Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 21 June 2012

2012 අගෝස්තු 6වැනිදා අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබසින Mars Science Lab, අඟහරු රොබෝ විද්‍යාගාරය


Mars Science Lab අඟහරු රෝවර් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්

 

Mars Science Laboratory (MSL) හෙවත් අඟහරු විද්‍යාගාරය 2011 වසරේ නොවැම්බර් මස ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙන් අඟහරු වෙත පිටත්කරන ලදී. නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ශන් ලැබෝරටරි (Jet Propulsion Laboratory-JPL) ආයතනය මගින් සැළසුම් කෙරෙන මේ අඟහරු මෙහෙයුම 2012 අගෝස්තු මාසයේදී අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩ බැස්සවෙනු ඇත. මීට පෙර අඟහරු මත ගොඩ බස්වන ලැබූ සියලු ජංගම (රෝවර්) හා ස්ථායි ගවේශන යානාවලට වඩා විශාල යානයක් වන MSL විද්‍යාගාරය සුවිශේෂ වූ ස්කයි ක්‍රේන් (Sky Crane) නම් තාක්ශණයක් උපයෝගී කරගෙන ඉතා නිවැරදිව තෝරාගත් ඉලක්ක ස්ථානයකට ගොඩබැස්සවෙනු ඇත.

"කිව්රියෝසිටී" (Curiosity) හෙවත් "කුතුහලය" ලෙස නම් කොට ඇති මේ රොබෝ රෝවර් යානය අඟහරුවා මත වර්තමානයේදී හෝ ඈත අතීතයේදී හෝ ජීවය පවතින්නට ඇතයිද යන ගැටළුව පිලිබඳව වැදගත් දත්ත රැස් කිරීමට බලාපොරොත්තු වේ. මීට කලින් අඟහරු ගවේශනයේ යෙදුනු ස්පිරිට් හා ඔපර්චූනිටි රොබෝ ගවේශකයින් දෙදෙනාට වඩා පස්ගුණයක් බරින් වැඩි කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය විශාල විද්‍යාත්මක උපකරණ රාශියක් අඟහරුවා වෙත ගෙනයයි.

කිව්රියෝසිටි රෝවරය අඟහරුවා මත අඟහරු වසරක්, එනම් අඟහරු දින 668 (පෘථිවි දින 686) ගවේශනයේ යෙදෙනු ඇතැයි බලාපොරොත්තු වේ. අඟහරුවා මත ගවේශනයේ යෙදෙන රොබෝ යානාවලට අඟහරු මත පවතින වේගවත් වැලි කුණාටු හා රාත්‍රියට සෙන්ටිග්‍රේඩ් සෘණ 100ක් දක්වා බසින අධික ශීතලද නිසා හානි පැමිණේ. ඊට අමතරව බලය ලබාදෙන සූර්ය කෝශ වැලිකුණාටු නිසා වැලි දූවිලි තැම්පත්වීමෙන් අවහිර වීම නිසා උපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ක්‍රමයෙන් හීන වෙමින් යාමෙන් කළකදී අක්‍රියවේ. කිව්රියෝසිටි රෝවරය මේ දුශ්කර පරිසරයේ පෘථිවි අවුරුදු දෙකකට කාලයක් ක්‍රියාත්මක වන පරිදි නිමවා ඇත. 

1997සිට අඟහරු මතට ගොඩබැස එය ගවේශනය කල රොබෝ යානා හා ඒවායේ සාපේක්ශ විශාලත්වයන්.

අඟහරු විද්‍යාගාරයෙන් විද්‍යාඥයින් ඉටු කරගැනීමට බලාපොරොත්තුවන මූලික අභිමතාර්ථ හා ඒවා හා සබැඳුනු අරමුණු


මේ අභිමතාර්ථ හා ඒවා හා සබැඳුනු අරමුණු ඉටුකර ගැනීම සඳහා විශාල පර්යේශණ රාශියක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ හා දත්ත එකතු කිරීමේ උපකරණ කිව් රියෝසිටි රෝවරය මගින් අඟහරුවෙත ගෙනයනවා.


1) Mast Cam (Mast Camera)

මාස්ට් කැම් යනුවෙන් හැඳින්වෙන්නේ කිව්රියෝසිටි රෝවරයේ මාස්ට් හෙවත් කුළුණේ සවිකොට ඇති කැමරා ද්විත්වයකින් යුතු වර්ණ ඩිජිටල් කැමරා පද්ධතියකි. පික්සල් 1200x1200 විබේධනයක් හෙවත් රෙසොලූශන් (1200x1200 resolution) එකකින් වර්ණ ඡායාරූප ගත හැකි මේ කැමරා අඟහරුගේ දුශ්කර කාළගුණය යටතේ ඉතා හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා විශේෂයෙන්ම නිමවා ඇත. නිසල ඡායාරූප වලට අමතරව 720p ගනයේ හයිඩෙෆිනිශන් වීඩියෝ (high definition video) ගතකිරීම් වලටද මේ කැමරාවලට පුලුවන. (හයිඩෙෆිනිශන් වීඩියෝ ගැන වැඩි විස්තර දැනගැනීමට එච්.ඩී ටෙලිවිශන් ගැන පලවී ඇති ලිපිය කියවන්න)

මේ කැමරා දෙකින් එකක් කැමරාවක් medium angle කැමරාවක් වන අතර අනෙක narrow angle කැමරාවක් වෙයි. කැමරා දෙකේම ගිගාබයිට් 8ක ෆ්ලෑශ් මෙමරි වර්ගයේ මෙමරි චිපයක් අඩංගු කොට ඇති අතර ඒවාට 1200x1200 විබේධනයේ ඡායාරූප 5500ක් වරකට ගබඩා කරගෙන සිටිය හැකිය.


2) Chem Cam (Chemistry & Camera)



අඟහරු විද්‍යාගාරයේ නිර්මාණ විද්‍යාඥයින් කෙම්-කැම් හෙවත් කෙමිස්ට්‍රි ඇන්ඩ් කැමරා ලෙස නම් කොට ඇති විද්‍යා උපකරණ පැකේජය ප්‍රධාන විද්‍යා උපකරණ දෙකකින් සමන්විත වන අතර මේ දෙකම "රිමෝට් සෙන්සිං - remote sensing" හෙවත් දුර සිට මිනුම් ගැනීමේ ක්‍රමයට පරීක්ශණ කටයුතු කිරීමට නිර්මාණය කල ඒවා වනවා.


මින් පලමුවැන්න Laser-Induced Breakdown Spectrometer (LIBS) හෙවත් ලේසර් කිරණ ආධාරයෙන් ද්‍රව‍ය බිඳදමා මිනුම් කරන වර්ණාවලීමානයකි. මෙහිදී සිදුවන්නේ කෙම්-කැම් උපකරණ පැකේජයේ ඇති මෙගාවොට් 10ක් බලැති ලේසර් කිරණයක් නැනෝ තත්පර 5ක කාලයකට අඟහරු මත ඇති පාශාණයක් මතට විදීමයි. ලේසර් කිරණය වැදීම නිසා පාශාණයේ ඉතා කුඩා කොටසක් අධික ලෙස රත්වී වාශ්ප වන අතර එම වාශ්පය අධිසංවේදී කැමරාවක් මගින් ඡායාරූපගතකොට ඉන් වාශ්පයේ වර්ණාවලිය හඳුනාගැනෙනවා. රෝවරයේ සිට මීටර් 7ක් දක්වා ඈතින් තිබෙන පාශාණයක වර්ණාවලිය ලබාගැනීමේ හැකියාව කෙම්-කැම් උපකරණයට තිබෙනවා.


 කෙම්-කැම් උපකරණයේ ක්‍රියාකාරිත්වය
Remote Micro-Imager (RMI)  ලෙස හැඳින්වෙන කෙම්-කැම් උපකරණ පැකේජයේ දෙවැනි උපකරණයද ඈත සිට පාෂාණවල සංයුතිය නිර්ණයකල හැකි උපකරණයකි.

3) Radiation Assessment Detector (RAD) 


මෙය අඟහරු පෘශ්ඨය මත විකිරණශීලීභාවය පිලිබඳ දත්ත රැස්කරණ උපකරණයකි. අනාගතයේ මිනිස් ගවේශකයින් අණතුරුදායක විකිරණවලින් ආරක්ශාකරගැනීම සඳහා මේ මිනුම් වැදගත් වනු ඇත.
4) UHF Antenna


රෝවරයේ යූ.එච්.එෆ් ඇන්ටෙනාව, පෘථිවිය සමග පණිවුඩ හුවමාරු කරගැනීමේදී ඡායාරූප හා දත්ත පෘථිවි පාලන මධ්‍යස්ථානය වෙත ගෙනයාමට උපයෝගී කරගන්නා ඇන්ටෙනාවයි. මෙහිදී රෝවරය විසින් පොලවට එවිය යුතු දත්ත, අඟහරු වටා කක්ශගතවී තිබෙන Mars Reconnaissance Orbiter යානය හා Mars Odyssey යානය සන්නිවේදන චන්ද්‍රිකා ලෙස භාවිත කරමින් එම යානා වලට සම්ප්‍රේශණය කරනවා. එම යානා මගින් එම දත්ත පෘථිවි පාලන මධ්‍යස්ථාන වෙත එවනවා.

5) High Gain Antenna


පෘථිවියෙන් එවන රේඩියෝ පණිවුඩ ලබාගන්නා ඇන්ටෙනාව

6) Dynamic Albedo of Neutrons (DAN)

රුසියාවේ අභ්‍යවකාශ පර්යේශණ ආයතනය මගින් සපයන ලද මේ උපකරණය නියුට්‍රෝන වර්ණාවලීමානයකි. මෙහි කාර්‍යභාරය අඟහරු මතුපිට මීටරයක් දක්වා ගැඹුරු පස්තට්ටුවේ ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය මැන බැලීමයි.

7) Sample Analysis at Mars (S.A.M) / Chemistry and Mineralogy Experiment (ChemMin)

  • S.A.M

Quadrupole Mass Spectrometer (QMS), Gas Chromatograph (GC), Tunable Laser Spectrometer (TLS) යන උපකරණ තුනෙන් සමන්විත S.A.M පර්යේශණ කට්ටලය පහත දත්ත ලබාගැනීම සඳහා උපකාරි කරගනු ලැබේ. 

1/ අඟහරු මතුපිට හා වායුගෝලයේ ඇති මිතේන් හා අනෙකුත් කාබනික ද්‍රව්‍ය හඳුනාගැනීම.

2/ පෘථිවිය මත ජීවය ඇතිවීමට උපකාරීවුනු විවිධ මූලද්‍රව්‍ය අඟහරු මත ඇතිදැයි සොයා බැලීම හා ඒවා ඇත්නම් තිබෙන ප්‍රමාණය හා ඒවායේ රසායන අවස්ථා (chemical state) පිලිබඳ තොරතුරු රැස්කිරීම

3/ හයිඩ්‍රජන් ප්‍රෙරොක්සයිඩ වැන ඔක්සයිඩ වල සුලභත්වය හා එම ඔක්සයිඩ වල රසායන සංයුතිය අනුව අඟහරු මත ජීවය පවත්වාගැනීමෙ හැකියාව පිලිබඳව සොයා බැලීම.

  • ChemMin 

කෙමිස්ට්‍රි ඇන්ඩ් මිනරලොජි පරීක්ශණ උපකරණ එකතුවේ රාජකාරිය අඟහරුමත ඛනිජ හා රාසායනික මූලද්‍රව්‍ය පිලිබඳ ව අධ්‍යයනය කිරීමයි. රොබෝ අත (Sample Acquisition, Sample Handling and Processing System ) මගින් පොලවෙන් උකහාගෙන ලබාදෙන පස් සාම්පල මේ උපකරණය මගින් පරීක්ශාවට ලක් කරනු ලැබේ.

8) Mars Descent Imager (MARDI)

MARDI යනුවෙන් හඳුන්වන කැමරාව 1600 × 1200 විබේධනයේ වර්ණ, හයි ඩෙෆිනිශන්  ඡායාරූප ලබාගත හැකි ඩිජිටල් කැමරාවකි. තත්පරයකට ඡායාරූප 5ක් බැගින් ලබාගත හැකි මේ කැමරාව රෝවරයේ යටින්, අඟහරු පෘෂ්ඨයට එල්ලවන ලෙස සවිකොට ඇත. රෝවරය ගොඩබස්වන අවස්ථාවේදී එය තාප බාධකයෙන් වෙන්වූ වහාම ඡායාරූප ගැනීම අරඹන MARDI කැමරාව රෝවරය අඟහරු පෘශ්ඨය මත පතිතවන තෙක්ම නොනවත්වා ඡායාරූප ගනු ඇත.

මෙම ඡායාරූප මාලාවෙන් රෝවරය ගොඩබසින පෙදෙසේ අඟහරු පෘශ්ඨයේ ස්වභාවය, පසේ වර්ණය, භූ විශමතා වැනි දත්ත විද්‍යාඥයින්ට ලබාදෙනු ඇත.

9) Alpha Particle X-Ray Spectrometer (APXS)

එක්ස්-කිරණ වර්ණාවලීමාණයක් වන මෙය අඟහරු පෘශ්ඨයේ විවිධ මූළද්‍රව‍යවල සුලභත්වය පිලිබඳව තොරතුරු රැස් කරයි. සීසියම්-244 විකිරණශීලී ප්‍රභවයකින් එක්ස්-කිරණ උත්පාදනය කරන මේ වර්ණාවලීමානය කැනඩාවේ අභ්‍යවකාශ ආයතනයේ නිර්මාණයකි. 

10) Mars Hand Lens Imager (MAHLI)

MAHLI යනු අඟහරු පසේ හා පාශාණවල ආසන්න ඡායාරූප ගැනීමට නිර්මාණය කරන ලද ඩිජිටල් කැමරාවකි. පාශාණවල ස්වභාවය අත් කාචයකින් (hand lens) නිරීක්ශණය කරනවිට ලැබෙන ආකාරයේ රූප ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීම මේ පරීක්ශණයේ අරමුණයි. පසෙහි පාෂාණසංයුති විද්‍යාත්මක (petrological)තොරතුරු  හා ඛණිජවිද්‍යාත්මක (mineralogical) තොරතුරු ලබාගැණීමට මේ උපකරණය මගින් බලාපොරොත්තුවේ

11) Sample Acquisition, Sample  Processing and Handling System (SA/SPaH)

රොබෝ අතක්, පාශාණ හිල් කිරීමට ඩ්‍රිල් කටුවක්, සාම්පල උකහා ගැනීමට චූශණ පද්ධතියක්, සාම්පල හාරා ගැනීමට ඉස්කෝප්පයක් යන උපකරණ හා එම සාම්පල රෝවරය තුල අඩංගු විවිධ විද්‍යා උපකරණ වෙත ගෙනයාමට ප්‍රවාහණ පද්ධතියකින් සමන්විත මේ සංකීර්ණ උපකරණය නාසා ආයතනයේ රොබෝ ඉංජිනේරුවන් හා හනී-බී රොබොටික්ස් නම් සමාගමක් එක්ව නිර්මාණය කරන ලද්දකි.

12) Rover Environmental Monitoring Systems (REMS)

අඟහරු විද්‍යාගාරයේ කාළගුණ තොරතුරු එක් රැස් කරන උපකරණය රෙම්ස් ලෙස හැඳින්වේ. සුලං වේගය, සුලඟේ දිශාව, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාවය, වායුගෝලීය උශ්ණත්වය, පසෙහි උශ්ණත්වය හා අඟහරු මත පතිතවන පාරජම්බූල කිරණ ප්‍රමාණය වැනි දත්ත පිලිබඳව නිරන්තරයෙන්ම තොඅරතුරු එක් රැස් කිරීම මේ කාළගුණ විද්‍යාගාරය මගින් සිදුකෙරෙනු ඇති.

 ~ // ~

SKY CRANE

කිව්රියෝසිටි රොබෝ යානය අඟහරු මතට පතිත කරවන්නේ නාසා ආයතනය නිර්මාණය කල "Sky Crane" නම් තාක්ශණයක් උපයෝගී කරගෙන බව අප කලින් සඳහන් කලා. මේ තාක්ශණය වැඩිදුරත් විස්තර දැනගන්න අපගේ "අඟහරු අහසේ පාවෙන නාසා ක්‍රේන් යන්ත්‍රය - [ NASA Sky Crane in Martian Sky] " යන ලිපිය කියවන්න.













Related Posts Plugin for WordPress, Blogger...