Related Posts Plugin for WordPress, Blogger...

Friday, 12 June 2015

කොරියාවේ, ඉන්දියාවේ, චීනෙ වගේ අපේ රටේ කාර් හැදෙන්නේ නැත්තේ ඇයි? [නිෂ්පාදන ආර්ථික මිත්‍යාවෙන් ඔබ්බට]

හැමදෑම විද්‍යාව හා තාක්ශණය ගැන ලියන නිසා අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන මගේ අදහස කියන්නට සිතුනා. ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳු විය යුතුදැයි දේශපාලඥයින්, ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන් මෙන්ම ව්‍යාපාර හා කර්මාණ්ත ක්ෂේශ්ත්‍රයේ ප්‍රාමාණිකයින් අතර සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.

කලින් කලට ඉස්මතු වෙමින් යලිත් යට යමින් තිබෙන මේ මාතෘකාව අපේ රටේ අනාගතයට ඉතා වැදගත්. අපේ රට දැන් මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලැබෙන එනම් ආර්ථික විද්‍යාඥයින් පවසන ආකාරයට "middle income" රටක් ලෙස හඳුන්වනවා. මේ බව පසුගිය වසරවල මහබැංකු වාර්තාවලද ආර්ථික ප්‍රගතියේ සළකුණක් ලෙස හුවාදක්වා තිබුණා.

පහල මැද ආදායම් රටක් වන ලංකාව

ලෝක බැංකු වෙබ් අඩවියට අනුව "Middle Income" රටක් ලෙස සළකන්නේ ඒක පුද්ගල දල ජාතික ආදායම (Per capita Gross National Income - GNI) ඩොලර් 1036ත් 12,615ත් අතර ඇති රටක්. දල ජාතික ආදායම යනු රටක සියලුම නිශ්පාදන වලින් ලැබෙන ආදායමට (දල ජාතික නිශ්පාදිතය - GDP) විදෙස් රටවල සිටින එම රටෙහි පුරවැසියන් එවන ආදායම එකතුකොට එයින් රටතුල සිටින විදේශිකයින් උපයාගෙන රටින් පිටතට යවන ආදායම අඩුකලවිට ලැබෙන අගය ලෙස ඉතා සරලව දක්වන්නට පුලුවන්.

මෙම GNI අගය රටක ආර්ථික වර්ධනයේ හා ආර්ථික හැකියාව පෙන්නුම් කෙරෙන හොඳම දර්ශකය ලෙස ලොව පුරා ආථික විද්‍යාඥයින් මෙන්ම ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික ආයතන සළකනවා.

ඩොලර් 1036ත් 12,615ත් අතර දල ජාතික ආදායම් පරාසය ඉතා පුලුල්වන නිසා ලෝක බැංකුව මෙම රටවල් තවත් උපකාණ්ඩ දෙකකට බෙදනවා. ඒ "පහල මැද ආදායම් රටවල්" හා "ඉහල මැද ආදායම් රටවල්" ලෙසයි. ඩොලර් 1036ත් ඩොලර් 4085ත් අතර ආදයම් ඇති රටවල් "පහල මැද ආදායම් රටවල්" ලෙස සළකන අතර ඩොලර් 4086ත් ඩොලර් 12615ත් අතර රටවල් "ඉහල මැද ආදායම් රටවල්" ලෙස වර්ග කෙරෙනවා.

ඉහත ලෝක බැංකු දත්තවලට අනුව ලංකාව 2013 වනවිට පහල මැද ආදායම් රටක් ලෙස වර්ගීකරණය වී තිබුණා. කෙසේ වෙතත් 2016-2017 වනවිට නිසැකයෙන්ම අප රට ඉහල මැද ආදයම් කුළකයේ ආරම්භක සීමාව වන ඒක පුදගල දල ජාතික ආදායම ඩොලර් ඩොලර් 4086 පසුකරනු ඇතැයි සිතිය හැකිවුවත් ආණ්ඩු වෙනසත් සමග සිදුවී ඇති දේශපාලන අස්ථාවර භාවය නිසා ආර්ථිකයේ යම් පසුබෑමක් ඇතිවීමද සළකාබැලූවිට මේ ඉලක්කයද අපහසු වන්නට ඉඩ තිබෙනවා.

මෙම සීමාව පසුකර යාමට ඒකපුද්ගල දල ජාතික ආදායම ඩොලර් 915 වැඩිවිය යුතුයි. එය සුළු අගයක් ලෙස පෙනුනද සැබැවින්ම මේ ඉලක්කය පසු කිරීමට රටෙහි දල ජාතික ආදායම ඩොලර් මිලියන 18,300කින්, එනම් ඩොලර් බිලියන 18.3කින් වැඩිවිය යුතුයි. රුපියල් වලින් නම් වර්තමාන විනිමය අනුපාතයට අනුව රුපියල් බිලියන 2452කින් රටෙහි ආදායම වැඩිවිය යුතුයි. මෙය අතිවිශාල අගයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ.

නිෂ්පාදන ආර්ථික මිත්‍යාව 

රූපවාහිණී දේශපාලන සාකච්චාවලට සහභාගීවන, ආර්ථික විද්‍යාව පිලිබඳව එතරම් පරිචයක් නොමැති දේශපාලඥයින් බොහෝවිට ඔවුන්ගේ පෞද්ගලික හෝ සිය පක්ශයේ ආර්ථික දැක්ම ලෙස "ශ්‍රී ලංකාව නිශ්පාදන ආර්ථිකයක්" බවට පරිවර්තනය කලයුතු බව කියනවා. සමහරවිට මොවුන් මෙයින් අදහස් කරනවා ඇත්තේ රට විවිධ භාණ්ඩ නිශ්පාදනය කරන, බොහෝ කර්මාණ්තශාලා ඇති, නිමි භාණ්ඩ අපනයනය කරන රටක් බවට පත්විය යුතු බව වියයුතුයි.

මොන අර්ථයෙන් ගත්තද මෙය සැබැවින්ම එක් අතකින් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන පවා අවබෝධයක් නොමැතිව කරන ප්‍රකාශයක් හෝ ප්‍රායෝගික නොවන ආර්ථික සැලැස්මක් ලෙස ගත හැකියි.

සෑම ආර්ථිකයක්ම නිශ්පාදන ආර්ථිකයකි. නිශ්පාදන ආර්ථික නොවන ආර්ථික පැවැතිය නොහැකිය!

ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයට අනුව ආර්ථිකයක් යනු රටක ප්‍රාථමික ගැටළු තුනක් විසඳන්නේ කෙසේදැයි සිදුකෙරෙන යෝජනාවකි. ඕනෑම රටක ප්‍රාථමික ආර්ථික ගැටලු ලෙස පහත ගැටළු හඳුනා ගැනෙනවා.

"1 නිශ්පාදනය කල යුත්තේ කුමණ භාණ්ඩ හා සේවාද? - What to produce?",
"2 එම භාණ්ඩ හා සේවා නිශ්පාදනය කල යුත්තේ කෙසේද? - How to produce?"
"3 එම භාණ්ඩ හා සේවා නිශ්පාදනය විය යුත්තේ කා සඳහාද? - For whom should they be produced?"

එනම් ආර්ථික ක්‍රමයක් (economic system) යනු රටෙහි ඇති සීමිත සම්පත් උපයෝගීකරගෙන කුමක් නිශ්පාදනය කල යුතුද? කුමණ උපක්‍රම හෝ තාක්ශණයන් යොදාගෙන නිශ්පාදනය කල යුතුද? කා සඳහා එම නිශ්පාදනයන් කල යුතුද? යන ගැටලු විසඳීමට යොදාගන්නා ක්‍රමවේදයයි. උතුරු කොරියාව හා කියුබාව හැරුනුකොට අද ලෝකයේ සියලුම රටවල් මේ සඳහා මිශ්‍ර ආර්ථික "mixed economic system" ක්‍රමවේදය යොදා ගන්නවා. එනම් රජය හා පෞද්ගලික අංශය යන අංශ දෙකම රටෙහි නිශ්පාදන ක්‍රියාවලියට දායක වනවා. උග්‍ර ධනවාදී රටක් ලෙස සැළකෙන අමෙරිකාව මෙන්ම කොමියුනිස්ට් චීනයද උපයෝගීකර ගන්නේ මේ මිශ්‍ර ආර්ථික උපක්‍රමයයි.

මේ අනුව ආර්ථිකයක් යනු නිශ්පාදනය පිලිබඳව යෝජනා ඉදිරිපත් කරන සංකල්පයක්. ඒ අනුව අප රටෙහි දේශපාලකයන් කැමරාවක් ඉදිරියට ආවිට කරන "නිශ්පාදන ආර්ථික" යෝජනාව පදනම් විරහිත යෝජනාවක් බව ඔබට වැටහෙනවා ඇති.

ලංකාව කර්මාණ්තශාලා බහුල, භාණ්ඩ නිපදවන රටක් කල හැකිද?

කෙටි උත්තරය නැත යන්නයි. අපට කිසිදිනක ජපානය, කොරියාව, චීනය හෝ ඉන්දියාව පමණක් නොව මැලේසියාව , ඉන්දුනීසියාව, වියට්නාමය හෝ තායිලන්තය තරම්වත් කාර්මික නිශ්පාදන ලෝකයේ ඉදිරියට ආ නොහැක.

ඇයි මෙහෙම කියන්නේ? රටට ආදරේ නැති, හැමදේම පිටරටින් එනවානම් කැමති කළු සුද්දෙක් නිසාද?

සැබැවින්ම නෑ. මා මේ යෝජනාව කරන්නේ රටට ඇති ආදරය නිසායි. අප රට පහල මැද ආදායම් ගොඩෙන් (එනම් දුප්පත් රටවල් ගොන්නෙන්) මුදවා ගන්නටනම් අප, අපේ රටේ උපක්‍රමීය දුර්වලතා හා උපක්‍රමීය වාසි සහගත අංශ (strategic weaknesses and strategic advantages) හඳුනාගෙන  ඒ අනුව ආර්ථිකය හැඩ ගස්වාගන්නට ඕනෑ.

ලෝකයේ කාර්මික අංශයෙන් ඉදිරියට ගිය රටවල් (හා කලක් ඉදිරියෙන් සිට දැන් පසුබා ඇති රටවල්) දෙස බලන්න. රටක කාර්මික නිශ්පාදන දියුණුවීමට නම් යම් යම් සාධක තිබිය යුතුවනවා.

1] ස්වභාවික සම්පත් - එනම් යකඩ, ඇළුමිනියම්, තඹ, සින්ක්, ගල් අඟුරු, තෙල්, කාර්මික නිශ්පාදනව වලට බහුලව අවශ්‍යවන අමුද්‍රව්‍ය සුළභව තිබිය යුතුයි. අපේ රට ස්වභාවික සම්පත් වලින් අනූන බවට තර්ක කල හැකි නමුත්, ඉහත කීදේවල් මහා පරිමාණයෙන් හමුවන රටවල් (අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, රුසියාව, චීනය, බ්‍රසීලය, ආජන්ටිනාව වැනි රටවල්) හා සසඳනවිට අපේ රටේ කාර්මික දියුණුවට අවශ්‍ය මූලික සම්පත් හිඟබව වටහාගන්න ඕනෑ.

එහෙමනම්, ස්වභාවික සම්පත් හිඟ ජපානය, කොරියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානය දියුණුවූයේ කොහොමද? (හොංකොං චීනය සතුවුවත් වෙනම රටක් ලෙස පාලනය වේ)

සිංගප්පූරුව හා හොංකොං මීට වසර 20කට පමණ පෙර කුඩා, අධිතාක්ශණික භාණ්ඩ (ඉලෙක්ට්‍රොණික භාණ්ඩ, පරිගණක උපාංග මෙයින් ප්‍රධානයි) සඳහා නිශ්පාදන කේන්ද්‍රවූ බව සැබෑවූවත් අද මේ රටවල ආර්ථිකය තනිකරම ඉහල එකතුකල අගයක් ඇති සේවා (high value added services) මත රඳා පවතිනවා.

අද වුනත් කොරියාව හා ජපානය ඇරෙන්නට කාර්මික නිශ්පාදන කේන්ද්‍රවෙලා තියෙන්නේ කාර්මික අමුද්‍රව්‍ය බහුලව තියෙන රටවල්වලයි.

2] ජනගහණය - රටක ජනගහණය, එම රටෙහි කාර්මික වර්ධනයට ඉතා වැදගත් සාධකයක්. රටෙහි ස්වභාවික සම්පත් ප්‍රමාණය අවම වුවත්, එහි ජනගහණය විශාලනම් කාර්මික සංවර්ධනය එතරම් අපහසු වන්නේ නෑ. හොඳම පැරණි උදාහරණ ලෙස තායිවානයේ, ජපානයේ හා කොරියාවේ කාර්මික දියුණුවත්, නූතන උදාහරණ ලෙස මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තයේ හා වියට්නාමයේ සීග්‍ර කාර්මික දියුණුවත් ගන්නට පුලුවන්.

මේ රටවල් සියල්ලම කාර්මික නිශ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය අතරින් සංසන්දනාත්මකව දුප්පත් රටවල්. එහෙත් ඒ රටවල් වලට සිය අධික ජනගහනය අති විශාල වාසියක් වුනා.

රටක අධික ජනගහනය කාර්මික දියුණුවට වාසි සහගත සාධකයක් වන්නේ ඇයි?

පලමුවැනි වාසිය - කර්මාණ්ත සඳහා ලාභ ශ්‍රමය. විශේෂයෙන්ම ශ්‍රම කේන්ද්‍රීය (labour intensive) කර්මාන්තවලට අධික ජනගහනය වාසිසහගත වනවා. ජනගහනය වැඩිවනවිට ව්‍යවසායකයින්ට අඩු මිලට ශ්‍රමය ලබාගෙන නිශ්පාදන කර්මාන්ත ආරම්භ කර ලාභ ලබන්නට පුලුවන්. ලාභය කොතනද එතැනට ප්‍රාග්ධනය එකතුවන නිසා ජනගහනය වැඩි  රටක් සැලැසුම් සහගතව ක්‍රියාත්මක වුනහොත් ඉතා ඉක්මණින් කාර්මික දියුණුව ලඟාකරගන්නට පුලුවන්.

ජපානය කොරියාව, තායිවානය වගේම මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා වියට්නාමයත් මෙලෙස සැළසුම් සහගතව සිය ජනගහනය කාර්මික නිශ්පාදනයට යොමුකොට දියුණුව ලඟා කරගත් රටවල්.

වැඩි ජනගහනයේ දෙවැනි වාසිය - දේශීය නිශ්පාදන අලෙවිකර ගැනීම සඳහා විශාල දේශීය වෙළඳපොලක් තිබීම.

ජනගහනය අධික රටවල්, උදාහරණයක් ලෙස ඉන්දියාව හා චීනය කාර්මික නිශ්පාදන අතින් නිසඟයෙන්ම ඉදිරියට එන්නේ එම රටවල්වල අධික ජනගහනය, එම රටේ නිශ්පාදනවලට ස්ථාවර මෙන්ම විශාල ලාභ ලැබිය හැකි, ආයෝජන හැකියාව වැඩි වෙළඳපොලක් ලබාදෙන නිසා.

ඉන්දියාවේ මරුති-සුසුකි 

උදාහරණයක් ලෙස ඉන්දියාවේ මරුති-සුසුකි සමාගම ගන්නට පුලුවන්. ඉන්දියානු රජයේ සමාගමක් වූ මරුති, ජපානයේ සුසුකි සමග 1981දී එක්වුනේ, ඉන්දියාවේ දුප්පත් ජනගහනයට මිලදී ගන්නට පුලුවන් අඩු මිල, ඒවගේම ඉන්දියාවේ රළු පාරවල් වලට හොඳින් ඔරොත්තු දෙන, කුඩා කාරයක් නිර්මාණය කරන්න. මරුති-සුසුකි 800 කුඩා කාරය ඔවුන්ගේ පලමු නිශ්පාදනය වුනා.

අවුරුදු 34කට පසු අදවන විට මරුති සුසුකි ඉන්දියාවේ වාහන වෙළඳපොලෙන් 37%කට හිමිකම් කියන, පසුගිය වසරේ ඩොලර් බිලියන 6.7ක ආදායමක් ලැබූ, සේවකයින් 7000ක් සේවය කරන, වාහන මාදිලි 18ක් නිශ්පාදනය කරන දැවන්ත ආයතනයක් වෙලා. අද මරුති-සුසුකි වාහන දකුණු ආසියාවේ, නැගෙනහිර ආසියාවේ, අප්‍රිකාවේ විතරක් නෙමෙයි සමහර මාදිලි යුරෝපයේ පවා අලෙවි වෙනවා.

කොහොමද දශක තුනක් වගේ කෙටිකාලයකදි මරුති-සුසුකි වගේ ඉන්දියානු සමාගමක් මෙහෙම දියුණු වුනේ? 

සුසුකි සමාගමෙන් ජපන් තාක්ශණය වගේම ජපන් කළමණාකරණ හැකියාවත් ඔවුනට දායාදවුනා. ඒවගේම මරුති-සුසුකි සමාගමට ඉතා පුලුල් දැක්මක් ඇති ආර්. සී භාර්ගවා කියන දක්ශ ව්‍යාපාරික නායකයාගේ මගපෙන්වීම ලැබුණා.

එහෙත් ලංකාවේ අපේම මයික්‍රෝ කාර් සමාගමට නැති වාසියක් ඉන්දියාවේ මරුති-සුසුකි සමාගමට එදා ඉඳන් තියෙනවා. ඒ ලෝකයේ දෙවන විශාලම ජනගහනය නැතිනම් අතිවිශාල වගේම වේගයෙන් ධනවත්වන පාරිභෝගිකයින් සිටින දැවැන්ත වෙළඳපොලක්.

මෙන්න මේ නිසා තමයි ඉතා දක්ශ, වගේම පුලුල් දැක්මත් ඇති ව්‍යාපාරික නායකත්වයක් තිබෙන අපේ මයික්‍රෝ කාර් සමාගමට, ඉන්දියාවේ මරුති-සුසුකි සමාගම වගේ ලෝක වාහන වෙළඳපොලේ සැළකිය යුතු සමාගමක් වෙන්නට පුලුවන් කමක් නැත්තේ.

ෆෝඩ්, ටොයෝටා, හොන්ඩා, නිසාන්, හුන්ඩායි විතරක් නොවේ මර්සිඩීස් බෙන්ස් හා බී.ඇම් ඩබ්ලිව් කාර් පවා අද වෙනකොට ඉන්දියාවේ හැදුවත් අපේ රටේ කාර් හදන්නේ නැත්තෙත් ඔන්න ඔය හේතුව නිසා. වෙලඳපොල කුඩා හින්දා ලංකාවේ කාර් හදන්නට බිලියන ගණනක් ආයෝජනය කරනවාට වඩා ඉන්දියාව, මැලේසියාව තායිලන්තය, ඉන්දුනීසියාව වගේ විශාල වෙළඳපොලක් තියෙන රටවල් වල ආයෝජනය කරන එක බහුජාතික කාර් සමාගම් වලට වාසිසහගතයි.

ජපානයේ ටොයෝටා, නිසාන්, හොන්ඩා සමාගම් වගේම කොරියාවේ හුන්ඩායි හා කියා සමාගම්වලටත් ලෝකෙ ජයගන්නට පාර වැටී තිබුනේ තමුන්ගේ රටේ විශාල වාහන වෙළඳපොල තුලිනුයි. තමුන්ගේ රටේ විශාල වෙලඳපොලෙන් ලබන ලාභයේ ආර්ථික ශක්තිය තුලින් හා කළමණාකරණ ඥාණය තුලින් ලෝක වෙළඳපොල ජයගන්නට මේ සමාගම් පන්නරය ලැබුවා.

Ceylon Tea

තවත් උදාහරණයක් ගනිමු. සිලෝන් ටී, නැතිනම් ලංකාවේ තේ, ලෝකෙ හොඳම තේ කියල මුලු ලෝකෙම පිලිගන්නවා. අපේ තේවලට මේ විශිෂ්ඨ තැන හිමිවෙලා දැන් අවුරුදු 100කටත් වැඩියි. ඒත් මේ අවුරුදු 100ටම, ලෝකේ හොඳම තේ හදන අපේ රටේ තේ සමාගම් සතුව ලෝක ප්‍රකට තේ සන්නාම (tea brand names) කීයක් තියෙනවද?

කණගාටුදායක උත්තරය - යාන්තම් එකම එකයි - කියන එක.

ලෝක ජනප්‍රියම (ඒ කියන්නේ වැඩිම වෙළඳපොල ප්‍රතිශතයක්) හිමිකරගෙන තියෙන්නේ ලිප්ටන්, බෲක් බොන්ඩ් හා ටෙට්ලි ටී කියන සන්නාම තුන. මෙයින් ලිප්ටන් හා බෲක් බොන්ඩ් සන්නාම දෙකම අයිතිවෙන්නේ එන්ගලන්තේ යුනිලීවර් සමාගමට. ටෙට්ලි ටී ඉස්සර එන්ගලන්ත සමාගමක් වුනත් අද අයිති වෙන්නේ ඉන්දියාවේ ටාටා ව්‍යාපාර සමූහයට අනුබද්ධ ටාටා බෙවරේජස් සමාගමට.

ඒ විතරක් නොවෙයි, දැන් කෝපි වලට හා ශක්තිජනක පානවලට ප්‍රසිද්ධ නෙස්ලේ සමාගමත් ආසියාවේ තේ වෙළඳපොල ආක්‍රමණය කරන්නට පටන් අරගෙන. ඒ අය ඉන්ස්ටන්ට් ටී නැතිනම් ක්ශණික තේ කියන (ලංකාවේ මේ තේවලට කියන්නේ ස්වයංක්‍රීය තේ මැශිමෙන් හදලා දෙන නිසා මැශින් ටී කියලයි) , තේ වෙළඳපොලේ අලුත්ම නිශ්පාදිත විශේෂීකරණය (product differentiation) විධියට. නෙස්ටී (Nestea) කියන සන්නාමය යටතේ ස්විට්සර්ලන්තේ නෙස්ලේ සමාගම මැශින්වලින් හදල දෙන ඉන්ස්ටන්ට් ටී විතරක් නෙමෙයි, ක්ශණික තේ පැකට්ටුත් වෙළඳපොලට එවලා. දැන් පොඩි නෙස්ටී ඉන්ස්ටන්ට් තේ පැකට් ඕනෑම කඩයකින් ගන්න පුලුවන්.

නෙස්ලේ සමාගම තේ මාකට් එකට ඇතුලුවුන හැටිත් බොහොම අපූරුයි, ඒවගේම innovative කියලත් කියන්න පුලුවන්.

යුනිලීවර්ගේ ලිප්ටන් සන්නාමය වගේම සෙස්ටා, ඩිල්මා හා අඩුමිල ලාඕජී වගේ සන්නාම එක්ක කෙලින්ම ගැටෙන්න තේ කුඩු හරි තේ බෑග් (tea bags) හරි වෙළඳපොලට ඉදිරිපත් කරනවා වෙනුවට නෙස්ලේ සමාගම අලුත්ම මාර්ගයක් තෝරා ගත්තා. ඒ තමයි ක්ශණික තේ නැතිනම් ඉන්ස්ටන් ටී. නෙස්ලේ සමාගමට ක්ශණික පානයන් පිලිබඳව විශාල අත්දැකීම් තියෙනවා. නෙස්ලේ සමාගමේ නෙස්කැෆේ මැශින් කෝපි හා ක්ශණික කෝපි ලොව පුරාම ජනප්‍රිය කෝපි සන්නාමයක්. ලංකාවෙත් නෙස්කැෆේ ක්ශණික කෝපි මැශින් දැන් හැමතැනම. නෙස්ලේ සමාගම, මේ ක්ශණික කෝපි වෙළඳපොලේ අත්දැකීම් අරගෙන තමයි කශණික තේ වෙළඳ පොලට පිවිසුනේ.

ඒ වෙනකොට නෙස්ලේ සමාගමට ලංකාවේ ක්ශණික තේ වෙළඳපොලේ තරඟකාරයෙකුට හිටියේ ටිලක් ටී (TeLak Tea) කියන කුඩා දේශීය සමාගම විතරයි. ටිලක් සමාගම ඔවුන්ගේම නිර්මාණයක් වුනු ක්ශණික තේ මැශින් වෙළඳපොලට ඉදිරිපත් කරමින් හිටිකාලයේ තමයින් නෙස්ලේ සමාගම ක්ශණික තේ වෙළඳපොලට ආවේ.

නෙස්ලේ සමාගමේ ඉලක්ක වෙළඳපොල (target market) වුනේ සාම්ප්‍රදායක විධියට සීනි, තේ කොළ, කිරිපිටි දාලා තේ හදන්න කම්මැලි, නැතිනම්  ඒ විධියට හරියට (බොන්න පුලුවන්) තේ කෝප්පයක් හදාගන්න බැරි, බඩගින්නට නෙස්ලේ මැගී නූඩ්ල්ස් කන තරුණ පරම්පරාව. නාස්ති කරන්න වෙලාව තිබුණත් තේ එකක් හදාගන්න වෙලාව නැති නව තරුණ පරපුර නෙස්ටී වල ඉලක්කය වුනා. ඒ වගේම පේස්ට්‍රි කඩ, තේ කඩ ඔවුන්ගේ ඉල්ලක්ක වුනේ සාම්ප්‍රදායක ක්‍රමයට බොයිලර් වල වතුර උණුකරලා තේ හදාදීමේ පිරිවැයට වඩා අඩුවෙන්, අඩු ශ්‍රමයකින් නෙස්ටී එකක් පාරිභෝගිකයාට දෙන්න පුලුවන් කියලා තේ කඩ මුදලාලිලා දැනුවත් කරමින්.

ඔය විධියට තමයි, යුනිලීවර්ලාගේ ලිප්ටන් සන්නාමයටත් කොකා පෙන්නලා නෙස්ලේ එයාලගෙ නෙස්ටී ජනප්‍රිය කෙරෙව්වේ.

දැන් බලන්න, තේ කොළ හා තේ බෑග් වෙළඳපොල යුනිලීවර්ගේ ලිප්ටන් හා ලාඕජී අල්ල ගන්නකොට ක්ශණික තේ වෙළඳපොල නෙස්ලේ අල්ලගෙන. මේ දෙකම යුරෝපීය බහුජාතික සමාගම්. අවුරුදූ සීයක් ලෝක හොඳම තේ නිපදවපු අපේ රටට ලෝකෙට ඉදිරිපත් කරන්න පුලුවන් විදියේ ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක් හදාගන්න පුලුවන් වුනේ මේ මෑතකදී. ඒ තමයි ඩිල්මා.

Dilmah Tea

මෙරිල් ජේ ප්‍රනාන්දු කියන ලාංකේය තේ කර්මාණ්තයේ යුගපුරුෂයාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බිහිවුනු ඩිල්මා, විශාල අභියෝග ගණනාවක් ජයගනිමින් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වගේ බටහිර රටවල,  ඉහල විශේෂීකරණයකින් යුතු නැවුම් තේවර්ග සපයන සන්නාමයක් බවට අද පත්වෙලා. වසර ගණනාවක් තිස්සේ අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහයෙකු වූ ඩිල්මා, දැවැන්ත මුදලක් ආයෝජනය කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන අනුග්‍රහයකයෙකු වුනේ ඩිල්මා සන්නාමය මිලියන ගණනක් ලොව ක්‍රිකට් ලෝලීන්වෙත ගෙනයන්නට පුලුවන් නිසා.

ඇත්තෙන්ම ව්‍යාපාරික සූදුවක් වැනි විශාල අවදානමක් තිබෙන එවැනි වැඩක් කරපු එකම එක ලාංකේය සමාගම වුනු ඩිල්මා, ඔවුන්ගේ මේ ආයෝජන වලින් හොඳ ප්‍රථිපල නෙලාගෙන තියෙනවා. අද ලෝකයේ හොඳම තේ සන්නාම ගැන ගූගල් සෙවුමක් සිදුකලොත්, අනිවාර්යයෙන් ඩිල්මා තේ පමුඛ තේ සන්නාම 10 අතරට පැමිණිලා තියෙන බව පෙනේවි.

අවුරුදු 100ක විශිෂ්ඨ තේ ඉතිහාසයකින් පස්සේ, ලෝකෙට ගෙනයන්න පුලුවන් එකම එක තේ සන්නාමය නිර්මාණය කරපු මෙරිල් ප්‍රනාන්දු මහත්මයාගේ ඩිල්මා සමාගමට අපේ කෘතඥතාවය හිමිවෙන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා.

අවුරුදු 100ක තේ කර්මාන්තයෙන් ඩිල්මා තේ සන්නාමය විතරක් බිහිවුනේ ඇයි?

උත්තරය - කුඩා ජනගහනය නිසා බිහිවී ඇති කුඩා වෙළඳපොල කියලා කියන්න පුලුවන්. ලංකාවේ ලෝකේ හොඳම තේ තිබුණත්, ලංකාව, ලෝකයේ වැඩිම ඒක පුද්ගල තේ පාරිභෝජනයක් තියෙන රටක් වුනත්, මේ සාධක දෙක, දැවැන්ත තේ සන්නාම නිර්මාණය කරගන්නට පුලුවන් තරමට දේශීය සිල්ලර තේ වෙළඳාම් කර්මාන්තය (retail tea trade) වර්ධනය නොවන්නට වෙන කොතෙක් හේතු සාධක තිබුණත්, ප්‍රධානම සාධකයක් වන්නේ වෙළඳපොල කුඩාවීම.

වෙළඳපොල කුඩාවීම නිසා, තේ පැකට්, තේ බෑග් දේශීය වෙළඳපොලට එවලා ලබාගන්න ලාභයට වඩා විශාල ලාභයක් තොග වශයෙන් තේ පිටරට යවලා (bulk tea exports) ලබාගන්න පුලුවන් නිසා ලංකාවේ තේ නිශ්පාදකයන් 99%ක් ඒ ව්‍යාපාරික මොඩලය තෝරා ගත්තා. යුනිලීවර් වගේ බහුජාතික සමගම් ලෝකේ පුරාම තේ විකුණන නිසා ඔවුනට ලංකාවේ කුඩා තේ වෙළඳපොල බාධාවක් වුනේ නෑ.

කාර්මික අමුද්‍රව්‍ය සුළභ නොවන, විශාල අඩුමිල ශ්‍රම බළකායක් හෝ විශාල දේශීය වෙළඳපොලක් නැති ලංකාව පහ මැද ආදායම් උගුලෙන් මුදවා ගන්නේ කෙසේද?

ලංකාව පහල මැද ආදායම් උගුලෙන් (lower middle income trap) මුදවා ගන්නට නම්, අපේ ආර්ථික සැළසුම් කරුවන් ලංකාව සතු සාපේක්ෂ වාසි (comparative advantages) හොඳින් හඳුනාගෙන, ඒ සාපේක්ෂ වාසි තුලින් ආර්ථික වර්ධනය ඇති කරන සැළසුම හදන්න ඕනෑ.

මිඩ්ල් ඉන්කම් ට්‍රැප් නැතිනම් පහල අඩු ආදායම් උගුල ලෙස ආර්ථික විද්‍යාඥයින් විස්තර කරන්නේ රටක් දුප්පත් භාවයෙන් යම් තරමකට මිදී මැද ආදායම් උපදවන රටක් බවට පත්වීමෙන් පසු, එම තත්වයෙන් ඉහල ආදායම් රටක් බවට පත්වීමට ඇති අපහසු තාවයයි.

උදාහරණයක් ලෙස ලංකාව 1970 සිට 2000 පමණ දක්වා කාළ පරාසය තුල; ඇඟලුම් වැනි අඩු එකතුකල අගයකින් යුතු, ලාභ ශ්‍රමය මත යැපෙන අපනයන හා කෙලින්ම ලාභ ශ්‍රමය මැදපෙරදිගට, කොරියාවට, ඉතාලියට අපනයනය කොට ආර්ථිකය පහල මැද ආදායම් රටක් බවට පත්කර ගත්තා.

එහෙත් අදවන විට මේ ලාභ ශ්‍රම වාසිය අපෙන් ගිලිහී බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් වලට සංක්‍රමණය වෙලා. ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස බංග්ලාදේශය ලංකාව පරදවා ඉදිරියට එන්නේ මේ විධියට. මැදපෙරදිගට තවමත් අතිවිශාල ලෙස නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමය අපනයනය කලත්, වැඩිකලක් යන්නට පෙර මැද පෙරදිග රැකියාවකින් ලැබෙන ආදායම, එම කාන්තාවන් රටවලට යාමෙන් පවුල්වලට සිදුවන සමාජ පරිහානියත් එක්ක සසඳන විට ආකාර්ශණීය බවෙන් අඩු වන්නට පුලුවන්.

අද මැද පෙරදිග ගිහින් ලැබෙන ආදායම එදා වගේ සුපිරි ආදායමක් නොවන්නේ මැද පෙරදිග හාම්පුතුන් සිය වේතන ඉහල නොදැමීමත්, ලංකාවේ ජීවන වියදම, ඩුබායි රැකියා ජනප්‍රිය වුනු අසූව-අනූව දශකවලට වඩා බොහෝ සෙයින් ඉහල යාමත් නිසායි. ඒනිසා මැදපෙරදිග රැකියාවක් කොට පවුලකට සැළකිය යුතු ආර්ථික වර්ධනයක් ඇති කරගන්නට ලැබෙන්නේ නෑ. ටිකෙන් ටික මේ යථාර්ථය ගමට යාම නිසා තමයි අද කාන්තවන් මැදපෙරදිග යනවාට වඩා තරුණයින් ඉතාලියට, ජපානයට පනින්නට උත්ස කරන්නේ. ඒත් දැඩිවෙන සංක්‍රමණ නීති හා යුරෝපයේ ආර්ථික පසුබෑම හමුවේ මෙම දොරටුද වේගයෙන් වැසී යනවා.

ඒවගේම අපෙන් ගිලිහුණු ඇඟලුම් අපනයන කර්මාණ්තයට සමාන ඉහල රැකියා අවස්ථා බිහිකල හැකි ආදේශක අපනයන කර්මාන්තයක් බිහිවීද නෑ. පරිගණක මෘදුකාංග, ව්‍යාපාරික සේවා අපනයනය (business process outsourcing) වැනි කර්මාන්ත දියුණුවීගෙන ආවත්, අපේ රටේ අතිවිශාල නුපුහුණු හා අර්ධ නුපුහුණු ශ්‍රම බළකාය පලදායි නිශ්පාදනයක යෙදැවිය හැකි, ඇඟලුම් කර්මාන්තය වැනි කර්මාන්තයක් තවමත් බිහිවී නෑ.

ලංකාවට දැනට සිටින පහල මැද ආදායම් මට්ටමෙන් ඉහලට ගැනීමට විභවයක් ඇති කර්මාණ්ත මොනවාද?

1] Software - පරිගණක මෘදුකාංග නිර්මාණය හා අපනයනය. දැනටත් විශාල පුහුණු ශ්‍රමයක් බිහිවෙමින් පවතින, Virtusa, Millennium ITවැනි විශාල සමාගම් බිහිකොට තිබෙන මෙම කර්මාණ්තය අති විශාල එකතුකල අගයක් නිමැවෙන, අමුද්‍රව්‍ය ලෙස මිනිස් ශ්‍රමය පමණක් අවශ්‍යවන ශ්‍රී ලංකාව වැනි බුද්ධිමත්, ඉගෙනීමට දක්ශ තරුණ පරපුරක් සිටින රටකට විශාල ආදායමක් ගෙනදිය හැකි කර්මාණ්තයකි.

2] Business Process Outsourcing - බිස්නස් ප්‍රොසෙස් අවුට්සෝසින් යනු විදෙස් සමාගම්, සිය කාර්යාලීය හෝ වෙනත් ක්‍රියාදාමයක් අන්තර්ජාලය අධාරයෙන් වෙනත් රටක සිට ඉටු කර ගැනීමයි. මෙහි සරලම අවස්ථාව විදෙස් රටක සේවකයින්, යම් සමාගමක දුරකථන ඇමතුම් වලට පිලිතුරුදීම, පාරිභෝගික සේවා සැපයිම හා දුරකථන මගින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමයි.

BPO කර්මාණ්තයේ ඉතා ඉහල දියුණුවක් ලබා ඇති ඉන්දියාව වැනි රටවල්, විදෙස් රටවල රෝහල්වලට වෛද්‍යවාර්තා සැපයිම, ඒවා විශ්ලේෂණය, රෝග නිධාන අධ්‍යයනය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල දත්ත විශ්ලේෂණය කිරීම, රක්ශණ හිම්කම් අයදුම්පත්, ණය අයදුම්පත් වැනි අයදුම්පත් විශ්ලේෂණය කොට නිගමන ලබාදීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිරූපක (prototypes) නිර්මාණය කොට පර්යේෂණ දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය වැනි, විශාල තාක්ශණික ඥාණයක් අවශ්‍ය, එකතුකල අගය ඉතා ඉහල සේවා සපයනවා. ලංකාවේත් මෙවැනිම දක්ශ පුහුණු ශ්‍රමිකයින් සිටින බැවින් මෙම කර්මාණ්තයෙන් ඉක්මන් දියුණුවක් ලැබිය හැකියි.

3] Nano Technology Based Industries -  නැනෝ තාක්ශණය අධාරයෙන් අධිතාක්ශණික කර්මාණ්ත සඳහා  යෙදැවුම් (inputs) නිමැවීම ලංකාවට පහසුවෙන් සංවර්ධනය කරගත හැකි, ඉතා ඉහල ආදායම් ලැබිය හැකි කර්මාණ්තයක් ලෙස ශ්‍රී ලංකා නැනෝ තාක්ශණ ආයතනය (SLINTEC) හඳුනාගෙන තිබෙනවා.

දැනට ස්ලින්ටෙක් ආයතනය ලංකාවට පහසුවෙන් තරක් වාසියක් (competitive advantage) ලබාගත හැකි නැනෝ තාක්ශණික අංශ ලෙස කෘෂිකර්මාණ්තයට අවශ්‍ය නැනෝ ද්‍රව්‍ය (nano materials) නිමැවීම, ඇඟලුම් සඳහා අවශ්‍ය ඉහල තත්වයේ තන්තු (ෆයිබර්) නිපැදවීම, ජල පවිත්‍රකරණය සඳහා නැනෝ ද්‍රව්‍ය නිපදවීම හා සුවසේවා කර්මාණ්තය (healthcare industry) සඳහා නැනෝ ද්‍රව්‍ය නිපදවීම හඳුනාගෙන තිබෙනවා.

උදාහරණයක් ලෙස ස්ලින්ටෙක් ආයතනය සිය පර්යේෂණ මගින් නිර්මාණය කරන ලද රබර් හා මැටි නැනෝද්‍රව්‍ය ආධාරයෙන් රබර්වල ශක්තිය වැඩිකල හැකි නැනෝ සංයෝගයක් නිපදවා ඒ සඳහා අමෙරිකාවේ පේටන්ට් බළපත්‍රයක් අයදුම්කොට තිබෙනවා.

4] Biotechnology Based Industries - බයෝ ටෙක්නොලොජි කියන්නේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලි කාර්මික නිශ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා සංකීර්ණ සංයෝග නිපදවීම සඳහා යොදාගැනීමයි. විශේෂයෙන්ම බැක්ටීරියා හා පැලෑටි ජාන වෙනස් කිරීම මගින් අඩු පිරිවැයකින් සංකීර්ණ සංයෝග (ප්‍රථිජීවක ඖෂධ වැනි ) නිපැදවීම මෙයින් බලාපොරොත්තු වනවා. මෙවැනි කර්මාණ්ත සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමය ලංකාවේ විශ්වවිද්‍යාලවලින් මෙන්ම පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල පාඨමාලාවලිනුත් බිහිවෙනවා. අදවනවිට බයෝ ටෙක්නොලොජි තාක්ශණය හැදෑරීම සඳහා තරුණතරුණියන් අතර විශාල ඉල්ලුමක් ඇති අතර පෞද්ගලික් අංශයේ ආයතන කිහිපයක් විදෙස් විශ්වවිද්‍යාල හා ඒකාබදධව මෙම පාඨමාලා පවත්වනවා.

ලංකාව වැනි, උගත් තරුණ පිරිසක් සිටින, කාර්මික අමුද්‍රව්‍ය හීන රටකට බයෝතාක්ශණය මූලික අපනයන කර්මාන්ත ඉතා වැදගත් ආදායම් මාර්ගයක් වනු ඇති.

5] Tourism - ස්වභාව සෞන්දර් ‍යයෙන් අනූන ලංකාව සංචාරක් කර්මාන්තයෙන් ඉහල ප්‍රතිලාභ ලැබිය හැකියි. එහෙත් මේ සඳහා ඉන්දියාවෙන් හා චීනයෙන් එන, ලාබ පැකේජ සංචාරකයින්ට වඩා, වැඩි වියදම් ශක්තියක් ඇති, eco-tourists, cultural tourists වැනි  සංචාරකයන් ගෙන්වාගත යුතුයි. මෙමගින් විශේෂයෙන්ම පුහුණු හා අර්ධ පුහුණු තරුණ තරුණියන් හට  රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිකල හැකියි.

6] Education - විදෙස් සිසුන් සඳහා, විශේෂයෙන්ම දකුණු ආසියාතිකරයේ, නැගෙනහිර ආසියාවේ හා අග්නිදිග ආසියාවේ රටවල සිසු-සිසුවියන්ට, ගුණාත්මක බවින් ඉහල එහෙත් අඩු පිරිවැය විදෙස් අධ්‍යාපනයක් ලබාදිය හැකියි. දැනටමත් බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල පාඨමාලා දේශීයව පවත්වමින් ඒ පිලිබඳව අත්දැකීම් සම්භාරයක් ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ලංකාව තුල තිබෙනවා. ගුණාත්මක බවින් ඉහල උපාධි, පස්චාත් උපාධි හා ආචාර්ය උපාධි දිනාගත්, ඉගැන්වීමට දක්ශකම් ඇති අතිවිශාල පිරිසක් ලංකාව තුල සිටින බැවින් මෙම පාඨමාලා සඳහා ආචාර්ය මණ්ඩල සොයාගැනීමද එතරම් අපහසු නෑ.

කලයුත්තේ රජය විසින් නිවැරදි නියාමනයක් යටතේ ගුණාත්මක අධ්‍යාපන ආයතන වලට පමණක් මෙම කර්මාන්තය තුල ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමෙන් මෙම කර්මාණ්තය දියුණු කල හැකි අතර අතිවිශාල විදෙස් විණිමයක් ඒ හරහා උපයාගත හැකියි.

සාම්ප්‍රදායික නොවන කර්මාන්ත මගින් ඉදිරියට යෑම

ලංකාව වැනි කාර්මික අමුද්‍රව්‍ය හා විශාල වෙළඳපොලක් නොමැති, සාපේක්ශව නිශ්පාදන පිරිවැය ඉහල එහෙත් උගත්, දක්ශ ශ්‍රම බළකායක් සිටින රටකට පහල මැද ආදායම් උගුලෙන් මිදී, ඉහල ආදායම් රටක් බවට පත්විය හැක්කේ ඉහත පෙන්වාදුන් ආකාරයේ, සාම්ප්‍රදායික නොවන, ඉතා ඉහල එකතුකල අගයක් ඇති නිශ්පාදිත බිහිකල හැකි, අපනයනය කේන්ද්‍රකරගත් කර්මාණ්ත බිහිකිරීම සඳහා වැරවෑයම් කිරීමෙන්. මේ සඳහා රජයට කලහැකි කාර්යයන් බොහෝ වුවත් ඊට වඩා වැදගත් වන්නේ පෞද්ගලික ව්‍යවසායිකයින් අවදානමක් ගැනීමට ඉදිරිපත්වී මෙම කර්මාන්ත ආරම්භ කිරීමයි.


Related Posts Plugin for WordPress, Blogger...