70 YEARS OF FREEDOM : අවුරුදු 70කට පසු අද බැංකු නිවාඩු, ඉස්කෝල වැඩ, සමහර ඔෆිස් නිවාඩු, සමහරු වැඩ



නිදහස ලැබී වසර 70කට පසු තවමත් නිදහස් උළෙලට යටත් විජිත රැජිණගේ නියෝජිතයෙකු පැමිණේ. ඒ එන්නේ අපිට ඉතිහාසය මතක් කර දීමට විය යුතුය. කෝච්චි පාර තවම දික්කර ගන්ඩ බැරිවුනා නේදැයි අසන්නට විය යුතුය. අපි දාපු, අපේ රටෙත්  දැන් නැති නීති තවමත් බදාගෙන ඉන්නවා නේදැයි අසන්නට විය යුතුය. අපේ කාලේ පටන් අරන් අවුරුදු 100කට වඩා තේ රට පැටෙව්වත් තවමත් ලෝකෙ දිනන්නට පුලුවන් සිලෝන් ටී බ්‍රෑන්ඩ් එකක් හදාගන්න බැරිවුනා නේදැයි අසන්නට විය යුතුය.

ගෑණුන්ට නැති අරක්කු බියර් නිදහස | හෙවත් වැඩිහිටි ගෑණුන්ට කැමතියයි හැඟෙන දේ කිරීමට උන්ට තාමත් නැති නිදහස

ගෑණුන්ට අරක්කු විකිණීමට, හදන තැන්වල වැඩකිරීමට බැරි නීති සංශෝධනය කල බවට වූ ගැසට් පත්තරේ, පත්තෙරෙන් දැනගෙන අහෝසිකලේ ජනාධිපති උතුමාණෝය.  උන්නැහේ කියන විධියට ගැසට් එක ගහපු උන්, අනුමත කල ඇමති සංස්කෘතිය, සබ්බියත්වය ගැන අවබෝධයක් නැති අපත සෙට් එකක්ය. එතුමාට ඒ අවබෝධය ඇත.

අගමැටිතුමාත් ඔය සෙට් එකට අයිති බව නොකියා කීවේය. අපේ අත්දැකීම නම් ඇත්තටම රටට ආදරේ උන් හඳුනාගත හැකි එකම ක්‍රමය නම් "රට, ජාතිය, ආගම, සංකෘතිය, හැදියාව"  ගැන උන් නිතරම චොකා-බයිලා ගහනවාද නැද්දයි හොයා බැලීමයි. නිතරම "රට, ජාතිය, ආගම, සංකෘතිය, හැදියාව" ගැන දොඩවන උන් තරම් රටට කෙලින උන් ඉන්නවා නම් ඒ කොටි ඩයස්පෝරාවේ විතරමය.

අපට මයිට්‍රීගේ සංස්කෘති කැක්කුම ගැන කියන්ඩ ඇත්තේ කියන්නට ඇත්තේ "බම්බුව තමා" කියාය. දිනකට සියගණනක් තරුණියන්, දැරියන් දූෂණය වන රටේ සංස්කෘතිය රකින්නට යන්නේ ගෑණුන්ට අරක්කු ගන්න බෑ, විකුණන්න බෑ නීතිය යලි පණගැන්වීමෙනි. ගෑණුන්ට බොන්න බැරිබවක් නීතියේ නැතුවා විය යුතුය. පොදු තැන්වල ගෑණුන් මත්පැන් ලඟ තබාගැනීම වරදක් බව පණතේ ඇත. හැබැයි බොන්ඩ බෑ කියා නැත. ලඟ තියාගන්නේ නැතුව බොන්ඩ බැරි බවට තර්කයක් ගොඩනැගිය හැකිය. ඒ අනුව  ක්ලබ් එකක, හෝටලයක බාර් එකක, රෙස්ටෝරන්ට් එකක වැනි පොදු තැනක ගෑණියෙක් බිව්වොත් ඇරස්ට් කරන්නට පුලුවන. ඒත් එහෙම කලා කියලා අහලා තියෙනවද? පිරිමියෙක් අරක්කු වීදුරුවක් අතේ තියාගෙන චුට්ට චුට්ට ගෑණියෙකුට පෙව්වොත්, ගෑණිත් කැමැත්තෙන් බිව්වොත් ඔය නීතියේ හැටියට අත් අඩංගුවට ගන්නේ කාවද? ගෑණිගේ බඩේ මත්පැන් තිබීම ලඟ තබා ගැනීම කියා අර්ත දක්වලාද?.

ඒත් පොදු තැනක් නොවන තමුන්ගේ ගෙදර හෝ අනුන්ගේ ගෙදර පාටියකදී ගෑණුන්ට ගෙදර මිනිහා එක්ක හෝ ළමයි එක්ක බොන්නට පුලුවන්ය. තමුන්ට ගන්නට බැරිනම් 18ට වැඩි කොල්ලෙකුට කියා ගෙන්නා ගත හැකිය.

බොන එක පව් කියලා හැමට බණ දෙසමින්, හවසට "ෆො හෙල්ත් රීසන්ස් - ගුඩ් ෆෝ හාර්ට්" නිසා හවසට බ්ලැක් ලේබල් ශොට් එකක් ගිලන්පසට දාගන්නා අය කියන නිසා ජනපති ගෑණුන් හා මත්පැන් එක්ක තියෙන සම්බන්ධතාවය කෙසේ හෝ කඩන්නට ට්‍රයිකරනවා විය යුතුය.

අවුරුදු 70ක නිදහසකට පසුවත් වැඩිහිටි ගෑණියෙකුට තමුන් කැමතිනම් මත්පැන් බෝතලයක් මිළදී ගැනීම, මත්පැන් විකුණන, හදන තැනක රස්සාව කිරීම තහනම් කොට ඇත. ඒ ගෑණුන්ගේ ආරක්ෂාවට හා සංස්කුතියේ හා සබ්බියත්වයේ ආරක්ශාවටලු.  එතකොට බීපු පිරිමියෙකුගෙන් ගෑණුන්ට වෙන අඩම්තේට්ටම් නවත්තන්න පිරිමින්ටත් බීම නැවැත්තුවොත් හොඳ නැද්ද? පිරිමි බිව්වාම සංස්කුතියට හා සබ්බියත්වයට හානියක් නැද්ද?

අපේ 70 වැනි නිදහස් අවුරුද්දේ රටකරන ජනාදිපතිතුමා දිගටම ඔය විධියට  හිතාගෙන හිතාගෙන හිතාගෙන ගියොත් ගෑණු කොටට අඳින එක, බුරිය පේන්ඩ අඳින එක, පෑන්ටි ලයින් එක පේන තරම් තද කලිසම් අඳින එක වුනත් ගෑණුන්ගේ ආරක්ෂාවට, සංස්කුතියට, සබ්බියත්වෙට මහා හානියක් කියලා ලංකාවේ ගෑණුන්ටත් ඔළුවේ ඉඳන් වැහෙන කළුපාට ගෝණි ඇඳගෙන පාරේ යන්ඩ කියලා නීතියක් ගේන්ඩත් බැරිනැත. ඒකට අගමැතියා ඇතුලු බැඳුම්කර නඩය විරුද්ද වුනොත් උන් සිංහල සංස්කෘතිය නොදන්න සංකර උන් කියා ඉස්ටේජ් එකක කෑගැසිය හැකිය.

ඇත්තටම ඉතින් බෝතලයක් ගන්ඩ ඉඩ දෙන්න ශුවර් නැති, විශ්වාස නැති ගෑණුන්ට කොහොමද ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් තෝරගන්ඩ චන්දෙ දෙන්න තරම් නුවණක් තියෙන්නේ කියා ගෑණුන්ගේ චන්ද අයිතිය වුනත් නැති කරන්න මයිට්‍රීට හිතෙන්ඩ පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඇත්තටම උන්ට, තමුන්ට ගැලපෙන මිනිහෙක් හොයා ගන්ඩ උනත් මොළයක් නෑනෙ. ඒ නිසා උන්ට උන් කැමති මිනිස්සු කසාද බඳිනවා වෙනුවට, මිනිහා කැමතිනම් ගෑණිගේ කැමත්ත අන්වශ්‍යයි කියලා උනත් එතුමට හිතෙන්ඩ බැරි නෑ.

යල් පැණගිය ශොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක හදාගන්න බැරි, පොදු නිවාඩු ගැන නිවැරදි තීරණ ගන්නට බැරි නිදහස් රට.

ලංකාවේ දසලක්ෂ ගණනක් මිනිසුන්ගේ අයිතිවාසිකම් තීරණය කරන කාර්යාල හා සාප්පු සේවක පණත හොඳටම යල් පැණගිය, එකිනෙකට ප්‍රතිවිරුද්ධ වගන්ති තිබෙන, සේව්‍යයාට කැමති පරිදි අර්තදැක්වීම් කරගැනීමට හිල් හදා තිබෙන, වහා අලුත් කල යුතු නීති පද්ධතියකි.

නිදහසෙන් අවුරුදු 70කට පසු අඩුම ගණනේ රටේ නිවාඩු ටිකවත් හරියට හදාගන්නට බැරිවී ඇත. ලෝකෙයේ වැඩිම නිවාඩු ඇත්තේ ලංකාවේ බව කියයි. ඒ පල් බොරුවකි. වැඩියෙන්ම ඇත්තේ බැංකු නිවාඩුය. සෑම රජයේ නිවාඩු දිනයක්ම බැංකු නිවාඩු වන අතර වෙනත් විශේෂ බැංකු නිවාඩුද ඇත. ඒවගේම අමුතු බැංකු නිවාඩුද ඇත. අද, පෙබරවාරි 5 වැනිදා බැංකු නිවාඩු දිනයකි. ඒත් රජයේ වැඩ කරන දිනයකි. පෞද්ගලික අංශයද අද වැඩ කරන බව පවසයි. ඒත් සමහර ආයතනය ඉරදාට වැටුනු නිදහස් දිනය නිසා නිවාඩු දී ඇත.

බැංකු වසා ඇති විට වාණිජ හා රජයේ කාර්යාල විවෘත කර තැබීමේන් ගැටලු රැසක් ඇතිවේ. සමහර රජයේ ගාස්තු ගෙවිය යුත්තේ බැංකුවකටය. එවිට බැංකු වසා ඇති නිසා ඒ වැඩේ සම්පූර්ණ කර ගැනීමට තවත් දවසක් රස්තියාදු විය යුතුය. ආයතනවලද, විශේෂයෙන් මුදල් ගණුදෙනු අඩපණවේ. බැංකු වසා ඇති නිසා මුදල් ගැනීම, තැම්පත් කිරීම කල නොහැකිය. 

මහා ධනස්කන්ධයක් වැය කරමින් නිදහස සැමරුවද යල් පැණගිය අණපණත් සංශෝධනය කර ගැනීමට තරම්වත් දේශපාලන හෝ නිළධාරී උනන්දුවක් නැත. කෙසේ වෙතත් මේ මෝඩ ජනාධිපතිවරයා සිටින තාක් කිසිම නීතියක්, සංශෝධනයක් සිදුකල නොහැකිය. ඒවා පත්තරෙන් දැක, නැතිනම් යම් පක්ෂග්‍රාහී පාර්ශවයක් ටැලිෆෝන් කෝල් එකක් දී කුරුකුරු ගෑවිට ග්‍රාම සේවක ජනපති ඒවා අහෝසි කිරීමෙන් විශාල කරදරයක් ඇතිවේ.

අණපණත් සංශෝධන පත්තරෙන් දැක ඒවා ගැන කැබිනට් එකේවත් කරුණු විමසා සියලු පැති අවබෝධකර නොගෙන, එක පෑන් පහරින් ඒවා වෙනස් කොට මාස ගණනක වෙහෙසකර ක්‍රියාවලියක් මගින් සැකසෙන, සමහරවිට වසර ගණනක් තිස්සේ ඇදි ඇදී තිබී යාන්තම් ගොඩ ආ සංශෝධන පවා වෙනස් කරන මෝඩ රාජ්‍ය නායකයෙක් ඇති රටකි මෙය.





අද නිවාඩු දිය යුතුද? නැද්ද?

අද සැබැවින්ම නිවාඩු දිය යුතුද නැද්ද ගැනද ඇත්තේ විවාදයකි. මානව සම්පත් කළමණාකරණය හා ව්‍යාපාරික නීතිය පිලිබඳව පස්චාත් උපාධි ඇති ආචාර්යවරුන් ගණනාවක් මෙන්ම නීති උපාධිධාරීන්ද විශාල පිරිසක් සිටින අප විශ්වවිද්‍යාලයේ බුද්ධි මණ්ඩලය අතර පවා එකඟතාවයක් නැත. සමහරුන් අනිවාර්යයෙන් නිවාඩුදිය යුතු බව කියන අතර සමහරුන් කියන්නේ එය ආයතයනයට තීරණය කල හැකි බවයි. සාප්පු හා කාර්යාල සේවක පණත 1954 තරම් පැරණිය විවිධ  සංශෝධන ඉදිරිපත් වුවද ඒවා නොපැහැදිලිය විවිධ අර්ථකතන වලට විවෘතය. සේවායෝජකයින් මේවායේ වාසිය ලබා ගනී. 

එය සංශෝධනය කල යුතුයයි විටින් විට පාර්ලිමේන්තුවේද ඉන් පිටතද කතාවුනු නමුත් රජයට ඒවා කරන්න ඉස්පාසුවක් නැත. හවුල් ආණ්ඩුවක ඉන්නා බව නොතේරෙන පිස්සු කෙලින ජනාධිපතිවරයෙකු සමග මෙවැනි සාධනීය වැඩක් කරන්නට බැරිය. විශාල මුදලක් හා කාලයක් වැයකොට එවැනි වැදගත් පණතක් හදාගත් පසු මේ මෝඩයා එක පෑන් පහරෙන් එය අහෝසි කරන්නට ඉඩ තිබේ.

දේශපාලන කෂේරුකාව හෝ පරිණත දුර දැකීමේ හැකියාව, වයස සමග ජනිත නොවන බවට හොඳම උදාහරණය මෛත්‍රීපාල සිරිසේනයි. මේ අවුරුදු 70ක නිදහස සමරන රටක ඇත්ත තත්වයයි.









සත්ව කරුණාව ගැන බණ කියන පන්සල්වල පව් ගෙවන නිදහසක් නැති අලි ඇත්තු.

පංසලේ ඇතා පහරදීමෙන් බෙල්ලන්විල විමලරතන මියගියේ නිදහස් සමරුවට කලින් දිනයි. පන්සිල් දෙමින්, සතුන්ට කරුණාවෙන් සැළකීම ගැන බණ කියමින් ඉන්නා පන්සල්වල නායක හාමුදුරුවරු මුලු ජීවිතේම දම්වැල් වලින් බැඳී එක තැනකට ගාල් කොට, බීමත් ඇත් ගොව්වන්ගෙන් පීඩා විඳන හස්ති රාජයන් ගැන කිසි අණුකම්පාවක් නැත. උදෙට ගිහින් කෙසෙල් ගෙඩියක් දෙකක් දීමෙන් හස්තියා ෆුල් ආතල් වී යදමින් බැඳී විඳවීමට වොලන්ටියර් වන බව සිතන බුදුපුතාලා මේ සත්ව හිංසාව මැඩලීමට කිසිදු පියවරක් ගන්නවාට විරුද්ධය. 

අපිට පෙරහැරේ යවන්නවත් අලියෙක් නෑ. වනජීවිය උන් අල්ලගෙන යනවා කියමින් වොයිස්කට් දෙන මේ බුදුපුතාලාට අලියාම ගැසිය යුතුය. තව එකෙක් දෙන්නෙකුට පංසලේ අලි වැඩේ දුන්නානම් මේ අවාසනාවන්ත ජීවිත ගතකරන සතුන්ට යම් සහනයක් ලබා දෙන්නට, හාමුදුරුවන්ගේ ජීවිත ආරක්සාව ගැන සිතන,  හාමුදුරුවන්ට බය ජනාධිපතිට වුවද හිතෙන්නට පුලුවන.

අලි ඇතුන් බැඳ පන්සලේ තබාගන්නට මරාගෙන මැරෙන්ට ලෑස්ති වුවද අලි ඇතුන්ගේ සුභ සාධනයට, ඇතුන් බලාගන්නා නූගත් ඇත් ගොව්වන්ගේ සුභසාධනයට මොවුන් කර ඇති සේවය කුමක්ද?
  • බණ සාලා, දාන සාලා, සත්මහල් බුදුමැදුරු සෑදුවාට පන්සලේ අලියා ඉන්නේ අලි බෙටි ගොඩේ නොවේද? 
  • යදම් වලින් බැඳි ඒ අසරණයාගේ කකුල් තුවාල වී සැරව ගලනවා නේද?
  • පෙරහැරේ ගෙනියන්ඩයි, උදෙට කෙසෙල් කවන්ඩයි, වෙරි රිච් දායකයින්ගේ ළමයින්ට පෙන්නඩයි ඇරෙන්ට මේ සත්තු ගැන ඇති සැළකිල්ල කුමක්ද?
  • මේ සතුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවාද, නිසි ලෙස සුභසාධනය සලසනවාද යන්න සොයන්නේ කවුද?
  • කසිප්පු බීගෙන සිටින නූගත් ඇත් ගොව්වා හැරෙන්නට මේ සතා බලාගන්නේ කවුද?
සිංහල බාසාව, සිංහලකම නැතිවෙනවා යයි මොරදෙන මේ හිමිවරුන් ලෝකයේ සතුන්ට කතා කරන එකම භාශාව වන අලි භාශාව රැක ගන්නට කුමක් හෝ කර තිබෙනවාද? එම භාශාවේ වචන, නැතහොත් ශබ්ද හා ඒවායේ තෙරුම්, ඇතුන්ගේ නිල යනාදිය පිලිබඳව විද්‍යාත්ම පර්යේෂන කෙසේවෙතත් මේ භාශාව රැකගැනීම සඳහා විද්‍යාත්මකව එම වචන/ශබ්ද පටිගතකර ගැනීමක් හෝ සටහන් කරගැනීමක් සිදුවී ඇත්ද?

ඒ භාශාව දන්නා ඇත් ගොව්වන් රැක බලාගන්නට, ඔවුන්ට මේ සතුන් නිවැරදි ලෙස රැක බලාගන්නට පුහුණුවක්, ලබා දෙන්නට උනන්දුවී තියෙනවාද? සැමදෑ නූගත්කමේ හ දුප්පත් කමේ ගිලී සිටින, බොහෝවිට කසිප්පු හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇත් ගොව්වන්ගේ කෲර සැළකීම් නිසා බොහෝ ඇතුන් සිය වෛරය පිරිමහ ගන්නේ එක්කෝ බැරිමතැන ඇත් ගොව්වා උස්ස පොලොවේ ගහලාය, නැතිනම් සියඹලා දෙන්නට ගිය බෙල්ලන්විල විමලරතන වැනි කෙනෙක් පොලොවේ ගහලාය.

ඇත් ගොව්වන් මේ චර්යාවෙන් බේරාගෙන, ඔවුන්ගේ වෘත්තිය ගෞරවනීය කර හැක්කේ ඇතුන් සිටින පන්සල්වල හාමුදුරුවරුන්ටමය. ඒ සඳහා ඕනෑතරම් උදව් කරන්න ලෑස්ති දායකයින්, පශුවෛද්‍යවරුන්, පර්යේෂකයින් සිටී, උපදේශන සේවා විශේෂඥයින් සිටී.  භාශා පිලිබඳ පර්යේෂකයින්, මහාචාර්යවරුන් සිටී නැත්තේ හාමුදුරුවන්ගේ උනන්දුව පමණකි.

සුද්දාගෙන් ලැබුණායයි කියා අවුරුද්දක් තිස්සේ කබල්ගාන මහ ලොකු නිදහස මේ රටේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් නැත. 

ගෑණුන්ට නැත. අලින්ට නැත. පාරේ යන මිනිස්සුන්ට නැත. කොටින්ම රටේ භාශාවේ, ආගමේ,සංකෘතියේ භාරකාරයන් ලෙස බලෙන් පෙනී සිටිමින් ඉන්නා හාමුදුරුවන්ට තමන්ගේ සාසනයේ ඉඳිමින් වනචරකම් කරන, පාදඩ විධියට හැසිරෙන, චන්ඩිකම් කරන, ගෑණුන් සමග වසන කහකඩයෙකුට වුව දඬුවමක් දීගන්නට බැරි පිරිසක්ය. වල්වැදී ඇති තමුන්ගේම උන් හදාගන්නට බැරි මොවුන් තනන්නේ රටේම මිනිස්සු හදන්නටය. අවුරුදු 70කට පසුවත් මේ මහණුන්ට යටත්වී ඉන්නට අපට සිදුවී තිබේ. සියල්ල සිදුවිය යුත්තේ මහණුන්ට ඕනෑ විධියටය. ගිහියන්ට කැමති විධියට ජීවත්වන්නට ගිහියන්ට ඉඩ නැත.

මහ පාරේ යනකොටත් එසේය.  එක්කෝ රැක සිටින ට්‍රැෆික් පොලිස්කාරයෙක් අත ඉස්සුවිට නවත්වා ලයිසොන්, ඉන්සූරන්ස් පෙන්නමින් වාතවිය යුතුය. නැති වැරදිවලට දඩකොල ලියාගෙන චාටර් විය යුතුය. නැතිනම් පාරේ හැමෝටම මාර්ගනීති කුණුහරුපෙන් කියාදෙන ත්‍රීවීල් පාදඩයෙකු සමග ඔට්ටුවිය යුතුය. එහෙමත් නැතිනම් මගමරුවා ටුවර්ස්ලාගේ ලේලන්ඩ් එකක්, ටාටා එකක් එක්ක ඔට්ටුවිය යුතුය. පාරේ බැහැලා නිදහසේ යන්නට බැරි 70 වසරක නිදහස උත්සවශ්‍රීයෙන් සමරමු

සතුන්ටත් එසේය. යාල වනෝද්‍යානය අදවන විට කබල් ජීප් සිගණනක් පිරුණු, දූවිලි හා ඩීසල් දුමින් පිරුනු පලාතකි. ගැහණුන්, පොඩි දරුවන්, විදේශිකයින් පුරවාගත් සෆාරි ත්‍රස්තවාදීන් එකිනෙකාට අමුකුණු හබ්බෙන් බැන ගන්නේ මහ කැලෑව මැද්දේමය. අභයභූමියක් වුව සතුන්ට නිදහසක් නැත. සතුන් බලන්ට යන මිනිස්සුන්ටද නිදහසක් නැත. යාල බලන්නට එන දසදහස් ගණනක් සෙනග වෙනත් වනෝද්‍යානවලට යොමු කීරීමේ සැලැස්මක් පෙනෙනතෙක් මානයක නැත. තිබුණත් සෆාරි බිස්නස් කරන දේශපාලන මාෆියාකාරයින් නිසා ක්‍රියාත්මක කරගැනීමට බැරිවී නිළධාරීන්ද අසරණවී ඇත. නිළධාරීන්ට සාධනීය තීන්දු තීරණ ගන්නට බැරි නිදහසක් ඇති රටකි මෙය.

හැමදෑම කතාකරන අලි මිනිස් ගැටුමත් එසේමය. විසඳුම් නැත. අවුරුදු 70ක නිදහසට පසුවත්, අලි ආරක්සා කරගන්ට මරාගෙන මැරෙන සඟගණක් සිටින රටක් වෙලත්, අලි මිනිස් ගැටුමට විසඳුමක් නැත. විසඳුමක් දෙන්න පුලුවන් මිනිස්සුන්ට උවමනාවක් නැත. උවමනාවක් තිබුණත් කරන්නට දෙන්නේත් නැත.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ශ්‍රී ලාංකිකයාගේ දුක්ඛදායී ඉරණම හිතට වදින්නම් අකුරු කරල තියනවා. බෙල්ලන්විල නාටකේ ගැන කියෙව්වම මතක්වුණේ මෙන්න බලන්න මේ සත්තුන්ට දෙන වදයක් පුදුමයක් නෑනෙ ඇතාට කේන්ති යන එකේ.මේ බෙල්ලන්විලම තමයි 2015 අවුරුද්දෙ.
    Bellanwila

    ReplyDelete

Post a Comment