Related Posts Plugin for WordPress, Blogger...

Friday, 30 August 2013

පාහියන්ගලින් හමුවූ ඇටසැකිල්ල වසර 12,000ක් පැරැණියි

Photos Courtsy : Lankadeepa |අලුතින්ම මතුවූ මිනිස් සැකිල්ල

මේ වසර මුල බුලත්සිංහල පාහියන්ගල ගල් ලෙනේ සිදුකළ පුරාවිද්‍යා කැණීමේදී සොයාගත් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඇටසැකිල්ල අවුරුදු 10,000ත් 12,000ත් අතර කාලයට අයත් බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කාලීන රසායනාගාරය දන්වා තිබේ.

මෙරට ප්‍රාග් ඓතිහාසික කැණීමකදී සොයාගත් අංග සම්පූර්ණ මානව ඇට සැකිල්ල පාහියන්ගලින් හමුවූ අතර එය වැඩිදුර ඇගැයීම හා සංරක්‍ෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියට යවනු ලැබීය.

ලෝක ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය ටොම් හිග් හැම් මහතා විසින් මේ කාලනිර්ණ පර්යේෂණ මෙහෙය වන ලදී. අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ඩේට්න් ටෙක්නික් නම්  නවතම තාක්‍ෂණය මේ ඇටසැකිල්ලේ කාලනිර්ණය සඳහා ඔක්ස්ෆර්ඩ් කාලීන රසායනාගාරය යොදා ගෙන තිබේ. වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවැසුවේ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමේදී හමුවූ මේ ඇට සැකිල්ල ඉතා දුර්වල තත්ත්වයක පැවැති බවය.

දැනට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරන පර්යේෂණ නිමවූ පසු එය තහවුරු කොට සංරක්‍ෂණය සඳහා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට බාරදීමට නියමිතය.

මෙයට ප්‍රථමයෙන් කුරුවිට බට‍ෙදාළ ලෙන, බළන්ගොඩ, බෙල්ලන්බැඳි පැලැස්ස, කෑගල්ල, අලු ලෙන ආදී ස්ථානයන්හි සිදුකළ ආදී ස්ථානයන්හි සිදුකළ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලදී වසර 13,000 සිට 27,000 දක්වා ගැනෙන මානව අවශේෂ සොයාගෙන ඇතත් දැනට අප සතුව පවතින අංග සම්පූර්ණ ආදි මානව ඇටසැකිල්ල වන්නේ පාහියන්ගල මානව ඇට සැකිල්ල බවද ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය.

නවීන මානවයා පිළිබඳව සාකච්ඡා කරනවිට අවුරුදු
ලක්ෂයකට පෙර නවීන මානවයා අප්‍රිකාවේ නැඟෙනහිරින් බිහිවී දැනට අවුරුදු 80,000කට පෙර සීනායි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත් තවත් කොටසක් ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වාත් විහිද ගිය බව තහවුරු කරගෙන තිබේ.

මෙහිදී වඩා වැදගත් වන දකුණු පිවිසුම් මාර්ගය අරාබි වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාවට, ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.

1986 දී පාහියන් ලෙන කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8 ක් ලෙස හඳුනාගෙන කැණීම් කළ අතර පිහිටිගල දක්වා කැණීම සිදුවිය.

2012 මේ සිදුකරන ලද කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව ඉතා සියුම් ලෙස පස් තට්ටු 131 කට ලෙස වෙන් කරගෙන පස් තට්ටු සියල්ලෙදීම හමුවූ අගුරු කාල නිර්ණය සඳහා යැවීමට කටයුතු කොට ඇති බව කැණීම් බාර ඬලධාරියා ලෙස කටයුතු කරන විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී එල්. බී. මෙල් මහතා ප්‍රකාශ කර සිටියේය.


නව කාල නිර්ණ වාර්තාවක් සඳහා කළ කැණීමේදී මෙවර හමුවූ මානව ඇටසැකිල්ල පාහියන් ලෙනෙන් හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. වළක් තුළ තැන්පත් කිරීමක් නොවන මේ මානව ඇටසැකිල්ල පොළොව මතුපිට තැන්පත් වීමකි. ගල් ලෙනේ මතුපිට මට්ටමේ සිට මීටර් 1 සෙන්ටිමීටර් 40 පමණ ගැඹුරින් හමු වූ මෙම මානව ඇටසැකිල්ලේ හිස 2010 - 11 පාහියන් ලෙන කැණීමේදී දක්න ලැබුණ බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරිහු ප්‍රකාශ කරති. විශ්ව කීර්තිධර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයකු වන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මානව ඇටසැකිල්ල කාන්තා ඇටසැකිල්ලක් වන බවට අදහස් ප්‍රකාශ කොට ඇත.

මානව සැකිල්ල නිරීක්ෂණය කළ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ වර්තමාන පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇටසැකිල්ලේ දත් ගෙවී යාම අස්ථිවල ඝණත්වය, වැඩීමේ ස්වභාවය අනුව මෙම සැකිල්ල වයස අවුරුදු 20 ක පමණ අයකුගේ බව තීරණය කර ඇත. මේ පුද්ගලයා අඩු වයසින් මිය යාම පිළිබඳව තොරතුරු ද විමර්ශනයට බලාපොරොත්තු වන බව කැණීම් බාර නිලධාරී ද මෙල් මහතා ප්‍රකාශ කරයි.

මානව සැකිල්ලෙහි උකුළු ප්‍රදේශය හා පපුව ප්‍රදේශය මත ඇති ගල් දෙක පිළිබඳව පුරාවිද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත. මියගිය තැනැත්තා සිරුර මතට ගල් අතහැරීම හේතුවෙන් මිය ගියා ද? චාරිත්‍රයක් ලෙස මිය ගියාට පසු සිරුර මත ගල් තැන්පත් කළා ද? එසේත් නැත්නම් පසුකාලීනව එතැන ජනාවාසයක් බවට පත්වීමේදී සිරුර මත ගල් තබා ළිපක් ලෙස භාවිත කළා ද යන්න පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් සොයා බලනු ඇත.

ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ සතුන් පුළුස්සා කෑ ගිනිමැල රැසක් පාහියන් ලෙනෙහි දක්නට ඇති බවයි. මේ ප්‍රදේශයේ සිටි අතීත මානවයා ආහාරයට ගත් සතුන් 800 කගේ පමණ අවශේෂ ලෙන කැනීමේදී හමුවූ බව ප්‍රකාශ කළ දිසානායක මහතා ඒ අතර කටුස්සා ගේ අවශේෂ ද අලි පැටවකු ගේ දතක් ද බංගලාදේශ ව්‍යාඝ්‍රයකුගේ අස්ථි කොටසක් ද ගවරා ගේ දතක් ද රයිනෝසිරස් ගේ ඇඟිල්ලක කොටසක් ද වන බව ප්‍රකාශ කරයි.

බුලත්සිංහල පාහියන් ලෙනේහි අද වැතිර නිදන්නේ හෝමෝ සාපියන් සාපියන් හෙවත් නූතන මානවයාගේ ආදිතම මිත්තනියකි. ඇගේ ඇටසැකිල්ල තැන්පත් වී ඇති ආකාරය අනුව නිරුපද්‍රිතව එතැනින් ඉවත් කිරීමේ හැකියාවක් නැති බව කැණීම් භාර නිලධාරියා පවසයි. ඊට හේතු වී ඇත්තේ ඇගේ සැකිල්ලට යටින් ඇති පසෙහි වැලි ගතිය වැඩිවීම සහ ඊට යටින් ඇති ගල හා පස් තට්ටුව අතර ඉඩ ප්‍රමාණය අවම වීමයි. හුංගම විණිඇතිලියෙ ‘මැණික් හාමි’ නිරුපද්‍රිතව අපි ගත්තට පාහියන් ගල සැකිල්ල නිරුපද්‍රිතව ගන්න අප සතු තාක්ෂණය මදි. නමුත් අපට දැනුම තියෙනවා. සැකිල්ල නිරුපද්‍රිතව තිබෙන ස්ථානයෙන් ඉවත්කර ගැනීමට අපි යුරෝපීයන්ගේ සහය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට සැකිල්ල පිළිබඳව පර්යේෂණ කිරිමටත් ආරාධනා කරන්න අදහස් කරනවා. ඉන් අපට විශාල ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ යුරෝපීයන් මැදිහත් වීම හේතුකොට ගෙන ලැබෙන ප්‍රතිචාර හා ප්‍රචාරය. දැනටමත් ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානය පාහියන්ගල ලෙනට යොමු වෙලා. ඒ නිසා අපේ දේශයේ ඓතිහාසික අගයක් හමුවූ සම්පූර්ණ සැකිල්ලේ ඓතිහාසික අගයත් ඉහළ යනවා” යි ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය.

එම පර්යේෂණ බිම කැණීමේදී අපේ අතීත ඥාති සමූහයා ආහාරයට ගත් සත්ත්ව හා ශාක අවශේෂ හමුවූ බවත් ගස් බෙල්ලන් ගේ කටු සහ අළු ද වල් දෙල් ඇටි කෙසෙල්, ගින්දර දැල්වීමට යොදාගත් කැකුණ ඇට කටුස්සා, ඉත්තෑවා, හබන් කුකුළා, වලි කුකුළා, තලගොයා හා සර්ප විශේෂයන්ගේ අස්ථි කොටස් පිඹුරා, හෝතඹුවා, වඳුරා, අලියා, ගවරා, දිය බෙල්ලන්, හා මිරිදිය මසුන්ගේ අවශේෂ කොටස් ද මේ ස්ථානයෙන් හමු වී ඇති බව දකුණු පළාත් පුරාවිද්‍යා කැණිම් නිලධාරී එස්. එම්. සුසන්ත මහතා පැවැසීය.

මධ්‍ය ශිලා යුගයට අයත් ජා්‍යාමිතික හැඩයෙන් යුත් ශිලා මෙවලම් සතුන්ගේ ඇට භාවිතයෙන් සකසා ගත් උල් ආයුධ ද හමු වී තිබේ.

මේ ආදි මිත්තනිය වැතිර සිටින ගල් ලෙන පාහියන් ප්‍රධාන ගල් ලෙනට ආසන්න කුඩා ගල් ගෙයක් වන බව පවසන සෙනරත් දිසානායක මහතා එතැනින් හමු වූ ලුණු බෙල්ලා අවුරුදු 37000 කට ඈත අතීතයේ මානවයා මුහුද සමඟ ගනුදෙනු කළ බවට ද ලුණු භාවිත කළ බවට ද සාක්ෂි දරන බව ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන් තොරව පවතිද්දී පාහියන් ලෙන ප්‍රධාන ගුහාවේ මතුපිට පස් තට්ටුව අඩි තුනක් පමණ ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පැවැසු සෙනරත් දිසානායක මහතා එසේ ඉවත් කළ පස් තිබෙන තැන හඳුනාගෙන ඇති බවත් එම පස් පුරාවිද්‍යාත්මක කැණීමකට ලක්කොට සැකය තහවුරු කරගන්නා බවත් ඇතැම් විට එතැනින් වැදගත් සාක්ෂි සපයා ගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය. එම ප්‍රධාන ගල් ගුහාවේ දැනට පිහිටි පොළොවේ සිට අඩි 18 යට දී ඇඹරුම් ගලක් පමණක් හමු වී ඇත. ඉන් යට පස් තට්ටුව පිළිබඳව අවධානය යොමු කිරීමට පුරාවිද්‍යා කැණීම් අංශය බලාපොරොත්තු වේ.

වත්මන් කැණීමේදී හමුවූ පූර්ණ මානව සැකිල්ල ඉවත් කිරීමෙන් පසු එතැනින් යට පස් තට්ටුව කැණීමට අවධානය යොමු කරන බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කැණීම හේතු කොටගෙන ලංකාවේ නවීන මානවයා ගේ හෙවත් හෝමෝ සාපියන් සාපියන් ගේ ඉතිහාසය තවත් ඈතට දිව යනු ඇතැයි පැවැසීය.

මේ යොවුන් අතීත මිත්තනිය දැක බලා ගැනීමට අප බොහෝ පි‍්‍රය කළ ද යුරෝපීය පුරාවිද්‍යාඥයන් ලංකාවට පැමිණෙන තෙක් ඇය වටා බැම්මක් බැඳ ඈ වැලි අතුරා වසා දැමීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ශිරාන් දැරණියගල මහාචාර්ය වරයා ඇතුළු පිරිස අදහස් කළේය.

http://www.sundaytimes.lk/120624/uploads/Pahiyangala-Graphic.jpg
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික කැණීම් ව්‍යාපෘතිය භාර නිලධාරී, වෙදගේ මංජුල චානක ඔෂාන් මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“මේක 2007 ඉඳන් අඛණ්ඩව පැවතගෙන එන ව්‍යාපෘතියක්. අපේ කැණීම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මූලික අභිප්‍රාය වුණේ දැනට ලෝකයේ ඇති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් පාහියන්ගල පර්යේෂණ කැණීම් මධ්‍යස්ථානය ඉතා හොඳ කාල නිර්ණයකට ලක්කර මෙම ස්ථානය ලෝකයේ ඉහළම ස්ථානයකට රැගෙන ඒමයි. එතුමාගේ උපදෙස් හා අදහස් අනුව කළ මේ පර්යේෂණවලින් අපිට මේ සුවිශේෂී ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම ඉතා හොඳින් ආරක්ෂා වෙච්ච මානව සැකිල්ලක්.

මෙම සැකිල්ලට අමතරව වසර 30,000 කටත් වඩා පැරණි වූ ප්‍රාග් ඓතිහාසික මානව හා සත්ත්ව කොටස් අපිට හමු වී තිබෙනවා. ඒවා මඟින් මේ වන විට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර පුරුදු, සිරිත් විරිත්, ඒ කාලයේ තිබුණු දේශගුණික රටාවන්, වෘක්ෂ ප්‍රජාව, ඉපැරණි සත්ත්ව ප්‍රජාව ගැන වගේම ඉපැරණි මෙවලම් ගැනත් තොරතුරු රැසක් අපිට දැනගන්න හැකි වුණා.”
පැරැණි ම පස්‌ තට්‌ටුවල කාලය වර්ෂ 1986 කැණීම්වලට අනුව වසර 37000ක්‌ තරම් ඈතකට යනවා. මේ නූතන කැණීම්වලින් වසර 37000කට වඩා ඈතකට යන පස්‌ තට්‌ටු හඳුනා ගන්න ලැබේ වි. මේ පර්යේෂණවලින් මේ ගල් ලෙන වසර 37000කට වඩා පැරැණි යෑයි තීරණය වුණොත් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙනට පාහියන්ගල සමාන වේ වි. මෙතෙක්‌ කරපු පර්යේෂණවලින් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙන තමයි පැරැණි ම ගල් ලෙන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. වසර 2005 කරපු පර්යේෂණවලට අනුව කුරුවිට බටදොඹ ලෙන පාහියන්ගල ලෙනට සමකාලීන වෙනවා. එම ගල් ලෙනේ ආදිතම පස්‌ තට්‌ටු අදින් වසර 37000ත් වසර 12000ත් දක්‌වා තරම් ඈත කාලයකට දිව යනවා. බටදොඹ ලෙනෙන් හමු වුණ මේ කාල පරාසයට අයත් පස්‌ තට්‌ටු පාහියන්ගලට බෙහෙවින් සමානයි. 

පාහියන්ගල පහතරට තෙත් කලාපයේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ මුහුද ආශ්‍රිතව පිහිටි මුහුදට වඩාත් සමීප ප්‍රදේශයක්‌. මේ මානවයන් ගේ ජීවන රටාවෙන් හා ඒ අවට සාධකවලින් පැහැදිලි වන දෙයක්‌ තමයි අදින් වසර 40000කට පෙර පහත රට ප්‍රදේශයේ ඝර්ම කලාපීය වර්ෂා වනාන්තර තිබුණු බව. ඒ බැව් මේ කැණීම්වලින් පැහැදිලි වෙනවා. මෙයින් පැහැදිලි වන තවත් දෙයක්‌ තමයි මේ මානවයා ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල තිබුණු අභියෝග ජයගෙන ජීවත් වූ අයෙක්‌ බව. ඒ බව මේ ගල් ලෙන්වලින් අපිට කියා දෙනවා. මොකද ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල යෑපීම් ධාරිතාව ඉතා ම අඩු මට්‌ටමකයි පවතින්නේ. නවීන මානවයා මේ වනාන්තරවල ජීවත් වූවා යෑයි කියන්නේ ඔවුන් අභියෝග ජයගත්තා කියන එකයි. එසේ නම් මේ මානවයා ඝර්ම කලාපීය වනාන්තරවල අභියෝග ජය ගෙන කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් සිය ජීවන රටාව ගෙන ගිය අයකු බව පහැදිලියි.

Source Articles;

1. http://www.mawbima.lk/34-34042-news-detail.html
2. http://www.silumina.lk/2012/06/24/_art.asp?fn=af1206241

Related Posts Plugin for WordPress, Blogger...