FACEBOOK : ෆේස්බුක් Cambridge Analytica පටලැවිල්ල සරලව

මාර්ක් සකර්බර්ග් කොන්ග්‍රස් අණුකමිටුව ඉදිරියේ හරස් ප්‍රශ්ණවලට මුහුණ දෙමින්
පසුගිය මාස කිහිපය පුරාම ෆේස්බුක් සමාජ ජාලය ලොවපුරා දැඩි කතාබහකට ලක්වුනා. ෆේස්බුක් ව්‍යාජ ගිණුම් දහස්ගණනක් නිර්මාණය කරගත් රුසියානු හැකර්වරුන්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනඩ් ට්‍රම්ප්ගේ ජ‍යග්‍රහණය වෙනුවෙන් ව්‍යාජ පෝස්ටු හා ව්‍යාජ පුවත් (ෆේක් නිවුස්) මවමින් ක්‍රියාත්මකවූ බව මුලින්ම චෝදනාවුනා. මේ චෝදනාවල ඇත්ත නැත්ත සොයාබැලීමට රොබර්ට් මුලර් නම් හිටපු එෆ්.බී.අයි අධ්‍යක්ෂකවරයෙක් පත්කිරීමට ඇමරිකානු ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මුලර්ගේ විමර්ෂණය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඇමරිකානු ජනාධිපතිවරණයේ රුසියානු රහස් මෙහෙයුම් පිලිබඳව විශේෂ ලිපියක් ඉදිරි දින කිහිපය තුලදී ඉදිරිපත් කරන්නට අප සූදානමින් සිටිනවා.

ඉන් පසුව 2018 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත් පලකල විමර්ෂණාත්මක ලිපියකින් ඇමරිකානු චන්දදායකයින් මිලියන 80වකගේ පමණ ෆේස්බුක් දත්ත නීතිවිරෝධී උපක්‍රම හරහා ලබාගත් කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සමාගමක් එම දත්ත මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා පසුබිම සකස්කල බවට හෙලිදරව්කලා.

දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇති කේම්බ්‍රිජ් ඇනලිටිකා පලහිලව්වේ අලුත්ම සිදුවීම වන්නේ අප්‍රේල් 11 වැනිදා (එනම් අද ) ෆේස්බුක් නිර්මාතෲ හා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්, විමර්ෂණයක් සඳහා ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩල අනුකමිටුවක් ඉදිරියට කැඳවීමයි. ඔහු අද දිනයේ එම අනුකමිටුවේ පලමු සැසියට සහභාගී වෙමින් හරස් ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දුන්නා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම

කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන, එහෙත් ඇමරිකානු ආයෝජකයින් වන මර්සර් (Mercer) නම් ධනවත් ආයෝජක පවුල හා කලක් ඩොනල්ට් ට්‍රම්ප්ගේ හිතවතෙකු හා දේශපාලන උපායමාර්ග උපදේශකවූ ස්ටීවන් බැනන් (Steven Bannon) විසින් ආරම්භ කරන ලද සමාගමක්.

චන්දදායකයින් පිලිබඳව ෆේස්බුක් ආදී සමාජජාලා මගින් එක් රැස් කරන විද්‍යුත් දත්ත  ඉතා සියුම්ව හා ගැඹුරින් විශ්ලේෂණය කරමින්, ඒ අනුව එම චන්දදායකයින්ගේ දේශපාලන නැඹුරුව සොයාබලා ඔවුන්ව කේම්බ්‍රිජ් ඇනලිටිකා සේවාදායකයා වන අපේක්ෂකයා වෙත නැඹුරුකිරීම සඳහා විද්‍යුත් ප්‍රචාරණ උපක්‍රම (digital marketing strategies) සකස්කිරීම මේ සමාගමේ ව්‍යාපාරය වනවා.

ෆේස්බුක් හා කේම්බ්‍රිජ් ඇනලිටිකා අභිමුඛවීම

කේම්බ්‍රිජ් ඇනලිටිකා වැනි සමාගම් වලට ෆේස්බුක් සමාජජාලයේ සාමාජිකයින්ගේ පෞද්ගලික තොරතුරු ලැබීමට අඩිතාලම වැටෙන්නේ 2007 වසරේදී ෆේස්බුක් සමාගම, සමාජශීලී ඇප් නිර්මාණය සඳහා ඇතිකල  "Facebook Platform" නම්  මෘදුකාංග පාදමයි. මේ මෘදුකාංග පාදම උපයෝගීකරගෙන මෘදුකාංග නිර්මාණකරුවන්ට  ෆේස්බුක් ජාලයතුල දිවෙන විවිධ තොරතුරු හුවමාරු ඇප් නිර්මාණය කොට සාමාජිකයින් අතර බෙදාහැරීමට හැකිවනවා. මේ ඇප් වලට, එම ඇප් භාවිතා කරන්නාගේ හා ඔහුගේ/ඇයගේ මිතුරු මිතුරියන්ගේ යම් යම් දත්ත භාවිතාකිරීමට අවසර ලබාදීමේ ක්‍රමයකුත් සකස්කොට තිබුණා. ෆේස්බුක් ප්ලැට්ෆෝම් පාදම උපයෝගීකරගෙන දසදහස් ගණනක් ඇප් මේවනවිට නිර්මාණය වී තිබෙනවා.

2013 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පර්යේෂකයෙකු ලෙස සිටි ඇලෙක්සැඩර් කෝගන් (Aleksandr Kogan) නැමැත්තා ෆේස්බුක් ප්ලැට්ෆෝම් මෘදුකාංග පාදම ආධාරයෙන් ෆේස්බුක් සමාජිකයෙකුට තමන්ගේ පෞරුෂත්වය පිලිබඳව තොරතුරු ලබාගත හැකි ප්‍රශ්ණමාලාවක් (personality quiz) රැගත් ඇප් එකක් හඳුන්වාදුන් අතර එය 300,000 පමණවූ ෆේස්බුක් සාමාජිකයින් විසින් ස්ථාපනය කොට භාවිතාකලා. එමෙන්ම එම ඇප් එකට එම සාමාජිකයින්ගේ ෆේස්බුක් මිතුරන්ගේ දත්තද එක් රැස් කිරීමේ හැකියාව තිබුණා. ඒ අනුව මිලියන ගණනක් ෆේස්බුක් සාමාජිකයින්ගේ තොරතුරු මේ ඇප් එක හරහා ඇලෙක්සැන්ඩර් කෝගන් සිය පරිගණකයේ රැස්කරගන්නට සමත්වුනා.

2015දී බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත කල විශේෂ හෙලිදරව්වකට අනුව ඇලෙක්සැන්ඩර් කෝගන් තමන් සතුව තිබූ මිලියන ගණනක් ෆේස්බුක් සාමාජිකයින්ගේ දත්ත ෆේස්බුක් සමාගමේ හෝ එම දත්ත හිමිකරුවන්ගේ අවසරයකින් තොරව නීතිවිරෝධීව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට විකුණා ඇති බව තහවුරුවුනා. ෆේස්බුක් සමාගම පවා මේ දත්ත විකිණීම ගැන දැනගත්තේ ගාඩියන් පුවත්පත් වාර්තාවෙන් පසුව බව අද සිදුවූ කොන්ග්‍රස් මණ්ඩළ විමර්ෂණයේදී මාර්ක් සකර්බර්ග් හෙලිකලා.

සකර්බර්ග් ලබාදුන් තොරතුරු අනුව, මේ පිලිබඳව දැනගත් වහාම ෆේස්බුක් සමාගම ඇලෙක්සැන්ඩර් කෝගන්ගේ ඇප් එක තහනම් කල අතර එම දත්ත මකා දමන ලෙස කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට නීතිඥයින් මගින් දැනුම්දී තිබෙනවා. පසුව එම දත්ත මකාදැමූ බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමන්ට සහතිකවූ බව සකර්බර්ක් කොන්ග්‍රස් විමර්ෂණයේදී පවසා සිටියා.

කෙසේවෙතත් 2018 මාතුවේ බ්‍රිතාන්‍යයේ ගාඩියන් හා ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත්, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මේ දත්ත මකාදමා නොමැති බවත්, ඒවා උපයෝගිකරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චන්දව්‍යාපාරයට වාසිදායක ඩිජිටල් ප්‍රචාරණ දියත්කොට තිබූ බවත් හෙලිකලා. මෙයද තමන් දැනගත්තේ පත්තර වලින් බව සර්කර්බර්ග් සිය සාක්ෂිවලදී හෙලිකලා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ෆේස්බුක් දත්ත භාවිතා කලේ කොහොමද?

දැනට හෙලිවී ඇති කරුණු අනුව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ දත්ත විශ්ලේෂණ විශේෂඥයින්, තමන් සතුව ඇති ෆේස්බුක් සාමාජිකයින්ගේ දත්ත ඇසුරින් ඔවුන්ගේ මනෝරේඛණ විශ්ලේෂණයක් සිදුකිරීමට හැකි ඇල්ගොරිදමයක් (පරිගණක වැඩසටහනක්) නිර්මාණය කොට තිබෙනවා. මේ වැඩසටහනට අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ, පෞරුෂත්වයට, දැක්මට හා වැඩපිලිවෙලට කැමැත්ත ඇති ෆේස්බුක් සාමාජිකයින් හඳුනාගැනීමටත් , ඔවුන් ඉලක්ක කොට ඩිජිටල් දැන්වීම් මුදාහැරීමටත් සමත්වී තිබෙනවා.

ඉතා සංකීර්ණ දත්ත විශ්ලේෂණ වැඩසටහන් හා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග යොදාගෙන සිදුකොට ඇති මේ ව්‍යායාමය සඳහා ඩොලර් මිලියන ගණනින් අයකරගැනීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ක්‍රියාකොට තිබෙනවා. මේ සඳහා මුදල්ගෙවා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන සඳහා බරපැණ දැරූ ව්‍යාපාරිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් බවයි වාර්තාවන්නේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. මම හිතන් හිටියේ ෆේස් බුක් සමාගම මේකට සම්බන්ධයි කියලා.. එහෙම නැත්නම් සකර්බර්ග්ගේ අතේ රෝලක් ද?

    එයත් පත්තරවලින්ම හැම දේම දැන ගන්න එක්කෙනෙක් වගේ !

    ReplyDelete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/04/facebook-cambridge-analytica.html

    ReplyDelete
  3. සකර්බර්ග් කාරයත් අපේ සිරිසේන ලොක්කා වගේ තමයි.ඔක්කොම දැනගන්නේ පත්තරෙන්

    ReplyDelete

Post a Comment