Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 26 June 2012

X47B අමෙරිකන් නාවික හමුදාවේ ගුවන් යානා ගෙනයන නෞකා වෙනුවෙන් නිර්මාණය වන අලුත්ම නියමු රහිත ස්ටෙල්ත් ප්‍රහාරක යානය [ Aircraft carrier borne Unmanned Comabt Aerial Vehicle-UCAV]


අතිශය රහසිගත යුධ කඳවුරක්වන කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන්හමුදා කඳවුරෙහි එක් ධාවනය පථයක් ඔස්සේ ගුවන්ගතවීම සඳහා වේගයෙන් දිවයන යානයකි. හැඩයෙන් බී-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවට සමානවූ එය ප්‍රමාණයෙන් කුඩාය. එපමණක් නොව තවත් විශේෂත්වයකි. යානය ඉදිරිපස නියමුවන්හට පිටත බැලියහැකි ජනෙල් කවුළු නැත. ඉදිරිපස වීදුරු තිබිය යුතු තැන ඇත්තේ විශාල, අමුතු හැඩයේ වායු අවශෝෂක කවුලුවකි. අළු පැහැති යානයේ බඳෙහි NAVY යනුවෙන් සටහන් කර තිබීමෙන් මෙය අමෙරිකන් ගුවන් හමුදාවට අයත් යානයක් නොව නාවික හමුදාවට අයත් යානයක් බව පමණක් හඳුනාගත හැකිව තිබුණි.

සෙමින් ඉහල එසවුනු යානය එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුර ඉහල අහසේ ඉලිප්සාකාර හැඩයකට ගමන් ඇරඹුවාය.

මෙම ප්‍රථම ගුවන් ගමන නිරීක්ශණය සඳහා අමෙරිකන් නාවික හමුදාවේ ඉහල නිළධාරීන් රාශියක් එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරට රැස්වී සිටියහ. මෙම යානයේ නිර්මාණ කටයුතු ඇරඹුනේ 2007 වසරේදී අමෙරිකන් නාවික හමුදාව අමෙරිකාවේ ප්‍රමුඛතම යුධගුවන් යානා නිර්මාණ සමාගමක් වන නෝත්රොප් ගෘම්මාන් (Northrop Grumman) සමාගමට ඩොලර් මිලියන 637 කොන්ත්‍රාත්තුවක් ලබාදීම සමගය. මෙම ඇණවුම ලබාගැනීම සඳහා ගෘම්මාන් සමාගම සමග තවත් අමෙරිකන් ගගන විද්‍යා ක්ශේෂ්ත්‍රයේ දැවැන්තයෙකු වුන බෝයිං (Boeing Aerospace) සමාගම තරඟ වැදුනි. සමාගම් දෙකම සංකල්ප තහවුරු කිරීමේ පරීකශණ යානා (proof of concept test aircraft) දෙකක් නිර්මාණය කල අතර මේ යානා දෙකෙහිම ක්‍රියාකාරිත්වයන් අධ්‍යයනය කල අමෙරිකන් නාවික හමුදා ගගනවිද්‍යා විශේෂඥයින් ගෘම්මාන් සමාගමේ X-47 නාවික හමුදාවේ අවශ්‍යතාවලට වාඩාත් ගැලෙපෙන යානය ලෙස තෝරාගන්නා ලදී ඒ 2007 වසරේදීය. වසර හතරක නිර්මාණ හා වර්ධන කටයුතුවලින් අණතුරුව 2011 පෙබරවාරියේදී X-47 යානය ප්‍රථම වතාවට සාර්ථකව ගුවන්ගත වන ලද්දේ ගෘම්මාන් සමාගමේ ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයින් මහත් සතුටට පත්කරමිනි.

                        X-47B යානයේ මංගල පියාසැරියේ වීඩියෝව නරඹන්න



X-47හි විශේෂත්වය එය නියමු රහිතව පියාසර කරන යානාවක් වීමය. බෝම්බහෙලන යානයක් වන මෙයට ලබාදී ඇති ප්‍රධාන රාජකාරිය අමෙරිකන් ගුවන් යානා ගෙනයන නෞකාවලින් ස්වාධීනව ගුවන්ගතවී සැතපුම් 2000ක් පමණ ඈතින් ඇති ගොඩබිම් ඉලක්කයකට ලඟාවී නිවැරදි ඉලක්කයට බෝම්බ හෙලා නැවතත් ස්වාධීනව නියමු ආධාරයකින් තොරව මහා සාගරයේ යාත්‍රා කරමින් තිබෙන නෞකාව නිවැරදිව හඳුනාගෙන එයට ගොඩබැසීමයි.

යුධ ගුවන් නියමුවෙකු හට කරන්නට සිදුවන ඉතා අමාරුම මෙන්ම අන්තරාදායක කටයුත්ත ලෙස සැලකෙන්නේ මහා සාගරය මැද යාත්‍රාකරමින් තිබෙන ගුවන් යානා ගෙනයන නෞකාවක ධාවන පථය මතට සිය ගුවන් යානය ගොඩ බැස්සවීමයි.

නෞකාවකට ගුවන්යානයක් ගොඩබැස්සවීම අමාරු කර්තව්‍යයක් වන්නේ ඇයි?

1] ඔබ සැතපුම් 2000ක් ඈතින් ඇති යුධ බිමකට බෝම්බ හෙලා ආපසු ඔබ ගුවන් ගතවුනු නෞකාව වෙත ගොඩබසින්නට එන නාවික හමුදා ගුවන් නියමුවෙකු යයි සිතන්න. මේ වන විට ඔබගේ යානයේ ඉන්ධන තත්තවය ද ඉතා පහල බැස ඇතිවාට සැක නැත. එමපණක් නොව දිගු පියාසැරියකින් හා යුධ මෙහෙයුමකින් පසු ඔබ විඩාවට පත්වී ඇත. මේ නිසා ඔබ ඔබගේ නෞකාව ඉක්මණින් සොයාගත යුතුය. ගොඩබිම ධාවන පථයක් මෙන් නොව මහා සාගරය මැද ගමන්ගන්නා නෞකාවක් සොයා ගැනීමම අපහසු දෙයකි. ගොඩබිමදී ගුවන් නියමුවාට මග පෙන්වීම සඳහා රේඩාර් මධ්‍යස්ථාන, පොලවේ මගසළකුණු/ගොඩනැගිලි/භූවිශමතා ඇත. මේ කිසිවක් නැති මහා සාගරය මැද මීටර් 500-600ක් පමණ දිගින් යුතු ගුවන් යානා ගෙනයන නෞකාව සොයා ගැනීමම ඉතා දක්ශ නියමුවෙකුට පමණක් කල හැකි දෙයකි.

2] ඔබ ගොඩබසින්නේ පොලවේ ඇති ගුවන් පථයකටනම් එය ඔබ ගොඩබසිනතෙක් නොසෙල්වී තිබෙනු ඇත. එහෙත් ඔබ ගොඩබසින්නේ සාගරයේ යාත්‍රාකරමින් තිබෙන නෞකාවකටය! සාමාන්‍යයෙන් ගුවන් යානා ගෙනයන නෞකා ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා ගමන නතර කරන්නේ නැත. එය සාමාන්‍යයෙන් පැයට නාවික සැතපුම් 30ක (56 km/h) පමණ වේගයෙන් නොනවත්වා යාත්‍රාකරමින් තිබෙනු ඇත. ඒ අනුව ඔබට ගොඩ බසින්නට තිබෙන්නේ ගමනේ යෙදෙන ධාවන පථයකටය! මෙය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.

3] මහ මුහුදේ කාළගුණය නිරන්තරව වෙනස්වේ. මුහුද රළුවීම, අධික සුළං, වර්ශාව, මීදුම.. මේ සියල්ලම නාවික හමුදාවක දිනපතා අත්දැකීම් බව නිසැකය. ඉන්ධන අඩුවෙමින් පවතිද්දී නෞකාව සොයාගන්නා ඔබ, ඔබගේ යානය ගොඩබස්වන්නට නෞකාවේ පාලන කුළුණෙන් (control tower) අවසර ඉල්ලද්දි පාළන කුළුණ භාර නිළධාරියා මුහුද රළුවී ඇති බවත් නෞකාවේ ධාවන පථය හරහා වේගවත් සුළං (cross-wind) පවතින බවත් ඔබට දැනුම් දෙයි. ඔබ කුමක් කරන්නද? ඉන්ධන අඩුවෙමින් තිබෙන නිසා ඔබට කාළගුණය යහපත් වන තෙක් ගුවනේ රැඳීසිටින්නට නොහැකිය. එහෙත් ධාවන පථය හරහා හමන සුළඟ ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී ඉතාමත් අණතුරු දායක වන්නේ යානයේ අත්තටු වලට මේ හරස් අතට හමන සුළං බදා යානය පෙරලීයාමට ඉඩ ඇත බැවිනි. යානය පෙරළුනොත් එය වැටෙන්නේ මහ මුහුදටය. එපමණක් නොව මුහුද රළු නිසා ඉතා දැවැත්ත නෞකාවක් වුවත් එයද ඉහලපහල සෙළවෙමින් පැද්දෙමින් පවතිනු ඇත. ඔබට මේ සියල්ලම සලකාගෙන යානය ගොඩ බැස්සවීමට සිදුවනු ඇත. වැඩේ ලෙහෙසියි යයි ඔබ සිතනවාද?



නිමිට්ස් කාණ්ඩයේ ගුවන්යානා ගෙනයන නෞකාවක යානා ගොඩබස්වන ධාවන පථය 
(c) Wikipedia Commons
4] ඔබ ගොඩබසින්නේ පොලවේ ඇති ගුවන් පථයකටනම් ඔබට අඩුම වශයෙන් මීටර් 500ක්වත් දිග ධාවන පථයක් ඇත. එහෙත් ඔබ ගොඩබසින්නේ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නිමිට්ස් කාණ්ඩයේ (Nimitz Class) දැවැන්ත ගුවන් යානා ගෙනයන නෞකාවකවට වුවත් ඔබගේ ධාවන පථය මීටර් 200ට අඩුවෙනු ඇත. එනම් ඔබගේ යානය ගොඩ බැසීමෙන් පසු එය තිරිංග යොදා නවත්වාගන්නට තරම් දුරක් ධාවන පථය තුල නොමැත. ඒ අනුව නෞකා මතට ගොඩ බස්වන යානා නවත්වාගන්නේ යානය පථයේ වදිනවිට  එය හරහා එලා ඇති ඇරෙස්ටර් කේබල් (arrester cable) නම් ශක්තිමත් වානේ කඹයක ආධාරයෙනි. යානයේ පිටුපස පහලින් ඇරෙස්ටර් හුක් (arrester hook) නම් කොක්කක් ඇති අතර එය ඇරෙස්ටර් කේබයේ පැටලීමෙන් යානය නවත්වාගනු ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි ඇරෙස්ටර් කේබල් තුනක් එකිනෙකට සමාන්තරව යම් පරතරයක් ඇතිව ඇති අතර ඔබගේ යානයේ ඇරෙස්ටර් කොක්කට තුන්වන කේබලයද මග හැරුනහොත් එය නවත්වාගත නොහැකිව ඇදී ගොස් අනෙක් පසින් මුහුදට වැටෙනු ඇත. මේ අණතුර වලක්වා ගන්නට නාවික ගුවන් නියමුවන් යානය පහත් කරන්නේ අධික වේගයකිනි. එනම් ඇරෙස්ටර් කේබල් මගහැරුණහොත් නැවතත් යානය ගුවන්ගත කරගැනීමට තරම් ප්‍රමාණවත් වේගයක් රඳවාගනිමින් ඔබ යානය බැස්ස විය යුතුය...

දැන් අප කථාකරමින් සිටි X-47 යානය වෙත හැරෙමු. මෙය නියමු රහිත යානයකි. එහි කාර්‍යභාරය ඔබ ඉහත කියවූ නෞකාවකට ගොඩබැස්සවීමේදී සැලකිය යුතු, සිදුවිය හැකි සියළු අවදානම්, අණතුරු බේරාගෙන තනිවම යානය නෞකාව මතට ගොඩබැස්සවීමයි. එපමණක් නොව මෙම රොබෝ යානය සාමාන්‍ය ගුවන්යානා ගෙනයන නියමුවන් සහිත යානා සමග ක්‍රියාකිරීමේ හැකියාව තිබිය යුතුය. මෙම රොබෝයානා සඳහා නෞකාවේ පද්ධති දැවැන්ත වෙනසකට භාජනය කල නොහැකිය. ඒ, මිනිස් නියමුවන් සහිත F/A-18 E/A සුපර් හෝනට් (බහුකාර්ය- සටන්වදින, බෝම්බ හෙලන ප්‍රහාරක යානයකි ), F/A-18 හෝනට් (බහුකාර්ය- සටන්වදින, බෝම්බ හෙලන ප්‍රහාරක යානයකි ), E-2C හෝක් අයි (ගුවන් කළාප පාළණය කලහැකි, සතුරු යානා පිලිබඳව පූර්ව අණතුරු ඇඟවීම් කල හැකි පියාඹන රේඩාර් මධ්‍යස්ථානයක් වන් යානයකි ), EA-6B ප්‍රව්ලර් (සතුරු ගුවන්යානා හා මිසයිල අන්දමන්ද කළහැකි ඉලෙක්ට්‍රොනික යුධ උප්‍රක්‍රම සතු යානයකි) වැනි යානා සමග ඉලෙක්ට්‍රොනික සබඳතා පවත්වමින් පණිවුඩ හුවමාරු කරගණිමින් මෙහෙයුම් සිදුකල යුතුය.

යානය නිර්මාණය කරන නෝත්රොප් ගෘම්මාන් ඉන්ජිනේරුවන් හට ඇති දැවැන්තම අභියෝගය වන්නේ මෙයයි.

දැන් ප්‍රචලිතව ඇති නියමු රහිත යානා වන ප්‍රිඩේටර්, රීපර් වැනි යානා මෙහෙයුම්වල නිරතවෙන්නේ තනිවමය. තවත් ගුවන්යානා සමග ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ යානාවලට නැත. එහෙත් X-47 යානය දැනට නාවික හමුදාව භාවිතාකරන සියලුම ප්‍රහාරක, සටන්වදින, ඔත්තුබලන යානා සමග සම්බන්ධව තොරතුරු හුවමාරු කරගනිමින් මෙහෙයුම් සිදුකල යුතු නිසා මෙය ඉතාමත් සංකීර්ණ ව්‍යාපෘතියකි.

X-47 ව්‍යාපෘතිය තවමත් පරීක්ශණ මට්ටමේ පවතින අතර දැනට ඇති යානා දෙක නාවික මෙහෙයුම් සඳහා සුදුසුකම් ලබා නැත. තවමත් යානාවල තාක්ශණික කටයුතු, පරිගණක වැඩසටහන් දියුණු කිරීමේ හා අමෙරිකානු නාවික හමුදාවේ අනෙකුත් පරිගණක පද්ධති සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර නාවික අත්හදා බැලීම්, එනම් ගුවන් යානා ගෙනයන නෞකාවකින් ගුවන්ගත කිරීම් හා ගොඩබැස්වීමේ පරීක්ශණ කටයුතු 2013 වසරේ ආරම්භ කිරීමට සැළසුම් කොට ඇත.


X-47B තාක්ශණික තොරතුරු



සාමාන්‍ය වේගය (cruse speed) - මක් 0.45

උපරිම වේගය (maximum speed) - මක් .05 <මක් 0.9

පියාසර පරාසය (range)  - නාවික සැතපුම් 2100 (කිලෝ මීටර්  3900)

පියාසර උස (operational altitude) - පොලවට මීටර් 12000 (කිලෝමීටර් 12)

Armaments- කිලෝග්‍රෑම් 2000 බෝම්බ හෝ මිසයිල ගෙනයා හැකි ආයුධ රාක්ක (weapons bay) 2කි

Engine - ප්‍රැට් ඇන්ඩ් විට්නි සමාගමේ F100-220U වර්ගයේ ආෆ්ටර්-බර්නිං ටර්බෝ ෆෑන් එන්ජිමකි (මෙම එන්ජිම අමෙරිකන් ගුවන්හමුදාවේ F-15 ඊගල් හා F-16 ෆයිටින් ෆෝල්කන් යානාවල භාවිතා කරයි.)

Air Refuelling - X-47 යානයට ගුවනේදී නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ටෑන්කර් යානා වලින් ගුවනේදීම ඉන්ධන පුරවාගත හැකිය. එවිට යානයේ පියාසර පරාසය අසීමිත ලෙස ඉහල දමාගත හැකිය.



Related Posts Plugin for WordPress, Blogger...