Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 6 August 2016

ලංකාවේ කැස්බෑවුන් හඳුනාගන්න! | Sea Turtles of Sri Lanka

1972දී සංරක්ෂණ තත්වය ලැබුවත් තවමත් දඩයම්වන මුහුදු කැස්බෑවා




මෑතක සිට වඳවී යන සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින මුහුදු කැස්බෑවා සැලකෙන්නේ මිලියන 100කටත් එපිට අතීතයක සිටම සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් ලෙසින්ය. ඩයිනෝසරයන්ගේ ඇතිවීමත්, නැතිවීමත් කෙසේ සිදුවූවාද යන්න පිළිබඳව නිශ්චිත හඳුනා ගැනීමක් නොමැති වුවද ඊට සමාන කාලයක සිටම සාගර ආශ්‍රිතව ජීවත් වන මුහුදු කැස්බෑවා මෑතක් වනතුරුම බහුල වශයෙන් ජීවත් වීමත්, ඉන් පසු ටිකෙන් ටික වඳවී යෑමට පටන් ගැනීමත් ලෝකයේ දැනට ඉතිරිවී ඇති කැස්බෑ වර්ග 7න් 5ක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීමත් නිසා ලාංකික අපට කැස්බෑවා ඉතා විශේෂ සත්ත්වයකු බවට පත්වනවා ඇත.

දැනට වඳවී යෑමේ තර්ජනයට ගොදුරු වී සිටීම නිසා 1972 වසරේදී වන සත්ත්ව සහ තුරුලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිගත කළ පරිදි කැස්බෑවුන් නීතියෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇතත් දිගින් දිගටම කැස්බෑ දඩයම සිදුවීම මහත් කනගාටුදායක තත්ත්වයක් බවට පත්වී හමාරය.

සාමාන්‍යයෙන් කැස්බෑවා සැලකෙන්නේ දීර්ඝායුෂ ඇති සත්ත්ව විශේෂයක් ලෙසය. අවුරුදු 80 සිට 120ක් තරම් කාලයක් කැස්බෑවා එක් ජීවිත කාලයක් ගත කරන බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. අතීතයේදී විශාල වශයෙන් වාසය කළා යැයි පැවැසෙන සාගර කැස්බෑවුන් විශේෂ සියල්ලක්ම මේ වන විට සිටින්නේ වඳවී යෑමේ තර්ජනයට ලක්වය. සාමාන්‍යයෙන් අනෙක් සතුන්ගේ පැටවුන් බෝවීමේ ක්‍රමයට බොහෝ සෙයින් වෙනස් ක්‍රමයකට සිදුවන කැස්බෑවුන්ගේ බෝ වීම ඉතා දීර්ඝ කාලයකට පසුව සිදුවන්නක් ලෙස සැලැකේ.

මුහුදු ජලයේ ජීවත් වන කැස්බෑවුන් සංසර්ගයේ යෙදෙන්නේද මුහුදු ජලය තුළදීම වන අතර ගැහැනු කැස්බෑවා පිරිමි සතුන් කිහිප දෙනකු සමඟම සංසර්ගයේ යෙදීම එහි ඇති විශේෂත්වයකි. තමන් සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි සතුන්ගේ ශුක්‍රාණු කර්මාන්ත ශාලාවක් මෙන් සිය සිරුර තුළ ගබඩා කර ගන්නා ගැහැනු කැස්බෑවුන් එම ශුක්‍රාණු මඟින් ඩිම්බ සංසේචනය කරන්නේ අත්‍යවශ්‍යම විටෙකදී පමණි. මේ අනුව ගැහැනු කැස්බෑවකුගේ සිරුර තුළ සංසේචනය නොවූ බිත්තර 1,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබිය හැකි අතර එලෙස ගැහැනු කැස්බෑවකු විසින් දමනු ලබන බිත්තර කැදැල්ලක විවිධ පියවරුන්ගේ පැටව් සිටීමද කැස්බෑවුන් බිහිවීමේදී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.

සාගරයේ එහා කෙළවරේ ජීවත් වුවත් තමන් බිත්තර දැමීමට ආසන්න වෙත්ම තමන් උපන් වෙරළටම ආපසු පැමිණීම කැස්බෑවන්ගේ සිරිතකි. මේ හේතුවෙන් මවු කැස්බෑවා උපන් වෙරළ දරුවන්ගේද උපන් වෙරළ වන්නේ නිරායාසයෙන්මය.

කෙසේ වෙතත් කැස්බෑ බිත්තරයක් බීජෞෂණය වීම සඳහා දෙමසකට ආසන්න කාලයක් ගත වන අතර වෙරළට පැමිණ බිත්තර දමා මවු කැස්බෑවා යළි සාගරයට නික්ම යෑම නිසා බාහිර උපද්‍රවවලින් කැස්බෑ බිත්තර ආරක්ෂා වීම සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය. මෙසේ වෙරළේදී දමන බිත්තර අතරින් ස්ත්‍රී - පුරුෂ බිත්තර, බිත්තර දැමීමේදීම තීරණය කළ නොහැකිය. එම බිත්තරවලින් බිහිවන පැටවුන්ගේ ස්ත්‍රී - පුරුෂ භාවය හෙවත් ලිංග නිර්ණය වන්නේ බිත්තර දැමූ වැල්ලේ උෂ්ණත්වය අනුවය. සාමාන්‍යයෙන් කැස්බෑ බිත්තරයකින් පිරිමි පැටවකු බිහි වීමට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29කට වඩා අඩු ප්‍රමාණයේ තිබිය යුතුය. උෂ්ණත්වය ඊට වැඩි වන සෑම අවස්ථාවකම ගැහැනු සතුන් බිහිවීම සිදුවේ.

මෙලෙස මවු කැස්බෑවා විසින් දමනු ලබන බිත්තරවලින් වෙරළින් මුහුදට යන පැටවුන්ගෙන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ 1,000කින් එක් පැටවකු පමණි. ඉතිරි සියල්ලම විවිධ හේතු මත විනාශ වී යෑම කැස්බෑවුන්ගේ ඉරණමයි. එය ඇතැම් විට ස්වාභාවික හේතු මත සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී ඒවා බාහිර බලපෑම් හේතුවෙන් විනාශයට පත්වන ආකාරය දැක ගත හැකිය. නමුත් එලෙස දාහකින් ඉතිරිවන එක කැස්බෑවකු පෙර කී පරිදි අවුරුදු 80ක් 120ක් වැනි දීර්ඝායුෂක් භුක්ති විඳීමට වාසනාවන්ත වේ.

ලංකාවේ දකින්නට ලැබෙන කැස්බෑවර්ග

දැනට ලෝකයේ සාගර කැස්බෑ විශේෂ 7ක් වාසය කරන අතර ඔවුන් අතරින් විශේෂ 5ක්ම ශ්‍රී ලංකාව අවට මුහුදු වෙරළේදී දැක ගත හැකිය. එම කැස්බෑ විශේෂ හත අතරින් ලංකාව අවට වෙරළේ දක්නට ලැබෙන්නේ පහත කැස්බෑ විශේෂ 5ය

1) ගල් කෑස්බෑවා
2) බටු කැස්බෑවා
3) දාර කැස්බෑවා
4) පොතු කැස්බෑවා
5) ඔළුගෙඩි කැස්බෑවා

1] දාර කැස්බෑවා - Leather-back Turtle (Dermochelys coriacea)

දාර කැස්බෑවා - පිටෙහි දාර මෙන් නෙරුම් කිහිපයක් ඇති නිසා මේ නම ලැබුණා විය හැකිය.

දියවැල් (currents) හරහා විශාල දුරක් ගමන් කරන මෙම කැස්බෑ වර්ගය මීටර් 1200 තරම් ගැඹුරු මුහදේ කිමිදේ. මෙම වර්ගයේ පිටතින් ඇත්තේ කටුවකට වඩා වෙනස් අධික ඝනකමින් යුත් සමකි, මෙම වර්ගයේ වැඩිහිටි කස්බාවකු දිගින් මීටර් 2.5 පමණ වන අතර ඉහත සඳහන් කල විශේෂිත පිට කටුවේ ඇති දාර මගින් මෙම කැස්බෑ වර්ගය හඳුනාගත හැක.

දැල්ලන්, ඇල්ගී වර්ග සහ jellyfish ආහාරයට ගන්නා මෙම කැස්බෑ වර්ගය සාමාන්‍යයෙන් මුහුදේ සිටින jellyfish ගහනය පාලනය කරන අතර මොවුන්ගේ කැදලි ඉතා ගැඹුරට හාරනු ලබයි. එක කැදැල්ලක බිත්තර 130 පමණ දැකගත හැකි අතර බිත්තරයක් සෙන්ටිමීටර් 5 පමණ දිගකින් යුත් වේ.

2] ඔලුගෙඩි කැස්බෑවා / කන්නාඩි කැස්බෑවා - Logger-head Turtle (Caretta caretta)

අන් කැස්බෑවන්ට වඩා විශාල හිසක් ඇති නිසා ඔළුගෙඩි කැස්බෑවා ලෙසද, අතීතයේදී කන්නාඩි රාමු සෑදීමට මෙම කැස්බෑවාගේ කටුව භාවිතා කිරීම නිසා කන්නාඩි කැස්බෑවා ලෙසද හඳුන්වනවා විය යුතුය


මීටර් 1.2 පමණ දිගට වැඩෙන කන්නාඩි කැස්බෑවන් පහසුවෙන් හඳුනාගතහැක්කේ ඔවුන්ගේ රතු දුඹුරු වර්ණය සහ විශාල හිස නිසාය. කලපු, මෝය සහ මුහුදු බොකු ආශ්‍රිතව වෙසෙන මෙම කැස්බෑ වර්ගය crustacean සහ mollusc සතුන් ආහාරයට ගන්නේ ඒ සඳහාම පරිනාමය වූ උල් හොටය භාවිතයෙනි.

ඉතා දුර්ලභ මෙම කන්නාඩි කැස්බෑවා ලංකාවේ දකුණු සහ ගිනිකොණ වෙරළාශ්‍රිතව සැප්තැම්බර් සහ මාර්තු මාස වලදී දැකගත හැකිය. කන්නාඩි කැස්බෑවා වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් එන්නේ බිත්තර දමා මාස දෙකකට පමණ පසුවය.

3] පොතු කැස්බෑවා / ලෙලි කැස්බෑවා - Hawksbill Turtle (Eretmochelys imbricata)

පනා හා ආභරණ සෑදීම සඳහා කටුව (පොත්ත/ලෙල්ල ) භාවිතා කරන නිසා පොතු කැස්බෑවා හෝ ලෙලි කැස්බෑවා ලෙස හඳුන්වනවා විය යුතුය.

ඔලිව් කොළ පැහැති පිටත කටුවක් සහිත පොතු කැස්බෑවා සාමන්‍යයෙන් තරමින් විශාල වන අතර මොවුන්ගේ මුඛයේ යටි ඇන්ද ඉදිරියට නෙරා ගොස් සිහින් වන්නේ උකුස්සෙකුගේ හොටයක් මෙනි. Hawksbill (උකුසු හොට) කැස්බෑවා ලෙස මොවුන් හඳුන්වන්නේ එබැවිනි.

බොහෝවිට ගල්පර, මෝය ආශ්‍රිත පෙදෙස්, කලපු සහ bays වල දක්නට ලැබෙන මෙම කැස්බෑ විශේෂය වඩාත් ප්‍රිය කරන්නේ ඇල්ගී, කොරල් සහ ගල්මාළු ආහාරයට ගැනීමටය.

පොතු කැස්බෑවුන් වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් පැමිණීමට මාස දෙකක් පමණ ගත වේ. පොතු කැස්බෑ මස් විෂ සහිත වන අතර ඒ ආශ්‍රිත මරණ කිහිපයක් වාර්තා වී ඇතත්, මොවුන් වඳවියාමේ තර්ජනයට ලක්ව ඇත්තේ කැස්බෑ කටු වලින් කරන විවිධ පනා, ආභරණ ආදිය සඳහා දඩයම් කිරීම නිසාය.

4] ගල් කැස්බෑවා, මස් කැස්බෑවා, වැලි කැස්බෑවා - Green Sea Turtle (Chelonia mydas)





තරමක් විශාල ප්‍රමාණයකට වැඩෙන ගල් කැස්බෑවාගේ කටුව ඔලිව් හෝ අඳුරු කොළ/දුඹුරු මිශ්‍ර පැහැයක් ගන්නා අතර කටුව උඩින් බැලීමේදී හදවතක හැඩරුවට (heart shape) සමාන වේ. අන් කැස්බෑවුන් මෙන් වකුටු වූ හොටයක් මෙම වර්ගයට නොමැති අතර පිරිමි සත්වයා ගැහැණු සත්වයාට වඩා තරමින් කුඩා වේ.

මෙම කැස්බෑ වර්ගය වසර පුරාම බිත්තර දමන අතර කැදැල්ලක සාමාන්‍යයෙන් බිත්තර 100-175 පමණ දැකගත හැක. අන් කැස්බෑවුන් මෙන්ම මෙම වර්ගයේද බිත්තර දමා මාස දෙකක් පමණ විට පැටවුන් පැමිණේ.

නිවර්තන කලාපිය මුහුදු වල වැඩිලෙස සැරිසරන මෙම කැස්බෑවුන් වැල්ල සහිත දුපත් වල වැඩි වශයෙන් දැකගත හැක. ICUN රතු ලයිස්තුවේ "endangered හෙවත් තර්ජනයට ලක්ව ඇති" කැස්බෑවෙකු ලෙස නම් කොට ඇත.

5] බටු කැස්බෑවා/මඩ කැස්බෑවා - Olive ridley sea turtle (Lepidochelys olivacea)




ලංකාවේ වෙරල තිරයේ සැරිසරන කැස්බෑවුන් අතරින් බරින් සහ ප්‍රමාණයෙන් කුඩාම ලෙස සැලකෙන මෙම කැස්බෑ වර්ගයේ පිටතින් ඇති කටුවේ ලා කොළ/අළු පැහැය නිසාම ඔවුන්ට මෙම නම වැටී ඇත. මෙම කැස්බෑවුන් දිගින් සෙන්ටිමීටර් 80 පමණ වන අතර ඔවුන්ටම ආවේනිකවූ වකුටු වූ උඩු ඇන්ද නිසා හඳුනාගැනීම පහසු වේ.

ලංකාවේ වැල්ල ආසන්න ප්‍රදේශ වල කැදලි තැනීමට පැමිණෙන මෙම බටු කැස්බෑවන් සතුන් සියගණනක් හෝ, විටෙක දහස් ගණනකින් පමණ සමන්විත වන කැදලි සංකීර්ණ සාදන අතර එක බටු කැස්බාවකු වරකට සෙන්ටිමීටර් 3-4.5 පමන දිගින් යුත් බිත්තර 50-160 අතර ප්‍රමාණයක් දමයි. සති 6-8 පමණ කාලයකදී බිත්තර වලින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් වෙරල තිරයෙන් කෙලින්ම යන්නේ මුහුදටය.

කැස්බෑ සංරක්ෂණය

සාගරයට මහත් සුන්දරත්වයක් ගෙන දෙන සාගර කැස්බෑවුන් සියල්ලම වාගේ මේ වන විට සිටින්නේ වඳවී යෑමේ තර්ජනයකට ගොදුරුවය. මේ නිසාම පෙර සඳහන් කළ පරිදි 1972දී නීතිගත කළ වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂක ආඥා පනතට අනුව කැස්බෑවුන් නීතියෙන්ම ආරක්ෂා කර තිබේ. එමෙන්ම 1993දී ඊට එක්කළ නව සංශෝධනයන්ට අනුව කැස්බෑවුන් මැරීම, බිත්තර එකතු කිරීම, කටු ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීමද තහනම් කෙරිණි. එම නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මෙම නීති උල්ලංඝනය කරන්නන් හට රුපියල් 10,000 සිට 30,000ක් දක්වා වන දඩ මුදලකට යටත් වීමට හෝ වසර දෙකක් දක්වා වන සිර දඬුවමකට යටත් කිරීමටත් එසේත් නොමැති නම් ඇතැම් අවස්ථාවකදී එම දඬුවම් දෙකටම යටත් කිරීමටත් නීතියෙන් කටයුතු යොදා තිබේ.

මෙලෙස නීති රීති දැඩිව ක්‍රියාත්මක වුවත් කැස්බෑවුන්ගේ විනාශය වළක්වා ගැනීමට තවමත් හැකියාවක් නොලැබීම කනගාටුවට කාරණයකි. මුහුදු වෙරළින් සාගරයට යන කුඩා කැස්බෑවුන් දහසකින් වැඩිවියට පත්වන එක් පැටවකු හැරෙන්නට ඉතිරි සියල්ලන්ම සාගරයේ ප්‍රබල මත්ස්‍යයන්ට ගොදුරු වීම හැරුණු කොට දැඩි නීති රීති පනවා තිබියදීත්, ධීවරයන් විසින් දමනු ලබන නීති විරෝධී දැල්වලට හසුව මිය යන කැස්බෑවුන් බේරා ගැනීමට කිසිවකුට හැකියාව ලැබී නැත. බිත්තර දැමූ ක්‍ෂණයෙන් රෑ තිස්සේ රැක සිටින දඩබල්ලන් වැනි රුදුරු මිනිසුන්ගෙන් බිත්තර බේරා ගැනීමද දැඩි අසීරු කාරණයක් බවට පත්ව ඇත්තේ ආහාර සඳහා කැස්බෑ බිත්තර රැගෙන ගොස් වැඩි මිලකට විකිණීමට වෙරළ ආසන්නයේ ජීවත් වන්නවුන් පුරුද්දක් කරගෙන ඇති නිසාය.

මේ වන විටත් සාගර කැස්බෑවුන් සංරක්ෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ, අධ්‍යාපනික සහ ප්‍රජා මූලික සංරක්ෂණ කටයුතුවල නිරත වී සිටින කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතීන් සමඟ අත්වැල් බැඳගෙන මුහුදු කැස්බෑ සංරක්ෂණය සඳහා ජෛව විවිධත්වය හා කැස්බෑ ජීව විද්‍යාව කෙරෙහි ආදරය කරන ඔබ සැමටද දායක විය හැකිය. එය හුදෙක් මැයි 23 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කැස්බෑ දිනයටම පමණක් සීමා නොවී දවස් 365 මුළුල්ලේම අවධානයට ලක් කරන්නේ නම් මිලියන 100කට අෑත අතීතයේ දහස් ගණනින් ජීවත් වූ කැස්බෑවුන්ගෙන් ඉතිරි වී ඇති අල්ප ප්‍රමාණය හෝ රැක ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

දකුණු වෙරළේ කැස්බෑ වාරය

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන කාලය බොහෝවිට වසරේ දෙසැම්බර්-ජනවාරි හා පෙබරවාරි කාළවලට අයත්වේ.


මූලාශ්‍ර හා උපුටා ගැනීම්

1] ඔබ නොදන්න කැස්බෑ ලෝකය මෙන්න (මව්බිම අන්තර්ජාල සංස්කරණය ) 

2] ලංකාවේ වෙරල තිරයේ සැරිසරන ලොව විශාලතම උරගයෙකු ගැන දැනගන්න (Roar.lk) 

3] Sri Lanka, A Wild Life Interlude by S D Saparamadu, Pages 150-161 (Thirara Prakashakayo)














__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...