන ප්‍රදේශයේ ත්‍රිමාණ සිතියමක් (3D Map) නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්ද බිහිකොට ඇති අතර, ඒ අනුව යුධ බිමක සිටින සෙබලුන්ට හෝ නගරයක නොදන්නා ස්ථානයක් වටලන සෙබළමුළුවකට එම ස්ථානයේ ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය ත්‍රිමාණව දැකගත හැකිවීමෙන් මෙහෙයුම අණතුරකින් තොරව සිදුකල හැකිය.

ARGUS-IS පද්ධතියේ මුලු විබේධනය ගිගාපික්සල් 1.8කි. මෙය මෙගාපික්සල් වලින් පවසනවා නම් මෙගාපික්සල් 1800කි. මෙම ගිගාපික්සල් කැමරාව නිර්මාණය කොට ඇත්තේ මෙගාපික්සල් 5 විබේධනයේ ඩිජිටල් ආලෝක සෙන්සර් 368ක් ඒකාබද්ධ කිරීමෙනි. මෙම ඒකාබද්ධ කීරීම විශේෂිත මෘදුකාංගයක් මගින් සිදුවේ.

පොලොව මතුපිට තිබෙන අඟල් 6ක විශ්කම්භයකට වඩා වැඩි ඕනෑම වස්තුවක් මෙයට ග්‍රහණය කරගත හැකිය.
ARGUS-IS image sample

Comments

Post a Comment