Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 30 July 2016

රතු දත්ත ලේඛනයට ගිය පතන් කුකුළා අපට අහිමි වෙයි ද?



පතන් කුකුළාට බොහෝ නම් තිබේ. ඒ අනුව පතන් වටුවා, උස්සා වටුවා, පුල්ලි වටුවා, මානා වටුවා, මානා කුකුළා, මල් වටුවා සහ කලා වටුවා කියා ද මේ පක්ෂියා හඳුනා ගනියි. කෙටි පළල් හොටය අගින් මඳක් පහළට නැවී තිබේ. හොඳින් වැඩුණු පාද ශක්තිමත් ය. පියාපත් පළල් ය. එහෙත් කෙටි ය. වලිගය ද කෙටි ය. ගැහැනු සහ පිරිමි සතුන් වර්ණ වෙනස්කම් සහිත ය. කෙසේ වෙතත් දෙදෙනාගේ ම හොට ළා දුඹුරු පැහැති ය. පාද අඳුරු වර්ණයක් ගනියි.

පතන් කුකුළන් ජීවත් වන්නේ පතන් බිම්වල ය. පතන් බිම් වශයෙන් හැඳින්වෙන්නේ උස් තෘණ වැඩෙන විවෘත තැනිතලා බිම් ය. එහෙම වුණත් සහජයෙන් ම කුලෑටි පක්ෂියෝ කොටසක් වන මොවුන් දැකගැනීම පහසු නැතැයි පැවැසේ.

නිරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන අන්දමට බොහෝ විට මොවුහු යුගල වශයෙන්, තෘණ පඳුරු අතර එහා මෙහා යමින් ආහාර සොයමින් කාලය ගෙවති. කලබලයක දී වේගයෙන් ඉවතට දිව යති. පියාසලන්නේ කෙටි දුරකි. තටු සැලීම වේගවත් ය. ඉන් ශබ්ද නැ‍ඟෙයි. මොවුන්ට “උස්සා වටුවා” යැයි කීමට ද එය හේතුවකි. ඒ ඇවිදින අතරවාරයේදී ගෙල සෙමෙන් ඉහළට ඔසවා අවට පරීක්ෂා කිරීමේ පුරුද්ද නිසා ය. ඇතැම් විටෙක දී වටහාගත නොහැකි කලබලයක් හමුවේ ගෙල, ශරීරයත් සමඟින් ම ඉහළට ඇදී වඩාත් කලබලකාරී ලෙසින් අවට බලා හැකිතාක් වේගයෙන් එතැන අත්හැර පලා යාම මොවුන්ගේ සිරිත යි.


පක්ෂි නිරීක්ෂණ වාර්තාවට අනුව පතන් කුකුළන්ගේ පිරිමි පාර්ශ්වය උදෑසනදීත් සවස් කාලයන් හිදීත් එක දිගට තියුණු ස්වරයකින් හඬනු ඇසිය හැකි ය. ඒ හැඬීම වෙනුවෙන් උන් තෝරා ගන්නේ යම් උස් ස්ථානයකි. එය ලී කොටයක් හුබහක් වැනි උස් තැනක් වීමට ඉඩ තිබේ. ඈතට ඇසෙන මේ හඬට ප්‍රතිචාර දැක්වීමට සෙසු පිරිමි සත්තු ද ඉදිරිපත් වෙති. ඇතැම් විට මේ හඬ දිඟු වෙලාවක් තුළ අඛණ්ඩව පවතී. ඒ කාලය තුළ මේ පක්ෂීන්ව හොඳින් දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වෙයි.

පතන් කුකුළා ක්‍රියාශීලි පක්ෂියෙකි. නිතර ම එහා මෙහා යමින් ආහාර සෙවීමේ යෙදෙන මොවුහු තෘණ බීජ, ධාන්‍ය වර්ග, ශාක කොටස් පමණක් නොව, කුහුඹුවන් හා වේයන් ද ආහාරයට ගනිති. නිරීක්ෂණ වාර්තාව ඒ ගැන මෙසේ ද පවසයි.

“සාමාන්‍යයෙන් එළිමහනේ ගැවසීමට අකැමැති ආවරණයක් සහිත තැන්වල ද ඇතැම් විට එළිමහනේ ද ගැවසෙනු දක්නට ලැබේ. කලබලකාරී නොවන මාර්ගවලට ද ඉඳහිට පැමිණෙනු දැකගත හැකි විය.



පතන් කුකුළු කැදැල්ලක් ගැන මුල් වරට වාර්තා වෙන්නේ 1972 වසරේ ජූලි මාසයේ දී ය. ප්‍රදේශය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ හේනබැද්ද ය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සේවය කළ ෂර්ලි පෙරේරා මහතාට හමුවුණු මේ කැදැල්ලේ ක්‍රීම් පැහැති බිත්තර දෙකක් තිබී ඇත. ඉන් පසු මෙතෙක් වාර්තාගත වී ඇති එකම කැදැල්ල වශයෙන් සටහන් වන්නේ 2000 වසරේ ජුනි මස දී ලංකා කුරුලු සංගමයේ කිත්සිරි ගුණවර්ධන සහ උදිත හෙට්ටිගේ යන අය විසින් නිරීක්ෂණය කරන්නට යෙදුණු ගිනි ගැනීමක් හේතුවෙන් අත්හැර දමා තිබූ පතන් කුකුළු කූඩුව යි. ඒ තුළ ද ක්‍රීම් පැහැති බිත්තර තිබිණි.

තව ද කඳුකරයේ ගිනිකොන හා දක්ෂිණ කලාපවලින් ද පතන් කුකුළා දුර්ලභ පක්ෂි විශේෂයක් බවට පත් ව සිටියි. 1953 වර්ෂය වන විටත් මේ පක්ෂීන් ඌව කඳුකරයේ තෘණ බිම්වලත් විරල වූ බව පිලිප්ස් මහතා නිරීක්ෂණය කොට ඇත. එහෙත් පහතරට බිබිලේ හා නිල්ගල යන ප්‍රදේශවල සුලබව දැකිය හැකි බවක් ද ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පතන් කුකුළා යම් යම් ප්‍රදේශවලින් තුරන් ව යෑමේ අවදානමක් පවතී යන්න ද ඔහු අවධාරණයෙන් යුතුව සටහන් කොට තිබේ

වාර්තාවන්හි සඳහන් නොවුණත් මේ පක්ෂීන් 1970 – 1980 දශකවලදී පදියතලාවේදීත්, බිබිලේ හා පදියතලාව – මහියංගණය අතර ඇති මාර්ගය දෙපසත් ඇති අරළු, බුළු, නෙල්ලි, පැඟිරි, මානා ආශ්‍රිත පරිසර පද්ධතියේ දී තමාට දැක ගැනීමට හැකි වූයේ යැයි ජගත් ගුණවර්ධන මහතා පවසයි. තව ද 1970 දක්වා කාලය වන තෙක් ඔවුන් ඇතැම් විට මහියංගණය හා පදියතලාව අතර ප්‍රධාන මාර්ගයේ සැරිසරනවා ද දැක තිබේ. ඒ ගැන ඔහු මෙසේ ද පවසයි.

පතන් කුකුළා දහනව වන සියවසේ දී මෙරට පුළුල් තෘණ භූමි කලාපයක ජීවත් වූ බවත් 1880 දී ප්‍රකාශිත ග්‍රන්ථයකට අනුව නුවරඑළිය, කඳපොළ, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, උඩුපුස්සැල්ලාව, බිබිලේ සිට වැල්ලවාය දක්වාත් අනිත් පසින් හල්දුම්මුල්ල තෙක් ද ඔවුන් ඒ ආකාරයට ව්‍යාප්තව සිටියේ යැයි සඳහන් ය. මේ අපූර්ව පක්ෂි විශේෂය රට තුළ දුර්ලභ වීමට පටන්ගෙන ඇත්තේ අද ඊයේ සිට නොව, එක්දාස් නවසිය හතළිස් ගණන්වල සිටම ය. ඒ බව තහවුරු කරමින් සිසිලි ලශින්ටන් 1949 දී ලියු ග්‍රන්ථයකින්, වැලිමඩ හා එරබැද්ද ප්‍රදේශවල අතීතයේ සුලබව සිටි මේ පක්ෂියා ඒ වන විට එකී ප්‍රදේශවලින් තුරන් ව ගොස් ඇති බව පවසයි.


“මේ වන විට පතන් වටුවාගේ සමස්ත ව්‍යාප්තිය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ බටහිර කොටස හා ඊට යාබදව ඇති අරළු බුළු නෙල්ලි සහිත පතන් බිම්වලට සීමා වී ඇති බැව් පසුගිය දශක තුන පුරා ලැබුණු වාර්තාවලින් පෙනී යයි. ඒ පරිසරයේ ඇති ප්‍රධාන තෘණ විශේෂය වන පැඟිරි මානා මේ පක්ෂියාට අවශ්‍ය පරිසර තත්ත්වයන් හා රැකවරණය දී ඇත.” එසේ වුණත් ඇතැම් ප්‍රදේශවල දී වියළි කාලවල දී මේ පැඟිරි මානා ගිනි තැබීම නිසා පක්ෂීන් හා බිත්තර විනාශයට පත් වීමත්, පසුව පැඟිරි මානා පරදා ඉලුක් වැඩී යෑම නිසා මේ පක්ෂීන් දෙයාකාරයකින් වඳ වීම සිදු වන්නේ යැයි ඔහු පවසයි. ඉළුක් උසින් අඩු ය. ඝනට වැඩෙයි. ආහාරයට ගත හැකි තරමේ විශාල බීජ ඒවායේ නැත.

ඒ නිසා ඉලුක් මඟින් පතන් කුකුළන්ගේ අවශ්‍යතා සම්පූර්ණ නොවේ. මෙය ද අදාළ පක්ෂීන් වඳ වී යෑමට හේතුවක් ලෙසින් හඳුනාගෙන තිබේ.

මෙවැනි අවස්ථා සිද්ධි ගණනක් හමුවේ පතන් කුකුළා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙසින් යොමු වූ පක්ෂියකු ලෙසින් 2007 ප්‍රකාශිත රතු දත්ත ලේඛනයට ඇතුළු කිරීමට පරිසර අමාත්‍යාංශයට සිදු විය. ඉන් පසු වසරවලදීත් මේ තත්ත්වයේ වෙනසක් නොවීය.

“වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය වූ 2009 අංක 22 දරන පනත අනුව මේ පක්ෂියා දැඩි ලෙස ආරක්ෂිත පක්ෂියෙකු වී ඇත. එහෙත් එම ප්‍රතිපාදනයන් හි සම්පූර්ණ වාසිය පතන් වටුවාට නොලැබෙන්නේ ඔවුන් වර්තමානයේ විනාශයට ප්‍රධාන හේතුව අතීතයේ දී මෙන් දඩයම නොව පරිසර විනාශය හා හායනය වීම නිසා ය.”

මේ අනුව පතන් කුකුළා හෙවත් පතන් වටුවා ගේ අවසන් නිජබිම නිල්ගල ප්‍රදේශය බවට පත් ව තිබේ. ඒ ස්ථානය ද රැක ගැනීමට අප අසමත් වුවහොත් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මේ පක්ෂි, උප විශේෂය ලෝකයෙන් ම වඳ වී යෑමේ අවදානම මඟ හරවා ගැනීමට නුපුළුවන. 1953 දී අප අත්හැර ගිය ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ. ෆිලිප්ස් මහතා ඒ අවදානම ගැන සිය කනස්සල්ල පල කරමින් පවසා ඇත්තේ ‍මේ පක්ෂියා රැක ගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන වඳ වී යෑමට ඉඩ හැරීම විද්‍යාවටත්, පරිසරයටත්, අනාගත පරපුරටත් සිදු කරන්නා වූ ඛේදවාචකයක් විය හැකි බව යි. පක්ෂි නිරීක්ෂක – නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කරන අන්දමට ඉහත අනතුරු හැඟවීම සිදු කොට වසර 65 කටත් වඩා කාලයක් ගෙවී ඇතත් ඒ තත්ත්වය වඩ වඩාත් අවදානම් තත්ත්වයකට මිස යහපත් තැනකට යාමක් දැකිය නොහැකිය.


Source :
නිල්ගලට කොටු වී රතු දත්ත ලේඛනයට ගිය පතන් කුකුළා අපට අහිමි වෙයි ද? - බී. කේ. එම්. එස්. ආරියවංශ
Photo Credit : Credit for all photographs included here are attributed whoever they are attributed to in the original article cited above. 

__________________________________________________________________________ 
Creative Commons License 
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   
__________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...