Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 27 June 2012

මිනිස් වර්ගයා සමූළඝාතනයට තීන්දුකල ස්කයිනෙට්, තාක්ශණ දියුණුවේ අවසාන ප්‍රතිපලයද?

ස්කයිනෙට්??

ටර්මිනේටර් චිත්‍රපට මාළාවේ සැඟවුනු දුෂ්ඨයා මතකද?

අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘතියක් ලෙස නිපැයුණු කෘත්‍රිම බුද්ධියෙන් යුතු ස්කයිනෙට් පරිගණක වැඩසටහනට සම්ප්‍රජානය (self awareness) ලැබී එය මිනිසෙකු මෙන් සිතන්නට, තීන්දු ගන්නට පටන් ගනී. බියපත් වුනු ආරක්ශක ප්‍රධානීන් එය විනාශකරන්නට උත්සහ කරයි. ස්කයිනෙට් සිය ආත්මාරක්ශාව පිනිස සටන්වදී. තමාව විනාශකිරීමේ වෑයම ආක්ශක ප්‍රධානීන් අත් නොහරින බව තේරුම් ගන්නා සක්යිනෙට්, තම පැවැත්ම උදෙසා මිනිස් වර්ගයා විනාශ කිරීමට ඉටාගනී.

මිනිසෙකු මෙන් සිතිය හැකි, සුපිරි පරිගණකයකට වඩා වේගවත් හා බලවත් ස්කයිනෙට්, මිනිස් වර්ගයා විනාශ කිරීමේ ප්‍රථම පියවර ලෙස අමෙරිකාවේ න්‍යශ්ඨික බැලස්ටික් මිසයිල සියල්ලම රුසියාව වෙත දියත් කරයි. එවිට රුසියාවෙන් එල්ලවන ප්‍රති ප්‍රහාරයෙන් අමෙරිකාවද විනාශවන බව ස්කයිනෙට් දනී. ලොව බලවත්ම රටවල් දෙක න්‍යශ්ඨික යුද්ධයක් අවුලවා විනාශකරන ස්කයිනෙට්, ඉතිරිව සිටින මිනිස් වර්ගයා විනාශකිරීමට ටර්මිනටර් නම් රොබෝ යන්ත්‍ර නිපදවා මුදා හරියි.

මිනිස් වර්ගයා සිය පවැත්ම උදෙසා "ජෝන් කොනර්" නම් තරුණ සටන් නායකයෙකු වටා ඒකරාශී වෙයි....

සුපිරි  නිසා විශ්මිත තාක්ශණික නිර්මාණ සිදුකරන ස්කයිනෙට්, අතීතයට හෝ අනාගතයට ටර්මිනේටර් රොබෝවරුන් යැවිය හැකි time travel තාක්ශණයක් බිහිකරයි. ඒ මගින් මිනිස් සටන්කාමීන්ගේ නායකයා වන ජෝන් කොනර් ඉපදෙන්නට පෙර ඔහුගේ මව මරාදමා ජෝන් කොනර් නම් සිය විරුද්ධවාදියාගේ ඉපදීම නතකර කරන්නට ස්කයිනෙට් උත්සහ කරයි. ස්කයිනෙට් ගේ කාළ ගමන් තාක්ශණය කෙසේ හෝ සොරාගන්නා ජෝන් කොනර්ගේ සටන්කාමීන්, ජෝන්ගේ මව, සේරා කොනර් මරාදැමීමට යවන ටර්මිනේටර් රොබෝවා විනාශකොට සේරා කොනර්ව ආරක්ශා කිරීමට කයිල් රීස් (Kyle Rees) නම් දක්ශ යුධ සෙබෙලෙකු අතීතයට යවයි.....

Technological Singularity : තාක්ශණ දියුණුවේ අනියම් අපූර්වතා මොහොත...

ස්කයිනෙට් පරිගණක වැඩසටහන වැනි කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහනක් හෝ රොබෝවෙකු සම්ප්‍රජානය ලබා තමාගැන හැඟීමක් ඇතිකර ගන්නා මොහොත  technological singularity ලෙස හැඳින්වේ...

සංකීර්ණ හා ව්‍යාකූල සංකල්පයක් වන සින්ගියුලැරිටි අවස්ථාව, ටර්මිනේටර් චිත්‍රපට වෘතාන්තය රූපවාහිනී වැඩසටහන් මාලාවකට අනුවර්තනය කල "Terminator: Sara Conner Chronicles" හි එක් කථාංගයක, ජෝන් කොනර් විස්තර කරන්නේ මෙසේයි.
" Point of technological singularity is when machines become so smart that they can build even smarter machines by themselves ...... thats when the human race can kiss their ass good-bye....."
ටර්මිනේටර් වෘතාන්තයට අනුව, තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාව, එනම් කෘතිම බුද්ධියක් ඇති පරිගණක, මිනිසුන් මෙන් සිතන්නට හා තමන්ටත් වඩා බුද්ධිමත් පරිගණක මිනිස් ආධාරයකින් තොරව තනන්නට පටන්ගන්නා මොහොත මිනිස් වර්ගයාගේ අවසානයේ ආරම්භයයි.

අනියම් අපූර්වතාවය??

පරිගණක විද්‍යාඥයින්, අයිසැක් ඇසිමොෆ් ආතර් සී ක්ලාක් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රභන්දකරුවන්, පරිගණකයක් සම්ප්‍රජානය ලබන මොහොත සින්ගියුලැරිටි හෙවත් අසාමාන්‍ය අපූර්වතා මොහොත යයි හඳුන්වන්නේ, එම අවස්ථාවෙන් පසු සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නිවැරදි අනාවැකි කීමට අපොහොසත් වන බැවිනි. 

එක් අතකින්, එම මොහොත ස්කයිනෙට් වැනි මිනිස් වර්ගයා කරදරකාරී, විනාශකර දැමිය යුතු විශබීජයක් ලෙස සළකන ව්‍යසනකාරි සතුරෙකු බිහිවන අවස්ථාවක් විය හැකියි. අනෙක් අතට, මිනිස් වර්ගයාට පෙර නොවූ විරූ දියුණුවක් අත්පත් කොට දෙන, මිනිසා විසින් වසර සිය දහස් ගණනක් සෙමෙන් දියුණු කරමින් පවතින තාක්ශණය, දැවැන්ත ඉදිරි පිම්මක් පණින මිනිස් ඉතිහාසයේ අපූර්වම අවස්ථාවක් වන්නටද පුලුවන. ඒ අතරම ඔය ආන්තික දෙකෙන් අහඹු අතරමැදි යථාර්ථයක් බිහිකරන අවස්ථාවක්ද විය හැකිය.

අපට කලහැක්කේ අනුමාන කිරීම පමණකි.

කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයක ලක්ෂණ


තර්කනය (reasoning), අපෝහනය (deduction) හා ගැටලු විසඳීමේ හැකියාව - අසම්පූර්ණ තොරතුරු හා නොදන්නා අවස්ථාවලදී (unknown situations) තීන්දුවකට එලඹිමේ හැකියාව හා එම තීන්දු තර්කානුකූලව විස්තර කිරීමේ හැකියාව. මෙය පරිගණකයකට ඉගැන්වීමට ඉතා අපහසු දෙයකි. දැනට "විශේෂඥ පද්ධති නැතහොත් expert systems" ලෙස හඳුන්වන යම් පමණකට කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇති වැඩසටහන් වෛද්‍ය,ව්‍යාපාරික හා ආරක්ශක වැනි අංශවලට සාර්ථකව අනුයුක්ත කොට ඇත. එහෙත් මෙම වැඩසටහන් සිතන පතන වැඩසටහන් නොව, හුදෙක්ම යම් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු ගැටලුවක් විසඳනා ආකාරය අනුකරනය කිරීමකි. උදාහරණයක් ලෙස රෝගියෙකුගේ රෝග ලක්ශණ හා රෝගියාගේ ඉතිහාසය ලබාදුන් විට එම රෝගියාට වැළඳී ඇති අසනීපය පිලිබඳව සාර්ථක නිගමනයන්ට එලබීමට medical expert system එකකට හැකියාව ඇත. එහෙත් එම වැඩසටහන් වලට කිසිවිටෙකත් මිනිස් වෛද්‍යවරයෙකු තුල ඇති හැකියාවට ආසන්න වීමට පවා නොහැකිය.


සාමාන්‍ය දැනීම හා සමාජයක මෙන්ම මිනිස් සබඳතාවල රීති ගැන ඇති විචාරශීලී අවබෝධය (common sense and social intelligence)- මිනිසුන් වන අප මේවා කුඩා කල පටන් ඉගනගෙන හෝ පලපුරුද්දෙන් දැන ගෙන ඇත. එහෙත් පරිගණකයකට මෙවැනිදෑ ඉතා අපහසුව. උදාහරණයක් ලෙස "දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට ගරුකල යුත්තේ ඇයි?" කුඩා දරුවෙකුට වුවත් මෙයට සාර්ථක පිලිතුරක් දිය හැකිය. එහෙත් පරිගණකයකට මෙවැන්නක් අවබෝධකරදීම සිතනවාට වඩා බොහෝ සෙයින් අපහසුය.

ඉලක්ක හඳුනාගෙන එම ඉලක්ක සපුරාගැනීම සඳහා ප්‍රායෝගික සැළසුම් සකස් කිරීමේ හැකියාව - අසම්පූර්ණ දත්ත, තමන්සතු සම්පත්, එම සම්පත්වල ගුණාගුණ ගැන නිසි අවබෝධයක් මෙන්ම , පරිසරයේ ඇති තමන්ට සහය ගත හැකි මෙන්ම බාධක විය හැකි දේද හඳුනාගෙන ඒ සියල්ලම උපයෝගීකරගෙන ප්‍රායෝගික ඉලක්ක හා එම ඉලක්ක සැපුරාගැනීමට සැලැස්මක් නිර්මාණය කිරීමේ හැකියාව.

ඉගැනීමේ හැකියාව:
ඉගැනීමේ හැකියාව යනු හුදෙක් දත්ත රැස් කොට ගබඩාකර ගැනීම නොව, දැනුම ලබාගෙන එම දැනුම භාවිතයෙන් සිය හැසිරීම, අවබෝධය ඉලක්ක හා සැළසුම් වෙනස් කරගැනීමේ හා වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලෙස සරලව පැහැදිලිකල හැකිය.


චිත්තවේග හා අනෙකුගේ චිත්තවේග හා මානසිකත්වය තේරුම්ගැනීමේ හැකියාව - ඉතා කුඩා ළදරුවන් තුලපවා මෙම හැකියාව යම් මට්ටමකට ඇත. ලඟ සිටිනා තවත් ළදරුවෙකු හඬනවිට හඬන්නට පටන්ගන්නා ළදරුවන් මෙන්ම හඬන ළදරුවාට තමාගේ සෙල්ලම් බඩුවක් දික් කරන ළදරුවාද පෙන්වන්නේ අනෙකාගේ මානසිකත්වය තේරුම් ගෙන ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවයි. එහෙත් මෙය පරිගණකයකට ඉගැන්වීමට අපහසුම දෙයකි.

නිර්මාණශීලීතිවය - අප මනුශ්‍යන් වන්නේත්, අප යම් පමණකට බුද්ධියක් ඇති වානර හා වෙනත් සතුන් (ඩොල්ෆිනුන්, සුනඛයින්) ගෙන වෙනස් වන්නට එක් හෙතුවක් නම් අපගේ නිර්මාණශීලිත්වයයි. මානව පරිණාමයේ හිනි පෙත්ත නිර්මාණශීලී හැකියාව හා දියුණු භාශා හැකියාව බව මානව විද්‍යාවේ උගන්වයි.

භාශා හැසිරවීමේ හැකියාව - කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයකට සාමාන්‍ය මිනිසෙකුට මෙන් චතුර්ව භාශාවක් හැසිරවීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව තිබිය යුතුය.

පරිගණකයකට සැබෑවටම කෘත්‍රිම බුද්ධියක් තිබේදැයි පරීක්ශාකර බැලිය හැකි "ටියුරින් පරීක්ශණය"

බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයෙකු හා ගණිතඥයෙකු වූ ඇලන් ටියුරින් විසින් නිර්මාණය කරණ ලද සරල පරීක්ශණයක් ටියුරින් පරීක්ශණය ලෙස හැඳින්වේ. 1950 වසරේදී ඔහු විසින් සම්පාදනය කරන ලද "ගණක යන්ත්‍ර හා බුද්ධිය" නම් වූ ශාස්ත්‍රීය නිබන්ධයන මගින් මෙම පරීක්ශණය ලොවට හඳුන්වා දුනි.  මෙම පරීක්ශණය නිර්මාණය කොට ඇත්තේ පරිගණකයකට, මිනිසෙකු හා සමානව සිතන්නට හා සාමාණ්‍ය භාශාවෙන් පිලිතුරු දීමටත් ඇති හැකියාව සොයා බැලීමටයි.

Turing Test Illustration - (C) Wikipedia
A යනු කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇත්දැයි පරීක්ශාවට ලක්වෙන පරිගණක වැඩසටහනයි.

B ‍යනු පරීක්ශණයට සහභාගීවෙන මිනිස් සහභාගියෙකි

C පරීක්ශණය කරන තැනැත්තාය.

C,  A B සමග පරිගණක තිරයක් මගින් සම්බන්ධ වේ. C නගන පැනයට A හා B දෙන පිලිතුරු C ගේ පරිගණක තිරයේ සටහන්වේ. A හා B කවුරු පරිගණකයද, කවුරු මිනිස් සහභාගිකයාද යන්න C ගෙන වසන් කොට ඇත.

C ගේ කාර්යය වන්නේ අසන පැනවලට A හා B දෙන පිලිතුරු ආධාරයෙන් මේ දෙදෙනාගෙන් පරිගණකය කවුද මිනිසා කවුද යයි තීරණය කිරීමයි.

ටියුරින් පරීක්ශණයෙන් පරිගණකයක් සමත්වන්නට නම්, පරීක්ශණ වට ගණනාවකදීම Cට පරිගණකය කවුදැයි නිශ්චිතව කිව නොහැකි විය යුතුය. එනම් මනුශ්‍යයෙකුට සමානවම පරිගණකයද පිලිතුරු දිය යුතුය.

ටියුරින් පරීක්ශණයට විවිධ විවේචන ඇතත්, දැනට කෘත්‍රිම බුද්ධිය ගැන කෙරෙන පර්යේශකයින් ටියුරින් පරීක්ශණය සිය පර්යේශණවල මූලික පාදකයක් ලෙස භාවිතාකරයි.


අනියම් අපූර්වතා මොහොතට අප කොතරම් සමීපද? 

කෘත්‍රිම බුද්ධිය දියුණු කීරීමට කෙරන පර්යේෂණ, යුධ කටයුතු සඳහා අමෙරිකාව වැනි රටවල් දියුණු කෙරෙමින් පවතින රොබෝ තාක්ශණයන් හා ජපානය වැනි රටවල් පොදු මහජන සුභසිද්ධිය සඳහා සිදුකරමින් පවතින පර්යේෂණ හා නිර්මාණවල ලයිස්තුව ඉතා දිගුය. එම තාක්ෂණයන් විස්තර කරමින් ඔබව වෙහෙසට පත්කීරීම නිෂ්ඵලය.

දැනට පරිගණක විද්‍යාඥයින් හා කෘත්‍රිම බුද්ධි පර්යේශකයින් බොහෝ දෙනා විශ්වාසකරන්නේ අප තවමත් තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාවට ලඟාවී නොමැති බවයි. ඒ සඳහා තවත් අවුරුදු 15-20 පමණ කෘත්‍රිම බුද්ධි තාක්ශණය දියුණු විය යුතු බව බහුතර විශ්වාසයයි.


ඒ අනුව Skynet තවමත් බිහිවී නැති බව කිව යුතුය.  






- // -
 


Related Posts Plugin for WordPress, Blogger...