මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් 10 සියල්ලන්ටම නොමිලේ දෙන්නට මයික්‍රෝසොෆ්ට් සමාගම තීරණය කරයි!



2015 ජූලිමස එලිදැක්වීමට නියමිත වින්ඩෝස් අලුත්ම සංස්කරණය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් භාවිතාකරන ඕනෑම අයෙකුට නොමිලයේ අප්ග්‍රේඩ් එකක් නැතහොත් යාවත්කාලීන කිරීමක් ලෙස නොමිලයේ ලබාදීමට මයික්‍රෝසොෆ්ට් සමාගම තීරණය කොට ඇත.

මෙහි ඇති පුදුම සහගත විශේෂත්වය නම් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම නොමිලයේ ලබාදීම දැනට අක්‍රමික මාර්ගවලින් ලබාගන්නා ලද (pirated) වින්ඩෝස් XP, වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7, හා වින්ඩෝස් 8 භාවිතා කරන්නන්ටද නොමිලයේ ලබාදීමට තීරණය කොට තිබීමයි.

ඔබ විස්වාස කලත් නොකලත් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ මීට මාස 6කට පමණ පෙරය. ඒ අනුව 2015 ජූලි 29වැනිදා සිට 2016 ජූලි 29 වැනිදා දක්වා වසරක කාලයක් තුල, නිළ හා අක්‍රමික මාර්ගවලින් ලබාගත් පැරණි වින්ඩෝස් සංස්කරණ භාවිතා කරන ඕනෑම අයෙකුට වින්ඩෝස් 10 සංස්කරණය නොමිලයේ බාගත කරගෙන ස්ථාපනය කරගත හැකිය.

ස්ථාපනය කරගත පසුල් ලියාපදිංචිය අනිවාර්ය වන අතර ලියපදිංචිකල පසු ඔබගේ වින්ඩෝස් 10 පිටපත සඳහා නිල බලපත්‍ර කේතයක් (License Code/Registration Code) ලබාදීමට මයික්‍රෝසොෆ්ට් සමාගම කටයුතු කරණු ඇත. ඒ අනුව පසුකලක ඔබට ඔබගේ හාර්ඩ් ඩිස්කය ෆෝර්මට් කොට නැවත වින්ඩෝස් 10 ස්ථාපනය කල යුතුනම් ඔබට ලබාදුන් ලියාපදිංචි කේතය භාවිතා කරගෙන එම අලුත් වින්ඩෝස් 10 පිටපත නිළ පිටපතක් බවට පත්කල ගත හැකිය.

මයික්‍රෝසොෆ්ට් සමාගමේ මෙම තිරණය හේතු කවරේද?

මෙතෙක් කල් සෑම වසර 5කට වරක් ඉදිරිපත්කරන වින්ඩෝස් අලුත් සංස්කරණ සඳහා ඩොලර් 100ක් හෝ ඊට සමාන මුදලක් අයකරගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගම කටයුතු කලේය. මයික්‍රෝසොෆ්ට් සමාගම ලොව ධනවත්ම සමාගමක් බවට පත්වීමට මෙම වින්ඩෝස් ලයිසන් වෙළඳාම හේතුවිය. එහෙත් දැන් මයික්‍රෝසොෆ්ට් සමාගම සිය ව්‍යාපාර මොඩලය (business model) වෙනස් කරමින් සිටින්නේ ලොව පුරා මෘදුකාංග ලෝකයේ සිදුවන දැවැන්ත වෙනස්කම් නිසා සමාගමට පෙර තිබූ ලභදායි තත්වය සිඳෙමින් පවතින නිසාය.

නොමිලයේ ලබාදුන් ලිනක්ස් මෙහෙයුම් පද්ධති අභියෝගයට පවා සාර්ථකව මුහුණදෙමින් සිය ව්‍යාපාර ආකෘතිය ආරක්ශකර ගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවුවත් පසුගිය වසර 5 තුලදී සිදුවී ඇති දැවැන්ත වෙනස්කම් හමුවේ සිය ආධිපත්‍යය ආරක්ශාකර ගැනීමට නම් වින්ඩෝස් මෘදුකාංගයට මිළක් නියම නොකල යුතු බවට ඔවුන් තීරණය කොට තිබෙනවා.

මෙම වෙනස්කම් නම්;

1] පරිගණක ලෝකය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් ආකෘති වලින් ටැබ්ලට් හා ස්මාර්ට්ෆෝන් ආකෘතියට මාරුවීම හා එහි ආධිපත්‍යය නොමිලයේ දෙන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් OS වෙත යෑම.

2] දැනටමත් ලොව බොහෝ ජනයා නිතිපතා අන්තර්ජාලය හා සම්බන්ධවන්නේ සිය ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට්වලිනි. එමෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමේ ජංගම මෙහෙයුම් පද්ධති ව්‍යාපෘති සියල්ලම අසාර්ථක වීමද මෙම තීරණය දැඩිලෙස බලපානවා. ජංගම උපාංග (portable devices) සඳහා විශේෂ පහසුකම් සහිතව නිර්මාණය කල වින්ඩෝස් 8 අසාර්ථක වීම මයික්‍රෝසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධති ආධිපත්‍යයට දැඩි පහරක් වී තිබෙනවා.

3] නොමිලයේ ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියට අමතරව ඇපල් සමාගම සිය පරිගණක, ටැබ්ලට් හා ස්මාර්ට්ෆෝන සඳහා වන ඇපල් OS මෙහෙයුම් පද්ධතියේ සියලුම ඉදිරි සංස්කරණ නොමිලයේම ලබාදීමට ගෙන ඇති තීරණයද තවත් වැදගත් සාධකයක්.

4] ගූගල් සමාගම සිය ඇන්ඩ්‍රොයිඩ් OS එකට අමතරව ඩෙස්ක්ටොප් පරිගණක සඳහ ක්‍රෝම් OS නමින් තවත් නොමිලයේ ලබාදෙන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීම හා එය ගූගල් සමාගමේ ජීමේල්, ගූගල් ඩොක්ස්, ගූගල් ඇප්ස් ගූගල් ඩ්‍රයිව් වැනි සේවා සමග දැඩිලෙස බද්ධකොට නිර්මාණය කොට තිබීම. මෙම සේවා සමූහය සමග එන ක්‍රෝම් OS පරිගණක භාවිතා කරන්නන්ට මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග නොමැතිව සිය එදිනෙදා පරිගණක ආශ්‍රිත කටයුතු සියල්ලම කරගත හැකිවීම නිසා මයික්‍රෝසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධති ආධිපත්‍යය පමණක් නොව ඔවුන්ගේ ලාභදායිම නිශ්පාදනය වන මයික්‍රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංගයේ ආධිපත්‍යයටද දැඩි පහරක් එල්ලකොට තිබෙනවා.

5] අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා ලොව පුරාම ජනප්‍රියවීම අභියස සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන්ට පවා cloud storage හා software as a service (online software) වැනි සේවා භාවිතා කල හැකිවීම. උදාරණ ලෙස ගූගල් ඩ්‍රයිව් ගිගාබයිට 1ක ධාරිතාවක් ඇති නොමිලයේ ලබාදෙන cloud storage සේවාවකි. ඉතා හොඳ word processing, spreadsheet, presentation පහසුකම් ලබාදෙන ගූගල් ඩොක්ස් සේවාව නොමිලයේ ලබාදෙන software as a service (online software) සේවාවලට හොඳ උදාහරණයකි. වේගවත් මෙන්ම අඩුමිල අන්තර්ජාල පහසුකම් නිසා අද සාමාන්‍ය ජනයාටද මෙම සේවා ඉතා පහසුවෙන් භාවිතාකල හැකිය.

6] මේ අනුව එදිනෙදා භාවිතයට අවශ්‍ය මෘදුකාංග විකිණීම ලාභ ලැබිය නොහැකි ව්‍යාපාරයක් බවද, එමෙන්ම එලෙස විකිණීම නිසා පාරිභෝගිකයින් නොමිලයේ දෙන සේවා වෙත තල්ලුකිරීමෙන් සිය වෙළඳපොල ආධිපත්‍යය හැකිලී යමින් තිබෙන බව මයික්‍රෝසොෆ්ට් සමාගම අවබෝධකර ගැනීම.

7] ලොව විශාලතම වින්ඩෝස් භාවිතා කරන්නන්ගේ කුළකය නිළ නොවන ආකාරයට එම මෘදුකාංගය තමන් සතුකරගත් කණ්ඩායමක් වීම හා කොතෙක් උත්සහ කලද එම කුළකට ගෙවන පාරිභෝගිකයින් බවට හරවා ගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගම අසමත්වීම.

මයික්‍රෝසොෆ්ට් සමාගමේ අලුත් දැක්මට අනුව මෙම නිළ නොවන මෘදුකාංග භාවිතාකරන අතිවිශාල කුළකය වෙස්වලාගත් ආශීර්වාදයකි. ඒ; කොතෙක් බාධක (මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් මෙන්ම භාවිතා කරන්නන්ගේ රටවල බුධිමය දේපොල ආරක්ශණ නීති ක්‍රියාකරවන රජයන් මගින්) එල්ලවුවද තවමත් ඔවුන් මයික්‍රෝසොෆ්ට් සමාගමට හිතවත්ව එම සමාගමේ මෘදුකාංග වලට හිතෛෂීව සිටීමයි.

මයික්‍රෝසොෆ්ට්  දැන් කල්පනා කරන්නේ මෙම හිතෛෂීන්ට වින්ඩෝස් 10 නොමිළයේ ලබාදෙමින් ඔවුන්ගේ හිතෛෂීබව ආරක්ශා කර ගැනීමටයි. ඔවුන්ව ගූගල් ඇන්ඩ්‍රොයිඩ් හෝ ගූගල් ක්‍රෝම් නැතිනම් ලිනක්ස් වෙත පලවාහැරීමට වඩා එය වාසිදායිබව මයික්‍රෝසොෆ්ට් සමාගම කල්පණා කරනවා.

8] පූර්ණ නව සංස්කරණයක් (complete new version) ලෙස වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අවසන් සංස්කරණය වින්ඩෝස් 10 වීම. මින් ඉදිරියට සියලුම වෙනස් කිරීම ක්‍රමික යාවත්කාලීන කිරීම (incremental upgrades) ලෙස ටිකෙන් ටික ඉදිරිපත් කිරීමට මයික්‍රෝසොෆ්ට් තීරණය කොට තිබෙනවා. ඒ අනුව දැනට වින්ඩෝස් භාවිතා කරන්නන් වෙන්ඩෝස් වෙතම රඳවා තබා ගැනීම වැදගත්.

Comments