Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 29 December 2016

ඕලන්ද කෞතුකාගාරය


ශ්‍රී ලංකාවේ ඕලන්ද යටත් විජිත අවදිය පිළිබඳව (1658 - 1796) ගවේෂණය කරන්නෙකුට කොළඹ පිටකොටුවේ, කුමාර වීදියේ පිහිටුවා ඇති ඕලන්ද කෞතුකාගාරය කදිම පර්යේෂණාගාරයකි.

17 වැනි සියවසේ අග භාගයේ (1692 - 1696) ඕලන්ද ආණ්‌ඩුකාර තෝමස්‌ වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (V.O.C සමාගම) වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක්‌ හා දෙව්සත්හලක්‌ ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්‌ම (1796 දක්‌වා) පවත්වා ගෙන ගොස්‌ ඇත. අනතුරුව බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙම ගොඩනැඟිල්ල හමුදා රෝහලක්‌, යුධායුධ ගබඩාවක්‌, පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුලි සන්දේශ මධ්‍යස්‌ථානයේ කොටසක්‌ ලෙස ද මෙම ගොඩනැඟිල්ල පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ "යුග කෞතුකාගාරයක්‌" වශයෙන් හා එළිමහන් කෞතුකාගාරයක්‌ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

ඕලන්ද ගෘහ නිර්මාණ ලක්‍ෂණ කදිමට පෙන්නුම් කෙරෙන කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරැණිතම දෙමහල් ගොඩනැඟිල්ල ලෙස සැලකෙන මෙම කෞතුකාගාර ගොඩනැඟිල්ල අගනා කෞතුක වස්‌තුවකි. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනිවාර්යය අංග ලක්‍ෂණ වන ළිඳ සහිත විශාල මැද මිදුල, දැව සොල්දරය, විශාල දොර උළුවහු, අඩි 3 1/2 පමණ පළල බිත්ති, විශාල ඉස්‌තෝප්පු සහ අඩ රවුම් උළු සෙවිළි කළ දැඩි හැඩ සහිත වහළය යන ලක්‍ෂණ වලින් මෙම ගොඩනැඟිල්ල සමන්විත වේ. පුළුල් බිත්ති සහ දොර ජනෙල් ස්‌ථානගත කර ඇති ආකාරය හේතුවෙන් පිටත අධික ශබ්දය ගොඩනැඟිල්ල තුළට නොදැනෙන අතර දැඩි නිහඬ බවක්‌ ඇතුළත ර¹ පවතී.

ඕලන්ද කෞතුකාගාරයේ මැද මිදුල හා ලිඳ එකල ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයේ අනන්‍ය ලක්ෂණයකි
ඕලන්ද කෞතුකාගාරයේ ඇතුළත සැකැස්‌ම පිළිබඳව සලකා බැලීමේදී මහල් දෙකකින් සමන්විත වේ. ඉහළ සහ පහළ මහලයේ, මැදිරි සංකීර්ණ ගණනාවක්‌ දැකිය හැකිය. පහළ මාලයේ ප්‍රවිෂ්ට ස්‌ථානයේ ඕලන්ද ජාතිකයන් ලංකාව සමඟ සබඳතා ගොඩනගා ගත් ආකාරය දැක්‌වෙන සිතුවම් රැසකින් සමන්විත වේ. ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඕලන්ද රාජ්‍ය නියෝජිතයා වූ අද්මිරාල් ජෝරිස්‌ වෑන් ස්‌පිල් බර්ජන් එවකට කන්ද උඩරට රජු වූ ෂ විමලධර්මසූරිය රජු මුණ ගැසීම, පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව මුදා ගැනීමට නායකත්වය සැපයූ ජෙරාඩ් හල්ෆ් කන්ද උඩරට රජු මුණගැසීම යනාදී සිතුවම් වැදගත් වේ.

ලන්දේසි හමුදාව (ලස්කිරිඤ්ඤ හමුදාව) භාවිත කළ අවි ආයුධ මැදිරිය පහළ මාලයේ වැදගත්ම මැදිරියක්‌ වේ. ලන්දේසි යුගයේ භාවිත කළ කාලතුවක්‌කු සහ කඩු කස්‌තාන සහ සෙසු අවි ආයුධ මෙම යුගයේ භාවිත කළ ආයුධ අතර ප්‍රධාන වේ. මෙම අවි ආයුධ මගින් ඔවුන් සතුව පැවැති යුද ශක්‌තිය සහ එහි තාක්‍ෂණය හඳුනාගත හැකිය.

ලන්දේසීන් පෙරදිග රටවල් යටත් කර ගැනීමේ ප්‍රධාන අභිලාශය වූයේ වෙළෙඳ ඒකාධිකාරය ඔවුන් සතු කර ගැනීමයි. එහිදී ඔවුන් සතුව පැවැති නාවුක ශක්‌තිය ප්‍රබල සාධකයක්‌ වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි යාන්ත්‍රික නැව් නොතිබුණු 17 - 18 වැනි සියවස්‌වල ඔවුහු දියුණු රුවල් නැව් උපයෝගී කර ගෙන සාමුද්‍රික කටයුතුවල යෙදුණාහ. ඕලන්ද කෞතුකාගාරයේ පහළ මහළයේ ප්‍රදර්ශනයට තබා ඇති ඕලන්ද රුවල් නැවක ආකෘතිය මගින් එකල ඔවුන් භාවිත කළ රුවල් නැව් පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත හැකි වේ. එපමණක්‌ නොව ඕලන්දක්‌කාරයන් එකල භාවිත කළ නාවුක ගමන් මාර්ග සහ ඒ ඔස්‌සේ යුරෝපයට රැගෙන ගිය වෙළෙඳ ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට හැකි වේ.

ඉතිහාස යුගයන් පිළිබඳව ගවේෂණයේදී වැදගත් අධ්‍යන විෂයකි ආර්ථික ක්‍රියාකාරීත්වය. ලන්දේසි යුගයේ ආර්ථික කටයුතු ගවේෂණය කරන්නෙකුට ඕලන්ද කෞතුකාගාරය විශ්වසනීය මූලාශ්‍රයකි. එහි කාසි සහ මුදල් මැදිරිය එකල අර්ථ ක්‍රමය පිළිබඳව මෙන්ම වර්තමාන ලාංකිකයන් වහරන වදන් රැසක නිශ්චිත අදහස්‌ ද නිරවුල් කරගත හැකිය. එනම් වර්තමානයේ පවා ලාංකිකයන් මුදල් නැති බව ඇඟවීම සඳහා භාවිත කරන වචන වන "තුට්‌ටුවක්‌වත් නෑ", "තඹ දොයිතුවක්‌වත් නෑ" වැනි වචන අපේ ජන වහරට පිවිසෙන්නට ඇත්තේ ලන්දේසි යුගයෙන් පසුව විය හැකිය. මන්දයත් ලන්දේසි යුගයේ භාවිත කළ කාසි අතර පණම්, තුට්‌ටු දෙක, ඕලන්ද තඹ දොයිතු කාසි, අගුටු මස්‌ස. නාගපට්‌ටම් වැනි කාසි ඇතුළත් වූ බැවිනි. ඕලන්ද කෞතුකාගාරයේ කාසි හා මුදල් මැදිරිය එම යුගය අධ්‍යනය කරන්නෙකුට මඟහැර යා නොහැකි අධ්‍යයන වැඩ බිමකි.

ශ්‍රී ලංකාවේ ඕලන්ද පාලන යුගයේ උඩරට රාජධානියේ පැවැති සංස්‌කෘතිය හා කලා ශිල්ප පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගත හැකි පරිදි රිදියෙන් හා පබළුවලින් නිර්මිත ආභරණ ආදී කලා භාණ්‌ඩ රැසක්‌ ද ජාතික ඇඳුමින් සැරසුනු ඕලන්ද ජාතිකයන් යුවළකගේ අනුරුවක්‌ මගින් ලන්දේසීන් එකල භාවිත කළ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ද මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. එසේම වර්තමාන ලාංකික ඇඳුම් විලාසිතා කෙරෙහි ඕලන්ද ඇඳුම් ආයිත්තම් කෙතරම් බලපා ඇද්දැයි ගවේෂණය කරන්නෙකුට යටත් විජිත ව්‍යාපෘතියේ ප්‍රබලත්වය හා එහි සංස්‌කෘතික ආධිපත්‍යය පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි වේ.

ලන්දේසි යුගයේ යුද කටයුතු සඳහා උපයෝගී කර ගත් තුවක්‌කු,කලාකිරිඤ්ඤා, කිරිච්චි ආදී උපකරණ, එකල පාරිහාරික භාණ්‌ඩ වන ගිරය, දුම් පයිප්පය, දුම්කුඩු කිල්ලෝට, අලංකාර මෝස්‌තරවලින් යුත් V.O.C පිඟන්, වයින් වීදුරු, මුළුතැන්ගෙයි උපකරණ වැනි එම යුගය නිරූපිත කෞතුක භාණ්‌ඩ රැසකින් සමන්විත වීම හේතුවෙන් ඕලන්ද කෞතුකාගාරයේ අධ්‍යාපනික වැදගත්කම වැඩි වේ.

මහල් දෙකකින් සමන්විත ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහළ ප්‍රදර්ශන මැදිරි කිහිපයකින් සමන්විත වේ. ඒ අතර විශාලම සහ වැදගත්ම මැදිරිය ලෙස ලන්දේසි යුගයේ ගෘහ භාණ්‌ඩ ඒකරාශී කර ඇති මැදිරි හැඳින්විය හැකිය. වර්තමාන ලාංකිකයන්ගේ නිවෙස්‌වල ආලින්ද සරසන "කවිච්චිය" ලන්දේසි යුගයෙන් අපට ලැබුණක්‌ බව බොහෝ විට ඔබ නොදන්නවා ඇති. විවිධ හැඩ රටාවන් අනුව, විවිධ කැටයම් අලංකාර සහිතව නිර්මාණය කර ඇති "කවිච්චි" කිහිපයක්‌ ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහලේ ප්‍රදර්ශනයට තබා තිබේ. මේ සෑම කවිච්චියකම ඇඳි පුටුවකම මැදට වන්නට හෝ ඇන්දට යටින් පිහිටි ප්‍රදේශයේ හෝ දැකිය හැකි පොදු සංකේතයක්‌ වේ. එනම් සිප්පිකටු කිහිපයක්‌ කවාකාරව තැබූ කල දැකිය හැකි ආකාරයේ සංකේතයකි. වර්තමාන අපේ ගෘහභාණ්‌ඩ සරසන නයිපෙන ලාංඡනය ආදේශ වන්නට ඇත්තේ ලන්දේසි ජාතිකයන් යෙදූ මෙම සිප්පිකටු ලාංඡනයට වියහැකි බව ඕලන්ද කෞතුකාගාරයේ අධිකාරිවරයාගේ අදහසයි.

ඒ සඳහා වඩා ව්ශ්වසනීය සාධකයක්‌ ලෙස ඔහු පෙන්වා දෙන්නේ සාමුද්‍රිත කටයුතු සඳහා දැඩි රුචියක්‌ සහ ශූරබවක්‌ පෑ ඕලන්දක්‌කාරයන්ට සිප්පිකටුව නිරන්තර මුන ගැසෙන භාණ්‌ඩයක්‌ වූ බැවින් එය අවිඥානගතව ඔවුන්ගේ පාරිභාරික භාණ්‌ඩ අලංකරණය සඳහා ද පිවිසෙන්නට ඇති බවය.

අප මෙම සටහන ආරම්භයේදී ඕලන්ද යුගය වර්තමාන ලාංකික ඉතිහාසයේ හැඩරුව කෙරෙහි බොහෝ සේ බලපා ඇති බව සඳහන් කළෙමු. මෙතෙක්‌ සඳහන් කළ ඕලන්ද පාලනය සමයෙන් අපට ලැබුණු දෑ අමතක කෙරුවද, ඔවුන්ගෙන් අපට ලැබුණු අමතක කළ නොහැකි දායාදයක්‌ පවතී. ඒ අන් කිසිවක්‌ නොව මුද්‍රණ තාක්‍ෂණයයි. ලන්දේසි බල ව්‍යාප්තිය සඳහා අවශ්‍ය මෙවලමක්‌ ලෙස මුද්‍රණ යන්ත්‍රය මෙරටට හඳුන්වා දුන්නද, පසුකාලීනව අවසාන යටත් විජිත පාලකයන් වූ බ්‍රිතාන්‍යයන් පලවාහැරීම සඳහා දියත් කෙරුණු නිදහස්‌ අරගලයේ ප්‍රමුඛ භූමිකාවක්‌ නිරූපණය කළ "සිංහල පුවත්පත්" බලවේගය ගොඩනැඟෙන්නේ ලන්දේසි ජාතිකයන් ලංකාවට හඳුන්වා දුන් මුද්‍රණ යන්ත්‍රයේ සහ මුද්‍රණ තාක්‍ෂණයේ දිගුවක්‌ ලෙසටය.

ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහලේ පිහිටි ප්‍රදර්ශන මැදිරි අතර ඕලන්ද යුගයේ මුද්‍රණ තාක්‍ෂණය සහ අංග ඇතුළත් මැදිරිය සුවිශේෂ වැදගත්කමක්‌ දරයි. මුද්‍රණද්වාරයෙන් පිට වූ මුල්ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්‌, (1737) ඕලන්ද තොම්බුවල පිටපත්, සිංහල රජවරුන් සහ ඕලන්ද ආණ්‌ඩුකාරවරු අතර හුවමාරු වූ ලිපි (උදා - D.V. ඩෙම්බර්ග් ආණ්‌ඩුකාරයා සහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු අතර 1736 දී හුවමාරු වූ ලිපිය) සහ ඕලන්දයින් ඉංග්‍රිසි ජාතිකයන්ට මුහුදුබඩ ප්‍රදේශ පවරා දීමේ ගිවිසුමේ පිටපත් ආදී වූ ඓතිහාසික ලේඛන රැසක්‌ මෙම මැදිරිය තුළ දී දැක ගත හැකිය. ලංකාවේ රජු සහ ඕලන්ද පාලකයන් අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ අධිරාජ්‍යවාදීන්ගේ කූඨ උපාය උපක්‍රම හඳුනා ගැනීමේදී ඔවුන්ගේ ලේඛන බෙහෙවින් වැදගත් වේ. එපමණක්‌ නොව එම යුගේ උපයුක්‌ත භාෂාව සහ එහි ව්‍යාකරණය වාග් විද්‍යා දෘෂ්ඨ§කෝණයෙන් ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට මනා මූලාශ්‍ර වේ.

ඕලන්ද යුගයේ පරිපාලන කටයුතු සඳහා භාවිත කළ සිතියම් රැසක්‌ ද, මෙම මැදිරිය තුළ දී දැකිය හැක. ඒ අතර කොළඹ, ගාල්ල, යාපනය, කළුතර, මාතර වැනි ප්‍රදේශවල සිතියම් වැදගත් වේ.

ඕලන්ද කෞතුකාගාරයේ ප්‍රදර්ශිත භාණ්‌ඩ අතර වැදගත් තොරතුරු රැසක්‌ හෙළිදරව් කෙරෙන භාණ්‌ඩ මැදිරියකි සොහොන් ස්‌මාරක එකතුව. වර්තමාන කොළඹ කොටුව පොලිස්‌ ස්‌ථානය පිහිටි බිම ලන්දේසි යුගයේ ඔවුන්ගේ සොහොන් බිම ලෙස භාවිත කර තිබුණු අතර මෑත කාලීන ඉදිකිරීම් වලදී මෙම සොහොන් ස්‌මාරක හමු වී ඇත. එම යුගයට අයත් විවිධ හැඩයෙන් යුත් සොහොන් ස්‌මාරක 25 පමණ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එම සෑම සොහොන් ස්‌මාරකයකම ඉහළ මුදුනේ මිනී ඔළුව සහ ඇටකටු යුගල නෙළා ඇති ආකාරය පොදු ලක්‍ෂණයක්‌ සේ දැකිය හැකිය. මෙම සොහොන් ස්‌මාරක සියල්ලේම තැන්පත් කර ඇති පුද්ගලයාගේ නම සහ වයස සටහන් කර තිබෙන අතර එක්‌ සොහොන් ස්‌මාරකයක්‌ හැරෙන්නට සෙසු සියල්ල ඕලන්ද ජාතිකයන්ට අයත් බව හඳුනාගත හැකිය. අංක 25 සොහොන් ස්‌මාරකයේ සඳහන්ව ඇත්තේ අතපත්තු මුදළිඳු දොන් මිගෙල් සමරකෝන් (1724 නොවැම්බර් 20) ලෙස සිංහල ජාතිකයකුගේ නමකි. මෙය එකල පැවැති සමාජ ධූරාවලියේ බලරටාවන් හඳුනා ගැනීමට මනා සාධකයකි. මීට අමතරව ඕලන්ද කෞතුකාගාරයේ එක්‌ පරිශ්‍රයක්‌ තුළ නෙදර්ලන්ත ආදි ශිෂ්‍යයන්ගේ ලංකා සංගම් ශාඛාව ද ඔවුන්ගේ පුස්‌තකාලයක්‌ ද පිහිටුවා ඇත.

යටත් විජිත ජාතියකගේ නෂ්ඨාවශේෂ නැරඹීම යනු හුදු පරාධීන, නිවට නියාලු ක්‍රියාවකැයි අන්ධ, ජාති භක්‌තිකයකු කියනු නිසැකය. එහෙත් මඟ හැර යා නොහැකි සත්‍යයක්‌ තිබේ. එනම් වර්තමානය යනු අතීතයේ නිමැවුමක්‌ සහ දිගුවක්‌ වන බවයි. එසේ නම් අතීත යටත් විජිතකරණයේ දෘශ්‍යමාන නෂ්ඨාවශේෂයන් මනැසින් ගවේෂණය කළ යුත්තේ වර්තමාන අදෘශ්‍යමාන යටත්වජිතකරණය හඳුනාගැනීමේ යතුරක්‌ ලෙසිනි.

විශේෂ ස්‌තුතිය - ඕලන්ද කෞතුකාගාරයේ අධිකාරි R. V. A. සුනිල් අබේරත්න මහතා


විචිත්‍ර වනිගනෙත්ති


Source: http://www.divaina.com/2011/02/13/siya07.html


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...