Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 26 March 2017

Zero to One : සිලිකන් නිම්නයේ සුපිරි ආයෝජකයා Peter Thiel ගේ අත්පොත


වෘත්තියෙන් කළමණාකරන කථිකාචාර්යවරයෙකු  මා පීටර් ටීල් (Peter Thiel - Pronounced Teel) පිලිබඳව බොහෝ වර අසා තිබුණේය. ඊලෝන් මස්ක් සමග පේ-පෑල් විද්‍යුත් ගෙවුම් සමාගමේ සමාඅරම්භකයෙකු ලෙස සැලකෙන පීටර් ටීල් ෆේස්බුක් සමාගමේ පලමු ආයෝජකයා වූ අතර ඩොලර් 500,000ක කුඩා ආයෝජනයෙක් පමණක් ඔහු ලැබූ ලාභය ඩොලර් මිලියන ගණනකි. 


සිලිකන් නිම්නයේ ජනප්‍රවාදගත (legendary) ආයෝජකයෙකු වන පීටර් ටීල් මේවන විට බිලියනපතියෙකු වන අතර ඔහු නියෝජනය කරන ආයෝජක සමාගම් (venture capital firms) ගූගල්, ස්පේස් එක්ස්, ටෙස්ලා, ලින්ක්ඩින් හා තවත් සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම් සිය ගණනක ආයෝජනය කොට ඇත.

අද වනවිට ඔහුගේ දල වත්කම ඩොලර් බිලියන 2කට අධික වන අතර ඔහු ලෝකයේ විශාලම ධනවතුන් 400දෙනාගේ ලැයිස්තුවේ 248වන ස්ථානයේ සිටී. බොහෝවර අසා දැන සිටියත්, පීටර් ටීල් පිලිබඳව ලිපියක් ලිවීමට සිත්වුනේ කරුණු දෙකක් නිසාය. 

එකක් නම් මා උගන්වන "Entrepreneurship - ව්‍යවසායකත්වය" පාඨමාලාවේ එක් දේශණයක් සකස් කිරීමට ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ග් සහභාගීවූ සම්මුඛ සාකච්ඡාවක් යූ-ටියුබ් ඔස්සේ නැරඹීමේදී හෙලිවුනු කරුණුය. මාර්ක් පවසන අන්දමට ෆේස්බුක් ආරම්භ කල සමයේ ඔහු 19හැවිරිදි තරුණයෙකු වූ අතර ව්‍යාපාර කළමණාකරණය හෝ උපායමාර්ග සැකසීම පිලිබඳව කිසිදු දැනීමක් ඔහුතුල නොතිබුණි. ෆේස්බුක් සමාගමට පලමුවැනි ආයෝජනය ගෙනආ පීටර් ටීල් ව්‍යාපාරයක් කළමණාකරණය කිරීම පිලිබඳව බොහෝදෑ කියාදුන් බව කෘතඥ පූර්වකව සිහිපත් කල මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සුපිරි ජයග්‍රහණවලට පීටර් ටීල් සුවිශාල දායකත්වයක් දැරූ  බව පවසූවා. ඒ අනුව ප්‍රකෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන මාර්ක් සකර්බර්ගේ ව්‍යාපාර කළමණාකරණ ගුරුවරයා වන්නේ පීටර් ටීල්ය.

දෙවැන්න නම්, පීටර් ටීල් විසින් රචිත Zero to One නැමති නවමු ව්‍යාපාර අරම්භ කිරීම පිලිබඳව ඔහුගේ අත්දැකීම් අලලා රචිත පොත කියවන්නට ලැබීමය. පිටු 160ක කුඩා පොතක් වන එය අතිශයෙන් වැදගත් තොරතුරු, නවමු ව්‍යාපාරවල දියුණුවට අදාලවන කල්පිත මෙන්ම සිලිකන් නිම්නයේ අධිතාක්ෂණ උප්සංස්කෘතිය පිලිබඳ රසවත් තොරතුරු වලින් පිරී තිබුණි.

මෙම ලිපිය පීටර් ටීල්ගේ "සීරෝ ටු වන්" පොතෙහි ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් අලලා ලියැවී ඇත.






Zero to One : Peter Thiel


ව්‍යාපාරික ලෝකය සුවිශේෂීය. එක්වරක් සිදුවුනු දෙයක් නැවත සිදු නොවේ. ඊලඟට බිහිවන බිල් ගේට්ස් මෙහෙයුම් පද්ධති (operating systems) නිර්මාපකයෙකු ලෙස බිලියනපතියෙකු නොවනු ඇත. එමෙන්ම අනාගත ලැරී පේජ් හා සර්ගෙයි බ්‍රින් (ගූගල් නිර්මාපකයින් දෙදෙනා) සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කොට ප්‍රකෝටිපතියන් නොවනු ඇති. අනාගත මාර්ක් සකස්බර්ග් සමාජ ජාල නිර්මාණකරුවෙකු නොවනු ඇති. අලුත් ව්‍යාපාරයක් ගැන සිතන ඔබ, මොවුන් අනුකරණය කරන්නට යනවානම්, ඔබ ඔවුන්ගේ සාර්ථකත්වයෙන් කිසිවක් ඉගෙන ගෙන නැත. ඔවුන් නිර්මාණය කල සුවිශේෂ වි‍යාපාර අනුකරණය කරන කිසිවෙකුට ඔවුන්ගේ දියුණුවට ආසන්න වීමට හෝ නොහැකි වනු ඇත.

ඇත්තෙන්ම අනුකරණය, නව නිර්මාණකරණයට වඩා ලෙහෙසිය, එහෙත්  ශුභපල රහිතය. අනුකරණයේදී සිදුවන්නේ සාර්ථක එක් ව්‍යාපාරයක් අනුකරණය කරන, එහෙත් ආරම්භකයින්ට ආර්ථික වටිනාකම් (economic value to founders) ලබා නොදෙන ව්‍යායාමයකි. 1 ලෙස පැවතුන යමක් n දක්වා වැඩිකීරීමේන් වාසියක් ඇති නොවේ. නව නිර්මාණයකදී නොතිබුනු යමක් එනම් 0 අවස්ථාවේ ඇති යමක් 1 (එනම් යමක් ඇති තත්වයට ගෙන ඒමකි ). පේපෑල්, මයික්‍රෝසොෆ්ට්, ගූගල්, ෆේස්බුක්, ස්පේස් එක්ස්, ඇපල් වැනි සමාගම් සියල්ලම එසේ නොතිබූ යමක් නිර්මාණය කොට එනම් 0 සිට 1 දක්වා යමක් ඇති කල සමාගම්ය. ඒවායේ සාර්ථකත්වයට හේතුව මෙන්ම මෙම පොතට Zero to One ලෙස නම් තැබීමටත් හේතුව එයයි.

Zero to One පොතෙහි අරමුණු නවමු නිර්මාණ ඇතිකරන සමාගම් බිහිවන්නේ කෙසේදැයි ගවේෂණය කිරීමයි. පේ පෑල් සමාගම ආරම්භකිරීම, මාර්ක් සකර්බර්ග්ට ෆේස්බුක් සමාජ අඩවිය ඩොලර් බිලියන ගණනක සමාගමක් කිරිමට ලබාදුන් සහයෙන් ලැබූ අත්දැකීම් මෙන්ම ලොව පලමු පෞද්ගලික රොකට් සමාගම බිහිකල මා මිතුරු ඊලෝන් මස්ක් සමග වැඩකිරීමෙන් ලත් පන්නරය හා අත්දැකීම්ද මේ පොතෙහි අඩංගු කොට ඇත.

සාර්ථක සමාගම් යම් ආකාරයක් ඒකාධිකාරයක් ඇතිකරයි

ඒකාධිකාරයන් ඇතිවීම රජයන් මෙන්ම ආර්ථික විද්‍යාඥයින්ද පිලිකෙව් කරති. එයින් පාරිභෝගිකයාට අවැඩක් වෙන බවද, නවමු නිර්මාණ බිහිවීම අඩපණවන බවද ආර්ථික විද්‍යාඥයින් තර්ක කරයි. කෙසේ වුවද රජයන්, යම් ආකාරයකට නවමු නිර්මාපකයින්ට ඒකාධිකාරයක් ඇතිකරගැනීමට ඉඩදෙයි. රජයන් විසින් බුද්ධිමය දේපොල පනත් ඇතිකොට පේටන්ට් බලපත්‍ර, ලියාපදිංචි සන්නාම හා වෙනත් බුද්ධිමය දේපොල අයිතීන් සහතික කරන්නේ නවමු නිර්මාපකයින්ට සිය නිර්මාණ මගින් ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමට ඉඩදීම සඳහායි. මෙහිදී ආර්ථික විද්‍යාඥයින්ට වඩා රජයන් ප්‍රායෝගික හා සාධනීය ලෙස ක්‍රියාකරන බව පෙනේ.

මේ සාකච්ඡාවේදී අප නීතිවිරෝධී, පාරිභෝගිකයින් සූරාකන ඒකාධිකාරී හැසිරීම් ප්‍රතික්ෂේප කරන අතර සාධනීය ඒකාධිකාරියක් ලෙස අප සලකන්නේ අන් හැම තරඟකරුවෙකුටම වඩා ඉතාමත් හොඳ භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කොට, ආදේශක භාණ්ඩවලට වඩා අතිශයින්ම සුපිරි පාරිභෝගික තෘප්තියක් ඇතිකරන සමාගම් ඒමගින් ගොඩනගා ගන්නා පාරිභෝගික පක්ෂපාතිත්වයයි (customer loyalty).

මෙයට හොඳම උදාහරණය වන්නේ ක්‍රි.ව 2000 වසරෙන් පසු අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයි. කලක් අන්තර්ජාල සෙවුම් ලෝකයේ යෝධයාව සිටි යාහූ (Yahoo!) සමාගමෙහි සෙවුම් ප්‍රථිපල වලට වඩා, අතිශයින් නිවැරදි සෙවුම් ප්‍රථිපල අධිවේගයෙන් ලබාදෙන්නට සමත්වූ ගූගල්, යාහූ අභිභවා ඒකාධිකාරියක් ගොඩනගාගත් අතර නුදුරු අනාගතයේ අන්තර්ජාල සෙවුම් වලට ඇති ගූගල් ඒකාධිකාරිය බිඳදැමිය හැකි, ගූගල් වලටත් වඩා සුපිරි සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය වනු ඇතැයි සිතීම අපහසුය. ඒ අනුව ගූගල් සෙවුම් ඒකාධිකාරිය නීතිවිරෝධී ඒකාධිකාරියක් නොව, සුපිරි නිමාණයක් මගින් ලබාගත් ඒකාධිකාරියකි. ගූගල් උපයන ඩොලර් බිලියන ගණනක ආදායම මෙම සුපිරි නිර්මාණයෙන් බිහිකර ගන්නා ලද ඒකාධිකාරියේ ප්‍රතිපලයක්වේ.

ව්‍යාපාර ලෝකයේ ඒකාධිකාරියක් ඇතිවුන්, සෑම විටම එය සැඟවීමට උත්සහ කලයුතුය.

කොතරම් සාධාරණ ලෙස නිර්මාණය කරගත්තද "ඒකාධිකාරිය" අපුල වචනයකි. බටහිර රටවල පාර්ලිමේන්තු හා රජයේ නිළධාරීන් ඒකාධිකාරියක් ඇති සමාගම් පසුපස පන්නන්නේ ඒවා කෙසේ හෝ බිඳදැමීමටය. එවැනි ක්‍රියාවලින් මගින් තමන් ජනතාවාදී බව පෙන්වීමට දේශපාලකයින් මෙන්ම, රජයේ නිළධාරීන්ද කැමති බව පෙනේ. 

ඒකාධිකාරි චෝදනා නිසා මයික්‍රෝසොෆ්ට් සමාගමට දශක ගණනාවක් තිස්සේ ඇමරිකාවේ හා යුරෝපයේ උසාවිගානේ රස්තියාදු වන්නට සිදුවූ අතර සාර්ථක නිර්මාණවලින් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමේ වරදට ඩොලර් මිලියන ගණනින් දඩ ගෙවන්නටද සිදුවිය.

අද ලොකුම ඉලක්කයක් වන්නේ ගූගල්ය. ලෝක සෙවම් දත්ත වලින් 88% වැඩි ප්‍රමාණයක් ගෙන දෙන්නේ ගූගල් සෙවුම් සේවාවය. සෙවුම් ප්‍රථිපල හා සබැඳි දැන්වීම් හරහා ඔවුන් උපයන ආදායම ඩොලර් බිලියන ගණනකි. එහෙත් ගූගල් සමාගම සෑම විටම පවසන්නේ ඔවුන් සෙවුම් සමාගමක් නොව දැන්වීම් සේවා සමාගමක් මෙන්ම අන්තර්ජාලය හා බැඳි සේවාවන් ගණනාවක් සපයන අධිතාක්ෂණික සමාගමක් ලෙසයි.

සෙවුම් ලෝකයේ 88% වෙළඳපොල පංගුවක් හිමිවුවත්, දැන්වීම් ලෝකයේ ගූගල් අතිවිශාල තරඟකරුවන් රැසක් සමග සටන් වදින, ලෝකයේ මුලු වෙළඳ දැන්වීම් ආදායමෙන් කුඩා ප්‍රතිශතයකට හිමිකම් කියන තවත් එක් තරඟ කරුවෙකි. එමගින් ගූගල් සිය සෙවුම් ඒකාධිකාරිය වසාගන්නට තැත්කරන්නේ මයික්‍රෝසොෆ්ට් වැනි සමාගම් වලට මුහුණ දෙන්නට සිදුවූ අමිහිරි අත්දැකීම් නිසාවෙනි.ෆේස්බුක්ද මෙවැනි උපක්‍රම භාවිතා කරයි. ලොව අංක ඒකේ සමාජ ජාලය වන ෆේස්බුක්, ව්‍යාපාරික ලෝකයේ පෙනීසිටින්නේ ගූගල් මෙන්ම දැන්වීම් සේවා සපයන සමාගමක් ලෙසිනි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයද ගූගල් මෙන්ම වෙළඳ දැන්වීම් නිසා, මෙම අර්ථදැක්වීමේ වරදක් පෙනෙන්නට නැත.

ව්‍යාපාරික ලෝකයේ සුවිශේෂී භාණ්ඩයක් හෝ සේවාවක් නොමැති සමාගම්, තමන්ට නැති සුවිශේෂී බවක් උලුප්පා දක්වන්නට උනන්දු වන අතර මෙය විශාල වරදකි.

සැබෑ ලෙසම සුවිශේෂී සමාගම් ඒ අනුසාරයෙන් තමන්ට ලැබී ඇති ඒකාධිකාරය සඟවන්නට තැත්කරද්දී, සුවිශේෂිත්වයක් නොමැති බොහෝ ආරම්භක සමාගම් (start-up companies) නැති සුවිශේෂී බවක් ආරෝපණය කරගන්නට තැත්කරයි. මෙය වරදක් වන අතර මෙවැනි ක්‍රියා අවසන් වන්නේ ආයෝජකයින්ට සිය ආයෝජන අහිමිවීමෙනි.

නවමු ව්‍යාපාරිකයින් බොහෝවිට සිදුකරණ, අතිශය හානිකර වරදක් වන්නේ තමන්ගේ ඉලක්ක වෙළඳපොල (target market) ඉතා පටුවෙන් නිර්වචනය කොට, එමගින් එම ඉතා පටු වෙළඳපොලෙහි එකම සමාගම තමන් බව පෙන්වීමට තැත් කිරීමයි. හැකිතාක් පටුවෙන් තම ඉලක්ක වෙළඳපොල නිර්වචනය කොට එහි ලොකුම සමාගම / එකම සමාගම තමන් බවට පම්පෝරි ගසනවාට වඩා නව ව්‍යවසායකයින් (new entrepreneurs) සිදුකල යුත්තේ තමන් නිර්වචනය කරගත් වෙළඳපොල සැබැවින්ම ලාභ ලැබිය හැකි, විකිණීම් වැඩිකරගත හැකි වෙළඳපොලක් බව නිශ්චිතවම තහවුරු කරගැනීමයි.

උදාහරණයක් ලෙස 2001 වසර කාලයේදී මා ආරම්භකල පේපෑල් සමාගම කැලිෆෝනියාවේ මවුන්ටන් විව් ප්‍රදේශයේ කැස්ත්‍රෝ වීදියේ ස්ථාපනය වී තිබූ අතර, දිවා ආහාරය සඳහා කාර්යාල සගයින් සමග කැස්ත්‍රෝ වීදියට පැමිණි අපට  ආහාර ගැනීමට තෝරා ගැනීම සඳහා ලොකු, කුඩා, අඩුමිල, වැඩිමිල, ඉන්දියන්, චීන, මෙක්සිකන් ආහාර සපයන අවන්හල් සිය ගණනක් තිබුණි. මේවා අතර තරඟකාරිත්වය අධික වූ අතර බොහෝ අවන්හල් (මිළ අධික ස්ථාන පවා) ඉතා කුඩා ලාභයන් ලැබූ ඒවා විය. 

අවන්හල් ව්‍යාපාරය යනු පාරිභෝගිකයින් ඇද බැඳ තබාගත හැකි, සුපිරි නවමු අත්දැකීම් ලබාදිය හැකි අවස්ථා ඉතා අඩු සේවාවකි. අඩුමිලට රසවත් ආහාර ලබාදුන් ස්ථානද බොහෝ වූ අතර ඉහල මිළකට ආහාර සැපයූ, ඉහල පැලැන්තියේ අවන්හල් අතර තරඟයද ඉතා දැඩිවිය. අවන්හල් අතර තරඟය කොතරම් දැඩිවූවාද යත්, එක් සුපිරි අවන්හලක අයිතිකරුවෙකු වූ ප්‍රසිද්ධ සූපවේදියෙකු, සිය අවන්හලට එක්තරා සඟරාවක් මගින් ලබාදුන් නරක විචාරයක් (negative review) හේතුවෙන් සියදිවි නසාගත්තේය.

නිරන්තරයෙන් පාරිභෝගිකයින් ඇදගත හැකි සුවිශේෂී බවක් නොමැති කැස්ත්‍රෝ වීදියේ අවන්හල් වල තත්වය එසේ වුවද, එවක ඉලෙක්ට්‍රොණික ලෙස අන්තර්ජාලයෙන් ගෙවීම් සේවා ලබාදෙන එකම සමාගම වූ අපගේ පේපෑල් සමාගම කිසිදු අපහසුවකින් තොරව ලක්ෂ ගණනක් පාරිභෝගිකයින් ඇදගත් අතර, ඔවුන්ගේ ගෙවීම් වලින් අපට ලැබුණු කුඩා කොමිස් මුදල අපට මිලියන ගණනින් ආදයාම් ගෙනාවේය. එයට එකම හේතුව අපගේ සේවාවට සමකල හැකි ආදේශක කිසිවක් නොතිබීමෙන් අපලබා සිටි වෙළඳපොල ඒකාධිකාරියයි.

ඒ අනුව සෑම නව ව්‍යවසායකයෙකුගේම එකම අරමුණ විය යුත්තේ සැබෑ විවිධාංගීකරණයක් ඇති, ආදේශක භාණ්ඩ/සේවා නොමැති, විශාල වෙළඳපොලක් බිහිකරගත හැකි ව්‍යාපාරයක් නිර්මාණය කරගැනීමයි.

අප යෝජනාකරන ඒකාධිකාරයේ නරක ප්‍රතිපල තිබේද?

ඒකාධිකාර සමාගම් පාරිභෝගිකයාගේ තෝරගැනීමේ අවස්ථා සීමාකොට එමගින් ඉහල මිළගණන් වලට බඩු විකුණමින් පොකැට්ටුවට අනර්තයක් සිදුකරයි. එහෙත් ඒ ස්ථායි ඒකාධිකාරි (static monopoly) තත්වයන් යටතේදීයි. එනම් රජයන් මගින් ස්ථාපනය කරන ලද ඒකාධිකාර හෝ නීතිවිරෝධී ලෙස වෙළඳපොල තරඟය නිෂ්ක්‍රිය කරන ක්‍රියාකාරකම් වල යෙදෙන (illegal anti competitive practices) සමාගම් තිබෙන්නේ නම් පමණකි.

නිදහස් වෙළඳපොල ස්ථායි නොවන අතර නිරන්තර වෙනස්වීම් වලට භාජනයවේ. ඒ අනුව ඒකාධිකාරියක් පවත්වාගෙන යන සමාගමක් ඊටවඩා සුපිරි අත්දැකීමක් ලබාදෙන විවිධාංගීකරණයවූ භාණ්ඩයක්/සේවාවක් ලබාදෙන සමාගමකට පරාජය විය හැකිය. උදාහරණයක් ලෙස වසර 2000ට පෙර අන්තර්ජාල සෙවුම් ඒකාධිකාරයය යාහූ සතුවූ අතර 2000න් පසු එය ගූගල්ට හිමිවිය.

ඒ අනුව නිර්මාණශීලී සමාගම්වලට ඒකාධිකාරියක් ගොඩනගාගැනීමට ඉඩලැබීම නව නිර්මාණ බිහිවීම සඳහා දැඩි දායකත්වයක් ලබාදෙයි. ඒකාධිකාරිබව ලැබී වෙළඳපොල නායකත්වයට පත්වීමෙන් පසු ලැබෙන අධික ලාභය  නව සුපිරි නිර්මාණ බිහිකිරීමට ව්‍යවසායකයින්ට ඉමහත් අභිප්‍රේරණයක් (motivation) ලබාදෙයි. 

උදාහරණයක් ලෙස ඇපල් සමාගම ස්මාර්ට්ෆෝන හා ටැබ්ලට් පරිගණක ලෝකයේ විශාල වෙළඳපොල පංගුවක් හිමිකරගෙන ඒකාධිකාරී ලාභ ලබාගනී. ඇපල් සමාගම මේ තත්වය හිමිකරගත්තේ පාර්භෝගිකයින්ට තෝරාගැනීමේ අවස්ථා අහිමි කිරීමෙන්ද (restricting choice)? කොහෙත්ම නැත. ඇපල් සිදුකලේ තෝරාගැනීමේ අවස්ථා වැඩිකරමින්, පාරිභෝගිකයින්ට ඉහලම අත්දැකීමක් ලබාදෙන අතිශයන්ම උසස් තත්වයේ නිර්මාණ බිහිකොට, ඉහල මිලක් ගෙවීමට පාරිභෝගිකයින් සිය කැමැත්තෙන් එකඟකරවා ගැනීමයි.

තවත් උදාහරණ ඇත. ගූගල් ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් iOS මගින්, මයික්‍රෝසොෆ්ට් සමාගම සතුකරගෙන තිබූ මෙහෙයුම් පද්ධති ඒකාධිකාරය කඩාදාමා ඇත. වේගයෙන් ජංගම පරිගණක භාවිතයට යොමුවන අදලෝකයේ ප්‍රමුඛතම ජංගම පරිගණක මෙහෙයුම් පද්ධති වන්නේ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් නොව  ඇපල් iOS  හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ්ය. 

භාවිතයට පහසු, බලසම්පන්න ජංගම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගම අසමත්වීමේ වන්දිය වන්නේ වේගයෙන් ව්‍යාපත්වන ජංගම පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වෙනුවට කුරුමිට්ටෙකු වන්නට යෝධ මයික්‍රෝසොෆ්ට් සමාගමට සිදුවීමයි. නිර්මාණ-ප්‍රමුඛ ව්‍යාපාර ඒකාධිකාරීයේ ප්‍රධාන ලක්ෂණය මෙයයි. එනම් ව්‍යාපාර ඒකාධිකාරීය යන තත්වය ස්ථිර තත්වයක් නොවන අතර නවමු නිර්මාණ අධෛර්ය කරනවා වෙනුවට නවමු නිර්මාණවලට පැරණි ඒකාධිකාරිය බිඳදමා අලුත් ඒකාධිකාරියක් තනාගෙන අධික ලාභ ලබාගැනීමට අවස්ථා ලබාදේ.

ලියෝ ටෝල්ස්තෝයි සුප්‍රකට ඇනා කැරනිනා වෘතාන්තය ආරම්භ කරන්නේ මෙසේයි "All happy families are alike; each unhappy family is unhappy in its own way - ප්‍රීතිමත් පවුල් බොහෝ සෙයින් සමානවන අතර අසන්තුෂ්ටිය රජකරන පවුල්වල දුක්බරතාවයන්ට විවිධාකාර හේතූන් ඇත."

ව්‍යාපාරික ලෝකයේදී මෙම කියමන ප්‍රතිලෝම යයි මට සිතේ. 

ව්‍යාපාරික ලෝකයේ ප්‍රීතිමත් සමාගම් (විශාල ලාභ ලබන සමාගම්) එකිනෙකාට බොහෝ සෙයින් වෙනස්ය. ඔවුන් ලාභ ලබන්නේ පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්‍යතාවයක් ඉටුකොට එමගින් ලබන ඒකාධිකාරියෙනි. දුක්බර සමාගම් බොහෝසෙයින් සමානය. ඒවා අසාර්ථකවී ඇත්තේ එකම හේතුවක් නිසාය. එනම් තරඟකරුවන්ගෙන් ගැලවීමට මගක් සොයාගැනීමට නොහැකිවීම නිසාය.

ව්‍යාපාරකිරීම යනු යුද්ධකිරීමද? සටන් මානසිකත්වයෙන් ඉවත්වන්න. තමන්ගේ ඒකාධිකාරිය ගොඩනගා ගන්න

"Business is War" ව්‍යාපාරකිරීම යනු යුද්ධකිරීමයි. මෙය බොහෝ ව්‍යාපාරිකයින් අතර ප්‍රචලිත කියමනකි. යුධ මානසිකත්වය ව්‍යාපාර කළමණාකරණය උගන්වන විශ්වවිද්‍යාල පාඨමාලාතුලට පවා කාවැදී ඇත. චීන දාර්ශණික සන්-සූ සම්පාදනය කල "The Art of War" මෙන්ම පෘසියන් ජෙනරාල්වරයෙකු වූ කාර්ල් ෆොන් ක්ලෝස්විට්ස් රචනාකල "Vom Kriege (On War)"  සමහර MBA පාඨමාලාවල අනිවාර්ය කියැවීම් බවට පත්කොට ඇත.

යුධකර්මයේ පාරිභාෂික වදන් බොහොමයක් ව්‍යාපාරික පාරිභාෂික බවට පත්ව ඇත. " Strategy" යන වචනය පවා හමුදා ශබ්දකෝෂයේ වචනයකි. කෙසේ වෙතත් මාගේ අදහස වන්නේ ව්‍යාපාර කිරීම යුද්ධ කිරීම හා සමාන නොවන බවයි. බොහොදෙනා ව්‍යාපාරකිරීම ලෙස වරදව වටහාගෙන සිටින්නේ තරඟකරුවන් සමග ඇතිකරගෙන තිබෙන විනාශකාරී ගැටුමයි. 

මිනිසා ගැටුම් ඇතිකරගන්නේ තරඟ කරන්නේ ඇයි? කාර්ල් මාක්ස් හා විලියම් ශේක්ස්පියර් හේතූන් දෙකක් පෙන්වාදේ. 

මාක්ස්ට අනුව මිනිසුන් ගැටුම් ඇතිකර ගන්නේ තමන්ට වඩා වෙනස් අය සමගය. තමන්ට වඩා පැවැත්මෙන් හා ආකල්පවලින් වෙනස් අය සමග ගැටීම මිනිස් ස්වභාවයයි. මේ වෙනස් බව වැඩිවන්නට වැඩිවන්නට ගැටුම දරුණුවේ.

ශේක්ස්පියර් මීට ඉඳුරා ප්‍රතිවිරුද්ධ අදහසක් දරයි. ඔහුට අනුව බොහෝ සටන්වල ප්‍රතිවාදීන් බොහෝ සෙයින් සමානය. වෙනස්කම් අවමයි. එනයින් ඔවුන් ගැටෙන්නේ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම අපහසුවේ. බොහෝවිට සටන්වදින්නන්ද තමන් සටන් කරන්නේ කුමක් සඳහාද යන්න නොදනී.

සමාගම් තුල සටන්කාමී මානසිකත්වයක් බිහිකොට සිය තරඟකාරීන් තුල බිල්ලෙකු මවාගන්නේ එම සමාගම් තුල සේවය කරන ඉහල නිළධාරීන්ය. ආත්මාර්ථයෙන් තමන්ගේ පැවැත්ම තහවුරුකර ගැනීම සඳහා ඔවුන් තරඟකාරී සමාගම් තමන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකා ගැටුම් නිර්මාණය කරගනී. කලක් යනවිට සමාගමේ අයිතිකරුවන්ද මෙම ගැටුමට අනුගත වන අතර ඉන් අහිමිවන දෑ බොහෝය.

උදාහරණයක් ලෙස කැලිෆෝනියාවේ සන් මයික්‍රෝසිස්ටම්ස් (Sun Microsystems) ගත හැකිය. සන් මයික්‍රෝසිස්ටම්ස් අධිබල පරිගණක හා මෙහෙයුම් පද්ධති හා ජාලකරණ තාක්ෂණ නිර්මාණ සමාගමකි. සුප්‍රකට ජාවා පරිගණක භාශාවද ඔවුන්ගේ නිර්මාණයකි. මෙහි සමාරභක පාර්ශවකරුවෙකු හා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තනතුර දැරුවේ සන් සමාගමේ පරිගණක තාක්ෂණය නිර්මාණය කල ඇන්ඩි බෙක්ස්ටොල්හයිම්ගේ ස්ටැන්ෆර්ඩ් සරසවි මිතුරෙකුදවූ ස්කොට් මැක්නීලිය.

සිය තාක්ෂණයන් වැඩිදියුණු කරමින් ඒකාධිකාරියක් ගොඩනගාගන්නවා වෙනුවට ස්කොට් මැක්නීලි එවක අතිශයින්ම සාර්ථක සමාගමක්වූ මයික්‍රෝසොෆ්ට් සමාගම සමග වෛර බැඳගත්තේය. මයික්‍රෝසොෆ්ට් සමාගමට පහරපිට පහරදුන් ස්කොට් මැක්නීලි ප්‍රසිද්ධියේම බිල් ගේට්ස් අවඥාවට ලක් කරයේය. කෙසේ වෙතත් අවසානයේ සන් සමාගම පාරිභෝගිකයින්ගෙන් ප්‍රතික්ශේප වූ අතර මුලු සමාගමම ඔරැකල් සමාගම විසින් මිලදී ගත්තේය. අද ජනප්‍රියම පරිගණක භාශාවක් වන ජාවා නිර්මාණය කලද, මයික්‍රෝසොෆ්ට් වෛරය නිසා ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට සන් සමාගමට නොහැකි විය.

පසුකලක ඇතිවූ ගූගල් හා මයික්‍රෝසොෆ්ට් තරඟයද දෙපාර්ශවයටමට පාඩු ඇති කලේය. මෙම තරඟය නිසා ඇපල් සමාගම ඉදිරියට පැමිණි අතර, එසේ නොවී ගූගල් සමාගම සිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එලිදැක්වීමට මුලු බරතබා ක්‍රියාකලේනම්, ඇපල් වෙළඳපොල අල්ලා ගැනීමට පෙර ඇන්ඩ්‍රොයිඩ් ඒකාධිකාරියක් සාදා ගැනීමට ගූගල් හට හැකියාව තිබුණි.

හොඳ තරඟකරුවෙකුගෙන් ගැලවීමට එක් මගක් වන්නේ දෙපාර්ශවයටම වාසිවන ආකාරයට එක්වීමයි. 1999දී අප පේපෑල් ආරම්භකල අවධියේදී ඊලෝන් මස්ක් X.com නමින් ප්‍රතිවිරුද්ධ අන්තර්ජාල ගෙවුම් සේවාවක් ආරම්භකොට තිබුණි. අපගේ සේවාවට හැම අතින්ම සමාන සේවා ලබාදුන් ඊලෝන්ගේ X.com කරට කර දැඩි තරඟයක් දුන් අතර, මින් දෙපාර්ශවයටම අවඩැක් වන බව තේරුම් ගත් මා, මගේ ව්‍යාපාරික සගයා වන මැක්ස් ලෙව්චින් සමග සාකච්ඡාකොට, අපහා බද්ධවන ලෙස ඊලෝන් මස්ක්ට යෝජනා කලෙමු.

අති දක්ශ තාක්ශණවේදියෙකු මෙන්ම ශූර ව්‍යාපාරිකයෙකුද වන ඊලෝන් අපගේ යෝජනාවට එකඟවිය. ප්‍රතිපලය වූයේ ඊලෝන්ගේ X.com සමාගම අප සමාගම හා බද්ධවී ඊලෝන් අප සමාගමේ සම-ආරභකයෙකු හා අධ්‍යක්ශකවරයෙකු ලෙස පත්වීමයි. මෙයින් තරඟය අවසන්වූ අතර පසුව පේපෑල් සමාගම ඩොලර් බිලියන 1.5කට ඊ-බේ සමාගමට විකුණා කෝටිපතියන් වීමට අප තිදෙනාටම හැකිවිය.

තිරසාර ඒකාධිකාරියක් (sustainable monopoly) පවත්වාගැනීම සඳහා අනාගත ලාභ උපරිමකරගැනීමට වෙහෙසිය යුතුය.

ඒකාධිකාරියක් ගොඩනගා ගැනීම අපහසුය. එහෙත් එය දිගටම පවත්වාගැනීම තවත් අපහසුය. මේ සඳහා දිගින් දිගටම නව නිර්මාණකරණයේ යෙදී සිටිය යුතුය. ගූගල් සමාගම යූ-ටියුබ්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, ගූගල් ඩොක්ස්, ක්‍රෝම් OS, රෝබෝ කාර් ආයෝජන ආදිය සිදුකරන්නේ අනාගතයේ වැදගත්වය තාක්ෂණයන් වෙත දැන්ම ඇතුලුවී ස්ථාවරත්වය ගොඩ නගාගැනීමටයි.

ඇමසන් සමාගම පොත්පත් විකිණීමට අමතරව අතිශයින් ලාභදායි ක්ලවුඩ් කොම්පියුටින් සේවා වලට ඇතුලුවී ඇත්තේද, ඇමසන් ස්ටුඩියෝස් නමින් ටෙලිවෘතාන්ත නිර්මාණ සමාගමක් ආරම්භ කොට ඇත්තේද මේ අනාගත මුදල් ධාරා (future cashflow) හා ලාභ ඉලක්ක කරගෙනය.

කලක් අධිකලෙස ජනප්‍රියවූ සින්ගා (Zynga) පරිගණක ක්‍රීඩා සමාගම හා ගෲපොන් වට්ටම් සේවාව කඩාවැටුනේ අනාගත ආදායම් වෙනුවෙන් සිදුකලයුතු සැලසුම් හා ආයෝජන සිදුනොකොට වර්තමානයේ ලාභ පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වීම නිසයි.

අදටත් අතිශයින් ලාභ ලැබුවද, ඇපල් සමාගමේ අනාගතය පිලිබඳව ආයෝජකයින් ප්‍රශ්ණ කරන්නේත් අයිෆෝන් විකුණමින් අද ලබාගන්නා අධික ලාභය තව කලක් පවත්වා ගැනීමට ඇපල් සමාගමට නොහැකිවනු ඇතැයි සැක පලවන නිසායි. ඉදිරියේදී ඩොලර් බිලියන ගණනින් ආදායම් ඉපදැවිය හැකි නිර්මාණයක් ඇපල් සමාගම සතු නොවේ යයි බොහෝ ආයෝජකයින් සැක පල කරනවා.

නිර්මාණශීලී ඒකාධිකාරියක් ගොඩනගා ගන්නේ කෙසේද?

1] කිසිවෙකුටත් සමකල නොහැකි, පේටන්ට් ආරක්ෂාව ඇති තාක්ෂණයක් ගොඩනගා ගන්න. මෙම තාක්ෂණය, තරඟකරුවන් සතු තාක්ෂණයට වඩ 10ගුණයක් වත් සුපිරිවිය යුතුමය. ගූගල්, ඇමසන්, ඇපල් ආදීන් සතුව ඇත්තේ මෙවන් තාක්ෂණයන්ය. ඊලෝන් මස්ක් ගේ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගමද එසේය.

2] ජාල සංසිද්ධිය (Network Effects) නිර්මාණය කරගන්න. ජාල සංසිද්ධිය යනු යම් භාණ්ඩයක් හෝ තාක්ෂණයක් වැඩි වැඩියෙන් භාවිතා වන්නට වන්නට එහි ප්‍රයෝජනය වැඩිවීමයි. ගූගල් ඇන්ඩ්‍රොයිඩ් හුදාහරණ වේ. වැඩි වැඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රිය වනවට එයට සරිලන් ඇප්  නිර්මාපකයින් මෙන්ම ඇන්ඩ්‍රෝයිඩ් භාවිතයෙන් ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හා වෙනත් උපාංග බිහිකරන්නන් වැඩිවේ. එවිට ඇන්ඩ්‍රොයිඩ් තව තවත් ජනප්‍රිය වේ. ෆේස්බුක්, මයික්‍රෝසොෆ්ට්,ඇමසන් යන සියල්ලටම මෙය පොදුය. පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් ඇමසන් වෙතින් බඩු ගන්නාවිට, ඇමසන් තුල බඩුවිකුණන ස්වාධීන වෙළෙන්දන්ද වැඩිවේ, එවිට තවත් පාරිභෝගිකයින් ඇමසන් වෙත ආකර්ෂනයවේ.

3] කුඩාවට ආරම්භ කරන්න. කුඩා වෙළඳපොල පංගුවක (market segment) බලසම්පන්න තරඟ කරුවෙකු වීම, විශාල වෙළඳපොලක කුඩා තරඟකරුවෙකු වීමට වඩා පහසුයි.

ඇපල්, ගූගල්, ට්විරර්, මයික්‍රෝසොෆ්ට් යන සියල්ලම කුඩාවට, කුඩා, තරඟකාරිත්වය අවම වෙළඳපොල පංගුවක ආරම්භවූ සමාගම්ය. ඇපල් විනෝදයට පරිගණක එකලස් කරන්නන්ට (hobby computing) සිය පලමු පරිගණකය නිමැවුවේය. පසුව එය නිවසේ විනෝදයට, දැනුමට භාවිතා කල හැකි එකක් ලෙස වැඩි දියුණු කලේය. අයි.බී.එම් වැනි ව්‍යාපාරික පරිගණක නිර්මාණ සමාගම් (business computer systems) හා තරඟ කරන්නට ඇපල් "Apple Liza" නම් මාදිලියක් ඉදිරිපත් කලද එය දැඩි ලෙස අසාර්තක විය. කඩාවැටෙන්නට ගිය ඇපල් යලි ගොඩ ආවේ ඇපල් මැකින්ටොෂ් පරිගණකයෙනි. එය නිවෙස් පරිගණකයක් මෙන්ම සුපිරි ග්‍රැෆික් හැකියාව ඇති, පලමු Graphical User Interface එකක් සහිත (වින්ඩෝස් වැනි - එහෙත් වින්ඩෝස් පැමිණෙන්නට බොහෝ පෙර ) පරිගණකය විය. එය ග්‍රැෆික් නිර්මාණ කරුවන් අතර අතිශය ජනප්‍රිය වීමෙන් අලුත්, ලාභදායි වෙළඳපොල පංගුවක් සකසා ගත්තේය. එම ග්‍රැෆික් ඩිසයින් පරිගනක වෙළඳ පොල පංගුවේ ඇපල් මැකින්ටොෂ්ට සමකල හැකි පරිගණකයක් නොවීය. ඇපල් එහි ඒකාධිකාරිය හිමිකර ගත්තේය.

මයික්‍රෝසොෆ්ට් ඉස්සෙල්ලාම හැදුවේ නිවෙස් පරිගණකවල එකල (1975-1985) ජනප්‍රිය, ඉගැනීමට පහසු භාෂාවක් වූ BASIC භාෂාව ස්ථාපනය කල මෘදුකාංගයකි. එය Micro-Soft BASIC ලෙස හැඳින්වුනි. එම වෙළඳපොල තරඟයක් නොමැති එකක් විය. එහි ස්ථාපනයවූ බිල් ගේට්ස් ශූර ලෙස දුර දක්ණා නුවනින් අයි.බී.එම් සමාගමේ පුද්ගලික පරිගණකය වූ IBM PC පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය (PC-DOS) නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේය.

එමෙන්ම ඕනෑම අයෙකුට කොපිකල හැකි ආකෘතියෙන් නිමවා තිබූ  Open Architecture පරිගණක නිර්මාණ ආකෘතිය යටතේ වෙනත් පරිගණක සමාගම් නිපදවන පරිගණක සඳහා නිළ මෙහෙයුම් පද්ධතිය සැපයිමේ අවසරයද එකල ලාබාළ තරුණයෙකු වූ බිල් ගේට්ස් අයිබීම් ලොක්කන් ගෙන් ලබාගත්තේ විස්මිත ලෙසය. බිල් ගේට්ස්ගේ නැගීම ආරම්භ වූයේ එම අති දක්ෂ ගණුදෙනුවෙන් පසුවය. එහෙත් ඔහුද කුඩාවට ආරම්භ වී ටිකෙන් ටික වර්ධනය විය. කෙලින්ම අයි බී එම් වැනි සමාගමකට අභියෝග කරන්නට ගියානම් අද බිල් ගේට්ස් ගැන දන්නා අයට වඩා නොදන්නා අය වැඩිවන්නට ඉඩ තිබුණි.

ෆේස්බුක්ද එලෙසමය. එය ආරම්භවූයේ ලෝකයේම ජනයා ජාලගත කරන්නට නොව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 6000ක් පමණ සිසුකැල ජාලගත කරන්නටය. පසුව එය වෙනත් විශ්විද්‍යාලවලද ව්‍යාප්තකලේය. Facebook ලෝක ව්‍යාප්තිය පසුකලක ඇරඹූ ව්‍යාපෘතියකි.

4] කුඩා වෙළඳපොලෙහි දැවැන්තයෙකු වූ වහාම ආසන්න වෙළඳපොලවල් ආක්‍රමණය කොට බලය ගොඩ නගාගන්න. ඇමසන් මුලින්ම පොත් විකුණූ අතර, ඉන්පසු සී.ඩී තැටි වෙළඳපොල ආක්‍රමණය කලේය. අනුක්‍රමයෙන් විවිධ වෙළඳපොලවල් ආක්‍රමණය කල ඇමසන් අද විකුණන්නේ නැති දෙයක් සොයාගත නොහැකි තරමට වර්ධනය වී ඇත.

මයික්‍රෝසොෆ්ට්ද එසේමය මුලින් බේසික් භාෂාව හා PC DOS මෙහෙයුම් පද්ධති නිර්මාණය කල එය පසුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය, මයික්‍රෝසොෆ්ට් වර්ඩ් නම් වර්ඩ්ප්‍රොසෙසරයද නිර්මාණය කලේය. වර්ඩ් වලට එක්සෙල් එකතුවූයේ පසුවය. එකල ජනප්‍රිය ස්ප්‍රෙඩ් ෂීට් එක වූයේ ලෝටස් 1-2-3 නම් මෘදුකාංගයකි. ජනප්‍රියම ප්‍රසන්ටේෂන් සොෆ්ට්වේයාර් එක වූයේ හාවර්ඩ් ග්‍රැෆික්ස් නම් ප්‍රසන්ටේෂන් මෘදුකාංගයකි. පවර් පොයින්ට් නිමැවුනේ ඊටත් පසුවය. අද මේවා සියල්ලම මයික්‍රෝසොෆ්ට් ඒකාධිකාරියට නතුව තිබේ.

5] වෙළඳපොල අනවශ්‍ය ලෙස ව්‍යාකූල (disrupt) කොට, අනවශ්‍ය අවධානය දිනාගැනීමෙන් වලකින්න. Disruptive Technology සිලිකන් නිම්නයේ ජනප්‍රිය වචනයකි. සිලිකන් නිම්නයේ බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ තම කර්මාණ්තය හෝ වෙළඳපොල සෙළවිය හැකි, තරඟකරුවන් අතුගා දැමිය හැකි ඩිස්රප්ටිව් තාක්ෂණයකි.

කෙසේ වෙතත් Disruptive Technology යන්නෙහි නියමාකාර අරුත වන්නේ නව තාක්ෂණයක් මගින් කලින් වැඩි මිලකට, අඩු පහසුකම් යටතේ ලබාදුන් භාණ්ඩයක් හෝ සේවාවක් ඉහල පහසුකම් සමග අඩු මිළකට ලබාදීමයි. උදාහරණයක් ලෙස සෙලියුලර් දුරකථන තාක්ෂණය, කලක් පාරිභෝගිකයින් රැහැනකට බැඳදමා තිබූ, අවම පහසුකම් හා බිල් වැඩි රැහැන් දුරකථන තාක්ෂණය සොලවා පෙරලා දැමූ ඩිස්රප්ටිව් තාක්ෂණයකි.

ඩිස්රප්ටිව් තාක්ෂණයක් ප්‍රචලිත කිරීමේදී දැනට එම වෙළඳපොලෙහි ස්ථාපිත තරඟකරුවෙන්ගෙන් එල්ලවන ප්‍රහාර වලට මුහුණදීමට හැකියාව තිබිය යුතුය. එවැනි මූල්‍යමය / තාක්ෂණමය / භෞතික සම්පත් හැකියාවක් නොමැතිනම්  කෙසේ හෝ තම භාණ්ඩය/සේවාව තරඟකරුවන්ගෙන් විශේෂීකරණය කරගෙන (differentiate from competition) දැවැන්තයන් සමග අනවශ්‍ය ගැටුමකට යාම වලකාගත යුතුය. 

6] සන්නාමය ගොඩනගා ගන්න. එහෙත් සන්නාමය පිටුපසින් සුවිශේෂ තාක්ෂණික වාසියක් (technological advantage) හෝ තරඟකාරී වාසියක් (competitive advantage) තිබිය යුතුමය. තරඟකාරී වාසියක් නොමැතිව සන්නාමය ප්‍රවර්ධනය කිරීමට යාම නිෂ්පලය. අද යාහූ සෙවුම් සේවාවට සිදුව ඇති දෙය බලන්න. මරිසා මයර් යාහූ ප්‍රධාන විධායක වූ වහාම ඇය යාහූ සන්නාමය ප්‍රවර්ධනයට අතිවිශාල ධනස්කන්ධයක් වැය කලාය. එහෙත් යාහූගේ ප්‍රධාන තරඟකරුවාවූ ගූගල් වෙත ඇති සුපිරි සෙවුම් තාක්ෂණය යාහූ සතුව නොතුබුණි. එමෙන්ම සෙවුම් ලොවේ කිරුළ ගූගල් ඩැහැගත් පසු, යාහූ ආයතනය යොමුකල යුතු උපක්‍රමීය දිශානතිය (strategic direction) පිලිබඳවද පැහැදිලි දැක්මක් මරීසා මයර්ට නොතුබූ බව පෙනේ.

ඇය කලේ විවිධ එකතුකල සේවා (added services) මගින් කඩාවැටෙන භාවිතකරන්නන් ගහණය (user base) ගොඩගැනීමට උත්සහ කිරීම පමණකි. මේ සියල්ලම ගූගල් හටද කලහැකි බව මරීසා අවබෝධකර ගත්තේ නැත.

උපක්‍රමීය දිශානතිය හා යාහූ සතුවූ අනන්‍ය තාක්ෂණි වාසි ලාභදායි වෙළඳපොල පංගුවක් වෙත (market segment) යොමුකර ගැනීමට නොසලකා හැරි මරීසා මේවන විට ඉතාම අසාර්ථක ආයතනයක ප්‍රධානියාව සිටී. ඇය යාහූ ආයෝජකයින්ට අතිවිශාල ධනස්කන්ධයක් අහිමිකොට ඇත.

7] පරිමාණානුකූල පිරිමැසුම් (Economies of scale) නිර්මාණය වන ලෙස මෙහෙයුම් සැළසුම් කරන්න. මෙයින් පිරිවැය අඩුවී ලාභ වැඩිකර ගැනීමට හෝ වාසිය පාරිභෝගිකයාටදී මිල අඩුකොට තවත් පාරිභෝගිකයින් ඇද ගැනීමට හැකිවේ.

.










Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...