දේශීය වඳුරන්ට දැළිපිහියක්වූ ෆේස්බුක්

ෆේස්බුක් මාෆියාවක් පාසැල් දැරියන් බිලිගන්නා බව නොබෝදා ජාතික පුවත්පතක් සිය ශීර්ෂපාඨයෙන් හෙලිකලේය. ෆේස්බුක් පෙම නිසා දිවිනසා ගැනීම්, ෆේස්බුක් පෙම්හබ නිසා මැදිවියේ විවාහක පිරිමින් අතින් දැරියන් ගැබ් ගැනීම් නිතර අසන්නට ලැබේ. ෆේබුකියෙන් අලුත්වුනු පැරණි පෙම නිසා පවුල් කඩා ඉහිරීගිය අවස්ථාද නැත්තේ නොවේ.

ලංකාවේ ඕනෑම අලුත් තාක්ශණයක් සාමාන්‍ය මහජනයා අතර ව්‍යාප්තවිය හැකි තරමට මිලෙන් අඩුවන්නට පටන්ගත් වහාම එම තාක්ශණය පලමුවෙන්ම ප්‍රයෝජනයට ගන්නේ මැදිවියේ කාම පිස්සන්, කාම සේවා සම්බන්ධීකාරකවරුන්  (නැතිනම් පිම්පියන්), කුඩු විකුණන්නන් වැනි සමාජවිරෝධීන්ය.

මෑතක් වනතුරුම ජංගම දුරකථනයටද මෙම අවාසනාව ලබා තිබුණේය. මිස් කෝල් වලින්, රොන්ග් නම්බර්වලින් හඳුනාගෙන පවුල් කඩාගැනීම්, ගැබ්බරවීම්, බැඳපු මිනිහෙකු බව දැන ගන්නාවිට සියල්ල සිදුවී අවසන්වීම්, ජංගම ෆෝන් එකෙන් බැඳපු ගෑණුන් හා මල්කඩන්නට ගොස් නිළ සැමියන්ගෙන් හොඳටම ගුටිකෑම් යනාදී මෙකී නොකී හුටපට තවමත් සිංහල පුවත්පත් බලන්නන්හට නිතර කියවන්නට ලැබේ. 

ජංගම දුරකථනයක් ලඟතබා ගත්තේය, එයතුල පෙම්වතා එවූ පෙම් SMS තිබී සොයාගත්තේය යන මහා අපරාධයට මියුසියස් විද්‍යාලයේ බාළිකාවක් ජීවිතයෙන් වන්දිගෙවුයේ ඇයගේ වරදට වඩා තමන් පාරිශුද්ධ යයි සිතාගෙන සිටිනා නාකි ගුරුවරියන් කිහිපදෙනෙකු (මියුසියස් විද්‍යාලයේ සියලු ගුරුවරියන් එසේ නොවන බව ලේඛකයා අත්දැකීමෙන් දන්නේය ) හා තම දියණියට මොන ගැටලුවකදී හෝ අහිමි නොවන එකම නියතය "දෙමව්පිය ආදරය" බව හා "මොනව වුනත් කමක් නෑ ගෙදර වරෙන් දුවේ" යන පණිවුඩය වටහාදීමට අසමත්වූ මෝඩ දෙමව්පියන් නිසාය. 

ජංගම දුරකථනවල ඇති MMS පහසුකම හා බ්ලූටූත් පහසුකම භාවිතාකරගෙන තරුණියන්/කාන්තාවන් වෙත අසභ්‍ය රූප හා වීඩියෝ ක්ලිප් යවන මානසික රෝගීන් කොටසක්ද සිටියහ (තවමත් ඇතැයි සිතමි - ඔවුන් දැන් අසභ්‍ය MMS යවනවාට වඩා අනුන්ගේ ටයිම්ලයින්වල අසභ්‍ය පෝස්ටු දමති.)

මෙවැනි අතොරක් නැති ජංගම දුරකථන අපයෝජන නිසා එකල ආණ්ඩුව ජංගම දුරකථනවල අසභ්‍ය පිංතූර චෙක් කරන පොලිස් චෙක් සේවාවක්ද ආරම්භ කරන්නට යෙදුනි. වාසනාවකට, ප්‍රගතිශීලී ජනමාධ්‍යවල හා සමාජක්‍රියාකාරීන්ගේ විරෝධය නිසා එය වැඩිදුර යන්නට පෙර ලොප් විය, නැතිනම් වැඩිකල් යන්නට පෙර කාන්තාවන්ගේ හෑන්ඩ් බෑග්වල උපත්පාලන පෙති තිබේදැයි චෙක්කරන්නටද පිරිමින්ගේ වොලට්ටුවේ නැතිනම් සාක්කුවල කොන්ඩොම් තිබේදැයි බලන්නටද පොලිසීයක් පත්කරන්නටද ඉඩතිබුණි.

ජංගම දුරකථන ජනප්‍රිය වන්න පෙර, SLT ස්තාවර රැහැන් දුරකථන පැතිරීගිය කාලයේ (එනම් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් වී දුරකථන සබඳතාවයක් ලබාගැනීමට බලාසිටින්නටවූ වසර 10ට නොඅඩු කාලය විශ්මිත ලෙස සති කිහිපයකට කෙටිවූ කාළයේ) මෙවැනිම මේනියාවක් පැතිර ගියේය. ඒ කරදරකාරී ඇමතුම් (nuisance calls) මේනියාවයි. ටෙලිෆෝනයක් හිමි උන්මත්තකයින් පිරිසක් රෑ නිදිවර්ජිතව එක් එක් දුරකථන අංකවලට කතාකොට නිදා සිටින නිවැසියන් අවදිකරගෙන අසභ්‍යදෑ කීම, කාන්තාවන් දුරකථයෙන් අපයෝජනය කිරීමේ රැල්ලක් පැතිර ගියා ලේඛකයාට මතකය.

මානසික රෝගී අමතන්නා: "මේ ඔයාලට වතුර තියෙනවද?"
නිවැසියා : "ඔව් තියෙනවා..."
මානසික රෝගී අමතන්නා: "අනේ එහෙනම් ඔයාගෙ පු* පොඩ්ඩක් හෝදගන්නවාද... ගඳක් එනවා..."

මෙය එකල දුරකථන දැලිපියක් අසුවූ මානසික රෝගීන් ලබාදුන් එක් ඇමතුමකි. ඔවුන් ඉන් පුදුමාකාර කාළකණ්නි සතුටක් ලැබූ බව වැටහෙන්නේ ඔවුන් දිගින් දිගටම එවැනි ඇමතුම් ලබාදීමෙනි. මෙම මේනියාව සුවවූයේ CLI නැත්හොත් කෝලර් ලයින් අයිඩෙන්ටිෆිකේශන් තාක්ශණය මගින් ඇමතුම දෙන්නාගේ අංකය ඇමතුම ලබන්නට දැනගත හැකි සේවාව ජනප්‍රිය වීමෙන් පසුවය. CLI නිසා මෙවැනි මානසික රෝගීන්ට දුරකථනයට මුවාවී සිය අනන්‍යතාවය සඟවාගැනීමට නොහැකිවිය.

අද මෙවැනි මානසික රෝගීන් රොත්ත පිටින් ෆේස්බුකියට සංක්‍රමණය වී ඇත. දුරකථන සමාගම් තරඟයට මෙන් ලාබෙට 3G ඩොන්ගල් හා සබඳතා පැකේජ ලබාදෙන්නට පටන්ගත්විට ලංකාවේ බහුතරය වන පහල මධ්‍යමපාංතිකයින්ට හා ඔවුන්ගේ දුවා දරුවන්ටද අන්තර්ජාල පහසුකම් ලැබුණි. දැන් දකින්නට ඇති ෆේස්බුක් ව්‍යසනය මේ තාක්ශණකික විප්ලවයේ අනිසි ප්‍රථිපලයකි. ෆේස්බුක් වීඩියෝ වලින් හා ලයිව් ස්කයිප් කෝල්වලින් සෙක්ස් කරනා පහල මධ්‍යම පාංතික ගැටවුන් ගැටිස්සියන් මෙන්ම ත්‍රීවීලර් ඩ්‍රයිවර්ලා හා බස් ඩ්‍රයිවර්ලාද, පේමන්ට්වල බඩු කිරන බෝයිස්ලා මෙන්ම මේසන් බාස්ලාද සිටිති. පොෂ් එක්සෙකටිව්ලා ලෙස ෆේස්බුකියේ ප්‍රොෆයිල් හදාගෙන සිටිනා මේසන් බාස්ලා, ත්‍රීවීලර් මාමලා නිසා කන්‍යාභාවය සිඳගන්නා අසරන ගැටිස්සියන්ද වැඩිවෙමින් පවතින්නේ මේ 3ජී විප්ලවය නිසාය. 

පරිගණකවල මිල, විශේෂයෙන් භාවිතාකල රීකන්ඩිශන් පරිගණක හා ලැප්ටොප්වල මිල රුපියල් 7500-10,000 දක්වා අඩුවීමද මෙයට බලපාඇත. 3ජී අන්තර්ජාල සබඳතා ඇති ස්මාර්ට්ෆෝන් මිල සීග්‍රයෙන් කඩා වැටීමද තවත් එක් හේතුවකි.

මෙයට විසඳුම කුමක්ද? 

මෙයට විසඳුමක් ලෙස ෆේස් බුක් තහනම් කලයුතුයැයි කියන අන්තවාදීන් පිරිසක් සිටිති. ෆේස්බුක් තහනම් කිරීමෙන් ශ්‍රී ලාංකික ජාතිය වෙළාගෙන තිබෙන ලිංගික පීඩනය සමනය නොවේ. කොතෙක් බණ ඇසුවත්, සංස්කෘතිය ගැන, හැදියාව ගැන කතාකලත් තරුණ ගෑණු පරාණයක් දුටුවිට ඇස්ගෙඩි දොඹගෙඩි වෙන්නේත්, අනවශ්‍ය කෝණවලින් ඇය දෙස බලන්නට සිතෙන්නේත්, හීනියට විසිල් පාර වදින්නේත්, ඇයට ඇසෙන්නට හයියෙන් කතාකරන්නේත් නොමනා බස් කියන්නේත් මෙම ලිංගික පීඩනය නිසාමය. මෙම පීඩනය ලංකාවේ පිරිමින්ට පමණක් නොව ගැහැණුන්ටද පොදුය. උගත් පවුල්වල තරුණියන් පවා බොරු ප්‍රොෆයිල් හදාගෙන තමන් හා මිතුරුවන විවාහක මේසන් බාස්ලාට රැවටී යහන්ගතවී වැඩවරද්දා ගන්නේ මෙම ලිංගික පීඩනය නිසාය.

මෙයට දිගුකාලීන විසඳුම් සෙවීම සමාජවිද්‍යාඥයින්, මනෝවිද්‍යාඥයින් හා උගත් දේශපාලඥයින් (මෙරට ඉතා විරලය) එකතුව සිදුකල යුතුය. කෙටිකාලීනව මෙවැනි කාමාතුරයින්ගෙන් දැරියන් හා කාන්තාවන් බේරා ගැනීමට එම කාමාතුරයින් හට සිය ලිංගික පීඩනය නීත්‍යානුකූලව සමනය කරගැනීමට අවකාශ තිබිය යුතුය, එනම් ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන රැකියාව නීතිගත කල යුතුය.

Comments