බැද්දගාන තෙත්බිම් උද්‍යානය - සංචාර සටහන | Beddagana Wetland Park - Trip Report

Image Credit : සංචාරකයාගේ සටහන් - Beddagana Wetland Park.
ENTRANCE and TICKET COUNTER

කොළඹ නගරයට තදාසන්න නගරයක් වන බත්තරමුල්ල නගරයට හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව පෙනෙන මානය පිහිටුවා ඇති නවතම උද්‍යානය වන්නේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයයි. ප්‍රකට "දියත උයන" පිහිටා ඇති ප්‍රදේශයට ඉතා ආසන්නව කොළඹ කඩුවෙල මහා මාර්ගයේ ඇති බැද්දගාන තෙත්බිම් උද්‍යානයට ඇතුලුවන මාර්ගය පිහිටා ඇත්තේ කඩුවෙල දෙසට යනවිට පොල්දූව නව පාලම පසුකිරීමට පෙර දකුණු අත පැත්තෙනුයි. දැන් මෙගාපොලිස් අමාත්‍යාංශයට අනුයුක්ත නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන බැද්දගාන තෙත්බිම් උද්‍යානයට ඇතුලුවීම සඳහා අයකරන්නේ රුපියල් 50 වැනි සුළුමුදලක්. උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා විවෘතව ඇති මෙය කුරුල්ලන් හා සමනලුන් නැරඹීම සඳහා ඉතා මනරම් ස්ථානයක් වනවා.

සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමටද ඇතුළත් වේ.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය, තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයයි. එපමණක් නොව පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටකි.



බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ ඉතිහාසය හා අරමුණු


නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කරන ලදී.

එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය වන අතර, දෙවන අදියර ලෙස කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිතය.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින්, එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමයි. එමෙන්ම පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමද මෙහි අරමුණු අතර වේ.

මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Landscape Architect) සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Architect) විසිනි. පරිසරවේදීන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණ හා උපදෙස් මත මෙහි සංවර්ධනය ක්‍රියාත්මක වන ලදී.

උද්‍යානය ගොඩනැඟීමේ විශේෂත්වය වනුයේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව, කණු මත ඉදිවුණු පක්‍ෂි නිරීක්‍ෂණ කුලුනු, ගමන් පථ, පක්‍ෂි නිරීක්‍ෂණ ස්ථාන ගොඩනැඟීමයි. එමගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්‍ෂණය කර ඇති අතර, ඉතා සුන්දර උද්‍යානයක්ද නිර්මාණය වී ඇත.

එවකට පරිසර අමාත්‍යතුමන් වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් මෙම උද්‍යානයේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා පිරිවැය සපයන ලදී. ඉන්පසු ලෝක බැංකු ආධාර යටතේ කොළඹ අග නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම තෙත්බිම් උද්‍යානය නිර්මාණය විය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural Trails) ඉදිකර ඇති අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මගින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය, අවට ඇති සෙසු උයන් හා සම්බන්ධ වනු ඇත. එමගින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවක් ඇති කරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco Tourism) ආරම්භ කිරීමට අපේක්‍ෂිතය.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ සැකැස්ම - Photo Credit : Terence Kahapola Arachchi


බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ විවිධ ඉසව්

මෙම තත්බිම් නිරීක්ශණ මධ්‍යස්ථානය විවිධ ඉසව් හෙවත් පෙදෙස් 12කට බෙදා වෙන්කොට ඇත. 

1] Park School - උද්‍යානයේ එලිමහන් පංති පැවැත්විය හැකි පෙදෙස
2] Pipit's Lawn - වැරටිච්චන් (Pipits) දැක ගත හැකි පෙදෙස
3] Wader Watch - මඩෙහි ඇවිදින පක්ශීන් (Waders) දැක ගත හැකි ඉස්සව්ව
4] Bird Hide - සැඟවී පක්ෂීන් නිරීක්ශණය කල හැකි ස්ථානය
5] Butterfly Walk - සමනලුන් ගහන ප්‍රදේෂය
6] Resting Hut - ගිමන් හල
7] Bird Watching Tower - පක්ෂි නිරීක්ශණ කුළුණ
8] Duck Pond - තාරා පොකුණ
9] Diyawanna Walk - දියන්වන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගය
10] Fishing Cat Hide - හඳුන් දිවියා (Fishing cat) ගැවසෙන අඩවිය
11] Forest Trail - වන සැරි මාවත
12] Floating Deck - පාවෙන වේදිකාව

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේදී ඔබට දැකගැනීමට පුලුවන් කුරුලු වර්ග

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේදී ඔබට දැකගැනීමට පුලුවන් කුරුලු වර්ග උද්‍යානයේ උන් දැකිය හැකි ස්ථානවල ඇති සටහන් පුවරුවල දක්වා ඇත. එහෙත් කුරුල්ලන් නැරඹීමේදී සැලකිලිමත්විය යුතු කරුණු ගණනාවක් ඇත.

[1] මින් සමහර කුරුළුවර්ග සංචාරකයින් වන අතර ඔවුන් සැප්තැම්බරයේ සිට අප්‍රේල් දක්වා පමණක් ලංකාව තුල සිටින්නන්ය.

[2] කුරුල්ලන් නැරඹීම සඳහා උදෑසනම පැමිණිය යුතුය. උදේ 6.00 සිට 8.00 කාලය ඉතා සුදුසුය. දහවල්වන විට කුරුල්ලන් අහර ගෙන අවසන්ව සෙවන ඇති අතුපතරේ සැඟවේ.

[3] ඉතා නිහඬව සෙමෙන් ගමන් කරන්න. කතාබහ කරමින්, උසුලුවිසුලු කරමින් ගමන් කිරීමේදී කුරුල්ලන් බියවී සැඟවේ.

උද්‍යානයේ කුරුළු තොරතුරු පුවරු (1) - Photo Credit : Terence Kahapola Arachchi

උද්‍යානයේ කුරුළු තොරතුරු පුවරු (2) - Photo Credit : Terence Kahapola Arachchi






















උද්‍යානයේ කුරුළු තොරතුරු පුවරු (3) - Photo Credit : Terence Kahapola Arachchi






















මුවාවී කුරුල්ලන් නිරීක්ශණය හා ඡායාරූපගතකිරීම සඳහා සකසා ඇති ආවරණ - Photo Credit : Terence Kahapola Arachchi






























07 - 08 - 2016 දින උදයවරුවේ දකින්නට හැකිවූ පක්ෂීන් කිහිප දෙනෙකු

කළු පිය ඉපල්පාවා -  Black Winged Stilt  (Himantopus himantopus)
ලොවපුරා දැකිය හැකි ජලජ පක්ෂියෙකි 
Photo Credit : Terence Kahapola Arachchi
දම් මැදි-කිතලා : Purple Swamphen (Porphyrio porphyrio) දකුණුදිග අප්‍රිකාව, ඉන්දීය අර්ධද්වීපය, අග්නිදිග ආසියාව හා ඔස්ට්‍රලේසියානු ප්‍රදේශවල දැකිය හැකි ජලජ පක්ෂියෙකි.Photo Credit : Terence Kahapola Arachchi

හීන් තඹ සේරා - Lesser Whistling-duck (Dendrocygna javanica)
දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව නිජබිම කරගත් තාරා ගණයට අයත් ජලජ පක්ෂියෙකි. 
Photo Credit : Terence Kahapola Arachchi


කොණ්ඩයා : Red-vented Bulbul (Pycnonotus cafer) දකුණු ආසියානු රටවල දැකිය හැකි පක්ෂියෙකි
 Photo Credit : Terence Kahapola Arachchi
මහ දියකාවා -  Great Cormorant (Phalacrocorax carbo) බටහිර හා දකුණු අප්‍රිකාව, දකුණු හා අග්නිදිග ආසියාව ආ ඔස්ට්‍රේලියාවේ පැතිර සිටින ජලජ පක්ෂියෙකි. 
Photo Credit : Terence Kahapola Arachchi






























































































පක්ෂීන්, සමනලුන්, කෘමීන් හා මාලුන් නිරීක්ශණය සඳහා බැද්දගාන උද්‍යානය පුරා දිවෙන උසින් තැනූ වේදිකා මාවත්, නිරීක්ශණ ස්ථාන හා නිරීක්ශණ කුළුණක්ද වේ.

Photo Credit: http://www.beddaganawetlandpark.com/


















Sources for some of the text and photographs in this article :

http://www.lankadeepa.lk/index.php/articles/427466
https://www.facebook.com/Beddagana-Wetland-Park-1015730775201221/
http://www.beddaganawetlandpark.com/



__________________________________________________________________________

Creative Commons License 
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments