ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!


පසුගිය අගෝස්තු 15දිනෙන් ආරම්භවූ සතිය තුල අමෙරිකාවේ පෙන්සිල්වේනියා ආරක්ශක විද්‍යාලයේ යුධ සැළසුම්කරණය පිලිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. අමෙරිකානු ත්‍රිවිද හමුදා නිළධාරීන්, ආරක්ශක දෙපාර්තමේන්තු නිළධාරීන්, යුධ තාක්ශණය පිලිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් හා යුධ සැළසුම් විශේෂඥයින් රැසක් සහභාගී වූ මෙම සම්මන්ත්‍රණයේ අරමුණවූයේ අමෙරිකාව වෙත විදෙස් රටවල් වලින් එල්ලවන අනාගත තර්ජන මැඩ පවත්වාගැනීම උදෙසා එම රටවල් ආක්‍රමණය කරන්නට සිදුවුවහොත්, අමෙරිකානු හමුදාවල ජීවිත හානිය අවම කරගෙන එම අරමුණ ඉටුකර ගන්නේ කෙසේදැයි සළකා බැලීමයි.

තෝරාගත් ඇමරිකානු මාධ්‍ය ආයතන කිහිපයකට මෙම වැඩමුළුවට ආරාධනා කොට තිබුණු අතර එයට සහභාගීවූ WIRED සඟරාව පවසන ආකාරයට නුදුරු අනාගත යුද්ධයකදී අමෙරිකානු හමුදාව සතුවන නවතම තාක්ශණ කිහිපයක් තෝරාගෙන එම තාක්ශණයන් විවිධ යුධමය අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ඉතා ගැඹුරින් සාක්ච්ඡාකල බව පවසනවා. මෙහිදී සළකා බැලුනු නවතම තාක්ශණයන් අතර

  • ඩ්‍රෝන යානා
  • ලේසර් වැනි directed energy ආයුධ
  • මිනිස් සෙබළුන්ගේ ජවය වැඩිකරන යාන්ත්‍රික පිටසැකිළි (mechanical exoskeletons)- -
  • ත්‍රිමාණ මුද්‍රණ තාක්ශණය (3D Printing) 

ඇතුලත්. මෙම තාක්ශණයන් කොතරම් නුදුරු අනාගතයේදී කොතරම් දියුණු කරගත හැකිදැයි එකඟතාවයකට පැමිණිපසු, වැඩමුළුව War Games නැමති ආකෘතියට අනුව අමෙරිකාවට තර්ජනයක් විය හැකි විවිධ යුධමය අවස්ථා කිහිපයකදී මෙම තාක්ශණවලින් කුමණ තාක්ශණයන් ප්‍රයෝජනවත්වේදැයි සළකා බැලුනා.

මෙහිදී සළකා බැලුනු යුධමය අවස්ථා අතර;
War Game #1 : සතුරු නගරයක් අත්පත් කරගැනීමේ රොබෝ ඩ්‍රෝන යුද්ධය

තව වසර 12කින් පමණ, එනම් වසර 2025 වනවිට අමරිකානු ප්‍රහාරක ඩ්‍රෝන තාක්ශණය අතිශයින්ම වැඩි දියුණු වී ඇතැයි වැඩමුළුවට සහභාගී වූ බොහෝ විද්වතුන් හා යුධ විශේෂඥයින් එකඟවූ අතර, ඒ අනුව 2025 වනවිට සතුරු රටක්/නගරයක් ආක්‍රමණය කිරීම මුළුමනින්ම රෝබෝ ඩ්‍රෝන යානා මගින් ඉටු කරගැනීමට හැකිවෙතැයි අමෙරිකානු යුධ සැළසුම් විශේෂඥයින් බලාපොරොත්තුවෙනවා. ඒ අනුව ඉරාකයේ ෆලූජා වැනි නගර අල්කයිඩාවෙන් අත්පත්කර ගැනීමට වැයකල අතිමහත් අමෙරිකානු ජීවත ප්‍රමාණය, අනාගතයේ එවැනි ආක්‍රමණවලදී රැක ගැනීමට හැකිවෙනවා.

මෙවැනි ඩ්‍රෝන  ආක්‍රමණයක්, ප්‍රහාර රැළි (waves of attack) කිහිපයකින් සමන්විත විය යුතුබව වැඩමුලුවේදී සාකච්ඡා වී තිබෙනවා. පලමු ප්‍රහාර රැල්ල දැන් වැඩි දියුණු කෙරෙමින් පවතින X-47B වැනි සන්නද්ධ ඩ්‍රෝන භාවිතාවෙන් සිදුවන අතර, එමගින් සතුරු රටේ ගුවන් හමුදාව හා ගුවන් ආරක්ශක පද්ධතිය මුළුමනින්ම විනාශකොට දැමීමට බලාපොරොත්තු වෙනවා.


දෙවැනි ඩ්‍රෝන රැල්ල ග්ලෝබල් හෝක්, ෆැන්ටම් අයි වැනි ඔත්තුසෙවීම ඩ්‍රෝනවලින් සමන්විත වන අතර, එම ඩ්‍රෝන සතුරු අහසේ ඉතා ඉහලින් බොහෝ කාළයක් රැඳී සිටිමින් සතුරු හමුදා ඛන්ඩ හා මිසයිල බැටරි, සන්නද්ධ රථ, කාළතුවක්කු රඳවා ඇති ස්ථාන පිලිබඳ දත්ත යුධ මෙහෙයුම් කරුවන් හට සපයනු ඇති.


ඔත්තු බලන ග්ලෝබල් හෝක් යානා වලින් සතුරු බලමුළුවල තොරතුරු ගලාඑත්ම, තුන්වන ඩ්‍රෝන රැල්ල දියත්වන අතර X-47B හා Sea Ghost වැනි සන්නද්ධ යානා, ග්ලෝබල් හෝක් ඩ්‍රෝනවලින් ලැබෙන දත්ත ඔස්සේ ඉලක්ක සොයාගෙන සතුරු බලඇණි හා ඔවුන්ගේ සන්නද්ධ රථ, යුධ ටැංකි, කාළතුවක්කු, සන්නිවේදන මධ‍යස්ථාන වනසනු ඇත.

අමරිකානු ඩ්‍රෝන ප්‍රහාරය එතකින් නොනවතින අතර, ප්‍රහාරක ඩ්‍රෝන නොකඩවා පහරදෙද්දී සතරවන ඩ්‍රෝන රැල්ලද ප්‍රහාරය අරඹනු ඇත. මෙම ඩ්‍රෝන, දැනට පර්යේෂණ මට්ටමේ පවතින මයික්‍රෝ-ඩ්‍රෝන වර්ගයට අයත වනු ඇති බව යුධ විශේෂඥයින් පවසයි. තණකොල පෙත්තෙක් වැනි කුඩා කෘමිසතෙකුගේ ප්‍රමාණයට සමානවන මෙම මයික්‍රෝ-ඩ්‍රෝන ලක්ශ ගණනින් සතුරු නගරය වෙත මුදා හැරෙන අතර එම ඩ්‍රෝන යානා සතුරු සෙබලුන් හට නිර්වින්දන බෙහෙත් අඩංගු තුඩු (darts) විදීමේ සිට ඔවුන්ගේ රථවාහන වලට ටයර කා දැමීම වැනි ක්‍රියා මෙන්ම සතුරු සෙබලුන් සිටිනා බංකර තුලට රිංගා කුඩා බෝම්බ පුපුරුවා ගන්නා සියදිවි හානි කරගන්නා ඩ්‍රෝනද (suicide drones) විය හැකි බව පවසනවා. අමරිකානු පාබල හමුදාව නගරයට ඇතුලු වනු අත්තේ  සතුරු හමුදා සම්පූර්ණයෙන්ම හෙම්බත්ව යටත්වෙන්නට එකඟවූ විට පමණකි. 


War Game #2 : සතුරු නාවික හමුදාවක් මුහුදේ අතරමං කල හැකි EMP Kill Switch

අනාගතයේදී චීනය, රුසියාව වැනි දැවැන්ත නාවික බලයක් සහිත සතුරෙකු සමග නාවික සටනක් කරන්නට අමෙරිකානු නාවික හමුදාවට සිදුවුවහොත්, මහා ජීවිත හා සම්පත් විනාශයකින් තොරව සතුරු නාවික හමුදාවේ ප්‍රහාරක මෙන්ම යාත්‍රා හැකියාවද ශුන්‍යකල හැකි EMP තාක්ශණක් මෙම යුධ සැළසුමේදී සාකච්ඡා වූවා.

මෙහිදී මයික්‍රෝ-තරංග ආධාරයෙන් සතුරු නෞකාවල ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ අඩපණකල හැකි ඩ්‍රෝන භාවිතා කලහැකි බවට උපකල්පණය කෙරුණා. මෙම ඩ්‍රෝන මගින් නිකුත් කරන EMP තරංග සතුරු නාවිකයින්ගේ ජීවිත හානි නොකොට ඔවුන්ගේ නෞකා මුහුදේ අතරමං කරනු ඇතැයි විශ්වාස කෙරුනා. ඊට අමතරව සතුරු නෞකා ගමන්මාර්ග වල දමා තිබෙන මුහුදු බෝම්බ මගින්ද සාම්ප්‍රදායික මුහුදු බෝම්බ වලින් සිදුකරන පිපුරුම් වෙනුවට ප්‍රභල EMP  තරංග නිකුත් කොට එමගින්ද නෞකා අඩපණ කෙරෙනු ඇතැයි සැළකුනා. ඊටත් අමතරව බලසම්පන්න  EMP   තරංග නිකුතකල හැකි සබ්මැරීන මගින්ද සතුරු නෞකා අඩපණ කිරීම සැළසුම් කරුවන්ගේ අරමුණ වූව.

එහෙත් මෙහිදී මෙම සැළසුමට විරුද්ධ මත ප්‍රකාශ කල විශේශඥයින් පැවසූයේ අමෙරිකානු යුධ යාත්‍රා තරමටම අධි තාක්ශණික ඉලෙක්ට්‍රොනික උපකරණ වල නොයැපෙන චීන හා රුසියානු නාවික හමුදාවලට මෙම  EMP තරංග  ප්‍රහාර එතරම් බලපෑමක් ඇති නොකරනු බවයි.

War Game #3 : ජීව විද්‍යාත්මක අවි නිපදවන සතුරු රාජ්‍යයක/ත්‍රස්ත කණ්ඩායමක ජීව විද්‍යාත්මක අවි වැඩසටහන පරිගණක වෛරස හා ජීවී වෛරස මගින් අවුල්කොට දැමීම.

ඉරානයට එහෙරිව යෙදැවූ ස්ටක්ස්නෙට් වෛරසය වැනි පරිගණක වෛරස මගින් සතුරු රාජ්‍යයේ පර්යේශණ වැඩසටහන් අවුල් කොට දැමීම එක් සැළසුමක්. ඊට සමගාමීව ජීව විද්‍යාත්මක අවි වලට පාදක වන බැක්ටීරියාවට ආසාදනය වී ඒවා විනාශකල හැකි වෛරස නිපදවීමේ තාක්ශණයන් වැඩි දියුණු වෙමින් පවතින බව පැවසූ සැළසුම් කරුවන්, එම වෛරස සතුරු රාජ්‍යයේ ජීවවිද්‍යාත්මක අවි නිපදවීමට ගන්නා බැක්ටීරියා තොග වලට ඇතුළු කිරීමෙන් ඒවා විනාශකල හැකි බවට පැවසුනා. එහෙත් මෙවැනි වෛරස සතුරු බැක්ටීරියා තොගවලට ඇතුලු කරන්නේ කෙසේද යන්නට නිශ්චිත සැළසුමක් වැඩමුළුවට සහභාගී වූ විශේශඥයින් හට නොතුබූ බව පැවසෙනවා.





















Comments

  1. නියම ලිපියක්....හැකිනම් යුධ තාක්ෂණය ගැන තව විස්තර ලියන්න. විශේෂයෙන් මෙවැනි අනාගත යුධ තාක්ෂනය පිලිබඳව.

    ReplyDelete
  2. නියමයි බන්...මේ බ්ලොග් එකේ තියන හුගක් දේවල් ගොඩක් වටිනවා.දිගටම කරගෙන යන්න එල...

    ReplyDelete

Post a Comment