REST IN PEACE : ස්ටීවන් හෝකින්ස් (76)


1988 දී පලකල "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්" නම් විශ්වයේ උපත, පැවැත්ම හා අවසානය පිලිබඳව ලියැවුනු පොත සමග ලෝක අවධානයට බඳුන්වූ ස්ටීවන් හෝකින්ස්, ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසු මෙලොව පහලවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයා බවට අවිවාදයෙන් පිලිගැනෙනවා.

පිටපත් මිලියන 20ක් පමණ අලෙවි වී වාර්තා තැබූ "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්" පොත, අතිශය සංකීර්ණ න්‍යායික-භෞතික විද්‍යා (theoretical physics) සංකල්ප ඉතාම සරලව සාමාන්‍ය ජනයාට  තේරුම්ගත හැකි ආකාරයට ලිවීමට සමත්වූ හෝකින්ස් මේ සංකීර්ණ සංකල්පයන් විද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන සෑම දෙනා අතරටම ගෙන ගියා.


මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්ගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථාන පිලිබඳව තබන කෙටි සටහනක් පහතින් තිබෙනවා.

1966 - ආචාර්ය උපාධිය දිනාගත් හෝකිස්න් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස පත්වීම් ලබනවා. සාපේක්ෂතාවාදය පිලිබඳව හා කළු කුහර ඔහුගේ පර්යේෂණයන්ගේ තේමාව වනවා.

1968 - ජෝර්ජ් එලිස් නම් භෞතික විද්‍යාඥයා හා එක්ව "Large Scale Structure of Space-Time" නම් පර්යේෂණ ග්‍රන්ථය පලකලා. විශ්වයේ සැකැස්ම හා එහි ප්‍රසාරණය වීම පිලිබඳ කල්පිතයන් මේ ග්‍රන්ථයේ අඩංගු වුනා

1970 - ක්වන්ටම් න්‍යායයන් හා සාපේක්ෂතාවාදයේ මූළධර්ම ආධාරයෙන් කිසිම විකිරණයක් පිටනොවනවා යැයි විද්‍යාඥයින් සිතාසිටි කළු කුහරවලින් විද්‍යුත් චුම්බක විකිරණ පිටවන බව සොයාගත්තා.

1973 - කළු කුහරවලින් විකිරණ පමණක් නොව ශක්තිය මෙන්ම, පධාර්ථද නිකුත්වෙන බවත්, කළු කුහර පුපුරා යාහැකි බවත් විද්‍යාත්මකව ඔප්පුකලා. මේ සොයාගැනීම "හෝකින්ස් විකිරණ - Hawkin's Radiation" පිලිබඳ නියමය ලෙස පසුව හඳුන්වන්නට පටන්ගත්තා

1988 - "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්" පොත ලියා අවසන් කලා

සාපේක්ෂතාවාදය, කළුකුහර හා විශ්වයේ උපත පැවැත්ම හා අවසානය පිලිබඳව දිගින් දිගටම පර්යේෂණ පැවැත්වූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් සිය ජීවිත කාළය තුල භෞතික විද්‍යාව පිලිබඳව පොත් 15ක් පලකොට තිබෙනවා.

1942දී උපත ලැබූ හෝකින්ස් වයස 21දී මෝටර් නියුරෝන් ඩිසීස් නම් ශරීරයේ මාංෂපේෂි හා ස්නායු අක්‍රියවන රෝගය වැළඳී ඇතිබව සොයාගත් අතර එම රෝගය නිසා ඔහු වසර 2ක් ඇතුලත මිය යන බවත් වෛද්‍යවරුන් ප්‍රකාශකලා. එහෙත් තවත් වසර 55ක් ජීවත් වෙමින් විද්‍යා ලෝකයට අමිල මෙහෙයක් ඉටුකල මහාචාර්ය හෝකින්ස් සිය නිවසේ නිදා සිටියදී මියගිය බව හෝකින්ස් පවුලේ සාමාජිකයින් අද උදෑසන (14) මාධ්‍යවලට පවසා සිටියා.













__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments