ලංකාවේ ඉරණමඩුවේ විසූ මිනිසත් පරපුරේ ආදිතම නෑයා - හෝමෝ ඉරෙක්ටස්

හෝමෝ ඉරෙක්ටස් යන විද්‍යාත්මක නාමය, සෘජුව ඇවිද ගිය මානවයා යන තේරුම දෙනවා. මුලින්ම යම් දුරකට හෝ සෘජුව ඇවිද ගිය මානවරූපී සත්වයා (එනම් අර්ධ-මානවයා, මනුජයා - හොමිනිඩයා) හෝමෝ ඉරෙක්ටස් නොවේ. එම ගෞරවය දැනට හිමිවෙන්නේ මීට වසර මිලියන වසර මිලියන 3.9 - 2.9 අතර කාලයක ජීවත්වූවායැයි ඇස්තමේන්තු  කරන "ඔස්ට්‍රෝලෝපීතිකස් ඇෆරෙන්සිස්" අර්ධ-මානවයාටයි. ඔස්ට්‍රෝලෝපීතිකස් ගේ ෆොසිල නැගෙනහිර අප්‍රිකාවේ කෙන්යාවෙන් හා ඉතියෝපියාවෙන් හමුව තිබෙනවා. මින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ඉතියෝපියාවේ ඇෆර් ප්‍රදේශයෙන් හමුවූ "ලුසී" ලෙසින් නම්කල ගැහැණු ඔස්ට්‍රෝලෝපීතිකස් ෆොසිලයයි.

කෙසේවෙතත් අප දැන් කතාකරන්නට යන හෝමෝ ඉරෙක්ටස් (හෝමෝ අර්ගැස්ටර්) පැවත එන්නේ ඔස්ට්‍රෝලෝපීතිකස්ට වඩා දියුණු මෙන්ම මානව (හෝමෝ ලෙස හැඳින්විය හැකි ) ගෝත්‍රයක් වන හෝමෝ හැබිලිස් වරුන්ගෙන් (Homo Habilis - Able Man - හැකියාවන් ඇති මානවයා).

ප්ලයිස්ටොසීන යුගයේ, එනම් මීට වරස මිලියන 2.5සිට වසර 12,000ක දක්වා කාල පරාසයේ ජීවත්වූ හෝමෝ ඉරෙක්ටස්, දැනට හමුවී ඇති මුල්ම සැබෑ මානවගණයට (හෝමෝ ගණයට) අයත්, සෘජුව ඇවිදගිය, ගස් උඩ වාසය නොකරමින් භූමිය මතම සිය ජීවිතය ගතකල ආදීවාසියා ලෙස හඳුනාගෙන තිබෙනවා. එනිසා හෝමෝ ඉරෙක්ටස් මිනිසත් බවේ සැබෑ මුල්ම පුරුක ලෙසත් පුරා විද්‍යාඥයින් සලකනවා .

හෝමෝ ඉරෙක්ටස් මානවයා නාමකරණයේදී පුරාවිද්‍යාඥයින් අතර යම් මතගැටුමක් තිබෙනවා. එක් මතයකට අනුව හෝමෝ ඉරෙක්ටස් යනු, හෝමෝ අර්ගැස්ටර් (Homo Ergaster - කාර්යශූර මානවයා) මානවයාගේ උප කුළයක්. මෙම විද්‍යාඥයින් හෝමෝ ඉරෙක්ටස්, අප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් යනුවෙන් හඳුන්වනවා. මෙයට හේතු වශයෙන් පසුකාලීනව ආසියාවේ (ලංකාවද ඇතුලුව) ජීවත්වූ ආසියානු හෝමෝ ඉරෙක්ටස් නම් මානව කුලයක්ද බිහිව තිබූ නිසා.

දැනට පිලිගැනෙන ආකාරයට පසුකාලීන වඩාත් දියුණු මානවයන් වූ හෝමෝ හිඩෙල්බර්ජෙන්සින්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් (Homo Neanderthalensis - නියැන්ඩර්තාල් මානවයා) හා ආසියානු හෝමෝ ඉරෙක්ටස් පැවත එන්නේ ප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් එනම් හෝමෝ අර්ගැස්ටර්ගෙන්.  වසර මිලියන 1.9 ඈත අතීතයේ සිට වසර 70,000ක් මෑතකාලය දක්වාම ජීවත්ව ඇති හෝමෝ ඉරෙක්ටස් නැගෙනහිර අප්‍රිකාවේ (ඉතියෝපියාව, කෙන්යාව ) සැවනා බිම්වල බිහිවූ බවට ෆොසිල සාධක ලැබී තිබෙනවා. මෙසේ බිහිවූ හෝමෝ ඉරෙක්ටස් වසර ලක්ශ ගණනක ඇවෑමෙන් ලොව පුරාම විහිදී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉරණමඩු ප්‍රදේශයේද වසර 300,000 සිට වසර 125,000ක් දක්වා ජීවත්ව සිට ඇති බවට ෆොසිල සාධක පවතින බව කීර්තිමත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෙකු වූ සිරාන් දැරණියගල පවසයි.  එමෙන්ම ඔහුගේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා පොලව මත සැබෑ මානවයින් (හෝමෝ කුළය) වසර මිලියනයක පමණ කාලයක සිට ජීවත්ව සිටින්නට ඉඩ තිබේ.

හෝමෝ ඉරෙක්ටස්ගේ හිස්කබලක් ආධාරයෙන් ඉතා විද්‍යාත්මකව
සකස් කරනලද හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ මුහුණක් 
එහෙත්, ශ්‍රී ලංකාවේ දේශගුණය මිනිස් සිරුරු (මෙන්ම සත්ව සිරුරුද ) ෆොසිල බවට පත්වී ආරක්ශාවීමේ ක්‍රියාවලියට හිතකර නොවන නිසා එම සිරුරු දිරාපත්ව ගොස් ඇතැයි සැළකිය හැකිය. නැතහොත් එසේ ෆොසිල බවට පත්වූ මානව හා සත්වකොටස් අඩංගු පාංශු ස්ථර වසර මිලියන ගණනක ඇවැමෙන් පොලොවේ ඉතා යටට ගොස් සොයාගැනීමට අපහසු වනලෙස පවතිනවා වන්නටද පුලුවන. අතිශයින් පැරණි මානව ෆොසිල හමුවන බටහිට අප්‍රිකාවේ රිෆ්ට් වැලී (පැළුණු නිම්නය) ප්‍රදේශයේ ෆොසිල පොලොවට ඉතා ආසන්නව ඇත්තේ භූවිද්‍යාත්මක ක්‍රියාකාරකම් (geological activity) නිසා ඉතා යටින් තිබෙන පාංශු ස්ථර ඉහලට එසවීම නිසාය. හෝමෝ ඉරෙක්ටස් භාවිතාකලා යැයි සැළකෙන මධ්‍යතන ශිලා යුගයට  (Mesolithic) අයත් පරළු ශිළා ආයුධ (crude stone tools) ඉරණමඩු පාංශු ස්ථරවලින් හමුවී ඇත.

හෝමෝ ඉරෙක්ටස් මානවයා ඊට පෙර විසූ අර්ධ-මානව කුළවලට වඩා දියුණු, එනම් නූතන මිනිසාගේ ආරම්භය යැයි සැළකෙන ශාරීරික ව්‍යුහයෙන් නූතන මිනිසාට බොහෝ සමානයයි උපකල්පණය කරන මානව වර්ගයකි. සාමාන්‍යයෙන් අඩි 5' 6" ක් පමණ උසට වැඩෙන හෝමෝ ඉරෙක්ටස් පොලොවේ ඇවිදීම මෙන්ම හොඳින් දිවයාම සඳහාද පරිණාමය වී ඇති බව පුරාවිද්‍යාඥයින් පවසනවා. ඔවුන් මෙසේ අනුමාන කරන්නේ කරුණු කිහිපයක් ඇසුරිනුයි.

හෝමෝ ඉරෙක්ටස්ගේ විශාල සිරුරත්, එතෙක් කල් ජීවත්වුනු මානවයින්ට වඩා විශාල මොළයකින්ද යුතුවීම නිසා හොමෝ ඉරෙක්ටස්ට අතිවිශාල කැළරි ප්‍රමාණයක් දිනපතා අවශ්‍ය වන්නට ඇති. මෙම කැළරි නිරන්තරයෙන් ලබාගැනීම සඳහා හෝමෝ ඉරෙක්ටස් හොඳ දඩයක්කාරයෙකු වියයුතු බව ඔවුන් පවසනවා. සරල ශිලා ආයුධ අතැතිව සිටි හෝමෝ ඉරෙක්ටස් චීටාවුන්, සිංහයින් බහුල අප්‍රිකානු සැවනා තනබිම්වල දිවිගලවා ගැනීම සඳහා මෙන්ම, වේගයෙන් දිවයන ඇන්ටිලෝප් වැනි සතුන් දඩයම් කරගැනීම සඳහාත් ඉතා වේගයෙන්, බොහෝදුර දිවයා හැකිලෙස ඔවුන්ගේ සිරුරු පරිණාමය වී තිබෙනු ෆොසිල සාධක වලින් පෙනී යනබව පැවසෙනවා. මෙම ක්‍රියාශීලී විශාල සිරුර හා විශාල මොලය සඳහා අවශ්‍ය මේ අතිවිශාල කැලරි ප්‍රමාණය වැඩිපුර ශාක ආහාරයට ගැනීමෙන්  සපයාගැනීමට හැකිවුවත් ඒ සඳහා දවස පුරාම ආහාර ගැනීමට සිදුවනු ඇති අතර එසේ වූවානම් ගල් ආයුධ නිර්මාණය වැනි බුද්ධිය මෙහෙයවා සිදුකරන ක්‍රියාකාරකම් සඳහා කාළය මද වනු ඇත.

එමෙන්ම ශාක භක්ශකයින්ට එම අතිවිශාල ආහාර ප්‍රමාණය දරාගැනීමට හා ජීර්ණය කරගැනීමට විශාල උදරයක් හා ආහාර ජීර්ණ පද්ධතියක් තිබිය යුතුවුවත් හෝමෝ ඉරෙක්ටස්ගේ උදරය හා ආහාර ජීර්ණ පද්ධතිය කුඩා බව ෆොසිල ඇටසැකිලිවල ප්‍රමාණය අනුව නිගමනය කර තිබෙනවා. ඒ අනුව විශාල මොලයට හා සිරුරට අවශ්‍ය කැළරි ප්‍රමාණය ලබාගත හැකිවන්නේ දඩයම් කොට මස් සපයාගැනීමෙන් පමණයි. එපමණක් නොව හෝමෝ ඉරෙක්ටස්ගේ කුඩා ජීර්ණ පද්ධතිය අනුව ඔවුන් ගින්නෙහිලා මස් පුලුස්සා (එනම් පිසගෙන ) ආහාරයට ගන්නට ඇතැයිද සමහර පුරා විද්‍යාඥයින් අනුමාන කරන්වා. පිසූ ආහාර ජීර්ණයට පහසු නිසා දීර්ඝකාළයක් පිසූ ආහාරය පරිභෝජනයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රමාණයෙන් කුඩාවන බව පරිණාම සාධක අනුව සත්‍යයක්. ඒ අනුව හෝමෝ ඉරෙක්ටස්, ආයුධ නිර්මාණය කරගැනීමේ බුද්ධියක්  ඇති, කණ්ඩායම් ලෙස දඩයමේ යන, යම් ආකාරයක සංකීර්ණ සමාජ පද්ධතියක් තිබූ ප්‍රථම දියුණු මානයවා ලෙස බොහෝ විද්‍යාඥයින්ගේ පිලිගැණීමයි.'

හෝමෝ ඉරෙක්ටස් හෙවත් හෝමෝ අර්ගැස්ටර්ගේ මෙම සමාජ පද්ධතිය ඉතා සංකීර්ණ මෙන්ම අද නූතන මානවයා මෙන්ම අන්‍යයන්ගේ හැඟීම් තේරුම්ගත හැකි, එලෙස තේරුම්ගෙන ප්‍රතික්‍රියාකල හැකි, අන්‍යෝන්‍ය උපකාරය ඇති සමාජ පද්ධතියක් වූ බවට පුරා විද්‍යාඥයින් අනුමාන කරනවා. ඔවුන් මේ අනුමානයට එන්නට එක් ප්‍රධාන සාධකයක් වූයේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් මානවෙකුගේ හිස් කබලක් ආධාරයෙන් කරන ලද පර්යේෂණ අනුවයි. මෙම හිස්කබලේ දත් සම්පූර්ණයෙන්ම වයස්ගත වීම නිසා වැටී තිබූ අතර, සියලු දත් අහිමිවීමෙන් පසුවත් තවත් වසර කිහිපයක් මෙම වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්ව තිබෙන බව ෆොසිලයේ රසායණික විශ්ලේෂණ මගින් තහවුරු වී තිබෙනවා. දත් සියල්ල අහිමිවූ පසුත් කුසගින්නේ මිය නොගොස් වසර ගණනක් මේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්වූයේ රැහේ අනෙකුන් ඔහුව රැකබලාගෙන ආහාර පාන ලබාදුන් නිසා බව පිලිගැනෙනවා. මෙලෙස තමන්ගේ වයස්ගතවූවන් රැකබලා ගන්නේ හැඟීම් ඇති, අන් හැඟීම් තේරුම් ගැතහැකි සංකාර්ණ මනසක් තිබූ මානවයින් පමණයි.

වයස්ගත වූවන් රැකබලා ගැනීම හැඟීම් බිහිවෙන, ඒවාට ප්‍රතික්‍රියා කරන උසස් මනසක් ඇති හෝමෝ මානවයින්ට සුවිශේෂී වූවා පමණක් නොව එමගින් හෝමෝ ඉරෙක්ටස් වැනි මානවයින්ගේ දියුණුව වේගවත්ව ඉදිරි පිම්මක් පණින්නට උපකාරීවූ බව විද්‍යාඥයින් පවසනවා. රැහේ තරුණ හා ශක්තිසම්පන්න වූවන් මහළුවියට එළඹියන් රැකබලා ගැනීම මානව දියුණුවට ඉමහත් පිටිවහලක් වූවා. ශක්තිසම්පන්නවූවන් දඩයමේ ගියවිට දරුවන් බලාකියාගැනීම මෙන්ම මහලුවිය දක්වා තමන් දැන උගත් අත්දැකීම් සම්භාරය ටිකෙන් ටික දරුවන්ට උගන්වා ඔවුන් වඩාත් දියුණු, වඩාත් සාර්ථක අයවලුන් බවට පත්කරන්නට හේතුවුනා. මේ අනුව වයස්ගත මානවයින් රැස්කරගත් දැනුම පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී ඉදිරියට යන්නට වූවා.

එමෙන්ම දරුවන් බලාගැනීමේ වගකීමෙන් මිදුනු දෙමව්පියන් හට වැඩිපුර ආහාර රැස්කරගැනීමට හෝ වඩාත් දියුණු ආයුධ තනාගැනීමට කාළය ඉතිරිවුනා. එමෙන්ම වයස්ගතවූවන් දරුවන් රැකබලාගැනීම තුලින් ලදරු මරණ සීග්‍රයෙන් අඩුවූ අතර මානව ජනවර්ගය වේගයෙන් පැතිරීමටද මෙය ඉවහල් වුනා. සංස්කෘතිය, සභ්‍යත්වය, ආචාරධර්ම ආගමික ඇදහිලි, කළා නිර්මාණ යනාදී මානව (හෝමෝ) ගෝත්‍රිකයන් පමණක් සතුවන සුවිශේෂී මානව හැකියාවන් බිහිවන්නට හා දියුණුවන්නටද මෙලෙස වයෝවෘද්ධයින් රැකබලාගැනීම මහත්වූ පිරිවහලක් බවට පැවසෙනවා.

Comments