TERROR : අල්-ක්වේඩා / ISIS සංවිධාන දෙකම ඇමරිකාවේ නිර්මාණ!!!!
































අති උතුම් කාඩිනල්තුමා කියූ බලවත් රට ඇමරිකාවද?

පසුගිය දිනක අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමාණන් විවාදාත්මක ප්‍රකාශයක් සිදුකලා. එනම් "මේ අන්තවාදී මුස්ලිම් සංවිධාන පිටුපස ලෝකයේ බලවත්ම රාජ්‍යයක් සිටිනවා..." යන්නයි.

මොකක්ද මේ බලවත් රට? මැද පෙරදිග රටක්ද? මැදපෙරදිග ධනවත් රටවල්, දුප්පත් රටවල වහාබිවාදය හා වෙනත් අන්තවාදී මුස්ලිම් නිකායවල් පෝෂණය කරන බව නොරහසක්. මේ සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ලවන්නේ සෞදි අරාබියට හා කටාර් රාජ්‍යයටයි.

මේ අතරිනුත් කටාර් රාජ්‍යයට ගල්ෆ් රටවල්වලින් පවා දැඩි විරෝධයක් එල්ල වනවා. අල්-ක්වේඩා, හා ඉස්ලැමික් ස්ටේට් වැනි මුස්ලිම් ත්‍රස්ත සංවිධානවලට අනුග්‍රහය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේනය, යේමනය, ලිබියාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව කටාර් රාජ්‍යයට දැඩි ආර්ථික සම්බාධක පනවා තිබෙනවා.

කටාරයට ඇති තවත් චෝදනාවක් වන්නේ යේමනයේ ත්‍රස්ත සංවිධානයක් වන හෝති සංවිධානයට කටාරයෙන් මුදල් ලැබෙන බවයි. එමෙන්ම ඉරානයෙන්ද හෝති ත්‍රස්ත සංවිධානයට මුදල් ලැබෙන බවට චෝදනා තිබෙනවා. ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් වන අල්-ජසීරා අයිති වන්නේත් කටාර් රාජ්‍යයටයි.

ඒත් කාඩිනල්තුමා මේ සඳහන් කල "බලවත් රාජ්‍යය" කටාරයද? නැතිනම් සෞදි අරාබියද? කටාරය හා සෞදි අරාබිය ඉතා ධනවත් වුවත්, ඒවා බලවත් රටවල් ලෙස හැඳින්විය හැකිද? ඒවා කලාපීය බලවතුන් වුවත් ගෝලීය බලවතුන් ලෙසට පිලිගත හැකිද?

නූතන ලෝකයේ ගෝලීය බලවතුන්, එනම් ආර්ථික හා යුධමය බලය ගෝලීයව ප්‍රක්ෂේපණය කල හැකි රාජ්‍යයන් වන්නේ ඇමරිකාව හා රුසියාව මූලිකවමත්, බ්‍රිතාන්‍යය හා චීනය දෙවැනුවත්ය. ඒ අතරිනුත් මුලු ලොව පුරාම සිය යුධමය මෙන්ම ආර්ථික බලය ලොවපුරා ප්‍රක්ෂේපණය කිරීමේ හා ලොව ධනවත් රටවල් පවා සිය බලයට නම්මවා ගත හැකි එකම රාජ්‍යය ඇමරිකාව බව අවිවාදයි. යුධමය හා විනාශකාරී අවි සලකනවිට රුසියාවද ඇමරිකාව තරමටම බලවත් වුවත් ඇමරිකාවට ඇති ආර්ථික බලය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව මේ රටවල් වලට නෑ. උදාහරණයක් ලෙස රුසියාවටද ඇමරිකානු ආර්ථික සම්බාධක වැටී ඇති අතර චීනය සමග ආර්ථික යුද්ධයක් කිරීමට ඇමරිකාව සැරසෙනවා.

අල් කයිඩාවට පදනම දැමූ ඇමරිකාව

1983දී ඇෆ්ඝනිස්තාන් ගරිල්ලන් ධවල මන්දිරයට ගෙන්වා සාක්ච්චාකරන රොනල්ඩ් රීගන්

ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීමේ ඇමරිකානු රහස්‍ය ප්‍රතිපත්තියට පදනම වැටුනේ 1979 වසරේදීය. එවක ජනාධිපති ජිමී කාටර්ගේ ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නියෙෆ් බ්‍රිසින්ස්කි (Zbigniew Brzezinski) සෝවියට් දෙශයට පාඩමක් ඉගැන්වීමට ඇෆ්ඝන් ගරිල්ලන් සන්නද්ධ කිරීමට යෙදූ සැළසුමත් සමගයි. එය ඊලඟට පත්වූ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ වඩාත් වේගවත්ව සිදුවුනා.

බ්‍රිසින්ස්කි මේ සඳහා පාකිස්තානයේ බුද්ධි අංශය, සෞදි අරාබිය මෙන්ම බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයද හවුල්කරගෙන ඩොලර් බිලියන ගණනක අවි ආයුධ හා පුහුණුව ඇෆ්ඝන් ගරිල්ලන් අතට පත්කලා. බ්‍රිසින්ස්කි යෙදූ උපාය කෙටිකාලීන සාර්ථකවුනා.

හිටපු බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය රොබින් කුක් පවසන අන්දමට ඔසාමා බින් ලාඩන් හා අල්කයිඩාව තනිකරම සී.අයි.ඒ ඇතුලු බටහිර ඔත්තුසේවාවල නිර්මාණයක්. අල් කයිඩා යන යෙදුම පවා මුලින්ම භාවිතාකොට ඇත්තේ බටහිර මගින් පුහුණුකොට ආයුධ හා අරමුදල් ලබාදෙන විවිධ ඇෆ්ඝනිස්තාන ගරිල්ලා කණ්ඩායම් වල විස්තර ඇතුලත් දත්තගබඩාවක් හැඳින්වීමට බව පැවසෙනවා.

මේ ක්‍රියාකාරකම් හේතුවෙන් දහස් ගණන් සෝවියට් සෙබලුන් ඇෆ්ඝනිස්ථානයේදී මියගියා. කෙසේ වෙතත් මේ උපායමාර්ගයේ දීර්ඝකාලීන ප්‍රතිපලය වූයේ ඇමරිකන් ඩොලර්වලින් හා අවි වලින් සන්නද්ධ කොට, පුහුණුවූ උසාමා බින් ලාඩන් නම් ත්‍රස්තවාදියා 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට සිය ඉතිහාසයේ එල්ලවූ දැවැන්තම ප්‍රහාරය එල්ලකිරීමයි. තමන් කිරිපොවා හදාගත් පොළඟා තමන්ටම විදිනු ඇතැයි ඇමරිකානුවන් කිසිවිටකත් සිතන්නට නැතුව ඇති. සමහර විට එසේ සිදුවන බව දැන දැනම, කිසිවක් නොදත් අයුරින් සිටියා වන්නටද පුලුවන.

2001 සැප්තැම්බර් 11, World Trade Center ප්‍රහාරයේ වැඩිම වාසිය CIA ඔත්තු සේවයටයි.

ඔසාමා බින් ලාඩන් ඇතුලු තලේබාන් / අල් කයිඩා ත්‍රස්ත රැළ පෝෂණය කලේ, සන්නද්ධකලේ හා ආරක්ෂාකලේ ඇමරිකාවේ සී.අයි.ඒ ඔත්තු සේවයයි. 

එමෙන්ම ගුවන්යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලවන බවට විවිධ තොරතුරු ලැබී තිබියදීත් එය වැලැක්වීම සඳහා කිසිදු පියවරක් ගැනීමට සී.අයි.ඒ ඔත්තුසේවය හිතාමතා හිතාමතා අතපසුකල  බව තවමත් නැගෙන චෝදනාවක්. තමන්ට ලැබුණු තොරතුරු ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව භාරව සිටින එෆ්.බී.අයි ඇතුලු ආයතන දැනුවත් කිරීමට යම් යම් සී.අයි.ඒ ඉහල නිළධාරීන් නොකල බවත්, එසේ කලේ එම ප්‍රහාය වැලැක්වීමේ කිසිදු උවමනාවක් ඔවුනට නොතිබූ නිසා බවටද චෝදනා නැගෙනවා.

ඒ අනුව සැප්තම්බර් 11 ප්‍රහාරයේ හා ඇමරිකානු ජනඝාතනයේ මූලික වගකීමෙන් සී.අයි.ඒ ඔත්තුසේවයට ගැලවෙන්නට හැකියාවක් නෑ. 

සැප්තැම්බර් 11 ප්‍රහාරය සී.අයි.ඒ ඔත්තුසේවාවට මෙන්ම යුධවාදී, අන්ත දක්ෂිණාංශික ඇමරිකානු දේශපාලකයින්ටද, ප්‍රකෝටිපත් ඇමරිකානු ආයුධ වෙළෙන්දන්නටද මහත් වාසියක් වූවා. සී.අයි.ඒ සංවිධානය පෙර නොවූ විරූ ආකාරයට අරමුදල් හා පිරිස් බළයෙන් ශක්තිමත්වූ අතර, ඇෆ්ගනිස්තානය, ඉරාකය, සුඩානය, යේමනය ආදී රටවල මෙහෙයුම් ව්‍යාප්තකර ගැනීමටද හැකිවුනා. 

ඇෆ්ඝන් හා ඉරාක යුද්ධයන් වලට ඇමරිකාව යෙදවූ ඩොලර් බිලියන සියගණන්වූ අතිවිෂාල මුදල් සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් සීල්.අයි.ඒ ඔත්තු සේවයට මෙන්ම ඇමරිකානු ආයුධ වෙලෙන්දන් හා යුධ කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවලට ඇදුනු බව නොරහසක්.

ISIS බිහිවන්නට අඩිතාලම දැමුවේත්, එය හරහා සිරියාවේ අසාද්ගේ පාලනය පෙරලන්නට උත්සහකලේත් ඇමරිකාවමයි.

2001 සැප්තැම්බර් ප්‍රහාරයට සදාම් හුසේන්ගේ සම්බන්ධයක් ඇතිබව හා සදාම් හුසේන් සමූළඝාතන අවි (Weapons of Mass Destruction) නිපදවාගෙන සිටින බවට සී.අයි.ඒ ඔත්තුසේවාවේ ප්‍රධානී ජෝර්ජ් ටෙනට් හා එවක ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් නම් දක්ෂිණාංශික යුධවාදියා විසින් ජෝර්ජ් ඩබලිව් බුෂ් ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමෙන් පසු බින් ලාඩන් සොයා 2002දී ඇෆ්ඝනිස්ථානය හා සමූළ ඝාතක අවි සොයා 2003දී ඉරාකයද ආක්‍රමණය ඇරඹුනා.

ඉරාක ආක්‍රමණයේදී ඇමරිකාව පලමුවෙන්ම සිදුකරන ලද අඥාණ ක්‍රියාව වන්නේ මුලුමහත් ඉරාක රජය හා සන්නද්ධ හමුදා විසිරුවා හැරීමයි. සුන්නි මුස්ලිම් වරයෙකු වූ සදාම් හුසේන්, බහුතර ශියා මුස්ලිම් වරුන් ජීවත්වන ඉරාකය පාලනය කිරීම සඳහා ආගම්වාදයෙන් වෙන්වුනු (secular) බහු ආගමික පාලන තන්ත්‍රයක් පිහිටුවා තිබුණි. ඉතා කාර්යක්ෂම පාලන තන්ත්‍රයක් හා දක්ෂ, හොඳින් සන්නද්ධ හමුදාවක්ද සදාම් හුසේන් යටතේ ඉරාකයට තිබුණත්, අඥාණ ඇමරිකානුවන් මේ සියල්ල විසුරුවා දමා ඇමරිකන් ගැති ශියා මුස්ලිම් නායකයින්ට පාලනය බාරදෙන ලදී. මෙයින් පාලන තන්ත්‍රය බිඳවැටී රට අරාජිකවූ අතර එමගින් දස දහස් ගණන් සුන්නි මුස්ලිම්වරුන්ට රජයේ රැකියා හා හමුදාවේ රැකියා අහිමිවිය. එමෙන්ම ධනවත් සුන්නිවරුන්ට සිය ව්‍යාපාර හා දේපොල අහිමි කිරීමට ඇමරිකන් ගැති ශියා ඉරාක පාළකයින් ක්‍රියාකලේය.

පසු කලෙක සුන්නි ත්‍රස්ත සංවිධානයක්වන ඉස්ලැමිට් ස්ටේට් (ISIS / IS) සඳහා දක්ෂ සටන්කරුවන් හා ඔවුන්ගේ කෲර රාජ්‍යයේ පාලන තන්ත්‍රය මෙහෙයෙවන්නට දායකවුනේ ඇමරිකානුවන් සමග දැඩි වෛරයෙන් සිටින ඉරාක සුන්නි හමුදා නිළධාරීන් හා සදාම්ගේ රජයේ සුන්නි මුස්ලිම් පරිපාලකයින්ය. 

එමෙන්ම පසුව ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා (ISIS) ලෙස භෞතීස්මවුනේ ආරම්භයේදී අල්-ක්වේඩා ඔෆ් ඉරාක් නම් ඔසාමා බින් ලාඩන්ගේ අල්-ක්වේඩාවේ ඉරාක ශාඛාවයි. අල් ක්වේඩාව බිහිකොට සන්නද්ධ කලේ ඇමරිකාව බව අප දැනටමත් දන්නවා.

2010වන තෙක් ඇමරිකානු හමුදා සමග බිහිසුනු ලෙස සටන්කොට දහස් ගණන් ඇමරිකානුවන් මරාදැමූ ඉරාක අල්කයිඩාව, 2010න් පසු ඉරාකය හා සිරියාව එකතුකොට සිය මනහ්කල්පිත සුපිරි ඉස්ලාම් රාජ්‍යය නිර්මාණය කරගැනීම සඳහා දැඩිලෙස අස්තාවරවූ බශාර් අල්අසාද් ගේ සිරියානු පාලනය පෙරලාදැමීම සඳහා සිය අවධානය යොමුකලා.

රුසියානු හා ඉරාන සහය ලබන අසාද්ගේ පාලනයට විරුද්ධව සටන්වදින ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සන්නද්ධ කිරීමටද මේ අතර ඇමරිකාව ක්‍රියාකල අතර, ඩොලර් මිලියන ගණන් වටිනා ආයුධ ඒ සඳහා සිරියාවට යැවුනු අතර මේ බොහෝ ආයුධ ලබාගත් සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් ISIS සංවිධානයට පක්ෂපාතවී සටන් වදින්නට පටන්ගෙන තිබෙනවා.

මේ අනුව අද ලෝකයටම මහා පිළිකාවක්වී දහස් ගණන් අහිංසකයින් මරාදමන ISIS සංවිධානය බිහිවීමට හා පෝෂණයවීමට අවශ්‍ය සියළුම සාධක සපයා දුන්නේ ඇමරිකාවම මිස වෙන රටක් නොවේ.

ඒ අනුව අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමා පලකරන අදහස බොහෝ සෙයින් සත්‍යබව පිලිගත හැකියි. ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තවාදය බිහිවීමට හා වැඩිදියුණුවීමට ඕනෑ සියලුම පෝෂකද්‍රව්‍ය ලබාදෙන ලද්දේ ලොව ආර්ථික හා යුධමය බලවතාවන ඇමරිකා එක්සත් ජනපදයයි.

තව්හීඩ් ජමාත් හදමින් ගෝඨාභය ඇමරිකාව ඉරාකයේ හා ඇෆ්ඝනිස්තානයේ කල මෝඩකමම ලංකාවේ සිදුකලාද?

මෙය දැන් දැන් ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන් හා ගෝඨාභය විරෝධී සංවිධාන එල්ලකරන චෝදනාවක්. තව්හීද් ජමාත් හා බොදුබල සේනා යන දෙකම නිර්මණය කරමින් පෝෂණය කලේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මකවූ යම් යම් බුද්ධි අංශබවටයි චෝදනා නැගෙන්නේ.

මෙහි යථාතත්වය දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහු යටතේ ක්‍රියාත්මකවූ බුද්ධි නිළධාරීන් පමණයි.

කේසේ වෙතත් වර්ගවාදී හෝ ආගම්වාදී අන්තවාදී සංවිධාන, විවිධ දේශපාලන අරමුණ සඳහා භාවිතාකිරීම සිදුකරන්නේ ඇමරිකාව පමණක්ම නොවේ. 1977 සිටම ලංකාවේ දෙමළ ජාතිවාදී ත්‍රස්තකල්ලි බිහිකොට පුහුණුකරමින් රැකබලා ගත්තේ ඉන්දියානු රජයේ රහස් අනුදැනුම මත ඉන්දියානු බුද්ධි අංශයවන RAW සංවිධානයයි.

එම ත්‍රස්තවාදී සංවිධාන විනාශකිරීමට එවක පැවති සියලුම රජයන් මුළුවැර යොදා ප්‍රහාර අරඹන සෑම අවස්ථාවකම අහිංසක දෙමළ ජනයාට හානිවන බව පවසමින් රාජ්‍ය තාන්ත්‍රික පීඩන උපක්‍රම හා කෙලින්ම ආක්‍රමණශීලී ක්‍රියා (ගුවනින් ආහාර දැමීම ) ආදී සිදුකරමින් ලංකාව දිගින් දිගටම අස්ථාවර කලේ ඉන්දියාවේ කලාපීය අරමුණුවලට පටහැනිව බටහිර ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කල ලංකා රජය අස්තාවර කොට රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් කිරීමටයි.

කෙසේ වෙතත් මේ ත්‍රස්ත පෝෂණය අවසන්වූයේ ඉන්දියාවේ ජනාදරයට පත් එමෙන්ම බලහත්කාරයෙන් ගුවනින් ආහාරදමමින්, පසුව බලහත්කාරයෙන් ඉන්දුලංකා සාමගිවිසුමක් ලංකාවේ ඇඟේ ගැසූ රජීව් ගාන්ධිට සිය ජීවිතය අහිමිවීමෙන් හා 1200ක් පමණ ඉන්දියානු සෙබලුන්ට (ඉන්දීය සාමසාධක හමුදාවේ) ජීවිත අහිමිවීමෙන්ය.

මෙයින් පසු කලාපීය රටවල සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය කිරීමේ හා රැකබලා ගැනීමේ ඉන්දියානු ප්‍රතිපත්තිය නිමාවට පත්වූ බවයි පැවසෙන්නේ.

තව්හීද් ජමාත් මෙලෙස රජයේ බුද්ධි අංශ පෝෂණය කල සංවිධානයක් නම්, රටක් ලෙස අප දැන් එහි ප්‍රතිපල හොඳින් භුක්ති විඳින බව පවසන්නට පුලුවන්. තව්හීද් ජමාත් බිහිකිරීම හෝ අඥාත ලෙස බිහිවූ ඒ අන්තවාදී සංවිධානයට දළුලා වැඩෙන්නට, අරමුදල් රැස්කරන්නට හා සිය අන්තවාදී අදහස් වපුරන්නට ඉඩදී බලා සිටීමේ අස්වැන්න අප අද හොඳින් නෙළාගනිමින් සිටිනවා. ඩොලර් බිලියන ගණනක් ආදායම් උපයන සංචාරක කර්මාණ්තය දැන් සම්පූර්ණයෙන්ම විනාශවී යාම මින් එක් අස්වැන්නක් පමණයි.

ලංකාව චීනයට ලංවීමට ඇමරිකාව පිලිතුරු දෙන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදය හරහා රට අස්තාවර කිරීමෙන්ද?

යම් යම් විදෙස් විචාරකයින්, ලංකාවේ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරය, චීනයට ලංවෙන ලංකාව අස්තාවර කිරීමේ ඇමරිකන් ව්‍යාපෘතියක් ලෙසත් හඳුන්වනවා. ඔවුන් ඊට උදාහරණයක් ලෙස ඇමරිකාව මියන්මාරයේ රොගින්යා මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින් සිටින්නේ, චීන ලැදි මියන්මාර රජය අස්තාවර කිරීමට බව පෙන්වා දෙනවා. ලංකාව දෙවැනි උදාහරණය බවත්, එවැනිම ව්‍යාපෘති, චීනය සමග සමීප සබඳතා ඇතිකරගනිමින් සිටින පාකිස්තානයේද ක්‍රියාත්මක වන බවයි පවසන්නේ.


SOURCES:
https://medium.com/notes-from-the-freak-show/how-the-u-s-created-al-qaeda-dee95fa43bd8
https://www.brookings.edu/opinions/how-the-united-states-enabled-al-qaeda/
https://medium.com/notes-from-the-freak-show/how-the-u-s-created-al-qaeda-dee95fa43bd8
https://theintercept.com/2018/01/29/isis-iraq-war-islamic-state-blowback/
https://www.theguardian.com/commentisfree/2015/jun/03/us-isis-syria-iraq
https://www.globalresearch.ca/america-created-al-qaeda-and-the-isis-terror-group/5402881
https://www.quora.com/Did-the-U-S-really-create-ISIS-How
https://www.wired.com/story/terror-industrial-complex-isis-munitions-supply-chain/






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments