HIKING & BACKPACKING : හයිකින්, බැක්පැකින් යන පුරුදුකාරයෝ නොකරන දේවල් 10ක්


Hiking නැතිනම් විනෝදයට ඇවිදීම ලංකාවේ ජනප්‍රිය වෙමින් යන විනෝද ක්‍රියාවක්. නිවාඩුවක් ලැබුනම හයිකින් යන්න කැමති තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව හයිකින් / බැක්පැකින් ෆේස්බුක් සමූහවල සාමාජිකත්වය අරගෙන තියෙන ප්‍රමාණයෙන් වගේම එයාලා අහන ප්‍රශ්ණ හා ඇතිවන සංවාද වලින් හිතාගන්න පුලුවන්.

හයිකින් vs. බැක්පැකින් vs. ට්‍රෙකින්

ඉස්සෙල්ලම අපි හයික් එකක් හා බැක්පැකින් වල වෙනස වටහාගමු. ඒවගේම මේ දෙකම, ට්‍රෙකින් කියන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලත් දැනගනිමු.

හයිකින් නැතිනම් හයික් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පිටත්වෙලා, ඇවිදලා ආපහු රාත්‍රියට ඉස්සෙල්ලා නවාතැනට එන්න පුලුවන් එක දවසක් ඇතුලත ඉවර කරන්න පුලුවන් ඇවිදීමක්. උදාහරණයක් විධියට හෝර්ටන් තැන්නේ ලෝකාන්තය බලලා ආපහු එන එක හයික් එකක් විධියට ගන්න පුලුවන්.

ගොඩක් වෙලාවට හයික් එකක් සිද්ධවෙන්නේ පිටිසර නැතිනම් ඈත පලාත්වල වුනත්, හයිකින් වලදී නිතරම කලින් හඳුනාගත්, සළකුණු කල මාවත් (ට්‍රේල්) භාවිතා කරනවා. මේ මාවත් පිටිසර ගුරු පාරවල්, අඩි පාරවල් වගේම, විශේෂයෙන් සළකුණු කරනලද කැලෑ මංපෙත් (ෆොරස්ට් ට්‍රේල්) වෙන්න පුලුවන්. ඔබ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය වෙත යනකොට හරි සිංහරාජ වනයේ ඇවිදිනකොට හරි භාවිතා කරන්නේ සළකුණු කරනලද මංපෙත්.

මේ නිසා හයික් එකක් අණතුරුදායක බවින් වගේම වෙහෙසකර බවින්ද අඩුයි. හැබැයි ඒ මංපෙත් නිවැරදිව සළකුණු කරලා තියෙන සිතියමක් හරි හොඳ ජංගම ජී.පී.එස් යන්ත්‍රයක් හරි ගෙනියන එක වඩාත් සුදුසුයි. නැතිනම් මංපෙත් වැරදිලා අතරමං වෙන්න පුලුවන්.

මග සොයාගන්න නිවැරදි සිතියම් හෝ හොඳ ජී.පී.එස් යන්ත්‍රයක් නොමැතිව හයිකින් ගියාම මේ විධිය කරදර වෙන්න පුලුවන්!

බැක් පැකින් කියන්නේ දින දෙකතුනක් ගතවන, රාත්‍රිය කූඩාරම්තුල ගතකරමින් යන දිග හයික් එකකට. බැක් පැකින් යනකොට කූඩාරම්, රාත්‍රියට නිදන ස්ලීපින් බෑග්, ආහාර පිසගන්න උපකරණ හා උදුන් වගේ උපකරණ රාශියක් සහිත විශාල බෑග් පිටේ එල්ලගෙන යන්න වෙනවා. බැක් පැකින් යනකොට, සෑහෙන්න සැළසුම් කරලා යන්න වෙනවා.

ඒවගේම රාත්‍රිය ගතකරන තැන්වල ආරක්ෂාව, වනසතුන් හා සර්පයින්ගෙන් සිදුවිය හැකි අණතුරු පිලිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනවා. ප්‍රථමාධාර කට්ටල, ජලය පිරිසිදු කිරීමේ කට්ටල, සර්පයින් දෂ්ඨකලවිට ගතයුතු ඇන්ටි-වෙනම් (ප්‍රතිවිෂ ) ඉන්ජෙක්ෂන්, උයන පිහින උදුන් හා උපකරණ වගේ දේවල් නිසිලෙස සැළසුම් කරන්න ඕනෑ.

මේ නිසා බැක්පැකින් කරනකොට ඒගැන හොඳ පලපුරුද්දක් තියෙන අය සම්බන්ධ කරගන්න එක හොඳයි. නැතිනම් කැලේ අතරමන් වෙලා බොහෝ කරදර සිද්ධවෙන්න පුලුවන්.



ට්‍රෙකින් කියන්නේ වඩාත් දුෂ්කර, මිනිස් වාසයෙන් තොර පෙදෙස්වල දින ගණනාවක් බැක්පැකින් ආකාරයෙන් ගමන් කිරීම. ට්‍රෙකින් ඉතාම වෙහෙසකර වෙන අතර ඒ සඳහා හොඳ පළපුරුද්දක් ඇති, ඒවගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුවෙන්න ඕනෑ.

ඒ නිසා, මේ උපදෙස් අනුගමය කරන්න උත්සහ කරන්න;

හයිකින්,  බැක්පැකින්,  ට්‍රෙකින් යන පුරුදුකාරයෝ නොකරන දේවල්

1] හොඳට සැළසුම් නොකර, හොයා බලන්නේ නැතුව හයිකින් / බැක්පැකින් සංචාර පිටත්වීම.

හයිකින් ගොඩක් වෙහෙසකරයි. හිතනවාට වඩා අමාරුයි. උදාහරණයක් විදියට Horton Plains පිවිසුමේ ඉඳලා ලෝකාන්තයට බේකර්ස් ඇල්ල මං පෙතෙන්  කිලෝමීටර් 4.5ක දුරක්, කුඩා ලෝකාන්තය පැත්තෙන් ගියොත් කිලෝමීටර් 3.5ක් විතර. ඒත් ඒ ගමන නුහුරු අයට කොයිතරම් වෙහෙසකර වෙනවද?

තමුන්ට/කණ්ඩායමට අධික වෙහෙසට පත්නොවී යන්න පුලුවන් දුර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් තියෙන්න ඕනෑ. ගිහිල්ලා ආයෙත් එන්න යන මුළු දුරම අරගෙන හයික් එක සැළසුම් කරන්න. උපරිම දුර වෙන්න ඕනෑ කණ්ඩායමේ දුර්වලම කෙනාට (නැතිනම් හයිකින් වලට ආගන්තුකයාට) යන්න පුලුවන් දුරයි.

යන පැත්තේ සිතියම් බලලා, මග සළකුණු හා මාර්ගය පැහැදිලිව හඳුනාගන්න. ගූගල් මැප්ස් මත ඕනෑවට වඩා යැපීම දුරපලාත්වලදී භයානකයි. විශේෂයෙන්ම ලංකාවේ ඈත පලාත්වල ගූගල් මැප්ස් වල නිරවද්‍යතාවය සැකසහිතයි. ඒ නිසා මග සළකුණු අහගන්න ප්‍රදේශවාසීන් නැති කැලෑබද පෙදෙස්වල යනවා නම්  ජී.පී.එස් යුනිට් එකක් ගෙන යන්න පුලුවන් නම් හොඳයි.

උඩින් තියෙන ප්‍රවෘත්තියේ නකල්ස්වල අතරමන් වුනු තරුණයින් කියලා තියෙන්නේ ෆෝන් සිග්නල් නැතිවුනාට පස්සේ අතරමන් වුනා කියලයි. ඒ කියන්නේ එයාලා ගූගල් මැප්ස් මත යැපෙන්න හිතාගෙන කැලේට ඇතුලුවෙලා තියෙන්නේ.

ගූගල් මැප්ස් කියන්නේ ගමනක් යනකොට පාරක් හොයාගන්න හොඳ මෙවලමක්. කැලේ ඇතුලේ ඇවිදින්න ගූගල් මැප්ස් මත යැපීම බොහොම භයානකයි කියන එකට මේ ප්‍රවෘත්තිය හොඳ උදාහරණයක්.

2] අලුත්ම සපත්තු, අලුත්ම හයිකින් බූට්ස් පලමුවෙනි සැරේටම දිග හයික් එකකට පාවිච්චි කිරීම.

අලුත්ම බූට්ස්, අලුත්ම සපත්තු සෑහෙන දුරක් යන හයික් එකකට ඉස්සෙල්ලාම පැළඳීමෙන් ඒවායේ අලුත් බව නිසා කකුල් කැපීම, තද වැඩිවීම නිසා ඇතිවන අපහසුව වගේ දේවල් වලින් පීඩා විඳින්න පුලුවන්.

අලුතින් සපත්තු, බූට්ස් ගත්තහම ගොඩක් දුර හයික් එකකට පලදින්න ඉස්සෙල්ලා, කෙටි දුරවල් ඇවිදින ගමන් දෙක තුනකට පාවිච්චි කරන්න. එතකොට ඒවා ගානට ගෙවිලා කකුල්වලට පහසුවෙනවා. ඒවගේම ඒවා පැළඳීම අපහසුනම්, ඒවගේ පාවහන් හයික් එකට අරගෙන යන්නේ නැතුව ඉන්න තීරණය කරන්නත් පුලුවන්.

සපත්තුවලින්, බූට්ස්වලින් කරදර වෙනකොට හයික් එකේ තෘප්තිය විඳිනවා වෙනුවට, වද විඳින්නයි වෙන්නේ. ඒ වගේම හයික් එකේ යන ගෲප් එකේ අනෙක් අයටත් ඔබ නිසා ප්‍රමාද වෙන්න , කරදර වෙන්න සිද්ද වෙනවා.

3] තත්වයෙන් හා ප්‍රමිතියෙන් තොර හයිකින් බැක්පැක්, සපත්තු, ටෙන්ට් ආදිය රැගෙන යාම.

හොඳ සන්නාම තියෙන හයිකින් උපකරණ ගණන්, ඒ නිසා ඔන්ලයින් ෂොප් වල, නැතිනම් හවුස් ඔෆ් ෆැෂන් වගේ තැන්වල විකුණන්න තියෙන අඩුමිල හයිකින් උපකරණ ගන්න සමහර අය පෙළඹෙනවා.

මේ උපකරණ තත්වයෙන් බාලයි. හයිකින්, බැක්පැකින් වලදී බොහොම රළු පාවිච්චියක් තියෙන නිසා ප්‍රමිතිය අඩු ඒවා කැඩෙන, ගැලවෙන ඉරෙන සම්භාවිතාවය වැඩියි.

බැක්පැක් එකක වුනත් සිපර් එකක්, ස්ට්‍රැප් එකක් වගේ පොඩි දෙයක් කැඩුනත් ඒකෙන් ගමනට බාධාවක් වෙනවා. උස්සගෙන යන්න කරදර වෙන්න පුලුවන්. බූට් එකක, සපත්තුවක අඩිය ගැලවුනොත් කොච්චර කරදරද? ඒ නිසා හැකිතරම් ප්‍රමිතියක් තියෙන උපකරණ ගන්න බලන්න.

4] වැඩියෙන් බඩු උස්සාගෙන යාම හෝ ඕනෑ දේවල් ගෙන නොයෑම

බැක්පැක් එකට දාගන්න පුලුවන් හැමදේම අරගෙන, බොහොම බර බැක්පැක් එකක් ගෙනියන කෙනාට වැඩිදුර ඇවිදින්න වෙන්නේ නෑ. බෑග් එකේ බරත් එක්ක ගමන වෙහෙසකරයි. ඒවගේම අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වතුර, කෑම, ප්‍රථමාධාර, ස්ලීපින් බෑග් එක, ටෙන්ට් එක හා වෙනත් උපකරණ රැගෙන නොයෑම තවත් ලොකු වැරැද්දක්.

ගමන සැලසුම්කරන අවස්ථාවේ ගෙනයන්න ඕනෑ මොනවද කියලා ලයිතුවක් හදාගන්න. ඒ ලයිස්තුව දෙතුන් සැරයක් යාවත්කාලීන කරන්න. පලපුරුදු අයගෙන අහලා දැන ගන්න.

5] මංපෙත් සිතියම (ට්‍රේල් මැප්) එකක් හෝ වෙනත් නිවැරදි සිතියමක් රැගෙන නොයෑම.

ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනවත් වුනත්, බැටරි බැස්සම ඒ තාක්ෂණයෙන් වැඩක් නෑ. ජී.පී.එස් යන්ත්‍රයක් වුනත් වතුරට වැටුනොත්, ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ඒ නිසා පොලිතීන් කවරෙක දාපු සිතියමක් අරගෙන යන එක හොඳයි.

සිතියම එක්කම, හොඳ මාලිමාවක් අරගෙන යන්නත් ඕනෑ. ඒවගේම සිතියමක් හරියට කියවගෙන පාර හොයාගන්නත් ඉගෙන ගන්න ඕනෑ.

6] සුදුසු දේශගුණය ඇති කාලය තෝරා නොගැනීම

ලංකාව වගේ නිතරම වහින රටවල්වලට මේක වැදගත්. හයිකින් කරන්න යන්න බලාපොරොත්තුවෙන ප්‍රදේශයට නිතරම වැස්ස නැති නම් දැඩි ඉඩෝරය තියෙන කාල මගහරින්න ඕනෑ.

අපේ මුතුන්මිත්තෝ සිරීපාදෙ යන්න දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකන් සිරිපා වාරය කියලා තෝරාගෙන තියෙන්නේ මේ දැණුම අනුවයි. දෙසැම්බර්-අප්‍රේල් වැස්ස නැතිනිසා සිරිපා කරුණාකරන්න ලේසියි.

(C) Met Department, Sri Lanka
කාළගුණ දෙපාර්තමේන්තුවේ කාළගුණ/දේශගුණය පිලිබඳ දත්ත/වගු හා සිතියම් වගේම, ඒ පැත්තේ පදිංචි පුද්ගලයින් හා සම්බන්ධවීමෙනුත් මේ තොරතුරු දැනගන්න පුලුවන්.

7] උදෙන්ම පිටත් නොවීම / මගදී අනවශ්‍යලෙස ප්‍රමාදවීම

ලංකාව වගේ රටවල්වල ඉක්මණට එලිය වැටෙන නිසා ඉක්මණින් පිටත්වීම හොඳයි. ඒවගේම දවල් 10 විතර වෙනකොට උෂ්ණත්වය දැඩිවෙනවා. මේ නිසා ඉක්මණට පිටත්වෙලා, දැඩි උණුසුම තියෙන දවල් කාලෙ විවේකයටත්, රෑවෙන්න කලින් ආපහු පටන් ගත්ත තැනට එන්න / නැතිනම් රෑට නවතින්න තීරණය කල කෑම්පින් සයිට් එකට හරි යන්න ඕනෑ.

හයිකින් වලදී රෑගමන් අණතුරු දායකයි. හයිකින් යනකොට පාන්දර කාලයේ හා හවස් වෙලා අඳුර වැටෙන වෙලාවේ පාර හොයාගන්න ප්‍රභල විදුලි පන්දම් ගෙන යන්න ඕනෑ.

8] ඩෙනිම් කලිසම් / ඝණ රෙද්දෙන් මැසූ කලිසම් ඇඳගෙන යෑම

ඩෙනිම් කියන්නේ ඝණ කපු රෙද්දක්. ඩෙනිමක් ගහගෙන හයිකින් යනකොට ඉක්මණින් රත්වෙලා අපහසු වෙනවා. වැඩිපුර දාඩිය දානවා.

ලංකාව වගේ උෂ්ණාධික රටවල හයිකින් යන්න හොඳම ක්‍රීඩාවලදී, ව්‍යායාම වලදී අඳින හොඳ ප්‍රමිතියේ ට්‍රැක් බොටම් හා ස්පෝර්ට්ස් ටී ෂර්ට්. මේවා ඉක්මණින් ඇඟ සිසිල් කරනවා. ඒවගේම සැහැල්ලුයි. බුරුලට තියෙන නිසා ඇවිදිනකොට ඇතිල්ලිලා කැපෙන එක අඩුවෙනවා.

උඩරට සීතල පෙදෙස්වල ඇවිදිනවා නම් සීතල වෙලාවට ඇඳගන්න ස්වෙටර් එකක් නැතිනම් ජර්සියක් අරගෙන යන එක හොඳයි. වහින කාලයක් නම් රේන් කෝට් අරගෙන යන්න.

9] හොඳ ප්‍රථමාධාර කට්ටලයක් ගෙන නොයෑම.

ප්‍රථමාධාර කට්ටලයක පැනඩෝල්, සිද්ධාලේප, ඩෙටොල් ප්ලාස්ටර් විතරක් තිබිලා මදි. ලොකු තුවාලයක් හරි අස්ථි බිඳීමක් හරි වුනොත් වෛද්‍යාධාර ලැබෙන තෙක් තුවාලය / බිඳීම ආරක්ෂිතව තියාගන්න ඇලවෙන බැන්ඩේජ් (Adhesive bandage), බැන්ඩේජ් පටි, ගෝස් පටි රෝල බැගින් තියෙන්න ඕනෑ.

ඒවගේම තුවල සුද්ද කරන්න සර්ජිකල් ස්පිරිට් / ඩෙටෝල් වගේ පොඩි බෝතලයකුත්, ඒවගේම තුවලවලට ගාන විශබීජ නාශක බෙටඩීන් වගේ ක්‍රීම් එකක්, තැල්මකට ගාන්න වින්ටජිනෝ ටියුබ් එකක් තිබුණොත් හොඳයි.

මීට අමතරව බඩේ අප්සෙට් / ගැස්ට්‍රික් තියෙන අයට ඕනෑ බේත් / අසමෝදගම් / ඇලර්ජික් (ආසාත්මික තාවය ) රියැක්ෂන් තියෙන අයට පිරිටන් පෙති ගෙනයන එක හොඳයි. බෙහෙත් බොන අය තමන්ගේ බෙහෙත් වඩි අනිවාර්යයෙන් ගෙනියන්න ඕනෑ.

අමතක නොකර හොඳ කතුරක් හා බොක්ස් කටර් පිහියක් දාගන්න.

10] වතුර හා කෑම ගැන නොතැකීම

උදය ආහාරය නොගෙන පිටත්වීම. අතරමගදී කෑම සඳහා ප්‍රෝටීන හා කැලරි වැඩි ආහාරයක් නොගෙන පිටත්වීම. ඇති පමණ වතුර නොගෙනයාම. ආහාරවලටත් වඩා ඇති පමණ වතුර ගෙනයා යුතුය. අවම වශයෙන් එක් පුද්ගලයෙකු ලීටර් 2ක වතුර ප්‍රමාණයක් රැගෙන යා යුතුයි.

විසිකරන පෙට් (PET) වතුර බෝතල් ගෙන නොයන්න. ඒවා සැහැල්ලු වුවත් පරිසරයට විනාශකාරීය.

විශාල ප්ලාස්ටික් වතුර බෝතලයක් මිළදී ගන්න. එයින් වතුර කාන්දු නොවන බව තහවුරු කර ගන්න. වතුර කාන්දුවන බෝතලයක් බැක් පැක් එකට දමාගත් පසු පැක් එකේ ඇති අනෙක් සියලුදෑ ජලයෙන් තෙමී යයි.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment