අමෙරිකානු නාවික හමුදා විශේෂ බලකාය: US Navy SEALs

Navy SEAL යනු එක්සත් ජනපද නාවික හමුදාවට අනුබද්ධ විශේෂ කොමාන්ඩෝ බළකායයි. සීල් යන යෙදුම Sea, Air and Land හෙවත් දිය, ගොඩ, අහස යන ඕනැම ස්ථානයක මෙහෙයුම් සිදුකල හැකි යන අර්ථය දෙයි. නාවික හමුදාවේ "විශේෂ යුද්ධෝපක්‍රම විධාන අධිකාරියට - Navy Special Warfare Command" අයත්වන සීල් කොමාන්ඩෝ ඒකක සිය මෙහෙයුම් කටයුතු, "එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් විධාන අධිකාරිය (United States Special Operations Command) සමග සිය මෙහෙයුම් සම්බන්ධීකරණය කරයි. එමෙන්ම සී.අයි.ඒ ඔත්තුසේවාවේ රහසිගත යුධ මෙහෙයුම් ඒකකය වන "Special Operations Group" ඒකකය සිය මෙහෙයුම් සඳහා සීල් කොමාන්ඩෝ සෙබළුන් එක්කොට ගනී.

සීල් කොමාන්ඩෝ සෙබළුන්ට නොගැබුරු වෙරළාශ්‍රිත ප්‍රදේශවල, වගුරුබිම් හා ජලාශවල, ගිරිදුර්ග සහිත කඳුකර ප්‍රදේශවල, කාන්තාර ප්‍රදේශවල මෙන්ම හිමෙන් වැසුනු ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල මෙන්ම ඝණ වනාන්තරවලද රහස් මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණුකොට ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ බළකා අතරින් අති දුශ්කරම පුහුණු පාඨමාලා සීල් පුහුණු පාඨමාලා බව වාර්තාවේ.

සීල් බළකායේ ආරම්භය දෙවන ලෝක යුධ සමය දක්වා දිවයන අතර කුඩා බෝට්ටු මගින් සතුරු ප්‍රදේශවලට ඇතුලුවී කඩාකප්පල් කාරී මෙහෙයුම් දියත් කිරීම, ආක්‍රමණ සඳහ පසුබිම සැකසීම, ඔත්තුබැලීම වැනි කටයුතු වලට පුහුණු කෙරුණු විශේෂ නාවික හමුදා කණ්ඩායම් සීල් බලකායේ පුරෝගාමීන් ලෙස සැළකේ.

1942දී, හිට්ලර්ගේ නට්සි ජර්මනිය ආක්‍රමණය කොට නතුකරගත් උතුරු අප්‍රිකානු ප්‍රදේශ මුදාගැනීම සඳහා සිදුක මෙහෙයුම් වලදී මෙම විශේෂ නාවික බලකා සිය මුල්ම යුධ මෙහෙයුම් සිදුකොට ඇත. ඉන්පසු සිසිලිය ආක්‍රමණය කොට ෆැසිස්ට් ඉතාලිය විරුද්ධව යුධ මෙහෙයුම් ආරම්භ කිරීම හා නට්සි ජර්මන් භූමිය යටත්කර ගැනීම සඳහා සිදුකල බොහෝ මෙහෙයුම් වලට මොවුන් දායක වී ඇත.

Navy SEAL බළකායේ නිළ ආරම්භය සිදුවන්නේ 1961දී එවක අමෙරිකානු ජනාධිපතිවූ ජෝන් කෙනඩි කොන්ග්‍රස් මණ්ඩළය අමතා කල දේශණයකදී සිදුකරන ලද යෝජනාවක් අනුවය. කෙන්ඩිගේ මෙම දේශණය වඩාත් ප්‍රසිද්ධ වන්නේ අමෙරිකාව මිනිසෙකු සඳට යැවිය යුතුබවට කල යෝජනාව සිදුකල දේශනය ලෙසය. එහෙත් එම දේශනයේදීම නාවික හමුදා විශේෂ බළකායක් ස්ථාපනය කල යුතුබවටද ඔහු යෝජනා කලේය. හිටපු නාවික හමුදා නිළධාරියෙකු වශයෙන් දෙවන ලෝක යුද්ධයේදී යුධ නෞකා කපිතාන් වරයෙකු ලෙස මෙහෙයුම්වලට දායක වුනු ජනාධිපති කෙනඩි, නාවික හමුදා විශේෂ මෙහෙයුම් පිලිබඳ විශාල ගෞරවයක් තිබූ අයෙකි. එබැවින්ම ඔහුට නවික විශේෂ බළකායක් පිහිටුවීමේ දැඩි උනන්දුවක් තිබුණි.

සීල් බළකායේ මුල්ම විශේෂ මෙහෙයුම් වියට්නාම් යුද්ධයේදී වියෙට්කොන්ග් ගරිල්ලන්ට එරෙහිව 1966දී සුප්‍රකට මීකොන්ග් ඩෙල්ටාවේදී සිදුවිය. සී.අයි.ඒ ඔත්තුසේවාව හා එක්ව ඔවුන් මෙහෙයුම් සිදුකල අතර වියෙට්කොන්ග් කොමියුනිස්ට් ගරිල්ලන් සමග සිදුකල බිහිසුණ සටන් මගින් ඉතා සාර්ථක ගරිල්ලා නාශක විශේෂ බළකායක් ලෙස සීල් බළකාය නමක් දිනාගත්තේය.

මෑතකදී ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ මෙහෙයුම් වලට සුවිශේෂ දායකත්වයක් සැපයූ සීල් බළකාය ලෝක ප්‍රකටවූයේ පාකිස්ථානයේ සැඟව සිටි ඔසාමා බින් ලඩෙන්ව ඝාතනය කිරීමේ විශේෂ මෙහෙයුම සඳහා සී.අයි.ඒ ඔත්තුසේවාවේ Special Operations Group ඒකකය සීල් ටීම් 6 නම් සීල් බළඇණියේ සාමාජිකයින් යොදවා ගැනීමත් සමගය.

















































Comments