අපේ ජනජීවිතය පහසුකල නිහඬ විප්ලවය - සුපර්මාකට් එකෙන් ලයිට්බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල් ගෙවිමේ පහසුව.


මීට වසර 5කට පමණ පෙර, එනම් 2010 කාළයට පෙර, ලාංකේය නාගරික ජනයාට විඳින්නට තිබූ කරදර රාශිය අතරට, මාස් පතා ලයිට් බිල්, වතුර බිල්, ටැලිෆෝන් බිල් ගෙවන්නේ කෙලෙසදැයි යන ගැටලුව තිබුණි. බිල් පත්වල සඳහන්, ඇඟ හිරිවැටෙන තරමේ විශාල ඉලක්කම් වල හිලව්වට සල්ලි හොයාගන්නේ කොහොමද යන ගැටලුවට අමතරව, ගෙවාගන්නේ කොහොමද යන ගැටලුවද ඉහලින්ම තිබුණි.

එවක මා ජීවත්වූයේ වත්තල ප්‍රදේශයේය. වත්තල ලයිට්බිල එක්කෝ තුඩැල්ලේ (ජා ඇල ) ඉන්ජිනේරු කාර්යාලයට ගෙවිය යුතුය, නැතිනම් කොටුවේ රීගල් සිනමාඑක පැත්තේ, ඒයාෆෝස් HQ එකට ලඟපාත C.E.B ප්‍රධාන කාර්යාලයට ගෙවිය යුතුවිය. ඒ කියන්නේ වැඩකරන අප, ඔෆිසියෙන් කෙසේහෝ එලියට පැනගෙන කොටුවට ඇවිත් ලංවීම ප්‍රධාන කාර්යාලයේ දිගු පෝලිම්වල ලතවෙමින් කාළය කාදැමිය යුතුය. පෝලිමේ ගතකොට ගෙවන්නට අවසතාව පැමිණිවිට "මේ පෝලිම චෙක් පෝලිම, සල්ලි ගෙවනවා නම් අර පෝලිම් වලට යන්න..." ලංවීම කැසියර් නෝනලාගේ, මහත්තුරුන්ගේ කරුණාබර රැවුම් ගෙරවුම් අසන්නට සිදුවූ අවසතාවන්ද ලියුම්කරුට මතකය.

කොහොමහරි ලයිට් බිල ගෙවාගත්තාට පස්සේ, වතුර බිල ගෙවීම තවත් චැලෙන්ජ් එකකි. වත්තල ලයිට්බිල ගෙවන්නට නුවර පාරේ හතරේ කණුව පැත්තේ (කැළණි කැම්පස් එකට මෙහා) තැනක තිබූ ජල සම්පාදන ඔෆිසියට යා යුතුය. කොළඹ වැඩකරන මට, ඔෆිසියෙන් එලියට පැන මාසෙක සැරයක් බස් එකේ කැළණි ගිහින් එන්නටවූ කාළයකි එය. එහෙමත් නැතිනම් විශ්‍රාමික ගුරුවරියකවූ මාගේ වයස්ගත මව, දන්නා හඳුනන ත්‍රීවීලරයක් කතාකරගෙන බිල් ගෙවාදැමීමට යැවිය යුතුය. ඒකාලයේ රුපියල් 300ක විතර ත්‍රීවීල් ගාස්තුවකි එය.

මේ බිල් රජයේ බැංකුවලට ගෙවීමේ පහසුකම තිබුණද, බැංකුවලට ගෙවූවිට, ගිණුම යාවත්කාලීන වන්නේ සති දෙකතුනකට පසුවය. ඒ කියන්නේ රතු බිලක් (හැමදෑම ඉතින් රතුබිල්නෙ ) බැංකුවකට ගෙවූවත් මණ්ඩලෙන් ඇවිත් ලයිට් කපාදමා යෑම සිදුවිය.

"ඇයි ලයිට් කපන්නේ? බිල ගෙවලනෙ තියෙන්නේ....මේ..."

"ඒවා අපි දන්නේ නෑ....අපිට කියල තියෙන්නේ කපන්න කියලා..දැන්ම යන්න තුඩැල්ලෙ ඔෆිස් එකට, ගිහිල්ල බිල පෙන්නන....එතකොට හවස්වෙන්න ඉස්සෙල්ලා අපි ඇවිල්ලා ලයිට් දෙන්නම්.....පරක්කු වෙන්න එපා....පරක්කු වුනොත් හෙට තමයි...."

කපන මහත්තුරු ලයිට් කපා යයි. එකල (2001-2002) මාගේ වැඩිමහල් දියණිය කුඩා සිඟිත්තියකි. මාගේ මවගේ රැකවරණය යටතේ ඇය වැඩුණාය.

"පුතා ලයිට් කපලා ගියා...බිල් ගෙව්වේ නැද්ද?" අම්මා කළබලයෙන් දුරකතනයෙන් මා අමතයි.

"මොනවා ගෙව්වනෙ...පෙන්නුවෙ නැද්ද?"

"පෙන්නුවා...ඒත් කැපුවා....තුඩැල්ලට ගිහින් බිල පෙන්නන්නලු...මේ පොඩි එකා එක්ක මම කොහොමද යන්නේ?"

"පුදුම පවක්නෙ අම්මෙ මේක..... හරි අම්මෙ මම සුගත්ට (පවුලට ඉතා ලැදි ත්‍රීවීලර් රියැදුරා) එන්න කියන්නම්. බිල එයාට දෙන්න එයා තුඩැල්ලට ගිහින් බිල පෙන්නයි. හයර් එක හවසට දෙන්නම් කියන්න...." 

Supermarket Utility Bill Pay - The Quiet Revolution in Customer Service

2011 පමණවන විට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ලයිට්, වතුර, දුරකථන බිල් ගෙවාදැමීමේ පහසුකම් සිය පාරිභෝගිකයිට ලබාදුන්නේ පාරිභෝගිකයින් ඇද ගැනීමේ උපක්‍රමයක් ලෙසිනි. අදවන විට සියලුම සුපිරි වෙලඳසැල් පාහේ (මා දන්නා ආකාරයට ), ලයිට්, වතුර, සෑම ජාලයකම ටෙලිෆෝන් බිල් පමණක් නොව, රී ලෝඩ් මෙන්ම යම් බැංකුවල ක්‍රෙඩිට් කාඩ් බිල්පත් මෙන්ම රක්ශණ වාරිකද ලබාගැනීම දක්වා සිය සේවාවන් පුලුල්කොට ඇත.

බොහෝ දෙනාගේ අවදානයට යොමු නොවූවත්, වයස 18 පිරුණු පසු ගෙදර බිල් ගෙවීම් වගකීම පැවරී, බිල් ගෙවන කාර්යාල ගානේ රස්තියාදුවී ඇති මා වැන්නවුන්ට මේ බිල්පත් ගෙවීමේ පහසුකම සැබවින්ම නිහඬ විප්ලවයකි.

තොරතුරු තාක්ශණයේ හා සුපිරි වෙළඳසැල් ජාල අතර පවතින නිරන්තර තරඟය නිසා පාරිභෝගිකයින් ඇද ගැනීමට අමතර සේවාවන් සැපයිමේ ව්‍යාපාරික උපක්‍රමවල මුහුවක් ලෙස මේ බිල් ගෙවීමේ විප්ලවය විස්තර කල හැකිය. එකල පාරිභෝගිකයින් බිල් වලින් පමණක් නොව බිල් ගෙවීමේදීද නොමරා මැරූ ලං.වි.ම, ජල සම්පාදනය වැනි අකාර්යක්ශම රජයේ ආයතනවල සාපයෙන් යම් පමණකට හෝ ජනතාව මුදා ගැනීමට මෙම සේවාවන් ඉටුකොට ඇති මෙහෙය සැබැවිම අගයකල යුතුය.


Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments