Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස]

Friday 16, January
1.58AM - Coronary Care Unit, Institute of Cardiology

ලබ් දබ් ලබ් දබ් ලබ් දබ් ලබ් දබ් ......

රෝගියාගේ හදවත වේගයෙන් ගැසෙන ආකාරය ඉලෙක්ට්‍රෝ-කාඩියෝගෑම් යන්ත්‍රයේ උස් ඉරි වශයෙන් සටහන්වෙමින් ඇදී ගියේය... ඒවායේ ක්‍රමවත්බවක් තිබුනේම නැත....

"නර්ස් මොකද තත්වෙ?" දැඩි සත්කාර ඒකකයට ඇතුලුවුනු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සුදුමැලිවී සිටි තරුණ හෙදිය දෙස බලමින් ඇසුවේය... එහඬින් ගැස්සුන හෙදිය මුවින් නොබැන ECG තිරය දෙසට වෛද්‍යවරයාගේ දෑස යොමුකෙරෙව්වාය. තත්පර කිහියක් ඒ දෙස බලා සිටි වෛද්‍යවරයා....

"නර්ස් මේට්‍රන්ට එන්ඩ කියන්න...ලෙඩාගෙ ලඟම ඥාතීන් වහාම ගෙන්නගන්න ඕනා..."

හෙදිය වහා කාමරයේ වූ ඉන්ටර්කොම් දුරකථනය වෙත දිව ගියාය. මොහොතකින් ප්‍රධාන මේට්‍රන් හෙදිය තවත් හෙදියක හා වෛද්‍යවරුන් දෙදෙනෙකු සමග දැඩි සත්කාර ඒකකයේ දොරටුව කඩාගෙන මෙන් ඇතුලට වැදුනාහ. එකෙනෙහිම ඉලෙක්ට්‍රෝ-කාඩියෝග්‍රෑමයේ අණතුරු හැඟවීමේ බීප් බීප් නාදය විලාපයක් මෙන් ඇසෙන්නට විය.

"සර් පේෂන්ට් ෆ්ලැට් ලයිනිං!..." මේට්‍රන්වරිය කළබලයෙන් පැවසූ අතර. අනෙක් තරුණ හෙදියන් දෙදෙනා ගල්ගැසී මෙන් බලා සිටියා....

"යෙස් අයි කැන් සී දැට්!.." හදවත් විශේෂඥයා ගෙරෙව්වා...ලොකු ඩොක්ටර්ගේ ගෙරැවිල්ලෙන් තිගැස්සුනු එක් හෙදියකගේ අතවැදී ශළ්‍ය උපකරන බහා තිබූ බෙලෙක් බන්දේසියක් මහ හඬ නගමින් බිම පතිතවුනා.

"කුසල්! මෙයාට හාර්ට් කොම්ප්‍රෙශන් දෙන්න.... විපුල එපිනෙෆ්‍රීන් ඉන්ජෙක්ශන් එක ලෑස්තිකරන්න - 30ml දාන්න....ඉක්මන් කරනවලා... මේට්‍රන්! ඩිෆිබ්‍රිලේටර් මැශින් එක චාර්ජ් කරන්න!..නර්ස්! වෙන්ටිලේටර් මැශින් එක.......කට ඇතුලට ටියුබ් එකදාලා එයා පැසේජ් එක ක්ලියර් කරන්න....කියන්නත් ඕනෙද තව??.....මේට්‍රන් මේ නර්ස්ලා මුකුත් දන්නෙ නැති බබ්බුද බයවෙලා බලාගෙන ඉන්නේ?? ...... විපුල එපිනෙෆ්‍රීන් එක ගහන්න....කවුරුත් කළබල වෙන්නෙ එහෙම නෑ......කළබලවුනොත් මුකුත් කරගන්න වෙන්නේ නෑ.....we have done this before......"

විශේෂඥ වෙදැදුරු ඊ.සී.ජී තිරයෙන් දෑස් ඉවතට නොගෙන දැඩි එහෙත් සන්සුන් ස්වරයකින් විධානකොට සිටියා...

"චාර්ජ් එක හරි සර්..."

"කෝ එපිනෙෆ්‍රීන්??"

දිගු ඉන්ජෙක්ශන් කටුවක් සහිත සිරින්ජය ගෙන ආ වෛද්‍ය විපුල සිරිවර්ධන සිරින්ජය දෑතින් ගෙන ඇඳමත පණ අදිමින් සිටි රෝගියාගේ හදවතම ඉලක්කකොට, ඉන්ජෙක්ශන් කටුව ඉල ඇට දෙකක් අතරින් ඇතුලට යැවුවා. හදවත් මාංශපේශියට එපිනෙෆ්‍රීන් (ඇඩ්‍රිනලින්) ඇතුලුවත්දී ඊ.සී.ජී තිරයේ ඇඳෙමින් තිබූ තනි ඉර උස් පහත් වන්නට තැතැනුවත් තත්පර කිහිපයකින් වෑයම අත්හැරියා සේ නැවතත් තනි ඉරක් ලෙස ඇදී ගියා..සිරින්ජර් කටුව ඉවත්කල විගස වෛද්‍ය කුසල් විතාරන රෝගියාගේ පපුව සම්බාහනය කරමින් හදවත පනගන්වන්නට කරන උත්සහය යලිත් ඇරඹූ අතර එක් හෙදියක් රෝගියාගේ මුඛයට ඇතුලු කරන ලද බටයකට සවිකරන ලද කෘතිම ස්වසන උපකරණයකින් ඔහුගේ පෙනහලු ඔක්සිජන් පීරි වාතයෙන් පුවරමින් සිටියා.

Clear? හදවත පණගන්වන්නට විදුලි සැරවද්දන උපකරණයේ ඉලෙක්ට්‍රෝඩ දෙක දෑතින් ගත් හදවත් රෝග විශේෂඥ ලලිත් කළුපහණ සූදානමින් ඇසුවා.

Clear!! රෝගියාගේ සිරුර මත දෑත් තබාගෙන සිටි සියලුදෙන දෑත් ඉවතට ගනිද්දී හදවත සම්බාහනය කරමින් සිටි වෛද්‍ය කුසල් සියලු දෑත් රෝගියා මතින් ඉවත්වූ බව තහවුරුකලා.

ඉලෙක්ට්‍රෝඩ දෙක රෝගියාගේ නිරාවරණය වූ ලයමත ස්පර්ශවෙත්දී "ජග්!" යන ශබ්දය ඇසුනු අතර රෝගියාගේ ලය වක්වී ඉදිරියට එසවී නැවත ඇඳමතට පතිතවුනා. දෙතුන්වතාවක් ගැහුණු හදවත යලික් අක්‍රියවූ අතර ඊ.සී.ජී මැශිමේ බීප් බීප් විලාපය නැවතත් ඇසෙන්නට වුනා.

"Double the charge!! ..... " රෝගියාගේ හදවත පණගන්වන්නට යොදන වෝල්ටීයතාවය දෙගුණ කොට සකසන ලෙස විශේෂඥ කළුපහණ අණකලා.

"Clear?"

"Clear!!"

ජග්!! ප්‍රභල විදුලිසැරය පපුවෙන් ඇතුලුවත්ම රෝගියාගේ සිරුර තුනටියෙන් ඉහලට එසවුනු අතර නැවතත් ඇඳට වැටුනා. ඊ.සී.ජී මැශිමේ බීප් බීප් විලාපය නොකඩවා ඇසුනා.

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"හම්...." සුසුමක් හෙලු විශේෂඥ වෛද්‍ය ලලිත් කළුපහණගේ මුහුණේ දිස්වුනේ පරාජිත ස්වභාවයක්. විදුලි-සැර අල්ලන මැශිමේ ඉලෙක්ට්‍රෝඩ දෙක නැවතත් ඒවායේ රඳවන මත තැබූ ඔහු නළලේ දහදිය පිටිඅල්ලෙන් පිස දමා දැඩි සත්කාර ඒකකයේ බිත්තියක රඳවා තිබූ විශාල ඔරලෝසුව දෙස බැලුවා.

"මේට්‍රන්...ටයිම් ඔෆ් ඩෙත්... 2.29 AM....සයින් කරන්න ඕනෑ ඒවා ලෑස්ති කරලා මගෙ ඔෆිස් එකට එවන්න...මම ඒවා ඉවරවෙනකම් යන්නේ නෑ..."

"මේ කොල්ලගෙ ඥාති කාගෙහරි කන්ටැක්ට් එකක් හොයා ගත්තද?

"නෑ සර් සාක්කුවල මුකුත් තිබුනේ නෑ..." මේට්‍රන් වරිය පවසත්දී ට්‍රැෆික් පොලිස් ඕ.අයි.සී යුනිෆෝම් එකක් ඇඳගත් නිළධාරියෙක් දොර විවරකොට ඇතුල බැලුවා. ඒ බව දුටු මේට්‍රන් වරිය..

"ඇතුලට එන්න එපා රාළහාමි....පොඩ්ඩක් එලියෙන් ඉන්න...දැන් සර් එලියට එයි..."

"Kusal! Vipula! are you lads ok? This is not the first time we lost a patient is it?" [කුසල්! විපුල! උඹලා දෙන්නා හොඳින්ද? ලෙඩෙක් බේරගන්න අපිට බැරිවුනු පලමුවෙනි වතාව මේක නෙමෙයි නේද?]

"We are OK sir!..." [ප්‍රශ්ණයක් නෑ සර්]

"හම්!!! රිපෝර්ට් එක ඉක්මණට කරලා මට එවන්න... මම අර පොලිස් රාළහාමිට කතා කරලා මගෙ ඔෆිස් එකට යනවා.. ප්‍රශ්ණයක් නම් කෝල් කරන්න...මම තව පැයක් විතර ඉන්නවා...පොලිසියට ඕනෑ තොරතුරුත් දෙන්න ඒ මිනිස්සුත් රිපෝට් ලියන්න , උසාවි යන්න එපැයි...."

හරි සර්!


Monday 19, January
6.38AM, Doctor's Car Park, Colombo National Hospital 

සෑම දිනකම රාජකාරිය සඳහා උදයෙන්ම පැමිණෙන විශේෂඥ වෛද්‍ය ලලිත් කළුපහණ සිය අලුත්ම Peugeot 301 රථයේ පිටුපස දොර විවරකොට පසුපස අසුනින් අත්බෑගයත්, බිරිඳ සකසාදුන් උදය ආහාරය සහිත කුඩා පාර්සලය සහිත පැසත් ඉවතට ගත්තා. රථයේ දොර වැසූ ඔහු යතුරේ තිබූ බොත්තමක් එබූ විට "කික් කික්" හඬින් දොරවල් අගුලු වැටුනා. බෑග් දෙකම සුරතට ගත් ඔහු වමත තිබූ යතුර සාක්කුවේ දමාගන්නට පෙර එහි බහාගෙන සිටි ලිත්මාන් ස්ටෙතස්කෝපය අතට ගත්තා. සැමදා පුරුද්දට  ස්ටෙතස්කෝපය වම් උරය මත තබාගත් ඔහු යතුර සාක්කුවේ දමාගෙන රාජකාරිකල හෘද ශළ්‍ය ඒකකය වෙත පිය මැන්නේ ඉතා සැහැල්ලුවෙන්.

ඈත ගමක ඉපිද පහේ ශිෂ්‍යත්වයේ පිහිටෙන් කොළඹ ආනන්දයට ඇතුලත්වූ ඔහු කුඩා කල සිටම දීප්තිමත් ශිෂ්‍යයෙකු වුනා. ඉගැනීමට මෙන්ම ක්‍රීඩාවටද දක්ශවූ ඔහු ආනන්දයේ මළල ක්‍රීඩා වර්ණ ලාභියෙකුද වුනා. උසස්පෙල සමත්ව පේරාදෙණිය වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවූ ඔහු වෛද්‍යවිද්‍යාලයෙන් පිටවගියේ එම වසරේ ශිෂ්‍ය කණ්ඩායමේ ඉහලම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වෙමින්.  ඔහුගේ දයාබර බිරිඳවූයේ පේරාදෙණියේදීම දැන හඳුනාගත් ඉංග්‍රීසි පීඨයේ ශිෂ්‍යාවක්. ඔහු වෛද්‍ය පීඨයේ පළමුවැනියා වනවිට ඇය ඉංග්‍රීසි පීඨයේ පළමුවැනියා වූවා. වෛද්‍ය වෘත්තියට එළඹ කෙටිකලකින්ම විශේෂඥ පුහුණුවට එන්ගලන්තයට යාමට වරම් ලැබූ වෛද්‍ය කළුපහණ වසර තුනක ඇවෑමෙන් ලංකාවට පැමිණියේ හදවත් ශළ්‍ය වෛද්‍යවරයෙකු ලෙසයි.  මුදල් පසුපස හඹා නොගිය ඔහු සිය කාළයෙන් වැඩි කොටසක් ගතකලේ තමන්ට උසස් අධ්‍යාපනය සඳහා සීනි පන්සීයෙන්, පාන් රාත්තලෙන්, පැට්‍රෝල් ලීටරයෙන් බදු ගෙවමින් වියදම් කල සාමාන්‍ය ජනයා වෙනුවෙනුයි.  බිරිඳ හා දරුවන් සමග සතුටින් ජීවත්වෙමින්, රෝගීන් සුවපත් කිරමින් ජීවිත දානය දීම මිනිසෙකුට ලැබිය හැකි පරම ධනය ලෙස ඔහු සැළකුවා.

"Excuse me sir.."

ඇසුනු නුහුරු කටහඬින් කල්පණා ලෝකයෙන් මිදුනු වෛද්‍ය ලලිත් ගමන මදක් බාල කොට යන්තමින් හැරී බැලුවා. තමන්වෙත එමින් සිටින සුදු පැහැති අත් දිග ශර්ට් එකක් හා ටයි පටියක් පැළඳසිටි වයස විසිඅටක පමණ තරුණයෙකු ඇස් කොණින් දුටුවහාම මදක් කේන්තිගිය වෛද්‍ය කළුපහණ ආපසු තම ගමන පිටත්වුනා. සාමාන්‍යයෙන් රෝහල්වල වෛද්‍ය රථගාල්වලදී වෛද්‍යවරුන් හමුවීම පුරුද්දක් ලෙස සිදුකරන්නේ ඖෂධ සමාගම්වල වෙළඳ නියෝජිතයින්. එහෙත් ඔවුන් කිසිවිටක උදය පාන්දර වෛද්‍යවරුන් රාජකාරියට යන අවස්ථාවලදී මෙවැනි බාධා කිරීමක් සිදුකලේ නෑ.

"වෙළාව අවේලාව නොදන්න අලුත් මෙඩිකල් රෙප් කෙනෙක්ද කොහෙද!"

"Excuse me sir...."

මේ වනවිට එම තරුණයා වෛද්‍ය කළුපහණගේ ගමන්මග අවුරන්නට මෙන් ඉදිරියටම පැමිණ සිටියා. කෝපවූ ඔහු "තමුන් කවුද? මේ වෙළාවට රෙප්ලා බලන්න බෑ...."

"සර් මම රෙප් කෙනෙක් නෙමෙයි!" ඒ පිලිතුරෙන් මදක් වික්ශිප්තවූ වෛද්‍ය ලලිත් නළල රැළිගන්වා ඔහු දෙස බලා සිටියා.

"සර් මම මේජර් කසුන් සිරිමාන්න - ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් සර්විස්"

"මොකක්? කොහෙන්ද කිව්වෙ"

"සර් මගේ අයි.ඩී එක..." තරුණයා ප්ලාස්ටික් හැඳුනුම් පතක් දිගුකලා.

"ආරක්ශක අමාත්‍යාංශය" යනුවෙන් භාශා තුනෙන්මද, ඊට යටින් "Defense Intelligence Service (D.I.S)" යනුවෙන් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කොට තිබූ එම හැඳුනුම් පතේ තරුණයාගේ නම සටහන් කොට තිබුනේද ඉංග්‍රීසියෙන්.

Name        Sirimanna, Kasun
Rank         Major
Status        Special Operations Officer (Active)
Clearance   Level 5

මේජර් කසුන් සිරිමාන්නගේ තනතුර වෙනුවට හැඳුනුම් පතේ යොදා තිබුනේ ස්ටේටස් හෙවත් තත්වය යන්නයි. එහි සටහන්කොට තිබුණේ "විශේෂ ක්‍රියාන්විත නිළධාරී (සක්‍රීය)" යනුවෙනුයි. "මේකෙ ක්ලියරන්ස් - ලෙවල් 5" කියලා තියෙන්නේ මොකක්ද?" වෛද්‍ය කළුපහණ ඇසුවේ ඇතිවුනු කුතුහලය නිසාමයි.

"සර් ඒ මට දීලා තියෙන සිකියුරිටි ක්ලියරන්ස් එක නැතිනම් රහස් දැනගැනීමේ අයිතිය. අඩුම එක ලෙවල් - 1, ඒක දීල තියෙන්නේ ඩ්‍රයිවර්ලට පියන්ලට ඔෆිස් එකට ඇතුල් වීමේ අවසරය විධියට. ඉහලම ක්ලියරන්ස් එක ලෙවල් - 8"

"හම් මොකක්ද කෙරෙන්න ඕනෑ?" හැඳුනුම්පත ආපසු දෙමින් ඇසූ වෛද්‍ය කළුපහණගේ යටි සිත .. " කවුරුහරි සීනියර් ඔෆිසර් කෙනෙක්ගේ යාළුවෙකුගේ නෑයෙක් වාට්ටුවේ ඉන්නවාද දන්නේ නෑ.." යයි අනුමාණ කලා.

"සර් ට්‍රීට් කරපු පේශන්ට් කෙනෙක් ගැන විස්තර දැනගන්න ඕනෑ..."

"පේෂන්ට්ගේ නම?" විමසුවේ තම අනුමානය නිවැරදි බව සිතමින්. තමාගේ වාට්ටුවේ සිටිනා සෑම රෝගියෙකුගේම නම වාසගම මෙන්ම රෝග තොරතුරු සියල්ලම හොඳින් මතක තිබූ විශේෂඥ වෛද්‍ය කළුපහණට අවශ්‍යවූයේ දන්නා ටික කියා මෙම කරදරකාරයාව ආ පාරේම පිටත්කොට හැරීමයි.

"නම දන්නේ නෑ සර්.... අවුරුදු 28ක විතර තළෙළු පිරිමියෙක්. අඩි 5යි අඟල් 11ක් විතර උසයි...."

"නම දන්නේ නැතුව කොහොමද පේෂන්ට් ගැන විස්තර කියන්නේ? තමුසෙලා පුදුම මිනිස්සුනේ අයිසේ?"

"සර් සිකුරාදා පාන්දර ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාපු ලෙඩා..... කාඩියැක් ඇරස්ට් එකක් වෙලා මළේ.... සර් නේද ට්‍රෝමා යුනිට් එකේ ඒවෙලාවේ හිටපු සර්ජන්..?"

"ඔව් ඉතින්?? ඒ ලෙඩා මළා.... අපි අපේ රිපෝට් එක යවන්න ඕනෑ තැන්වලට යැවුවා.... ඔයාලට ඕනෑම නම් පොලිසියෙන් කොපියක් ගතහැකි..." කියූ ඔහු ආපසු යන්නට හැරුනේ සැබැවින්ම වෙන ලබාදිය හැකි තොරතුරක් නොමැති නිසා. වෛද්‍ය වෘත්තියේ රෙකුලාසි අනුව රෝගියෙකුගේ වෛද්‍යවාර්තා වෛද්‍යවරයාත් රෝගියාත් අතර රහස්‍ය ලෙස සැළකෙන අතර එම තොරතුරු පිටට ලබාදීම තහනම් වූවා.

"I am sorry sir, but this is more serious than you can imagine....we need to go to your office! please sir!" [සමාවෙන්න සර්! මේක සර් හිතනවට වඩා බරපතලයි.... කරුණාකරලා අපි සර්ගේ කාර්යාලයට යමු..] මේජර් කසුන් සිරිමාන්න වටපිට බලමින් පැවසූවේ කවුරුන්හෝ ඔහු පිලිබඳව සෙවිල්ලෙන් සිටිනවාද යන්න පිරික්සන අයුරකින්.  තරුණ මේජර්වරයාගේ චතුර ඉංග්‍රිසී භාශා හැසිරවීම මෙන්ම ඔහු පෙන්වූ දැඩි ආචාරශීලිත්වයත් සාමාන්‍යයෙන් හමුදා නිළයන්ගෙන් දකින්නට ලැබෙන දෙයක් නොවෙයි. හමුදා නිළධාරීන් බොහෝවිට ආචාරශීලී වූවත් නිළ රාජකාරියක්දී මෙතරම් ආචාරශීලී ලෙස හැසිරෙනු ඔහු දැක නැහැ. එමෙන්ම මේජර්වරයායේ ඉංග්‍රීසි උච්චාරණයේද යම් අසාමාන්‍ය බවක් ඔහුට දැනුනා.

"That building, 6th floor" තම කාර්යාලය හා වාට්ටුව පිහිටි ගොඩනැගිල්ල දක්වා සිටි වෛද්‍ය කළුපහණ කඩිසර ගමනින් යන්නට වුනා. මේජර් කසුන් සිරිමාන්න වෛද්‍යවරයාට මදක් පසුපසින් ඔහු ගමන්කල වේගයට සමානව ගමන්කලා.

"Major Kasun Sirimanna is it?" විදුලි සෝපානයට ඇතුළුව 6වැනි තට්ටුවේ බොත්තම එබූ වෛද්‍ය ලලිත් දොර වැසෙන තුරු සිට කඩවසම් පෙනුමක් තිබූ තරුණයාගෙන් ඇසුවා. ඔහු දෙස බලනවිට වෛද්‍ය ලලිත්ට සිය පුත්‍රයා මතක් වූවා. දැන් ඇමරිකාවේ ඉගෙනගන්නා ඔහු දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.

"Yes sir..."

"Where did you study for your A Levels son?" [පුතා කොහෙදිද ඒ ලෙවල් විභාගෙ කලේ?] වෛද්‍ය කළුපහණ ඇසුවේ ඔහු ජාත්‍යන්තර පාසැළක ඉගෙනුම ලැබූවෙකුය යන අනුමානය තහවුරුකර ගැනීමටයි.

"New Zealand sir... my parents went there during the eelam war 4 .... my dad was an deep-cover intelligence officer for Army Intelligence. TOSSI discovered his identity... so the Defense Ministry sent us to New Zealand. I was 12 then. Came back after uni and joined D.I.S...that was 4 years ago"

සෝපානය 6වැනි තට්ටුවේ නවතිද්දී තරුණ මේජර්වරයා සිය ජීවිත කතාව කෙටියෙන් කියා අවසන් කලා. මේජර් කසුන් සිරිමාන්න වයස 12දී දෙමව්පියන් සමග නවසීලන්තයට යවන්නේ ආරක්ශක අමාත්‍යාංශය මගින්. ඒ හතරවැනි ඊලාම් යුධ සමයේදී අතිශය රහසිගත මෙහෙයුම්වල නිරතව සිටි, යුධ හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකුවූ ඔහුගේ පියාගේ තොරතුරු කොටි ත්‍රස්තයින්ගේ බුද්ධි බලකාය වූ ටොසී ඒකකය මගින් හෙලිදරව් කරගත් පසුවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්වන තෙක් නවසීලන්තයේ රැඳී සිටි කසුන් සිරිමාන්න මීට වසර 4කට පෙර ලංකාවට පැමිණ සිය පියාගේ අඩිපාරේ යමින් හමුදා බුද්ධි අංශයට එකතුවූවා.

"ම්ම්!!!" තරුණ නිළධාරියා දෙස මොහොතක් බලාසිටි වෛද්‍යවරයා සිය කාර්යාලයේ දොර විවරකොට සිය බෑගය හා කෑම පාර්සලයද, උරහිස මත තිබූ ස්ටෙතස්කෝපයද මේසය මත තැබූවා. වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කල ඔහු සිය අසුනේ වාඩි වෙමින් මේජර් කසුන්ටද අසුනක් දක්වා සිටියා.

"පුතා ඉන්ටෙලිජන්ස් සර්විස් එකක නිසා මම අනවශ්‍ය විස්තර අහන්නේ නෑ....පුතාට දැනගන්න ඕනෑ දේවල් අහන්න..."

"සර්ගේ රිපෝට් එකේ තියෙන්නේ මිනිහා හදිසි හෘදය අක්‍රියවීමකින් මැරුණා කියලා..." මේජර් කසුන් තම අතරැඳි ෆෝල්ඩරයෙන් මීට දින දෙකකට පෙර අත්සන්කල වාර්තාවේ ඡායා පිටපතක් එලියට ගත්තා."

"ඔව් ඒක මරණ පරීක්ශණ වාර්තාවෙනුත් තහවුරු කරලා තියෙනවා.."

"ඒ වගේ අඩු වයසක කෙනෙක් මේ විධියට කාඩියක් ඇරස්ට් එකකින් මැරෙන්න පුලුවන්ද?"

"පුලුවන්....හෘද රෝග, අධික රුධිර පීඩනය, හෘදයේ අක්‍රමවත් ස්පන්ධනය වගේ රෝග තියෙනෙ තරුණ කෙනෙක් නම්..."

"ඒත් මරණ පරීක්ශණයෙන් එවැනි රෝග ලක්ශණ කිසිවක් තිබුණු බව තහවුරු කරලා නෑ නේද?"

"ඔවු" හෘද රෝග විශේෂඥ ලලිත් කළුපහණ හිසවනා එය පිලිගත්තා.

"සර් ඕටොප්සි රිපෝට් එකේ තියෙන කාඩියැක් ඇරෙස්ට් එකට හේතුව පිලිගන්නවාද?"

"ඇයි එහෙම අහන්නේ?"

"සර්ගේ විශේෂඥ දැනුමට අනුව පොඩි ඇක්සිඩන්ට් එකකින් කකුල් ටිකක් තුවාල වුනු, හදවතට, මොළයට හෝ වෙනත් වැදගත් ඉන්ද්‍රියකට කිසිම හානියක් සිදු නොවූ විටක, පොඩි හදිසි අණතුරක කම්පණයකින් තරුණ මනුස්සයෙක් මැරෙන්න පුලුවන්ද?"

"ඔය හදන්නේ අපේ අතින් වැරැද්දක් වුනා කියලා කියන්නද?" නළල රැළිකරගත් වෛද්‍ය කළුපහණ සිය ජංගම දුරකථනය ගෙන අංකයක් සොයන්නට වුනා. වෛද්‍යවරයා අනවශ්‍ය පීඩනයකට  බඳුන්වූ බව තෙරුම්ගත් මේජර් සිරිමාන්න වහා සමාව අයැදියා.

"අනේ සමාවෙන්න සර්....එහෙම පැත්තකට මේ ඉන්වෙස්ටිගේෂන් එක යන්නේ නෑ..."

"එහෙනම් කොහෙටද මේ යන්නේ?" ඇසූ ඔහු කෝපයෙන් ජංගම දුරකථනය මේසය මතට විසිකලා.

"සර් මේ බලන්න..." එවර අයිපෑඩ් එකක් සිය ෆෝල්ඩරයෙන් එලියට ගත් මේජර් කසුන් එය වෛද්‍යවරයාට පෙන්වා සිටියා.

"මේක ඇක්සිඩන්ට් එක වුනු තැනට ටිකක් ඈතින් සුපර්මාකට් එකක CCTV කැමරාවකින් ගත්ත එකක්. වැඩිය පැහැදිලි නැතත් මිනිහා හැප්පුනු වෑන් එක යන්නේ හෙමින් බව පැහැදිලියි. බලන්න ඒක පහුකරගෙන වෙන වාහන වේගයෙන් යන හැටි. මෙන්න බලන්න...මිනිහා එකපාරටම වෑන් එක ඉස්සරහ හැප්පිලා වැටිලා..." එම දසුන දුටු වෛද්‍ය කළුපහණ වික්ශිප්තවුනා.

"පුදුමයි! කොහෙන්ද මේ මිනිහා වාහනේ ඉස්සරහට ආවේ?" මේජර්වරයාගෙන් අයිපෑඩය ගෙන කිහිපවතාවක් CCTV වීඩියෝව නැරඹූ ඔහු විමසා සිටියා.

"සර් මීටත් වඩා මේක අමුතු සිද්දියක්....මේ වීඩියෝ එක බලන්න. මේක ඊයේ පාන්දර 2.34ට මෝචරියේ CCTV එකේ සටහන් වුනු එකක්. ඔය මිනී වෑන් එකට පටවන්නේ අර මැරුණු මිනිහාගේ බොඩි එක.... පරීක්ශණ අවසන්වෙලා මිනිහගෙ අනන්‍යතාවය තහවුරු කරගන්නකන් මිනිය කාටවත් නිදහස් කරන්න එපා කියලා පොලිසිය මහේස්ත්‍රාත් නියෝගයක් අරගෙන තියෙනවා... ඒත් ඔය වෑන් එකේ ආපු තුන්දෙනා මෝචරියට මහේස්ත්‍රාත් නියෝගය අවලංගුකලා කියලා තවත් නියෝගයකුයි, මිනිය බොඩිය නිදහස් කරන්න කියලා පොලිසියෙන් සටහනකුයි අරගෙන ඇවිල්ලා බොඩිය ගෙනිච්චා. ඒත් ඒ දෙකම හොරට හදපු ලියකියවිලි බව දැන් ඔප්පුවෙලා තියෙනවා. කොළඹ කිසිම මල්ශාලාවකට ඔය බොඩිය ගෙනිහින් නෑ..."

"මාර සෙල්ලමක්නේ මේක!" වෛද්‍යවරයා පුදුමවුනා.

"මේ තියෙන්නේ එදාම පාන්දර 3.11ට කොල්ලුපිටියේ ස්කෝෆීල්ඩ් ප්ලේස් එකේ ගෙයක CCTV සටහන. වෑන් එක ඒගෙදර ඉස්සරහ ගෙදර ගරාජ් එකට රිවර්ස් කරනවා. 3.32ට ඒ ගරාජ් එකේ නවත්තලා තිබුණ සුදුපාට් ජීප් එකක් පිටත්වෙලා යනවා. අපට විශ්වාසයි ඒ බොඩිය ජීප් එකට මාරුකලා කියලා."

"ඉතින් ඒ ගෙදර රේඩ් කරලා බැලුවේ නැද්ද?"

"තවම බැරිවුනා..වැඩි විස්තර කියන්න බෑ සර්, මේ ටික විතරක් කියන්නම්..ඔය ගෙදර අයිති කලක් බටහිර තානාපති කාර්යාලයක වැඩකරපු ලංකාවෙ මනුස්සයෙකුට. මිනිහා ඒක අවුරුදු ගානකට තානාපති කාර්යාලෙට කුලියට දීලා....මිනිහත් දැන් ඒ රටට ගිහිල්ල කියලයි ආරංචි. දැන් ඔය ගෙදර තියෙන්නේ ඇම්බසියේ නමට...ඕක රේඩ් කරන්න ගියොත් ඩිප්ලොමැටික් ප්‍රශ්ණයක් ඇතිවෙනවා...."

"පුදුම වැඩක්නෙ මේක...!"

"සර් මේ ගැන කා එක්කවත් කියන්න එපා....දැනටමත් සර්ට පෙන්නපුවා ගැන මට බයයි...."

"බයවෙන්න එපා පුතා....මටත් ඔයා වගේ පුතෙක් ඉන්නවා, එයා පිටරට ඉගෙන ගන්නවා, මම කටවරද්දගෙන පුතාව අමාරුවේ දාන්නේ නෑ...."

"ස්තූතියි සර්.....තව එක ප්‍රශ්ණයක් අහන්නද? ....ඔය මනුස්සයා ලංකාවේ මිනිහෙක් වගේද? ෆොරිනර් කෙනෙක් වගේද?

"හම්...මතක විදියට සාමාන්‍යෙන් අපේ මිනිහෙකුට වඩා හම පැහැපත් වගේ , කොණ්ඩේ කළුයි...ඇස් දුඹුරුපාටයි...හමේ සුද ඇරෙන්නට වෙනසක් පෙනුනේ නෑ.."

"බොහොම ස්තූතියි සර්...සමාවෙන්න සර්ගේ කාලෙ ගොඩක් ගත්තට..."

Monday 19, January
7.33AM

මේජර් කසුන් සිරිමාන්න පවසා සිටි අත්භූත සිදුවීම් මාළාව පිලිබඳවත්, මිය ගිය තරුණයාගේ අවසන් විනාඩි කිහිපයේ සිදුවූ සිදුවීමුත් මෙනෙහි කරමින් සිටි වෛද්‍ය කළුපහණ පියවිලෝකයට යලි පැමිණියේ ඔහුගේ කාර්යාල කාමරයේ වීදුරු දොරටුවට තට්ටුකරණ හඬක් ඇසීමෙන්.

"එන්න..." සෑම උදෑසනකම සිරිත් පරිදි උණු කොළ කැඳ වීදුරුව ගෙන එන කාර්යාල සහයක විමලා දොර විවර කරගෙන ඇතුලට ආවා.

"අද පෙනෙල කැඳ...." කියමින් සිනහමුසු මුහුණින් වීදුරුව මේසය මත තැබූ ඇය, කිහිල්ලේ ගන්නාගෙන සිටි වෛද්‍ය වාර්තාවක්ද මේසය මත තැබුවා.

"සර් මේක ලැබ් එකෙන් එව්වේ......සිකුරාදා පාන්දර එවපු ලේ සාම්පල් එකක රිපෝට් එකක්....ඇක්සිඩන්ට් වෝඩ් එකෙන් සාම්පල් එක යවලා තියෙන්නේ, එහෙන් සර්ට දෙන්න කියලා රිපෝට් එක මෙහෙට එවලා තිබුණා"

සහයිකාව යන්නට හැරුණු අතර සිකුරාදා පාන්දර ලැබුණු සාම්පල් එකක රිපෝට් එකක් යයි කිවූ බැවින් වෛද්‍ය කළුපහණ වාර්තාව අතට ගත්තේ කුතුහලයෙන්. වාර්තාවේ ලෙඩාගෙ නම වෙනුව අංකයක් තිබූ අතර වාර්තාව ඉල්ලා තිබුණේ හදිසි අණතුරු ඒකකයේ සිකුරාදා රත්‍රී සේවා මුරයේ යෙදී සිටි ශල්‍ය වෛද්‍ය සුගත් පෙරේරා විසින්. හදිසියේම හෘද රෝගී තත්වයක් පෙන්වන්නට වූ නිසා රෝගියාව වෛද්‍ය කළුපහණගේ කම්පණ හා හෘද  සත්කාර ඒකකය වෙත  සිකුරාදා පාන්දර 1.30ට මාරුකර එවු බවට සටහනක් කාර්යභාර වෛද්‍යවරයා විසින් තබා තිබුණා. ඒ අනුව එය සිකුරාදා පාන්දර මියගොස් දැන් මිනිය අතුරුදහන්වී ඇති තරුණයාගේ බව වෛද්‍ය කළුපහණට තහවුරුවුනා.

වෛද්‍ය වාර්තා ෆෝල්ඩරයේ රෝගියාගේ ගාත්‍රා කොටසේ එක්ස්-රේ ඡායාරූපයක්ද ඉනෙන් ඉහල කොටසේ එක්ස්-රේ ඡායාරූපයක්ද රෝගියාගේ ලේ සාම්පල් දෙකකින් සකස්වුනු විවිධ ලේ පරීක්ශණ දොලහක ප්‍රථිපලද අඩංගුවුනා.

එක්ස්-රේ ඡායාරූපවලට අනුව එක් පාදයක වළලුකර ප්‍රදේශයේ සිහින් බිඳීමක් දක්නට තිබුණු අතර පාදවලින් ඉහල කොටසේ එක්ස්-රේ ඡායාරූපයේ අස්ථි බිඳිම් හෝ වෙනත් බරපතල තුවාල සටහන් දකින්නට තිබුණේ නෑ. ඒ අනුව මෙම පුද්ගලයා වෑන් රියේ ගැටී ඇත්තේ යාන්තමට බව තහවුරු වුනා. ඒ බව මරණ පරීක්ශකවරයාද සිය වාර්තාවේ සටහන් කොට තිබුණා. මරණයට හේතුව වාහනයේ ගැටීම නොවන බවට පැහැදිලි සාක්ශි ඇතිබව ඔහු වාර්තාකොට තිබුණා.

ඉන්පසු රුධිර පරීක්ශණ වාර්තා එකිනෙක කියවාගෙන ගිය වෛද්‍ය කළුපහණගේ නළල රැළිවැටුනා. දෙතුන්වරක් වාර්තා එකින් එක කියවමින් ගිය ඔහු ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව මුහුණේ සටහන් වුනා. ජංගම දුරකථනය අතට ගෙන යම් අංකයක් සොයද්දී මේසය මත තිබූ කාර්යාල දුරකථනය නාදවුනා.

"හලෝ?"

"සර් මේ වෝඩ් එකෙන් කතා කරන්නේ.......වෝඩ් රවුන්ඩ්ස් යන්න හවුස් ඔෆිසර්ලයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කට්ටියකුයි සර් එනකන් බලාගෙන ඉන්නවා. ළමයි කියන්වා අද සර් එක්ක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා කියලා..."

"ආහ්හ් හරි හරි.....මම පොඩි වැඩක හිටියෙ, දැන් එනවා!!" අත් ඔරලෝසුව බැලූ ඔහුට වෙළාව අටත් පසුවී ඇති බව පෙනුනා.  වෙනදාට හරියටම 7.45ට වාට්ටු පරීක්ශණයට යන විශේෂඥ වෛද්‍ය කළුපහණ අද කවදාක්වත් නැතිව ප්‍රමාදවීම වාට්ටුවේ හෙදියන්ට, වෛද්‍යවරුන්ට මෙන්ම ඔහුගෙන් ඉගෙන ගන්නා වෛද්‍ය සිසු-සිසුවියන්ටත් පුදුමයක් වුනා.

Monday 19, January
1.14PM

"හලෝ කුමාරි, මේ ඩොක්ට කළුපහණ ඔයා ඔෆිස් එකේද?"

"ඔව් සර් ඇයි හදිස්සියක්ද?"

"නෑ නෑ මට මේ දන්න කෙනෙක්ගේ රිපෝට් එකක ඔපීනියන් එකක් ගන්න ඕනෑ..."

"මට විනාඩි පහලොවක් දෙන්න මම සර්ගේ ඔෆිස් එකට එන්නම්" ජේශ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය කුමාරී වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාළයේ ඇයගේ ගුරුවයෙකුද වුනු වෛද්‍ය කළුපහණ වෙත ව්‍යාධි විද්‍යාඥයෙකු ලෙස පුහුණුවෙන් පසු මෑතකදී මෙරටට ආ කුමාරි වානගුරු තුල තිබුණේ විශාල ගෞරවයක්. ඒ නිසයි ඇය ඔහුගේ කාර්යාලයට එන්නට සූදානම් වුයේ.

"එපා එපා මම ඔයාගෙ ඔෆිස් එකට එන ගමන්..."

"හරි සර් එන්න..."

ඉක්මන් ගමණින් ඇවිදගෙන ආ වෛද්‍ය කළුපහණ ව්‍යාධි විද්‍යාඥ අංශයට ඇතුලුවුනා. කොරිඩෝවේ මදක් ඉදිරිය ගිය ඔහුට වෛද්‍ය කුමාරිගේ කාර්යාලය හමුවුනා.

Dr (Mrs) . Kumari Vanaguru: Consultant Pathologist යනුවෙන් සටහන් කොට තිබූ දොර විවරකරගෙන ඇතුලුවූ වෛද්‍ය කළුපහණ දුටු වෛද්‍ය කුමාරී වානගුරු හුනස්නෙන් නැගිට ඉදිරියට ආවා.

"එන්න සර්, ඉඳගන්න...."

"කුමාරි, මේ මම දන්න කෙනෙකුගෙ බ්ලඩ් රිපෝට් වගයක්, මට මේක ගැටළු සහගතයි. පොඩ්ඩක් බලලා ඔයාගෙ ඔපිනියන් එක කියන්න..."

වාර්තා දොළහම කියවූ කුමාරීගේ මුහුණ වෙනස්වන හැටි වෛද්‍ය කළුපහණ දුටුවා. එය ඔහු බලාපොරොත්තුවී සිටි දෙයක්.

"සර් මේක අපේ ලැබ් එකකින් කරපු ටෙස්ට් රිපෝට් එකක් නේද? පුදුමයි!! මේකෙ බල්ඩ් කවුන්ට්, බ්ල්ඩ් ගෑස් රිපෝට් හරිවගේ පේනවා ඒත් අනෙක් ඒවා හොඳටම වැරදියි වගේනෙ...ග්ලූටතියෝන් කියන කම්පවුන්ඩ් එක හරියට වැඩියි...සාමාන්‍යයෙන් ග්ලූටතියෝන් මිනිස්සුන්ගේ මෙච්චර තියෙන්නේ නෑ....ග්ලූටතියෝන් මෙච්චර ගොඩක් තියෙන්නේ ........."

"සීතකාලෙ මාස ගාණක් නිදාගන්න, උත්තර ධ්‍රැව ප්‍රදේශවල ඉන්න වළස්සු වගේ සත්තුන්ගේ....හරි නේද?" වෛද්‍ය කළුපහණ, වෛද්‍ය කුමාරි කියන්නට වෙහෙසුනු දෙය සම්පූර්ණකලා.

"ඔව්, සීතකාලෙට හයිබනේට් කරන සත්තුන්ගේ තමයි ග්ලූටතියෝන් මෙච්චර වැඩි...මේ සාම්පල් එක හොඳටම කන්ටැමිනේට් වෙලා......මේක කොහොමද වුනේ කියලා ඉන්ක්වයරි එකක් තියෙන්න ඕනෙ සර්.....මේක ලැබ් එකේදි අහුවුනේ නැත්තේ කොහොමද?.....මේව පත්තරේට එහෙම ලීක්වුනොත් අපිත් පාරෙ ගිහිල්ලා ඉවරයි!!!"

"කළබළ වෙන්න එපා කුමාරි......ඔයා ඉන්ක්වයරි එකක් ඉල්ලුවොත් කාගෙ හරි රස්සාව නැතිවෙයි.....ඔයා තාම අලුත්නෙ, හතුරො හදාගන්න එපා......මම හෙමිහිට හොයලා බලන්නම්.....මම කියනකම් කාටවත් මේ ගැන කියන්න එපා...."

"හ්ම්ම්ම්ම්.... හරි සර්....සර් කියන හින්දා මම සද්ද නැතුව ඉන්නම්....."

"Don't worry, I will get to the bottom of this...I have a surgery scheduled at 2.00...I will meet you later" [කරදර වෙන්න එපා, මේක වුනේ කොහොමද කියලා මම හොයාගන්නම්...මට දෙකට ශළ්‍යකර්මයක් කරන්න තියෙනවා....පස්සේ හමුවෙන්නම්] කියමින් වෛද්‍ය කළුපහණ අසුනින් නැගිටිද්දී කුමාරීත් අසුනින් නැගිට සිය ගුරුවයාට ගෞරව කලා.

Monday 19, January
6.45PM

කිරිසුදු පැහැති Peugeot 301 කොල්ලුපිටියේ ස්කෝෆීල්ඩ් පෙදෙසට හැරවූයේ බොහෝ හෙමින්. රථයෙ හෙමින් හෙමින් ඉදිරියට යද්දී රියදුරා වටපිට බලමින් යම් නිවසක් හොයන බව පෙණුනා. එම රථයට පිටුපසින් ආ තවත් කාර් රථයක් නොයිවසිලිවන්තව නලාව නාදකරමින් වේගයෙන් ඉදිරියට ගියා.පර්ජෝ කාරය මදක් ඉදිරියට ගොස් නැවතුනු අතර මද වේලාවකට පසු ඉන් ඉවතට බැස්සේ විශේෂඥ වෛද්‍ය කළුපහණයි. රථයේ දොරවසා මදක් වටපිට බැලූ ඔහු පාරේ අනෙක් පසට පැන, විශාල රෝලර්-ඩෝ ගේට්ටුවකින් වැසුනු ගරාජයක් ඇති නිවසක් ඉදිරි පිටට ගියා. නැවතත් වටපිට බැලූ ඔහු ගරාජයේ දොරටුව අසල තිබූ කුඩා ඇතුළුවීමේ දොරටුවට සවිකොට තිබූ සීනුව නාද කලා.

විනාඩි කිහිපයක් වටපිට බලමින් ගතකල ඔහු යලිත් සීනුව නාද කලා. තවත් දෙපාරක් සීනුව නාද කලත් ප්‍රතිචාරයක් නැති තැන ඔහු දොරෙහි අගුල් හැඬලය කරකැවුවා. අගුළුදමා ඇතැයි ඔහු බලාපොරොත්තුවුනු දොර, ඔහුව පුදුමයට පත්කරමින් විවර වුනා. මදවේලාවක් විවෘතවූ දොර දෙස බලා සිටි ඔහු වටපිට බලා කිසේවෙකුත් තමාදෙස බලාගෙන නැතැයි තහවුරු වූ විට ඇතුලට යන්නට සූදානම් වුනා. එකෙනෙහිම ජංගම දුරකථනයක් නාදවුනේ වෛද්‍ය කළුපහණගේ සියොළඟ සලිත කරමින්. හාත්පස බැලූ ඔහුට නාද වන්නේ ඔහුගේම දුරකථනය බව අවබෝධවුනා.

"හ..හලෝ?"

"සර් මේ මේජර් කසුන්! සර් මොකක්ද ඔය කරන්න හදන්නේ" මේජර් කසුන්ගේ ඇමතුමෙන් පුදුමයට පත්වූ වෛද්‍ය කළුපහණ බඹරයක්මෙන් වටේට කැරකුනේ ඔහු සිටින්නේ කොහේදැයි සොයන්නට. එහෙත් මොහොතකින් තමා මේ කතාකරමින් සිටින්නේ රහස් ඔත්තු සේවා නිළධාරියෙකුට බව මතක්වූ ඔහු;

"කොහෙ කැමරා එකකින්ද බලාගෙන ඉන්නේ?" යයි ඇසුවා.

"ඉස්සරහ ගෙදර CCTV සිස්ටම් එකෙන්...ඒක අපි සෙනසුරාදා රෑ හැක්-කලා, ඒකට අහුවෙන ඒවා අපිට ලයිව් පේනවා...."

"ඕගොල්ලෝ හරි දියුණුයිනෙ දැන්!" කියමින් ඉදිරිපස නිවස දෙස බලා මදහස පෑ වෛද්‍ය කළුපහණගේ සිතේ ශ්‍රී ලංකා බුද්ධි අංශ ලබාඇති තාක්ශණික දියුණුව ගැන ඇතිවුනේ සියුම් සතුටක්. මීට පෙර මෙවැනිදෑ ඔහු දැක තිබුනේ බටහිට චිත්‍රපටවල පමණයි. ත්‍රාසජනක චිත්‍රපට රසිකයෙකු වූ වෛද්‍ය කළුපහන තමන්ද බටහිර චිත්‍රපටයක රඟපානවා මෙන් දැනුනත් ඒ හැඟීම වහා පහව ගියේ තමන් කරන්නට ගියේ ජීවිතය පවා නැතිවිය හැකිව තිබූ පල් මෝඩ ක්‍රියාවක් බව වැටහීමෙන්. දොරට බෝම්බයක් හෝ වෙනත් උගුලක් අටවා තිබුණිනම් මේ වනවිටත් තමා මියගොස් හෝ බරපතල තුවාල ලබා ඇති බව මතක්වීමෙන් ඔහුගේ නළල දහදියෙන් තෙත්වුනා.

"සර් ඔය දොර අඩවල් කරලා කෙලින්ම කාරෙකට යන්න. මග කොහෙවත් නවත්තන්න එපා, කෙලින්ම ගෙදර යන්න. සර්ගේ පිටිපස්සෙන් නිල් පාට පික්-අප් එකක් ෆලෝ කරයි. කළබල වෙන්න එපා. ඒක අපේ එකක්, සර්ගේ ආරක්ශාවට. අද රෑට ගෙදරින් එලියට යන්න එපා....."

"මට කසුන්ව හම්බුවෙන්න ඕනෑ, වැදගත් තොරතුරක් දෙන්න තියෙනවා මැරිච්ච හාදයා ගැන...."

"ඇත්තද සර්....අද මට එන්න විධියක් නෑ, මෙහෙ පොඩි සිටුවේශන් එකක් ඩෙවෙලොප් වෙනවා....හෙට පාන්දර සර් වැඩට යන්න ඉස්සෙල්ලා එන්නද?"

"හරි එහෙනම් හෙට උදෙන්ම..." කියු ඔහු දුරකථනය විසන්ධිකොට සිය රථයට පිය මැන්නා. රථය පණගන්වන විට, නිල්පැහැති ටොයෝටා විගෝ වර්ගයේ පික්-අප් රථයක් ඔහුගේ කාරය ඉස්සර කරගෙන ගොස් මදක් ඈතින් නැවැත්තු බව පෙනුනා..

"කසුන්ගේ ගෝලයෝ වගේ..." වෛද්‍ය කළුපහණට කියවුනා


Monday 19, January
7.39PM - Operations Command Center, Defense Intelligence Service


ලබන සතියට..........

සැළකිය යුතුයි.

මෙම විද්‍යා ප්‍රබන්ධය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර කතෘත්වය සටහන් නොකොට උපුටා ගැනීම් සිදු නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි….


(c) ටෙරන්ස් කහපොල ආරච්චි

Comments

  1. මේ කතාවෙ ඉතුරු ටික ලියවෙන්නෙ කොයි කාලෙද?

    ReplyDelete
  2. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..
    ලස්සන කතාවක්

    ReplyDelete
  3. ටෙරන්ස් සර්... එතකොට විමුක්ති ? අකිල් ? ක්‍රිස්ටීනා ?

    ReplyDelete

Post a Comment