Smartphone War: ඇපල් සැමසුන්ග් හබය වෙළඳ දැන්වීම වලිනුත්....




ඇපල් සමාගමේ බුද්ධිමය දේපොල අයුතුලෙස පරිහරණය කරන ලද බවට අධිකරණයෙන් විනිශ්චය ලැබී, ඩොලර් බිලියනක වන්දියක් ගෙවන්නට නියමවී දැන් සති කිහිපයකි. මෙම විනිශ්චය පිලිබඳ සැම්සුන්ග් සමාගමේ නිළ ස්ථාවරය (එනම් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ) එලිදැක්වී ඇතත් තවමත් සැම්සුන්ග් සමාගම එවැනි පියවරක් ගෙන නැත.

එහෙත්, ඇපල් සමාගම පිලිබඳව තමන්ගේ ඇති ජුගුප්සාව  සැම්සුන්ග් සමාගම මේ ඉරිදා (සැප් 16) අමෙරිකානු පුවත්පත්වල පලකල දැන්වීමක් මගින් එලිදක්වී ඇත.

කෙලින්ම ඇපල් අයිෆෝන් 5 ඉලක්ක කරගනිමින් පලවී ඇති, "It doesn't take a genius" නම්වූ මෙම දැන්වීම තුලින් සැම්සුන්ග් සමාගම සිය ගැලැක්සි SIII දුරකථනය හා ඇපල් අයිෆෝන් 5 සංසන්දනය කරමින්, ඇපල් අයිෆෝන් 5ට වඩා අධි-තාක්ශණික උපාංග රැසක් තමන්ගේ ගැලැක්සි SIII ෆෝනයේ අඩංගු බව පෙන්වාදෙයි. "It doesn't take a genius" හෙඩිම පවා ඇපල් සමාගමේ නිළ අළෙවි සැල්වල අංගයක් වන, පාරිභෝගිකයින්ගේ ගැටලු විසඳාදෙන පුහුණු ඇපල් තාක්ශණික ශිල්පීන්ගේ සේවය ලබාගත හැකි "Genius Bar" නම් නවතම පාරිභෝගික සේවාව අවඥාවට බඳුන්කරයි.



ඇපල් සමාගම ඩොලර් බිලියනයක වන්දියක් දිනාගත්තාට අමතරව, සිය ජනප්‍රියම ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක මාදිලි ඇමරිකාවේ තහනම් කරන්නට යයි උසාවි නියෝග ඉල්ලමින් තමන්ගේ ව්‍යාපාරය විනාශකිරීමට ගන්නා උත්සහය, විශේෂයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පිලිබඳව ගූගල් සමාගම සමග ඇති කෝන්තරය තමන්ව විනාශ කරමින් පිරිමසාගන්නට ඇපල් සමාගම උත්සහ කිරීම, සැම්සුන්ග් සමාගම දැඩි ලෙස කළකිරවීමට සමත්වී ඇතැයි විචාරකයින් පවසනවා.

ඇපල් අයිෆෝන්, අයිපෑඩ් තුල වැඩියෙන්ම තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ නිශ්පාදන!

ඇපල් අයිෆෝන් හා අයිපෑඩ් පරිගණක වල සාර්ථකත්වයේ යම් ගෞරවයක් සැම්සුන්ග් සමාගමටද ලැබිය යුතුවන්නේ ඇපල් ඇයිෆෝන් හා අයිපෑඩ් වල වැදගත් උපාංග ගණනාවක් ඇපල් සමාගම මිළදීගන්නේ සැම්සුන්ග් සමාගමෙන් වීමයි.

මෙය බොහෝ දෙනා නොදන්නා කරණයක්. ඇපල් සමාගම සැම්සුන්ග් සමාගමෙන් සිය නිශ්පාදන සඳහා ප්‍රොසෙසර් (ප්‍රධාන ප්‍රොසෙසරය නොවේ) DRAM හා NAND Flash මතක පරිපථ මිළදීගනියි. සැම්සුන්ග් සමාගමද ඇපල් සමාගමට උපරිම සේවයක් ලබාදීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඇපල් සමාගම වෙනුවෙන්ම විශාල සංගෘහිත පරිපථ කර්මාණ්තශාලවක්ද පිහිටුවා ඇත. ඇපල් සමාගමේ නිශ්පාදන ජනප්‍රිය කරමීමට මෙතරම් නිහඬ සේවයක් කරද්දීත් ඇපල් සමාගම, තමන් දැඩි උත්සහයකින් ගොඩනගාගත් ජංගම දුරකථන ව්‍යාපාරයට පහර පිට පහර එල්ලකිරීම සැම්සුන්ග් සමාගමේ ඉවසීමේ සීමා රතු ඉර කරා තල්ලුකිරීමට සමත්වෙමින් ඇතැයි තතුදත් ආරංචිමාර්ග පවසයි.

මේ අතර ඇපල් සමාගමද සැම්සුන්ග් සමාගම මත යැපීම අවම කිරීමට පියවර ගෙන ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) ව්‍යාපාරික පුවත්පත වාර්තාකොට සිටිනවා. සැම්සුන්ග් සමාගම වෙනුවට, තවත් දැවැන්ත දකුණු කොරියානු සංගෘහිත පරිපථ නිශ්පාදකයෙකු වන හයිනික්ස් (Hynix) සමාගමට වැඩියෙන් ඇනවුම් ලබාදීමට ඇපල් සමාගම පෙළබී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් සඳහන් කරනවා.

සැම්සුන්ග් දැන්වීමට විවේචන

මෙම දැන්වීම සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගමට එල්ලවන ප්‍රධාන විවේචනය නම් ඔවුන් හිතාමතාම ඇපල් අයිෆෝන් වල ඇති ඉතා ජනප්‍රිය හා ප්‍රයෝජනවත් සේවාවන් වන FaceTime, iCloud, iTunes අයිෆෝන් උපාංග ලයිස්තුවෙන් ඉවත් කොට ඇති බවයි. මෙවැනි දැන්වීම් ඉදිරිපත් කිරීම එතරම් ඥාණාන්විත ක්‍රියාවක් නොවන බව මධ්‍යස්ථ විචාරකයින්ගේ මතයයි.

iPhone 5 නඩු දාන්න සැම්සුන්ග් දින ගනියි!

ඇපල් අයිෆෝන් 5 සැම්සුන්ග් ජන්ම භූමිය වන දකුණු කොරියාවේ වෙළඳපොලට නිකුත් කරන දිනයේම එයට එරෙහිව පේටන්ට් නඩුවක් දැමීමට සැම්සුන්ග් සමාගම බලාපොරොත්තුවෙන බව කොරියා ටයිම්ස් පුවත්පත වාර්තාකර සිටිනවා. ජංගම දුරකථනවල දත්ත සම්ප්‍රේශණ තාක්ශණයන්ට අදාල පේටන්ට් විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන සැම්සුන්ග් සමාගම පවසන ආකරයට යම් ජංගම දුරකථනයක් දත්ත සම්ප්‍රේශණ හැකියාව ලැබ තිබෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පේටන්ට් බලපත්‍රවලින් ආවරණය වන තාක්ශණයන් එහි අඩංගුවී ඇති බව  කොරියා ටයිම්ස් පුවත්පතට පවසා තිබෙනවා. ඒ අනුව 4G LTE තාක්ශණය අඩංගු අයිෆෝන් 5 තමන්ගේ දත්ත සම්ප්‍රේශණ තාක්ශණ පේටන්ට් අනවසරයෙන් භාවිතයට ගෙන ඇතැයි චෝදනා කරමින් කොරියානු අධිකරණයක නඩු පැවරීමට සැම්සුන්ග් සමාගම මේදිනවල සූදනම් වෙමින් පවතින බව පැවසෙනවා.

සතපහේ කාසිවලින් වන්දිය ගෙවන්නට සූදානම් වන සැම්සුන්ග්


මේ අතර ඇපල් සැම්සුන්ග් සටන ප්‍රහසනයක් ලෙස දකින සමහර වෙබ් අඩවි, සැම්සුන්ග් සමාගම ඇපල් සමාගමට ගෙවිය යුතු ඩොලර් බිලියනයේ වන්දිය "නිකල්" ලෙස හැඳින්වෙන අමෙරිකානු සතපහේ කාසි වලින් ගෙවන්නට සූදානම් වන බවට බවට කතාවක් පතුරවමින් සිටිනවා. ඇපල් සමාගම උපහාසයට ලක් කරෙමින් සිදුකරන මේ ලිඳලඟ කතාවට අනුව මේ දිනවලසැම්සුන්ග් සමාගම ට්‍රක් රථ 30ක් සත පහේ කාසිවලින් පුරවමින් සිටින බවත්, නුදුරු දිනකදී මෙම ට්‍රක් රථ කැලිෆෝනියාවේ කියුපර්ටිනෝහි පිහිටි ඇපල් මූලස්ථානය ඉදිරිපිට මෙම සත පහේ කඳු ගොඩ බා යනු ඇති බවටත් කියවෙනවා.




Comments

  1. මොකක් උනත් ලැජ්ජයි නේද?

    ReplyDelete
  2. machan blogspot eken site 1 ta yanawanam mama help karannam.. patta wade.. one nama server 1 site 1 2 kama karala dennam dennam

    ReplyDelete
  3. අන්තිමට උන් දෙගොල්ලම ගොඩ බඩු ගත්ත අපි බිම

    ReplyDelete
  4. වටිනා ලිපියක්......මට තැගි හම්බවුනා ඇපල් අයි පැඩ් එකකුයි, අයි ෆොන් එකකුයි මම එදෙකම විකුනලා සෝනි ලැප්ටොප් එකකුයි සෝනි එක්ස් පිරිආ ෆොන් එකකුයි සැම්සුන්ග් ගැලක්සි ෆොන් එකකුයි මිලදි ගත්තා, මම නම් එදා ඉදන් පාවිච්චි කරන්නේ සෝනි උපාංගයි, සැම්සුන්ග් උපාංගයි , මම ඇපල් ප්‍රඩක්ශන් වලට ආසම නැහැ....

    ReplyDelete

Post a Comment