ලංකාවේ ඉන්ටර්නෙට් වේගය ඔස්ට්‍රේලියාවටත් වඩා ඇත්තටම වැඩිද? 2016 State of the Internet නිළ වාර්තාව කියවා ඇත්ත දැන ගනිමු
ලංකාවේ ජනමාධ්‍ය පුවත් මවන්නට උපන් දක්ෂතා පෙන්වයි. ඔවුන් දිනපතා මවන පුවත් සැබෑනම් එක්කෝ මේ රට ලෝකයේ සුපිරිම රටක් විය යුතුය. නැතිනම් සෝමාලියාවටත් වඩා අරාජික විය යුතුය. වෙනත් රටවල මෙවැනි පුවත් මවන්නේ ටැබ්ලොයිඩ් හෙවත් ගොසිප් මාධ්‍ය විසින් වුවද ලංකාවේ ජාතික පුවත්පත් හා ඒවා අනුබද්ධ වෙබ් අඩවි පවා පුවත් මවයි.
"ලංකාවේ ඉන්ටර්නෙට් වේගය ඔස්ට්‍රේලියාවටත් වඩා වැඩී..." මේ නොබොදා ඩේලි මිරර් වෙබ් අඩවිය මැවූ පුවතකි. ඔවුන් ඒ සඳහා මූලාශ්‍ර ලෙස බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් නම් සුප්‍රකට ගොසිප් ටැබ්ලොයිඩ් පුවත්පත දැක්වූවත්, පුවත පුරාම, මෑතකදී "අකමායි" නම් සමාගම එලිදැක්වූ ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන "State of the Internet Report" වාර්ෂික වාර්තාව පිලිබඳව සඳහන් කරයි.
හවස හයෙන් පසු ෆේස්බුක් පිටුවක් පවා හරියට පෙන්වාගන්නට බැරි තරම් මන්දගාමී බ්‍රෝඩ්බෑන්ඩ් 4G අන්තර්ජාල සබඳතා ඇති ලංකාවේ ඉන්ටර්නෙට් වේගය සැබැවින්ම ඔස්ට්‍රේලියාවට වඩා වැඩිද?
අකමායි සමාගමේ "ස්ටේට් ඔෆ් ද ඉන්ටර්නෙට් 2016" වාර්තාව කියවාබලා, ඇත්ත නැත්ත දැනගනිමු.
අකමායි සමාගමේ වාර්තාවේ (එම වාර්තාව මෙතනින් බාගතකරගන්න ) 28 වැනි පිටුවේ ඇති දත්තවලින් ලංකාවේ ජනමාධ්‍ය පුවත් මවන ආකාරය හොඳින් තේරුම්ගත හැකිය.
අකමායි වාර්තාවේ 28 වැනි පිටුවේ පහතින් දත්ත වගු දෙකක් දක්වා ඇත. Figure 20 ලෙස දක්වා ඇති වගුවේ මාතෘකාව "Average Connection Speed (IPv4) by APAC Country/Region - ආසියා පැසිෆික් කලාපයේ රටවල අන්තර්ජාල සබඳතාවල සාමාන්‍ය වේගය" යනුවෙන් සටහන් කොට ඇත.
ඒ අනුව දකුණු කොරියාව ආසියා පැසිෆික් කලාපයේ මෙන්ම ලෝකයේම වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රට ලෙස යලිත් වරක් කිරුල දිනාගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල සබඳතා වේගය 10.1Mbps ලෙස වාර්තා කොට ඇති අතර ලංකාවේ එම වේගය 7.3Mbps කි. ඒ අනුව ලංකාවේ අන්තර්ජාල වේගය ඕස්ට්‍රේලියාවේ වේගයට වඩා වැඩියයි කියමින් මෝඩ ආතල් දෙන්නේ ඩේලි මිරර් වාර්තාකරුවාට ඉංග්‍රීසි පුලුවන් වුනාට 10.1>7.3 යන සරල ගණිතමය සිද්ධාන්තය පිලිබඳව ඇති අනවබෝදය නිසා විය හැකි බවට අනුමාන කරන්නට පුලුවන.
එම දත්ත වගුවට දකුණින් ඇති Figure 21 දත්ත වගුවේ නම්, ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා ඉහලින් සිටී. එහෙත් එම වගුවේ පෙන්වන්නේ අන්තර්ජාල වේගය නොව, 4Mbps සාමාන්‍ය වේගයකින් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා රටෙහි අන්තර්ජාල සේවා පාරිභෝගිකයින් අතර පැතිරී ඇති ප්‍රතිශතයයි (Mbps Broadband Adoption (IPv4) by APAC Country/Region). ඒ අනුව ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයින් අතරින් 88% දෙනෙකු අවම 4Mbps වේගයෙන් යුතු අන්තර්ජාල සබඳතා භාවිතා කරන අතර අතිවිශාල රටක් (මහාද්වීපයක් වන ) ඔස්ට්‍රේලියාවේ අවම 4Mbps වේගය ඇති අන්තර්ජාල සේවා පහසුකම් ලබාගෙන ඇත්තේ 76% ප්‍රතිශතයක් පමණි.
මෙවැනි වාර්තා පලකරමින් පාසැල් දරුවන් පවා රවටන, එහෙත් මහා ලොකුවට ජනමාධ්‍ය නිදහස ගැන, ජනමාධ්‍යවල වගකීම් ගැන කයිවාරු ගසන , සටනට අර අඳින මාධ්‍ය ඔස්තාර්ලාගේ වගකීම් විරහිත මාධ්‍යකරණය සැබැවින්ම කණගාටුවට කරුණකි.
ඔබගේ දැනුම සඳහා......
ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රටවල් 10ය
ආසියාවේ වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රටවල් 15ය
යුරෝපයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රටවල් 20
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment